ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ගැන අලුත් ම මතය

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ගැන අලුත් ම මතය

*********************************************

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ගැන අලුත් ම මතය

(09.12.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ස්වභාවය සම්බන්ධයෙන් කල්තියා ප්‍රකාශ සිදු කළ නො හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඔහු කියා සිටියේ, මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු නො වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ, දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකින් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි.

එම වයිරසය ප්‍රතිශක්තීකරණ එන්නත්වලට ප්‍රතිචාර නො දැක්වූව ද බූස්ටර් එන්නතක් මඟින් ආරක්ෂාවීමේ හැකියාව පවතින බවද එම අධ්‍යයනයෙන් හෙළි වී ඇති බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට මෙතෙක් හැකියාව නොමැති අතර ඒ සඳහා තවත් කාලය සහ දත්ත අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව ඔහු කියා සිටියා.

මේ අතර, පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීම තහනම් කිරීමට රජය ගත් තීරණය ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා.

කොළඹදී අද (09) මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම, ඔමික්‍රෝන් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු රටවල් එන්නත් ක්‍රියාවලිය කඩිනමින් සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩිනම් ගේබ්‍රියේසස් පවසනවා.

ඔහු කියා සිටියේ ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා විකෘතිය තරම් බිහිසුණු නොවන බවයි.

මෙම ප්‍රභේදයේ බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නො කළද එය ඩෙල්ටා විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බවයි ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

මේ අතර කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ පනවා තිබූ මාර්ගෝපදේශ කඩ කරමින් රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝද වූයේ යැයි 36 හැවිරිදි ෆින්ලන්ත අගමැතිනි සන්නා මරීන්ට චෝදනා එල්ල වනවා.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇය ෆින්ලන්ත වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

++++++++++++++

කොරෝනා ගැන අද (09) විශේෂ සාකච්ඡාවක්

(09.12.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (09) පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙරට පුරවැසියන්ට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම (2) ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 757 ක් ඊයේ (08) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,69,928 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව දැක්වූණේ 11,928 ක් ලෙසයි.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,533 ක දක්වා ඉහළ ගියේ, ඊයේ (08) මෙරටින් වාර්තා වූ මරණ 28 ත් සමඟයි.

මේ අතර මෙරටින් වාර්තා වූ පළමු ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන්ගේ ඔමික්‍රෝන් පරීක්ෂණ වාර්තා ඉදිරි දින 2 තුළ ලැබීමට නියමිත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියා.

පවතින තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් අද (09) රාත්‍රී 07:30 ට පැවැත්වීමට නියමිතයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන්.

ඔහු කියා සිටියේ, සම්පූර්ණයෙන්ම රට වසා දැමීමකින් තොර ව කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මෙරට පුරවැසියන්ට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම (2) ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බවයි මහනුවරදී ඊයේ (08) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ෴

+++++++++++++

ඔමික්‍රොන්වලට ෆයිසර් සමාගමෙන් සුබ ආරංචියක්

(09.12.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා 3 ක් ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ‘ෆයිසර් බයෝ ඇන්ඩ් ටෙක් සමාගම’ පවසනවා.

රසායනාගාර පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ, නව ප්‍රභේදය මැඬ පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිදේහ හොදින් නිර්මාණය කිරීමේ හැකියාව ෆයිසර් එන්නතට ඇති බවයි.

එසේම මාර්තු මාසය වන විට ඔමික්‍රොන් නව ප්‍රභේදය වෙනුවෙන් එන්නත් නිර්මාණය කිරීමට ද අපේක්ෂා කරන බව ෆයිසර් සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රෝහල්ගත වීම් වැඩි විය හැකි බවයි.

මේ වන විට ලොව පුරා රටවල් 57 ක ඔමික්‍රොන් නව ප්‍රභේදය පැතිර තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 268,068,326 ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,294,421 ක් ලෙසයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

‘ස්පා’ නියාමනයට ළඟදීම නව නීති

(09.12.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ස්පා මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නුදුරේදීම නව නීති ගෙන එන බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

‘දේශීය වෙඳකම ජාත්‍යන්තරයට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (09) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, මේ වනවිට මෙවැනි මධ්‍යස්ථාන නියාමනය සඳහා නිශ්චිත ආයතනයක් නොමැති බවයි ෴

******************************************

හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය

(09.12.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින, නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (09)දින අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, එම පෙත්සම මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී රැදවුම් භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, තම සේවාදායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ නීතිපතිවරයා නඩු පවරා ඇති බව දැනුම් දී තිබෙනවා ෴

******************************************

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ

(09.12.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ස්ථාන මාරු ඇතුළු මූලික ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ අදාළ ගැටළු පිළිබදව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග සාකච්ඡා කළ ද මෙතෙක් තමන්ට විසදුම් ලැබී නොමැති බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මගී ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක් නොමැති බවටද දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරනවා ෴

******************************************

අරලගංවිල බස් නැවතුම්පොළ ආශ්‍රිත පොදු වැසිකිළිය විනාශ මුඛයේ

(09.12.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

මහවැලි බී කලාපයට අයත් මහඔය, දිඹුලාගල, ඇල්ලේ වැව ඇතුළු ඉතා දුෂ්කර ප්‍රදේශවල සිට සිය එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට අරලගංවිල නගරයට පැමිණෙන බොහෝ පිරිසක් සිය ගිමන් නිවාලන තාවකාලික නවාතැන ලෙස මෙම බස් නැතුම්පොළ පත්කරගෙන තිබෙනවා.

එලෙස සිය දෛනික අවශ්‍යතා සඳහා පැමිණෙන පිරිසගේ වැසිකිළි පහසුකම් සපුරා ගැනීමට මීට වසර 4 කට පමණ පෙර බස් නැවතුම්පොළ ආශ්‍රිතව පොදු වැසිකිළි පද්ධතියක් ඉදි කෙරුණේ. රුපියල් ලක්ෂ 50 ක පමණ වියදමින්.

එම අංග සම්පූර්ණ වැසිකිළි පද්ධතිය අද වනවිට විනාශ මුඛයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

******************************************

දේශීය මැටි කර්මාන්තය විනාශ වී යෑමේ අවදානමක්

(09.12.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

දේශිය මැටි කර්මාන්තය නගාසිටුවීමට අවශ්‍ය පහසුකම් නො ලැබීම හේතුවෙන් නුදුරේදී ම මෙරට දේශීය මැටි කර්මාන්තය විනාශ වී යාමේ අවදානමක් මතු ව තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ මැටි කර්මාන්තකරුවන් පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ සිය වෘත්තිය අත්හැර දැමීමට සිදු ව ඇති බවයි.

******************************************

පොහොර නොමැතිව පීඩාවට පත් ගොවීන්

(09.12.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිව මින්නේරිය ව්‍යාපාරයට අයත් හිඟුරක්ගොඩ, බටුකොටුව සහ යෝධ ඇළ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ සාකච්ඡාවක නිරත වුණා.

******************************************

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (10) ජල කප්පාදුවක්

(09.12.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (10) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 20 ක කාලයක් අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව, අනුරාධපුර පළමු පියවර, අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය යටතේ ජල සැපයෙන යාපනය හන්දිය, මාතලේ හන්දිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව හා ගල්කුලම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව, මිහින්තලයේ ජල සම්පාදන ක්‍රමය යටතේ ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට ද හෙට (10) මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා (11) රාත්‍රී 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර

(09.12.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ‘ජනිත් මධුශංක’ හෙවත් ‘පොඩි ලැසී’ හමු වී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව මෝසමක් මාර්ගයෙන් අද (09) කැඳවනු ලැබුවේ මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී ‘පොඩි ලැසී’ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂික සමරනායක අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා හමුවීම සඳහා පසුගිය 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ද එහි පොලිස් අධිකාරී මෙරිල් ළමාහේවා ඊට අවස්ථාව ලබා නොදුන් බවයි.

මෙම පෙත්සම සලකා බැලීම සදහා ලබන 16 වනදා යළි කැදවීමට නියමිතයි ෴

******************************************

හිටපු නාවික හමුදාපතිවරයෙකුට නව පත්වීමක්

(09.12.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

වසන්ත කරන්නාගොඩ මහතා මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස මව්බිම වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ නිලධාරියෙක්.

හෙතෙම මීට පෙර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇති අතර, රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා වසන්ත කරන්නාගොඩ මහතා පත් කර තිබෙනවා.

******************************************

විදේශ විනිමය ඉපැයිය හැකි ක්‍රමයක් ගැන ආයුර්වේද කොමසාරිස් ගෙන් ප්‍රකාශයක්

(09.12.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසනවා.

‘දේශීය වෙදකම ජාත්‍යන්තරයට’ මැයෙන් අද (09) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගත පශ්චාත් සමය තුළ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සහ දේශීය ඖෂධවලට ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් හිමිව ඇති අතර, එබැවින් නව සැලසුම් ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට මෙය වටිනා අවස්ථාවක් බවයි ආයුර්වේද කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේ.

බටහිර, දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමය මනා ලෙස සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ සේවාවක් සැපයීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

බෝ නොවන රෝග නිවාරණය සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පාසල් මට්ටමින් සහ ගෙයින් ගෙට යමින් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර, දේශීය ආහාර රටාවන් සඳහා ජනතාව හුරු කිරීම සහ වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය මෙම හමුවේදී කියා සිටියා.

මෙම අවස්ථාවට ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

******************************************

පලංචියකින් වැටීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

(09.12.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

යාපනය වඩුක්කෝඩෙයි තෝල්පුරම් ප්‍රදේශයේ නිවසක පලංචියකින් වැටීමෙන් පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (08) පස්වරුවේ පලංචියක් මත සෙල්ලම් කරමින් සිටියදී ඔහු ඇද වැටී ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.

තවත් දරුවන් කිහිප දෙනෙකු සමග ක්‍රීඩා කරමින් සිටි මෙම 11 හැවිරිදි දරුවා අනෙක් ළමුන් සමග පලංචිය මතට නැග ඇති අතර එහිදී පය ලිස්සා බිම ඇද වැටී තිබෙනවා.

අදාළ නිවසෙහි සිදු කළ ඉදිකිරීමක් සඳහා පලංචිය බැඳ ඇති අතර මියගිය දරුවා සහ අනෙක් ළමුන් අවස්ථා කිහිපයකදීම ඊට නැග සෙල්ලම් කර ඇති බව ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

බරපතල තුවාල ලැබූ පිරිමි දරුවා නිවැසියන් විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර වඩුක්කෝඩෙයි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *