රජයේ සේවකයින් අද (08) ලෙඩ වෙයි

රජයේ සේවකයින් අද (08) ලෙඩ වෙයි

*********************************************

රජයේ සේවකයින් අද (08) ලෙඩ වෙයි

(08.12.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දස දහසකින් (10,000) වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් අද (08) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිතයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ, වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (08) තැපැල් කාර්යාල රැසක් වසා තැබෙන බවයි.

එමෙන්ම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව, වරාය සහ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති ද අද (08) අසනීප නිවාඩු වාර්තා කර කොළඹ දී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතයි.

මේ අතර වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අයත් සෞඛ්‍ය සේවකයින් අද (08) සිට පළාත් මට්ටමින් වර්ජනවලට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (08) වයඹ පළාතත් හෙට (09) මධ්‍යම පළාතත් අනිද්දා ඌව පළාතත් ආවරණය වන පරිදි සියලු රෝහල්වල පෙරවරු 7 සිට පැය 24 ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය ඇතුළු වෘත්තීය සමිති 16 කට අයත් සෞඛ්‍ය සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිතයි.

සමස්ත ලංකා ආයූර්වේද සුවසේවා සංගමයට අයත් බොරැල්ල ආයූර්වේද ශික්ෂණ රෝහලේ ආයුර්වේද සෞඛ්‍ය සේවකයින් ද අද (08) පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා සේවයෙන් ඉවත් වීමේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ද වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන අතර එසේ නොමැති නම් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට නො දන්වාම යොමු වන බව පවසනවා ෴

******************************************

පාකිස්තානයේ දී ඝාතනය වූ ප්‍රියන්තගේ අවසන් කටයුතු අද (08)

(08.12.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට්හිදී පහර දී ඝාතනය කොට පුළුස්සා දැමූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පස්වරුවේ ගනේමුල්ල – පොල්හේන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය පෙරේදා (06) දිවයිනට රැගෙන එනු ලැබූ අතර, පසුව දේහය ගනේමුල්ල – පොකුණ හන්දිය – කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ නිවසෙහි තැන්පත් කෙරුණා.

මොහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ආගමික නායකයින් හා දේශපාලනඥයින් ඇතුළු පිරිස් ඔහුගේ නිවස වෙත පැමිණියා.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා පාකිස්ථානයේ සියල්කොට්හිදී පහර දී ඝාතනය කොට ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධිය පාකිස්ථානයේ ඉස්ලාමීය ආගමික නායකයින්ගෙන් සමන්විත උලෙමාවද ඊයේ (07) දැඩි ලෙස හෙළා දැක තිබුණා.

එසේම පාකිස්ථානයේ සිවිල් වැසියෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය වන ‘තම්ගා ඊ සුජාත්’ වීරත්ව සම්මානය සඳහා වන සහතික පත්‍රය පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (07) ප්‍රියන්ත කුමාර මුදාගැනීමට දැඩි උත්සහයක නිරත වූ ‘මලික් අද්නන්’ට පිරිනැමීමටයි කටයුතු කළේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළේ, මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සමාව දීමට ආගම හේතුවක් නොවන බවයි ෴

+++++++++

“බළලුන් ලවා කොස් ඇට බාවන ඉම්රාන් ඛාන්…”

******************************************

අක්මීමන දී මනුෂ්‍ය ඝාතනයක්

(08.12.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

අක්මීමන පොලිස් වසමේ තල්ගම්පල ප්‍රදේශයේ මාර්ගයක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළසිරු‍රක් හමු වී තිබෙනවා.

පැරණි ආරවුලක් දුරදිග යෑමෙන් ඇති වූ බහින්බස් වීමක් මත මෙම ඝාතනය සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 41 ක තල්ගම්පල, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අක්මීමන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙ‍යවෙනු ඇති ෴

******************************************

යුගදනවි පෙත්සම්වලට පක්ෂව, විමල්, වාසු, ගම්මන්පිල කරුණු කියයි

(08.12.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම හා ඊට අදාළ කැබිනට් තීරණය බලරහිත කරන්නැ යි ඉල්ලා ගොනුකොට ඇති පෙත්සම් 5 ට පක්ෂව කරුණු දක්වමින් රජයේ අමාත්‍යවරුන් තුන් දෙනෙකු (3) ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ලිඛිත දේශන ඊයේ (07) ගොනු කරනු ලැබුවා.

මෙලෙස පක්ෂව කරුණු දක්වමින් ලිඛිත දේශන ගොනු කරනු ලැබුවේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්.

මොවුන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදීයි පෙත්සම්වලට පක්ෂ ව විරෝධතා ඉදිරිපත් කර ඇත්තේ.

පිටු 59 කින් යුක්තව නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කොට ඇති ලිඛිත දේශනය මගින් ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශ කොට ඇත්තේ, මෙම ගිවිසුමට අදාළ කැබිනට් පත්‍රිකාව එදින කැබිනට් රැස්වීමට ඉදිරිපත් නොවු අතර එනිසා කිසිදු සාකච්ජාවකට ද බඳුන් නො වූ බැවින් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත කරන ලදැයි යන්න සහමුලින්ම මිථ්‍යාවක් බවයි.

ටෙන්ඩර්පත් කැඳවීමේදී ප්‍රශ්නගත ඇමරිකානු ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ ටෙන්ඩර් පතක් ඉදිරිපත් කොට නොමැති බවත් එසේ තිබියදී මෙම සමාගමට එම පැවරීම සිදු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් එහි දැක්වෙනවා.

මෙම සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමක් වන අතර ඔවුන්ට ගෑස් කළමනාකරණය පිළිබඳ කිසිදු ඉතිහාසයක් නොමැති බවද මෙහි සඳහන්.

එබැවින් මෙම සමාගමට රටේ ගෑස් කළමනාකරණ බාර දීම රටේ ජාතික ආරක්ෂවට තර්ජනයක් බව ද එහි දැක්වෙනවා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතිත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් ලබන 16 සහ 17 සලකා බැලීමට නියමිතයි ෴

******************************************

සමගි ජනබලවේගය යළි මැතිසබයට

(08.12.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව අද (08) සිට පාර්ලිමේන්තු සැසියන්ට සහභාගිවීමට තීරණය කළ බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

එසේම පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට ලිපි යොමුකර තිබෙනවා ෴

******************************************

වත්තේගම ළමා නිවාසයකින් දැරියන් පස් දෙනෙකු (5) පළා යෑම ගැන විමර්ශන

(08.12.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – වත්තේගම – මීගම්මන ප්‍රදේශයේ පුනරුත්ථාපන ළමා නිවාසයකින් පළා ගිය ගැහැණු ළමයින් පස් දෙනෙකු (5) සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් එක් (1) ගැහැණු ළමයෙකු නාවලපිටිය ප්‍රදේශයේ ඇගේ නිවසේ සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ ළමයින් පස්දෙනා (5) පෙරේදා (06) දහවල් කාලයේ පළා ගොස් තිබුණේ, ළමා නිවාසය ආසන්නයේ පිහිටි පාසලකට යොමුකර සිටියදියි.

මොවුන් වයස අවුරුදු 16 ත් 18 ත් අතර වයස්වල පසුවන බව සඳහන්.

මෙම දැරියන් පුස්සැල්ලාව, වත්තේගම, උඩිස්පත්තුව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

මේ වසරේ ලක්ෂයක් රට යයි

(08.12.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ලියාපදිංචි විදේශ රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ (1,00,000) සීමාව ඉක්ම වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ දෙක (2,00,000) ඉක්ම වූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් රැකියා සඳහා විදේශගත වන අතර, පසුගිය වසරේ දී එය 53,000 දක්වා පහත වැටුණා.

ඒ කොරෝනා තත්ත්වය සමඟ මතු වූ ගැටලු හේතුවෙන්.

මේ අතර, විවිධ හේතු කාරණා මත, තරුණයින් රට හැර යෑමෙ ප්‍රවණතාවක් ද පසුගිය සමයේ දක්නට ලැබුණා.

මේ පිළිබඳ විවිධ පාර්ශවයන් විවිධ අදහස් හා මතවාද ප්‍රකාශ කර තිබුණ ද තරුණයින් පාස්පෝට් පෝලිමට එකතු වෙන්නේ ඇයි ද යන ගැටලුවට මෙතෙක් විසඳුම් ලැබී නෑ ෴

******************************************

මැණික් ඇණවුම් ඔන්ලයින් ක්‍රමවේදයට

(08.12.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලර් 3000 දක්වා මැණික් ඇණවුම් ඔන්ලයින් ක්‍රමවේදයට සිදු කිරිම සඳහා වන ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි ව තිබෙනවා.

එසේම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් එහි දී අය කළ 0.5% ක ගාස්තුව 0.25% අඩු කිරීම ද එම ගැසට් නිවේදනය මඟින් සිදු වනවා.

පාර්ලිමේන්තුවේ දී රැස් වූ උපදේශක කාරක සභාවේ අවධානය තවත් කරුණු කිහිපයක් පිළිබඳ යොමු වී ඇති අතර, දැනට විරෝධයක් හේතුවෙන් නතර වී ඇති රත්නපුර – වේ ගඟ ආශ්‍රිත ව මැණික් ගැරීම සඳහා දියත් කළ ව්‍යාපෘතිය පිළිබඳව ද එහි දී සාකච්ඡා කෙරුණා ෴

******************************************

සූරියවැව ක්‍රීඩංගණයේ සේවකයින් දෙදෙනෙකු (2) වන අලි ප්‍රහාරයකින් මරුට

(08.12.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

මොවුන් ඊයේ (07) රාත්‍රියේ තම සේවා මුරය අවසන් කර යතුරුපැදියෙන් ක්‍රීඩාංගනය පිටුපස මාර්ගයේ ඇති ඥාතී නිවසකට ගොස් යළි නිවස් වෙත යමින් සිටියදීයි මෙම වන අලි ප්‍රහාරයට ලක් ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 49 හැවිරිදි තිදරු (3) පියෙකු සහ 36 හැවිරිදි දෙදරු (2) පියෙකු වන අතර ඔවුන් සූරියවැව – මීගහජදුර – වැලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියට අදාළ තරඟ ලබන 20 වැනි දා සිට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර ප්‍රදේශවාසීන් චෝදනා කළේ, කලක සිට පවතින වන අලි ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරින් කටයුතු කර නොමැති බවයි.

******************************************

ආසියා – පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවට අගමැති එක්වෙයි

(08.12.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව, කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

‘ද ඉකොනොමික්ස්’ කණ්ඩායම විසින් සංවිධාන කළ ආසියා – පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවේ ප්‍රධාන දේශනයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (07) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ඉන්දීය සාගරයෙන් වට වූ දූපත් රාජ්‍යයක් ලෙස සාගරයට මෙන්ම එහි වැසියන්ට ගෞරව කිරීමටත්, ඉන්දීය සාගරය ආරක්ෂා කිරීමටත් විශාල වගකීමක් මෙරටට පැවරී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

අදාළ සමුළුවට ලොව පුරා 2000 කට අධික පිරිසක් මාර්ගගත ක්‍රමයට එක්වන අතර කථිකයින් 100 දෙනෙකු පමණ දේශන පවත්වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

******************************************

පාරිභෝගික අධිකාරියෙන් ලිට්‍රෝ සමාගමට හදිසි නියෝගයක්

(08.12.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

දෙසැම්බර් 04 වැනි දාට පෙර බෙදා හැරි, මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නො කළ එල්.පී. ගෑස් සිලින්ඩර වහා ම නැවත කැඳවන ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දිවයින පුරා සිදු වූ ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් පිළිබඳ සොයාබැලීමට ජනපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව ඊයේ (07) මාධ්‍යයට නිකුත් කෙරුණා.

එහි දී එම කමිටුව විසින් සිදු කළ පරීක්ෂණවල එක් නිරීක්ෂණයක් වූයේ, ගෑස් පීඩනය යම් තාක් දුරකට වැඩි වී ඇති බවයි.

ඒ හේතුවෙන් රෙගියුලේටර් සහ ගෑස් බට පුපුරා යෑම ඇතුළු නිරන්තර පරීක්ෂාවට ලක් නො වූ ගෑස් ලිප්වලට හානි වීමේ සිදුවීම් ද මෙම කමිටුවේ අවධානයට යොමු වී තිබෙනවා.

මෙම කමිටුව විසින් සිදු කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරි‍ය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

******************************************

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා මුදල් වංචා කළ කණ්ඩායමක් අත්අඩංගුවට

(08.12.2021 – 09:57 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පවසමින් හිඟ විශ්‍රාම වැටුප් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පොලීසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මොවුන් අවිස්සාවේල්ල, මාවතගම, මාතලේ, නාරම්මල, හෝකන්දර, දංකොටුව ආදී ප්‍රදේශවලට ගොස් මුදල් වංචා කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

හිඟ විශ්‍රාම වැටුප් සකස් කර දෙන ලෙස පවසා කාන්තාවන්ගෙන් සහ විවිධ පුද්ගලයින්ගෙන් මුදල්වලට අමතරව රන් භාණ්ඩ ද ලබාගෙන ඇති බවට දැනට සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම අංශයේ නිලධාරීන් ලෙස පවසමින් පසුගිය දිනෙක කාන්තාවකගෙන් පවුම් 5 ක් බරැති රන් වලළු 4 ක් වංචා කර ඇති අතර, ඒ අනුවයි පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පසුව සිද්ධියට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී රන් පවුම් 30 ක්,රුපියල් 36,25,000 ක මුදලක් සහ යතුරුපැදියක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් මිනුවන්ගොඩ, මීගමුව සහ දිවුලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

පාර්ලිමේන්තුවේ දී ඇති වූ සිද්ධීන් සොයන්න 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

(08.12.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 3 වැනි දා සහ 4 වැනි දා පාර්ලිමේන්තු සභාගර්භය තුළ සහ පරිශ්‍රයේ ඇති වූ සිද්ධීන් පිළිබඳ සොයා බලා ඒවාට ගත යුතු පියවර නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් කතානායකවරයා විසින් පත් කර තිබෙනවා.

නියෝජ්‍ය කතානායක, රංජිත් සියඹලාපිටියගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එම්.ඒ. සුමන්දිරන්.

කතානායකවරයා අදාළ කමිටුව නම් කළ බවට නිවේදනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සභාවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *