සංයුතිය වෙනස් වීම නිසා ගෑස් අර්බුදය සිදු වූ බව ලසන්ත අලගියවන්න පිළිගනියි

සංයුතිය වෙනස් වීම නිසා ගෑස් අර්බුදය සිදු වූ බව ලසන්ත අලගියවන්න පිළිගනියි

*********************************************

සංයුතිය වෙනස් වීම නිසා ගෑස් අර්බුදය සිදු වූ බව ලසන්ත අලගියවන්න පිළිගනියි

(09.12.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

අපේක්ෂා නො කළ අවස්ථාවක දී මෙම ගෑස් ගැටලුව පෙරට ආ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

මේ පිළිබඳ යෝජනා හා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතිවන්ත වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම ගැටලුව විසඳා ගැනීමට තවදුරටත් යෝජනා හා අදහස් අවශ්‍ය බවයි.

මෙම ගැටලුව ගෑස්වල සංයුතියේ වෙනස් වීමක් මත සිදු වූවක් බවට අමාත්‍යවරයා නිගමනය කරනවා.

බරපතළ ගණයේ අභියෝග මැද කටයුතු කරන තම අමාත්‍යාංශය, මෙම ගැටලුව සම්බන්ධ සංවේදී යෝජනා හා අදහස් අපේක්ෂාවෙන් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, මුද්‍රා කඩා නැති, දැනට නිකුත් කර ඇති ගෑස් ඇති සිලින්ඩර නැවත කැඳවීමක් සිදු කරන ලෙසට ඊයේ (08) ලිට්‍රෝ සමාගමට නියෝගයක් ද නිකුත් කෙරී තිබුණා ෴

******************************************

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ලිට්රෝ සමාගමට

(09.12.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව කර තිබූ දැනුම් දීමකට අනුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (09) පෙරවරුවේ එහි පැමිණියා.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි මොවුන්ට මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙරවරු 11 ට පමණ මානව හිමිකම් කොමිසම වෙත පැමිණියා.

ගම්පොළ, මහනුවර – අලවතුගොඩ, ගිනිගත්හේන – අඹගමුව, නාවලපිටිය, නොච්චියාගම, වේයන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් අදත් ගෑස් සම්බන්ධ අනතුරු වාර්තා වුණා.

මේ අතර, පසුගිය 04 වැනි දාට පෙර බෙදාහරින ලද මුද්‍රා ඉවත් නොකළ සියලු ගෑස් සිලින්ඩර යළි ලබාගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෑස් සමාගම්වලට කළ නියෝගයත් සමඟ පාරිභෝගිකයින් ගෑස් සිලින්ඩර රැගෙන අදත් අලෙවි මධ්‍යස්ථාන වෙත පැමිණ තිබුණා.

හැටන් – බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් මිලදී ගත් රතු පැහැති ලේබලය සහිත නව ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් නිවසට ගොස් ලේබලය ගැලවීමේ දී නව ලේබලයට යටින් නිල් පැහැති පැරණි ලේබලය තිබූ එම කාන්තාව ප්‍රකාශ කළා.

මේ අතර, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (09) කෙරවලපිටිය ලිට්රෝ ගෑස් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

ඔවුන් ලිට්රෝ ගෑස් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමලනාත් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරත වූ අතර, එහි දී මේ දිනවල පවතින ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධයෙන් සහ සමාගමේ කටයුතු සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

මේ අතර, නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇති වූ අනතුරුදායක සිද්ධි සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු 04 දෙනෙකුට එරෙහි ව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා හෙට (10) දිනයේ කැඳවන ලෙස අද නියෝග කළා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා ෴

******************************************

ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු විදෙස් ගණකාධිකාරීවරුන්, පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කරයි

(09.12.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

පාකිස්තානයේ සියල්කෝට්හිදී අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා ඝාතනය කිරීමත් සමඟ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව නිෂ්පාදන කටයුතු සිදු කරන එරට ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිකාරීවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ, එරට පිහිටි ඇතැම් ආයතනවල විගණන කටයුතු සඳහා පැමිණ ඇත්තේ, ශ්‍රී ලාංකික විගණන ආයතන බැවින් මෙම සිද්ධියෙන් පසු එම ආයතන පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ අතර, ඊයේ (08) රාත්‍රියේ ඉස්ලාමාබාද් හි ජනතාව ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා සිහිකරමින් ඉටිපන්දම් දල්වා ශෝකය පළ කළා.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (08) සිදු කෙරුණේ, ගනේමුල්ල – පොල්හේන පොදු සුසාන භූමියේදීයි.

+++++++++++

ප්‍රියන්ත කුමාර මහතාට පංජාබ් ප්‍රාන්ත ආණ්ඩුවෙන් වන්දි මුදලක්

(09.12.2021 – 11:16 +0530 – hirunews.lk/sinhala)

පන්ජාබයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් යාසීන් ජෝයියා පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර පර්වේයිස් එලාහි ආණ්ඩුකාර මන්දිරයේ ඊයේ(08)දින මුණ ගැසුණා.

එහිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා පන්ජාබ් ආණ්ඩුකාරවරයා ලබාදුන් සහයෝගයට ස්තුතිය පුදකිරීමටත්, ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් වරයා අමතක කළේ නැහැ.

එහිදී පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් යාසීන් ජෝයියා ප්‍රියන්ත කුමාර මහතාගේ අභාවය හේතුවෙන්, මේ වන විට අසරණභාවයට පත්ව ඇති ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් යම් සහනයක් සැලසිය හැකි දැයි පංජාබ් ආණ්ඩුකාරවරයාගෙන් විමසා තිබෙනවා.

ඊට ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ පංජාබ් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ, මෙම ශෝක ජනක සිදුවීම හේතුවෙන් දිවි අහිමි වු ප්‍රියන්ත කුමාර වෙනුවෙන් පංජාබ් ප්‍රාන්ත ආණ්ඩුවෙන් මූල්‍ය වන්දියක් ලබා දීමට කටයුතු කරන බවයි.

එමෙන්ම තවදුරටත් මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා නීති සම්පාදනය කිරීමටත් සිය ප්‍රාන්ත සභාව තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව මේ වනවිටත් පංජාබ් ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස නව නීති යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු මෙහිදී ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් වරයාට දන්වා තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධිය පංජාබ් ප්‍රාන්ත සභාව දැඩි ලෙස හෙළා දකින අතර, ඔවුන් පාකිස්තාන මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පවත්වා වැරදි කරුවන්ට අධිකරණය හරහා උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි.

මෙම සිදුවීම කිසිසේත් ශ්‍රී ලාංකිකයෙකු, ජාතියක්, ආගමක් ඉලක්ක කරගෙන සිදු කළ කටයුත්තක් නොවන බවත්, එය ආගමික උන්මාදයෙන් කුළුගැන්වුනු අන්තවාදී කල්ලියක ක්‍රියාවක් බවත් මෙහිදී පංජාබ් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා තිබෙනවා ෴

+++++++++++

ප්‍රියන්ත කුමාර ඝාතකයන්ට ඉහළම දඬුවම් ඉල්ලා, පන්ජාබ් ප්‍රාන්ත සභාවට යෝජනාවක්

(09.12.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පාකිස්තානයේ සියල්කෝට්හිදී අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා ඝාතනය කිරීම හෙළා දකිමින් පන්ජාබ් ප්‍රාන්ත සභාවට මන්ත්‍රීවරුන් 3 දෙනෙකු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එමගින් ඉල්ලා ඇත්තේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සහ ඝාතකයින්ට නීතියට අනුව ඉහළම දඩුවමක් ලබාදෙන ලෙසටයි. එසේම මෙම සිදුවීමට ආගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද එහි දැක්වෙනවා.

මේ අතර, පාකිස්තානයේ පන්ජාබ් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් යාසින් ජොයියා, පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර චෞද්රි ෆර්වේස් ඉලාහි හමු වී ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීමට ලබාදුන් සහය පිළිබදව ස්තූතිය පළ කර තිබෙනවා.

එසේම ප්‍රියන්ත මහතාගේ පවුලට කිසියම් මූල්‍ය සහනයක් ලබාදෙන ලෙස ද කොන්සල් ජනරාල්වරයා ඉල්ලා ඇති අතර, ඒ පිළිබදව කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී ඊයේ (08) රාත්‍රියේ ප්‍රියන්ත කුමාර මහතා සිහිපත් කර ඉටි පහන් දල්වා අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක් සිදුකෙරුණා. එම අවස්ථාවට සර්ව ආගමික නායකයින් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් ද එක්ව සිටියා.

******************************************

මධ්‍යම පළාතේ සෞඛ්‍ය වර්ජනයක්

(09.12.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් 7 ක් මුල් කරගෙන මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් අද (09) පෙරවරු 7 සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ, මීට සමගාමීව මහනුවර ජාතික රෝහල ඉදිරිපිට දහවල් විරෝධතාවක් ද පැවැත්වීමට නියමිත බවයි ෴

******************************************

ත්‍රිරෝද රථ සොරකමකට 3 දෙනෙකු අත්අඩංගුවට

(09.12.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

මරදාන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට තුන් දෙනෙකු (3) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී ත්‍රිරෝද රථ සඳහා යොදා ගන්නා බැටරි 8 ක්, ඩී.වී, යන්ත්‍ර 3 ක්, ජංගම දුරකථනයක් සහ සොරකම් කරන ලද ත්‍රිරෝද රථය ද සොයා ගත් බවයි.

අවුරුදු 29, 30 සහ 38 වන වයස්වල පසුවන සැකකරුවන් පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

හොරොව්පොතානේ පුපුරා යන දියර පොහොර

(09.12.2021 – 10:44 +0530 – hirunews.lk/sinhala)

අලි මදිවට කොටි කීවාක් මෙන් දිවයින පුරා තැන්වලින් ගෑස් පිපිරීම් දිනපතා වාර්තා වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික වගා සංකල්පයට අනුව මෙරට වගාවන් සඳහා යොදා ගැනීමට ඉන්දියාවෙන් ආනයනය කළ කාබනික දියර පොහොර කෑන් පුපුරා යාමේ සිද්ධියක් වාර්තා වනවා.

අපට මේ වාර්තාව ලැබෙන්නේ අනුරාධපුර හොරොව්පොතාන ප්‍රදේශයෙන්.

මෙරට වගාවන් සඳහා රසායනික පොහොර යෙදීම සම්පුර්ණයෙන්ම තහනම් කර කාබනික පොහොර යෙදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුවයි.

මේ යටතේ වගාවන්ට යෙදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද දියර පොහොර අඩංගු කෑන් මේ වනවිට පුපුරා එම දියර පොහොර අපතේ යන බව බවයි හොරොව්පොතාන ප්‍රදේශයේ ගොවි ජනතාව චෝදනා කරන්නේ.

මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සිය ගොවි සංවිධානයට දියර පොහොර කෑන් දෙසීයක් (200) පමණ ලබා දුන් බවත් මේ වනවිටත් ඉන් කෑන් 100 ක් පමණ පුපුරා ගොස් දියර පොහොර අපතේ යන බවත් හොරොව්පොතාන ගොවි සංවිධානයේ සභාපතිවරයා පවසනවා.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, මෙලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සිය ගොවි සංවිධානයට ලබා දුන් කාබනික දියර පොහොර තමන් භාවිත කරන පොහොර ඉසින යන්ත්‍ර හරහා ඉසීමට නොහැකි බවයි.

එම කාබනික දියර පොහොරවල ඇති කුඩා බිඳිති හේතුවෙන් සිය පොහොර ඉසින යන්ත්‍ර පවා ක්‍රියා විරහිත වන අතර ඒවා යන්ත්‍ර තුළ සිරවීමෙන් පසු නිසි ආකාරයට විසිරණය නො වන බවටත් ඔවුන් චෝදනා කරනවා.

ඔවුන් නඟන තවත් එක් චෝදනාවක් වන්නේ, මෙම දියර පොහොර වගාවන්ට යෙදීමේ දී සමේ ආසාදන හට ගන්නා බවයි.

එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පවා මෙම පොහොර සම්බන්ධයෙන් තවමත් නිසි අදහසක් නැති බව ද ඔවුන් පවසනවා.

******************************************

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී රියදුරුට බරපතලයි

(09.12.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළියේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් තලවකැළේ – සෙන් ක්ලෙයාර් වත්ත ප්‍රදේශයේදී අද (09) අළුයම ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා.

අදාළ පුද්ගලයා බීමත්ව රිය පදවා ඇති බවට පොලීසිය සැක පළ කරන අතර ඔහු කොටගල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

ඔහු මේ වන විට නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴

******************************************

බොරතෙල් ගෙන්වන්න ඩොලර් නැති බවට ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

(09.12.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රජයට බොරතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නො මැති වීම බරපතළ ගැටලුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඊට විසඳුමක් ලෙස රුපියල්වලින් ගෙවීම් කටයුතු සිදු කර බොරතෙල් ආනයනය කිරීමේ ක්‍රියා මාර්ගයක් කෙරෙහි යොමු වීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ, දින 26 ක් තිස්සේ වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවේ දී මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ වනවිට තවත් දින 25 කට අවශ්‍ය ඛනිජ තෙල් තොග ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ව ඇති බවයි.

බලශක්ති අමාත්‍යවරයා මීට පෙර ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා කටාර් රාජ්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වූ අතර, ඒ අරභයා ඔහු කටාර් රාජ්‍යයේ නිල සංචාරයක ද නිරත වුණා.

නමුත් මේ දක්වා එම ණය මුදල හෝ ඛනිජ තෙල් මිල දී ගැනීමේ දීර්ඝ කාලීන ණය ගිවිසුම සාක්ෂාත් කරගැනීමට හැකියාවක් ලැබුණේ නෑ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉතිහාසයේ කිසිදු දිනයක ඛනිජ තෙල් ආශ්‍රිත මිල දී ගැනීම් සඳහා ශ්‍රී ලංකා රුපියලෙන් ගෙවීම් සිදු කර නො මැති අතර, මෙවර එම අත් හදා බැලීම සිදු කිරීමට සැරසෙන්නේ පළමු වරටයි.

මේ අතර, ඊයේ (08) සිය නිල මූල්‍ය සංචිත සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තවක දැක්වුණේ, ලබන ජනවාරි මාසය වනවිට මෙරට සතු නිල ඇමරිකානු ඩොලර් සංචිතය බිලියනයක් දක්වා පහළ වැටෙන බවයි.

ඒ අනුව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ, ලබන ජනවාරි මාසයෙන් පසු මෙරටට ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ගෙන ඒමේ බරපතළ ගැටලුවකට මුහුණ දිය හැකි බවයි ෴

******************************************

මෙරට විදේශ සංචිත ඩොලර් මිලියන 1587 ක් බව හෙළි වේ

(09.12.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මාසය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587 ක් බව රජය පවසනවා.

මෙරට විදෙස් සංචිත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මීට පෙර අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී, අද (09) දින මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ.

******************************************

රනිල් ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

(09.12.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහි ව සිදු කර තිබෙන නිර්දේශය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම ලබන වසරේ ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ ඩී.එම්. සමරකෝන් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි අද (09) මෙම පෙත්සම කැඳවනු ලැබුවේ.

පෙත්සම්කාර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා සම්බන්ධ කටයුතු කිහිපයකට තමන් වගකිව යුතු බවට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා ලැබූ ජනාධිපති කොමිසම තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බවයි.

තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වුයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතුවලට තමන් මැදිහත් නොවූ බවත් පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ කියා සිටියා.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් මත ස්ථාපිත කෙරුණු අතර එය රජයේ පිළිගත් මූල්‍ය රෙගුලාසි වලට අනුකූලව පාලනය කෙරුණු බවද ඔහු සඳහන් කළා.

එබැවින් අදාළ නිර්දේශය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රහසිංහ මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකත් කරන ලෙසද ඉල්ලා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *