ගෑස් සිලින්ඩර හඳුනාගැනීමට ක්‍රමවේදයක් – ගෑස් කමිටුවෙන් ස්ථානීය පරීක්ෂණ වාර්තාවත් නිකුත් වේ

ගෑස් සිලින්ඩර හඳුනාගැනීමට ක්‍රමවේදයක් – ගෑස් කමිටුවෙන් ස්ථානීය පරීක්ෂණ වාර්තාවත් නිකුත් වේ

*********************************************

ගෑස් සිලින්ඩර හඳුනාගැනීමට ක්‍රමවේදයක් – ගෑස් කමිටුවෙන් ස්ථානීය පරීක්ෂණ වාර්තාවත් නිකුත් වේ

(06.12.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ගැටලුකාරී තත්ත්වයෙන් පසු, වෙළඳපොළට නිකුත් කෙරෙන ගෑස් සිලින්ඩර හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ගෑස් සිලින්ඩර භාවිත කිරීමට පෙර ඉවත් කරනු ලබන පොලිතින් මුද්‍රාවෙහි වර්ණය මෙලෙස වෙනස් කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

ලිට්රෝ ගෑස් සිලින්ඩරයෙහි පොලිතින් මුද්‍රාව සුදු පසුබිමේ රතු ලාංඡනය සහිතව සකස් කර ඇති අතර, ලාෆ්ස් සමාගම සිය ගෑස් සිලින්ඩරවල පොලිතින් මුද්‍රාවේ වර්ණය කහ පසුබිමේ නිල් ලාංඡනය සහිතව වෙනස් කර තිබෙනවා.

කෙසේ වෙතත් සමාගම් දෙකම සිලින්ඩරයේ වර්ණය වෙනස් කිරීමක් සිදුකර නැහැ.

මේ වන විට ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ වී ඇති බවයි අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

මේ අතර, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (06) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එහිදී ඔහු සදහන් කළේ දැනට නිවෙස්වල භාවිත කරන ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් අවශ්‍යතාව පරිදි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් ගෑස් පුපුරා යෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව මගින් දිවයින පුරා සිදු වූ ගෑස් පුපුරා යාම් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කොට, වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එහිදී 2021.01.01 දින සිට 2021.12.05 වැනි දින තෙක් දිවයින පුරා සිදු වූ ගෑස් පුපුරා යාම් සිද්ධීන් 458 ක් සම්බන්ධයෙන් අදාළ ස්ථානීය පරීක්ෂණ සිදු කර මෙම වාර්තාව නිකුත් කර ඇති බවයි.

• මාධ්‍ය නිවේදනය : [පිටුව 1][පිටුව 2]

+++++++++

+++++++++

ගෑස් අනතුරු හා උපාංගවල ප්‍රමිතිය (06.12.2021)

******************************************

මාතලේ කාන්තාවක් ගෑස් ආශ්‍රිතව සිදු වූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලබා මිය යයි

(06.12.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිතව සිදු වූ ගින්නකින් පිළිස්සී තුවාල ලබා රෝහල්ගතව සිටි 68 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා.

මෙම කාන්තාව මාතලේ – උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය පසුගිය නොවැම්බර් මස 19 වන දා පිළිස්සුම් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ බෑණනුවන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ගෑස් ආශ්‍රිතව සිදු වූ ගින්නක් හේතුවෙන් ඇය පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටිය දී අද (06) දිනයේ ජීවිතක්ෂයට පත් වූ බවයි.

මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය මාතලේ පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එය මේ දිනවල වාර්තා වන ගෑස් ආශ්‍රිත අනතුරුවලින් සිදු වූ මරණයක් නොවන බවටයි.

ඒ පිළිබදව පරීක්ෂා කිරීමක් ද සිදුකළ බව එම උසස් නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා ෴

******************************************

රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක්

(06.12.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

කහවත්ත – වැල්ලදුර, නාව්නිකන්ද මාර්ගයට කඩා වැටුණු පස් කඳු සහ ගල් දින හතරක (4) සිට ඉවත් නොකිරීමත්, එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉක්මනින් ආරම්භ කරන ලෙසත් ඉල්ලා ගම්වාසීන් පිරිසක් වැල්ලදුර නගරයේ දී රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.

අද (06) දහවල් විනාඩි 45 ක පමණ කාලයක් උද්ඝෝෂණය පැවති අතර, මේ නිසා රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂණය සිදුවන අවස්ථාවේදී, ගමන් කිරීමට නොහැකිව නතර කර තිබූ වාහනවල සිටි කිහිප දෙනෙකු පැමිණ ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි අතර, එහිදී එම අපහසුතාවයට පත් පිරිස සහ උද්ඝෝෂකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා.

මේ නිසා, වාහන 100 ගණනකට ගමන් කිරීමට නොහැකි වූ අතර, කහවත්ත පොලිසියේ නිලධාරීන් පැමිණ, මාර්ගය මැදට දමා තිබූ ටයර් ඉවත් කිරිමෙන් පසුවයි, ගමනාගමනයට අවස්ථාව සැලසුණේ.

ගම්වාසීන් සඳහන් කළේ, වර්ෂාව නිසා පස් කඳු නාය ගොස් දින තුනක (3) කාලයක් ගතවුවත්, ප්‍රාදේශීය සභාවට දැනුම් දුන්න ද, කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවයි.

මේ හේතුවෙන් පවුල් 600 ක පමණ ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

පසුව පොලිසිය මැදිහත්විමෙනුයි, විරෝධතාකරුවන් විසිරී ගියේ ෴

******************************************

පාර්ලිමේන්තුව වර්ජනය කළ සජබ මන්ත්‍රීවරුන්, භෝජනාගාරයේ සිටි බවට ආණ්ඩුවෙන් චෝදනා

(06.12.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

අයවැය කාරක සභා අවස්ථාවේ 12 වන දිනය වූ අද (06) පාර්ලිමේන්තුවේ කටයුතු පැය තුනකට (3) පමණක් සීමා වුණා.

පෙරවරු 09:30 ආරම්භ වූ පාර්ලිමේන්තුව දහවල් 12:30 දක්වා පමණක් පැවති අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අදත් (06) සභාව වර්ජනය කිරීම විශේෂත්වයක්.

ඒ, අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට ආණ්ඩු පක්ෂයේ බලපෑම් එල්ල වීමට විරෝධය පළ කරමින්.

අද (06) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේ, පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවයි.

එහෙත් කථානායකවරයාගේ තීරණය සම්බන්ධයෙන් සෑහීමට පත් නොවූ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (06) පෙරවරුවේ පැයක (1) පමණ කාලයක් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි පොකුණ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

එම ස්ථානයට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමග සුහද කථාබහක නිරත වෙමින් ප්‍රකාශ කර ඇත්තේ විරෝධතාවක් සංවිධානය කිරිමේදී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගි කර ගත යුතු බවයි.

අද (06) පාර්ලිමේන්තුව වර්ජනය කළ සමගි ජනබලවේගය, මර්දනයට එරෙහි මැයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තුවක්, කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග මුලස්ථානයේ පිහිටුවා තිබෙනවා.

ඒ අනුව පක්ෂ මුහුණු පොත ඔස්සේ සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රිවරුන් අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අදහස් දැක්වීම සිදු කරනු ලැබුවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (06) අයවැය කාරක සභා විවාදයේ කපා හැරීම යෝජනාව දැනුම්දීමට නියමිතව තිබුණ ද ඔවුන් සභාවට නොපැමිණීම හේතුවෙන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක් විවාදයට නොගෙන සංශෝධන පමණක් ඉදිරිපත් කිරිම සිදු කෙරුණා.

මේ අතර, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විවාදයට එක්වෙමින් සඳහන් කළේ සභා ගර්භයට නොපැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට පැමිණ සිටි බවයි.

******************************************

“ඔයාට කලින් මට කියන්න දෙන්න” – ඇමති මහින්දානන්ද අනුරගේ කට වසයි

(06.12.2021 – 21:43 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 34 දෙනෙකු අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී නොවී, උදෑසන ආහාර වේල ලබා ගැනීමට පමණක් භෝජනාගාරය වෙත ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු ඒම වර්ජනය කළ ද, උදෑසන ආහාරය වෙනුවෙන් භෝජනාගාරය වෙත ගොස් ඇති බවයි.

එමෙන්ම අද (06) දිනයේ දී මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් රටට හෙළි කිරීමට උත්සාහ කළේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු පාර්ලිමේන්තුවට නොපැමිණි බව වුව ද, භෝජනාගාරයට ගොස් ආහාර ගත් පිරිසෙන් ඒ බව බොරුවක් බවට හෙළි වන බවයි මහින්දානන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත්, මෙම සිදුවීමෙන් පසු යළි ඒ සඳහා පිළිතුරු සැපයූ මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූයේ, පසුගිය දේශපාලන සහ පෞද්ගලික සිදුවීම් ද ආවර්ජනය කරමින්.

එබැවින් අද (06) පස්වරුවේ පාර්ලිමේන්තු සභා ගර්භය දැඩි උණුසුම් වාග් සංග්‍රාමයකින් අනූන වන ආකාරය ද දක්නට ලැබුණා.

******************************************

ගැරඬි ඇල්ලේ දිය යට සැඟවී ගිය කපිතාන්වරයා

(06.12.2021 – 22:43 +0530 – hirunews.lk/sinhala)

කුරුවිට වලදුර ප්‍රදේශයේ පිහිටි ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව් දෙනෙකු (4) ගෙන් එක් පුද්ගලයෙකු සැඩ පහරට ගසාගෙන ගොස් ඇති අතර, එම පුද්ගලයාගේ සිරුර අද (06) පස්වරුවේ සොයා ගනු ලැබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කුරුවිට යුද හමුදා ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කරන කපිතාන්වරයෙකු බවයි සඳහන් වන්නේ ෴

******************************************

දරුවන් පස්දෙනා (5) කැලෑවට ගෙන ගොස් මව කළ දේ

(06.12.2021 – 21:10 +0530 – sinhala.adaderana.lk)

දරුවන් පස්දෙනෙකු (5) කැලෑවක අතරමං කර දමා පැනගිය පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස පැනගොස් ඇත්තේ වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පදිංචිව සිටි පස්දරු මවක් බව අනාවරණ වී තිබේ.

ඇය සිය දරුවන් පස් දෙනා (5) කැලෑවකට රැගෙනවිත් අතරමං කර සිය අනියම් සැමියා සමඟ පැනගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

කැලෑ බද ඉඩමක කුඩා දරුවන් පස් දෙනකු (5) අඬමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් දරුවන් පස් දෙනා (5) පොලිස් භාරයට ගෙන ඇත.

එම දරුවන් පස් දෙනා (5) අවුරුදු 12 – 02 අතර වයස්වල පසුවන්නන් බව පසුව හෙළිවී තිබේ.

මෙම දරුවන්ගේ පියා අධික ලෙස මත්වතුර පානයට අබ්බැහි වූ පුද්ගලයකු බව වාර්තා වෙයි.

ඔහු බීමත් ව පැමිණ නිවසේ නිදා සිටින අතරතුර අදාළ කාන්තාව සිය දරුවන් මෙලෙස කැලයක අතරමං කර පැනගොස් ඇත.

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඇය මෙලෙස පැනගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකු සමග බවය.

පොලිස් භාරයට ගත් දරුවන් පරිවාස භාරයට යොමු කරන තෙක් දරුවන්ගේ වෙනත් ඥාති කාන්තාවක් භාරයේ රඳවා ඇති බව වාර්තා වෙයි.

******************************************

කුඩා දැරියන් දෙදෙනෙක්ව මහමඟ දමා ගිහින්… (05.12.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ආසාදිතයින් 362 ක් සුවය ලබයි

(06.12.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමිනි සිටි පුද්ගලයින් 362 දෙදෙනකු අද (06) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගිස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග වයිරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලබා මෙරට රෝහල්වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 5,42,688 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා මරණ 23 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,484 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 173 ක් අද (06) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එම ආසාදිතයින් සමග අද (06) දිනට පමණක වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 741 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත වයිරසය ආසාදිත සංඛ්‍යාව 5,68,423 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 568 දෙනෙකු අද (06) දිනයේදීත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 5,68,250 ක් ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *