ප්‍රියන්ත කුමාර ව බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාට ගෞරව සම්මානයක්

ප්‍රියන්ත කුමාර ව බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාට ගෞරව සම්මානයක්

*********************************************

ප්‍රියන්ත කුමාර ව බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාට ගෞරව සම්මානයක්

(06.12.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා එරට සියල්කෝට් අධිකරණය මගින් ඊයේ (05) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඊයේ (05) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ මොවුන් අද (06) පාකිස්ථානයේ ගුජරාන්වාලාහි ත්‍රස්ත මර්දන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

මේ අතර, මියගිය ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මෘතදේහය අද (06) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත වනවා.

රජයේ වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මළ සිරුර මෙරටට රැගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ.

ඊයේ (05) දිනයේදී ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පාකිස්තාන විදෙස් කටයුතු අමාත්‍යාංශයෙන් මේ පිළිබදව වාර්තාවක් ද ඉල්ලා තිබුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අන්තවාදීන් ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික අයුරින් පහර දෙන අවස්ථාවේ එක් පුද්ගලයෙකු ඔහු බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන අයුරු දක්නට ලැබුණා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ‘මාලික් අද්නන්’ නැමති මෙම පුද්ගලයාගේ නිර්භීත උත්සාහයට සමස්ත ජාතියේ ගෞරවය පිරිනමන බවයි.

ඔහුට පාකිස්තානයේ සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන ‘තම්හා ඉ සුජාත්’ ගෞරව සම්මානය පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

මේ අතර දියුණු වෙමින් පවතින රාජ්‍යයන් හි ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණෙන් ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය ඉදිරියේදී පාකිස්තානයට අහිමි වීමේ අවදානමක් ද පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා ෴

පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද ‘දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර’ මහතාගේ දේහය, ලාහෝර් සිට UL 186 ඔස්සේ පස්වරු 05:00 ට කොළඹට පැමිණ, ඔහුගේ ළඟම ඥාතීන් වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙනවා ෴

++++++++++++++

ප්‍රියන්ත කුමාරගේ ඝාතනය පිළිබඳ පාකිස්තානු අක්ෂි වෛද්‍යවරයෙක් සංවේදී වෙයි

(06.12.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

“ශ්‍රී ලාංකිකයන් අපට ඇස් 35,000 ක් පරිත්‍යාග කර තිබුණ ද අපට පෙනීම නැති වී තිබෙනවා.”

පාකිස්තානයේ ප්‍රමුඛතම අක්ෂි වෛද්‍යවරයෙක් කියයි.

මෙරටින් ලොව විවිධ රටවලට සිදු කෙරෙන අක්ෂි දාන ක්‍රියාවලිය තුළ දී ශ්‍රී ලංකාවෙන් වැඩි ම අක්ෂි දන් දෙන රට වන්නේ පාකිස්ථානයයි.

මේ අනුව 1967 වර්ෂයේ සිට අවම වශයෙන් ඇස් 35,000 ක් ලැබී ඇති බව එරට ප්‍රමුඛතම අක්ෂි වෛද්‍යවරයකු වන වෛද්‍ය නියාස් බ්‍රෝහි පවසනවා.

නමුත් එලෙස ලැබුණු ඇස්වලින් සිය වර්ගයා නිවැරදි දැක්මක් ඇතිකර නොගැනීම අතිශය ඛේදජනක සිදුවීමක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

පසුගිය සිකුරා දා සියල්කොට්හි සිදු වූ මිනිසත්කමට නිගාදෙන ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගිය පුවත දැනගැනීමෙන් තමන් අතිශය ලජ්ජාවට පත් වූ බවත් ඒ මොහොතේ තම හිස සඟවා ගන්නට තැනක් සෙවූ බවත් ඔහු පවසනවා.

මෙම පරිනත විශේෂඥ වෛද්‍යවරයා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පාකිස්තාන නියෝජිතයා ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.

පසුගිය සිකුරා දා ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතාට සියල්කොට්හි දී අන්තවාදී මැර පිරිසක් විසින් එල්ල කළ කෲර ප්‍රහාරය හේතුවෙන් සිදු වූ මරණය සම්බන්ධයෙන් වෛද්‍ය නියාස් බ්‍රෝහී සිය ශෝකය ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ලිඛිතව දන්වා තිබෙනවා.

කරච්චි හි සුප්‍රසිද්ධ ස්පෙන්සර් අක්ෂි රෝහලේ හිටපු ප්‍රධානියෙකු වන වෛද්‍ය බ්‍රෝහි මේ වනවිට අක්ෂි කෝනියා බද්ධ කිරීම් රාශියක් සිදු කර ඇති වෛද්‍යවරයෙක්.

පාකිස්තානයේ ඩිජිටල් නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ රටවලට කෝනියා 83,200 ක් පරිත්‍යාග කර ඇති බවයි.

වෛද්‍ය බ්‍රෝහි කියා සිටින්නේ, එලෙස ශ්‍රී ලංකාවේ කෝනියා පරිත්‍යාගවලින් 40% ක් ලබාගෙන ඇති විශාලතම ප්‍රතිග්‍රාහකයා පාකිස්තානය බවයි.

1967 වසරේ සිට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් පකිස්ථානයට අක්ෂි කෝනියා 35,000 ක් පරිත්‍යාග කර ඇති බවද ඔහු පැවසුවා.

මෙහිදී වෛද්‍ය බ්‍රෝහී සියල්කොට් සිද්ධිය පිළිබඳ නැවත වරක් සංවේදී වෙමින් පැවසුවේ ‘ශ්‍රී ලාංකිකයන් අපට ඇස් දන් දුන්නා, නමුත් අපට පෙනීම නැති වී ඇත’ යනුවෙන් ෴

++++++++++++++

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ලාහෝර් ගුවන් තොටුපොළට

(06.12.2021 – 11:16 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය අද (06) පෙරවරුවේ ලාහෝර් ගුවන් තොටුපොළට රැගෙන එනු ලැබුවා.

මෙරට වේලාවෙන් දහවල් 12:30 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් දේහය මෙරටට රැගෙන ඒමට නියමිත බවයි පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව දේහය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය පස්වරු පහට (5) පමණ මෙරටට ළඟාවීමට නියමිත ව තිබෙනවා.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙරට දී සිදු කිරීමට නියමිත අතර, මීගමුව රෝහලේ දී එම පරීක්ෂණය සිදු කිරීමෙන් පසු අනිද්දා (08) දිනයේ දී අවසන් කටයුතු සිදු කිරීමටයි ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඥාතීන් සැලසුම් කර ඇත්තේ.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් අද (06) දිනයේ වසා දමා තිබෙනවා.

එසේම මෙම සිද්ධියට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුලු පිරිසක් අද (06) පෙරවරුවේ කුරුණෑගල නගරයේදීද විරෝධතාවක නිරතවුණා.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සියල්කොට් අධිකරණයට ඊයේ (05) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සැකකරුවන් අද (06) ගුජරාන් වාලාහි ත්‍රස්ත මර්දන අධිකරණයටද ඉදිරිපත් කෙරෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 235 ක්. පසුගිය සිකුරාදා සිදුවූ මෙම ශ්‍රී ලාංකික කළමනාකරුගේ ඝාතනයට සම්බන්ධ වී ඇත්තේ දැඩි ඉස්ලාම් ආගමික මත දරන්නන් බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

++++++++++++++

ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අමුතු කතාවක්

(06.12.2021 – 11:43 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් හි දී ප්‍රචණ්ඩකාරී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ශ්‍රී ලංකා කළමනාකරු ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාධාරණීකරණය කර තිබෙනවා.

එරට ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක් කියා සිටියේ, තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි බවයි.

පාකිස්තාන් ඩේලි වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන හම්සා අසාර් සලාම් ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම ට්විටර් පණිවිඩයට අනුව ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තවත් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ෴

******************************************

පේරාදෙණිය, මුලතිව්, කුරුවිට දියේ ගිලීම්වලින් දෙදෙනෙකු (2) මරුට

(06.12.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

පේරදෙණිය, කුරුවිට සහ මුලතිව් ප්‍රදේශවලින් ඊයේ (05) පස්වරුවේ වාර්තාවූ දියේ ගිලීම්වලින් දෙදෙනෙකු (2) මියගොස් පස් දෙනෙකු (5) අතුරුදන් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, පේරාදෙණිය පොලිස් වසමේ මහවැලි ගඟේ – කළුගමුව ප්‍රදේශයේ දියනෑමට පැමිණි පස් දෙනෙකු (5) ගෙන් සමන්විත පිරිසක් දියේ ගිලී අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තාවූ බවයි.

ඒ අනුව ප්‍රදේශවාසීන් විසින් එක් (1) පුද්ගලයෙකු සහ පිරිමි ළමයෙකු (1) බේරාගෙන ගම්පොළ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

දියේ ගිලී මියගිය එක් (1) අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර, ඔහු මහනුවර – මාපනාවතුර පැසේජ් හි පදිංචි අවුරුදු 20 ක තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අවුරුදු විස්සක් (20) වයසැති එම ලිපිනයේම පදිංචි මව සහ අවුරුදු දෙකක් (2) වයසැති ඇයගේ දියණියයි.

එමෙන්ම මුලතිව් වෙරළ තීරයේ දිය නාමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු (3) දියවැලකට හසුව අතුරුදන්ව ඇති බවට ලද පණිවුඩයකට අනුව සිදු කළ මෙහෙයුමකදී එක් (1) අයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 26 ක් වයසැති වවුනියාව – මදවුවයිතකුලම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අවුරුදු 27 ක් වයසැති අනෙක් දෙදෙනා (2) දියේ ගිලී අතුරුදන්ව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

මොවුන්ද වවුනියාව ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.

මේ අතර කුරුවිට – වලදුර ප්‍රදේශයේ ගැරඩිඇල්ලේ දිය නාමින් සිටි පුද්ගලයින් හතරදෙනෙකු (4) ගෙන් එක් අයෙකු සැඩපහරට හසුව අතුරුදන්ව තිබෙනවා.

38 හැවිරිදි මොහු කුරුවිට – මිල්ලවිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදන් පුද්ගලයින් සොයා අද (06) දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

+

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු ඒමේ තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසු

(06.12.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සිකුරාදා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මුල් කරගනිමින් ඇති වූ තත්ත්වයත් සමඟ අද (06) පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට සහභාගි වනවා ද නැද් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.

ඊයේ (05) පස්වරුවේ ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා.

කෙසේ වෙතත්, අද (06) පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ නම්, පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ.

මේ අතර අයවැය කාරක සභා විවාදයේ 12 වන දිනය අදයි (06).

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සහ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා ෴

+

පුත්තලම කුඹල් කර්මාන්තකරුවන් අපහසුතාවක

(06.12.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

අමුද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹල් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මැටි කැපීම තහනම් කර ඇති පසුබිමක වැව් සහ ගංඟා නිම්නවලින් මැටි සොයාගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වී ඇති බවයි ෴

+

කෙසෙල්වත්තේ ෆවාස් ඝාතනයට හතරදෙනෙකු (4) අල්ලයි

(06.12.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කෙසෙල්වත්ත – පරණ යොන් වීථියේදී මෝටර් රථයකින් පැමිණ තියුණු ආයුධවලින් පහර දී ‘කෙසෙල්වත්තේ ෆවාස්’ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ මොවුන් සැඟව සිටිය දී කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොවුන් ළඟ තිබී කඩු හතරක් (4) ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගැනීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

පෙරේදා (04) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබූ අතර, ඉන් මියගිය ‘කෙසෙල්වත්තේ ෆවාස්’ගේ වයස අවුරුදු 33 ක්.

+

ලංගමයට නුසුදුස්සන් පත් වෙන බවට දිලුම් අමුණුගම ගෙන් ප්‍රකාශයක්

(06.12.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අහිතකර ක්‍රියාවලිය හා අවිධිමත් යාන්ත්‍රණය කුමන ආණ්ඩුව බලයට පැමිණිය ද වෙනස් කළ නො හැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

විශේෂයෙන් නුසුදුසු පුද්ගලයින් ලංගමයේ පත්වීම් ලබාගන්නා බව ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් සිදුවන අයහපත් ප්‍රතිඵල මඟහරවා ගැනීම සඳහා විධිමත් පටිපාටියකට අනුව සුදුසු පුද්ගලයින් පමණක් ලංගමයේ තනතුරුවලට පත්කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි ඔහු පැවසුවේ.

අයවැය තෙවන වර කියවීමේ කාරක සභා විවාදයට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

දේශපාලනික මැදිහත් වීම් ප්‍රබල ව දැකිය හැකි ස්ථානයක් ලෙස ලංගමය හඳුනාගත හැකි බව පැවසූ අමාත්‍යවරයා, ආණ්ඩු මාරු වෙනවිට ම තනතුරු ද අක්‍රමත් ව මාරු වෙන බව අවධාරණය කළා.

කොන්දොස්තරවරයා ඩිපෝ අධිකාරි වීම, ටයර් මාරු කළ කම්කරුවා ඩිපෝ ඉන්ජිනේරුවරයා වීම වැනි තනතුරුවල වෙනස් වීම්, ආණ්ඩු මාරු වනවිට ම සිදු වෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ ෴

+

හොරකම් කරන දේශපාලඥයින්ට හෙණ වදින බවට මහින්ද අමරවීරගෙන් ප්‍රකාශයක්

(06.12.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

ජනතාව මහත් පීඩාවකින් ජීවත් වෙන අවස්ථාවක දී දේශපාලඥයින් හෝ රාජ්‍ය නිලධාරින් මුදල් සොරකම් කිරීමට හෝ මුදල් අයථා ලෙස භාවිත කිරීමට උත්සාහ කරනවා නම්, ඔවුන්ට වැහි නැති හෙණ වදිනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වීරකැටිය දෙබොක්කාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගි වෙමිනුයි ඔහු මේ බව අවධාරණය කළේ.

තමන් 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පැවසූ අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව සජීවීව විකාශය ආරම්භ කිරීමෙන් පසුව ද ජනතා නියෝජිතයින් හික්මීමකින් තොර ව කටයුතු කිරීම අප්‍රසන්න බව සඳහන් කළා.

+

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක්

(06.12.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් එම කමිටුවට නම් කරන බවයි ඔහු සඳහන් කළේ.

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අදහස් දැක්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ලවීම හේතුවෙනුයි ගැටළුකාරී තත්වය මතුවූයේ.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ පිරිසක් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පහරදීමට උත්සාහ කළ බවයි.

ඒ හේතුවෙන් සෙනසුරාදා පාර්ලිමේන්තුවෙන් පිටව යාමට ද සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් කටයුතු කළා.

මේ අතර අද (06) දිනයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණ නොමැති අතර, ඔවුන් මේ වනවිට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ විරෝධතාවක නිරතවනවා.

+

ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිතයා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

(06.12.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත හා අධ්‍යක්ෂ අබ්දුර් රහීම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා හමුවී සාකච්ඡාවක නිරතවුණා.

මධ්‍යම පළාත තුළ භෝග කළමනාකරණ පහසුකම් ස්ථාපිත කිරිම, ආහාර සුරක්ෂිතතාව, ඇසුරුම්කරණයේදී හරිත ඇසුරුම් භාවිත කිරීම, දියර කිරි ප්‍රචලිත කිරීම ඇතුලු කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානයට ලක්වූ බවයි පළාත් ආණ්ඩුකාර කාර්යාලය කියා සිටියේ.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ රාජ්‍ය සබඳතා නිලධාරී ඇතුලු පිරිසක් එක්ව තිබෙනවා ෴

+

බැඳුම්කර නඩුවේ චෝදනා 11 කින් රවී කරුණානායක නිදහස්

(06.12.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති චෝදනා 22 ක් අතුරින් චෝදනා 11 කට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු (10) නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

අමල් රණරාජා, නාමල් බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි අද (06) මෙම නියෝගය ලබා දුන්නේ.

මෙම නඩුවට අදාළ මූලික විරෝධතාවක් මතු කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම චෝදනා විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවත්, ඒ අනුව මෙම චෝදනා වලින් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ, විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා වලින් චෝදනා 11 ක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.

ඒ අනුව එම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන ඉල්ලා සිටියේ අධිකරණ තීන්දුවට අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා ද? ඉවත් කරගන්නවා ද? එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව නඩුව ලබන වසරේ ජනවාරි මස 26 වනදා යලි කැඳවීමට අධිකරණය නියම කළා.

+

විදේශීය ආයෝජන ප්‍රශස්ථ මට්ටමක

(06.12.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය යටතේ වුවද මෙම වසරේ නොවැම්බර් මාසය අග දක්වා ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් (2) වටිනා නව ව්‍යාපෘති 117 ක් අනුමත කර ඇති බව ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඉන් ඩොලර් මිලියන 980 ක් විදේශීය ආයෝජන වනවා.

පසුගිය වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 2.2 වටිනාකමකින් යුත් ව්‍යාපෘති 128 ක් ආයෝජන මණ්ඩලය විසින් අනුමත කළ අතර, ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් විදේශ ආයෝජනයි ෴

+

සමගි ජනබලවේගය අදත් (06) පාර්ලිමේන්තුව වර්ජනය කරයි

(06.12.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

අයවැය විවාදය අතරතුර පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර, පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා අයවැය විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අදහස් දැක්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ බලපෑම්වලට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණීම වර්ජනය කර තිබෙනවා.

හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ, අද (06) උදෑසන එම මන්ත්‍රීවරුන් කළු පටි පැලඳ විරෝධතා පුවරු අතැති ව ඔවුන් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි පොකුණ අසල විරෝධතාවක නිරත වූ බවයි.

අද (06) පෙරවරුවේ මෙම සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් ද පැවති අතර, අනතුරුව පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණය කථානායකවරයා විසින් සභාවට දැනුම් දුන්නා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *