පාකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වේ

පාකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වේ

*********************************************

පාකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වේ

(05.12.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් නුවරදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා මුළු සිරුරම දැඩිව පිළිස්සී ඇති බවට අනාවරණ වූ අතර, ශරීරයේ අභ්‍යන්තර කොටස්වලට දැඩි හානි සිදුව තිබූ බව ද එහි සඳහන්.

කැපුම් තුවාල හේතුවෙන් වෙන්වී තිබූ සිරුරු කොටස් සකස් කිරීමෙන් අනතුරුව මෘත දේහය ලාහෝර් පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බව ද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

මරණ පරීක්ෂණයෙන් පසුව ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේ සිට පාකිස්ථානයේ ලාහෝර් නුවර දක්වා රැගෙන ගියා.

මෙම අවස්ථාවට හිරු ප්‍රවෘත්ති අංශයේ විශේෂ කණ්ඩායමක් ද සහභාගි වූ අතර, ඔවුන් ඊයේ (04) පස්වරුවේ සිට සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහල් පරිශ්‍රයේ ද රැඳී සිටියේ මරණ පරීක්ෂණය පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීම සඳහායි.

එසේම හිරු ප්‍රවෘත්ති කණ්ඩායම අද (05) පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා හමුවුණා.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය අද (05) දිනයේ ශ්‍රී ලංකාව බලා රැගෙන ඒමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 235 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්ථාන මාධ්‍ය ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු සේවය කළ සියල්කොට් නුවර රාජ්කෝ ඇඟළුම් කම්හලේ සේවකයන් 900 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කරන බවයි පාකිස්ථාන බලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන ‘මොහොමඩ් තල්හා’ සහ ‘ෆර්හාන් ඉද්රීස්’ ද සිටින අතර, ඔවුන් හෙළිදරව් නොකළ ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

‘රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් ඇඟළුම් කම්හල’ මේ වනවිට වසා දමා ඇති අතර, එහි සේවකයන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා පලායමින් සිටින බව වාර්තා වුණා ෴

******************************************

ලාංකික කළමනාකරු ඝාතනය කිරීම තරයේ හෙළා දකිනවා – ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජ කවුන්සිලය

(05.12.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු අමානුෂික ලෙසින් පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජ කවුන්සිලය (ACJU, MCSL, NSC, YMMA) විසින් සිය සංවේගය පළ කරමින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලාංකික සහෝදර ප්‍රියන්ත කුමාර දියවඩනගේ නමැති කළමනාකාරවරයා ඝාතනය කිරීම තරයේ හෙළා දකිමින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, එම කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් විසින්.

හෙතෙම සඳහන් කරන්නේ, වියරු වූ අමානුෂිකයින් විසින් සිය විදේශික සහෝදරයාව ඝාතනය කිරීම තමන් දකිනුයේ අතිශය මිලේච්ඡ වූ ද, නින්දිත වූ ද කිසිසේත්ම නො ඉවසිය යුතු පිළිකුල්සහගත අපරාධයක් බවයි.

ආගම, ජාතිය කුමක් වුව ද මෙවැනි සිද්ධීන් සඳහා අධිකරණය විසින් කිසිදු ලිහිල් කිරීමක් සිදු නොවන අතර, සිද්ධි‍යෙන් අනතුරුව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දැඩි පියවර ද උප සභාපතිවරයාගේ ප්‍රශංසාවට ලක් වී තිබෙනවා.

මේ වනවිටත් මෙම අපරාධයට වගකිව යුතු සැකකරුවන් 100 කට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවට තහවුරු කරන ලද වාර්තාවක් තමන් වෙත ලැබී ඇති බවයි හෙතෙම වැඩිදුරටත් ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

මෙම සිද්ධියෙන් පළුදු වීමට ඉඩකඩ පවතින පකිස්ථාන ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා බිඳ නොවැටෙන්නට නම්, පකිස්ථාන රජය විසින් අවංකවම අදාළ අපරාධයට වගකිව යුතු පුද්ගලයින්ට දැඩි දඬුවම් පමුණුවනු ඇති බව ද එම නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම මෙම සිද්ධියෙන් පීඩාවට සහ අසරණභාවයට පත්ව සිටින ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකික සහෝදරයාගේ පවුලේ ඥාතීන්ට ද සිය බලවත් කනගාටුව ද පළ කරමින් මෙම කවුන්සිලයේ උප සභාපතිවරයා කියා සිටින්නේ, අදාළ පවුල වෙනුවෙන් පාකිස්ථාන රජය වන්දි ගෙවිය යුතුව ඇති බවයි.

තව ද මෙලෙස කුරිරු අන්දමින් ජීවිතක්ෂයට පත් වූ සහෝදර ශ්‍රී ලාංකිකයාට උතුම් නිර්වාණ සුවය ම සාක්ෂාත් වේවා ” යැයි ද ඔහු නිකුත් කළ ශෝක පණිවිඩයෙහි සඳහන්.

ශෝක පණිවිඩය

******************************************

ඝාතනයට ලක් වූ ප්‍රියන්ත මහතා වෙනුවෙන් ඔහුගේ සොහොයුරු සිදු කරන සංවේදී ඉල්ලීම !

(05.12.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

පකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනයට අදාළ වීඩියෝ දර්ශන මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතිනවා.

සිය මුහුණු පොත හරහා වීඩියෝ හඬපටයක් නිකුත් කරමින් , ජීවිතක්ෂයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ සහෝදරයා ජනමාධ්‍ය සහ සමාජ ජාලා මාධ්‍ය හසුරුවන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, තම සොහොයුරා ඝාතනය වූ අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සංසරණය වීම වළක්වන ලෙසටයි.

එලෙස සමාජ මාධ්‍ය ජාලා හරහා සිය සොහොයුරාගේ ඝාතනයේ වීඩියෝ දර්ශන සංසරණය වීම මගින් සිය පවුලටත්, විශේෂයෙන්ම ඔහුගේ දරු දෙදෙනා සහ බිරිඳට ඉන් ඇතිවන හානිය සහ මානසික පීඩනය දරුණු බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් දැනටමත් සංසරණය වෙමින් පවතින එම වීඩියෝ දර්ශන වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට ප්‍රියන්ත කුමාර මහතාගේ සොහොයුරු සමාජ මාධ්‍ය ජාලා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර, එම සිද්ධියට අදාළ කිසිදු දර්ශනයක් ජනමාධ්‍ය තුළින් හෝ ප්‍රචාරණය නොකරන ලෙසටයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ෴

******************************************

ආගමික අන්තවාදය සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට සම්බන්ධීකරණයක් අවශ්‍ය බව ජනපති කියයි

(05.12.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ආගමික අන්තවාදය සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට කලාපයේ රටවල් අතර, මනා සම්බන්ධීකරණයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

එය මැඩපැවැත්වීමට කටයුතු නොකළහොත් අන්තවාදී සහ ත්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකි බවයි ජනාධිපතිවරයා එහිදී අනාවරණ කර ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඊයේ (04) පැවති මෙම සමුළුව සඳහා රටවල් 18 ක විදේශ අමාත්‍යවරුන් මෙන්ම රටවල් 40 කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයන් පැමිණ සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි එන්නත්කරණයට ඌණ සංවර්ධිත රටවල් සඳහා සහය ලබාදෙන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ධනවත් රටවලින් ඉල්ලීමක් ද කර තිබෙනවා ෴

******************************************

ගැටලු රැසකට මැදි වූ රුහුණේ මීකිරි අර්බුදය

(05.12.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

නිවසට එන අමුත්තකුට කිරියෙන් පැණියෙන් සංග්‍රහ කිරීම සිංහලයා සැලකුවේ ආගන්තුකයාට කරන ගෞරවයක් ලෙසයි.

මී කිරි නිෂ්පාදනයේදී රුහුණු මී කිරිවලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

කෙසේ නමුත් ගවයින්ට අවශ්‍ය සුදුසු තෘණ බිම් නොමැති වී යාම නිසා රුහුණේ මී කිරි කර්මාන්තය වියැකෙමෙන් යන බව අපට වාර්තා වුණා.

******************************************

ඔඩුදුවන අලි – මිනිස් ගැටුම

(05.12.2021 – 15:16 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුම් යනු දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන එහෙත් මේ වන තුරුත් ස්ථිර විසඳුම් ලැබී නොමැති ගැටලුවක්.

කාලයෙන් කාලයට බලයට පත්වන රජයන් මෙන්ම නිලධාරීන් ද, ඒවාට තාවකාලික පැලැස්තර යොදමින් කල්ගත කළ ද, ඉන් තවදුරටත් පීඩා විඳින්නේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවයි.

******************************************

වැස්සට යට වෙන නායිකුලම් මාවත

(05.12.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

මේ ආණමඩුව නායිකුලම් මාර්ගයේ මේ දිනවල තත්ත්වයයි.

වැසි දිනවලට නායික්කුලම වැවේ වාන් ජලය සහ වෙල්යායෙන් ගලාඑන වැසි ජලය හේතුවෙන් මෙම මාර්ගයේ බෝක්කුව කැඩී ගොස් තිබෙන්නේ බොහෝ කලකට පෙරයි.

මේ හේතුවෙන් ආණමඩුව – සියඹලාගස්වැව ප්‍රදේශයේ ජනතාවට වැසි කාලයේදී විඳීමට සිදුව ඇති දුෂ්කරතා සුළුපටු නැහැ.

සියඹලාගස්හේන මහා විද්‍යාලයේ දරුවන්ට ද පාසල වෙත යාමට ඇති මාර්ගය මෙයයි.

නමුත් වර්ෂාව සහිත දිනවලදී තමන් දැඩි අපහසුතාවන්ට මුහුණදෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

******************************************

CCTV කැමරාවේ සටහන් වූ යතුරුපැදි හොරකම (05.12.2021)

******************************************

රජ පවුලේ අනුග්‍රහයෙන් ගෙම්බො කෑම ; මෛත්‍රී උන්නැහේ මාව හිරේට දැම්මා (04.12.2021)

******************************************

ගෑස් කාන්දුවී ඇතිවූ ගින්නකින් කාන්තාවකට තුවාල

(05.12.2021 – 13:42 +0530 – sinhala.adaderana.lk)

අදත් (05) ගෑස් කාන්දු නිසා සිදුවූ පිපිරීම් පිළිබඳ සිද්ධි කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා විය.

නිවාස සංකීර්ණයක නිවසක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ගින්නකින් කාන්තාවකගේ පාදවලට පිළිස්සුම් තුවාල සිදුවූ පුවතක් ගාල්ල වැකුනගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

එලෙස තුවාල ලබා ඇත්තේ කරාපිටිය රෝහලේ සේවයේ නියුතු හෙදියකි.

මෙම අනතුර ඊයේ (04) පස්වරුවේ සිදුව ඇති අතර ගෑස් සිලන්ඩරයේ සිට ගෑස් ලිපට සැපයුම ලබාදෙන බටයේ ඇති වූ කාන්දුවක් හේතුවෙන් මෙලෙස ගිනි ගෙන ඇති බව එම හෙදිය සඳහන් කළාය.

“ලිප පත්තු කරලා හැරෙන්න වුණේ නෑ.. යටින් විශාල ගිනි ජාලාවක් ආවා. සිලින්ඩරය තිබුණේ ඇතුළේ.”

අනුරාධපුර කුරුන්දන්කුලම රාත්‍රි ආපනශාලවක ඊයේ (04) සවස ගෑස් කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීමක් සිදුවී තිබුණි.

ආපනශාලාවේ ආහාර සකස්කරමින් සිටින අවස්ථාවේදී මෙලෙස ගිනිගැනීමට ලක්වී ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.

මේ අතර පිළියන්දල, මකුළුදූව පලිගෙදර ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ (04) රාත්‍රියේ පුපුරාගොස් තිබුණි.

එමෙන්ම ගාල්ල ගෝනපීනුවල බෝදාගොඩවත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් එම නිවසේ කාන්තාව ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී පුපුරා ගොස් තිබේ.

අනතුරුව නිවැසියන් විසින් ගෑස් සිලින්ඩරය පරීක්ෂා කිරීමේදී ඉන් ගෑස් කාන්දුවන බව නිරීක්ෂණය වී ඇත.

මේ අතර ගෑස් සමාගම් ගෙන්වූ ගෑස් ප්‍රමිතියෙන් යුත් බවට තහවුරු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

++++++++++++

රෙගියුලේටරය උඩ විසිවුණා.. සිලින්ඩරය ගෙනත් පාරෙන් තැබුවා – තවත් ගෑස් අනතුරක්

(05.12.2021 – 15:36 +0530 – sinhala.adaderana.lk)

අවන්හලක් සඳහා අලුතින් රැගෙන පැමිණි ගෑස් සිලින්ඩරය ගෑස් ලිපට සම්බන්ධ කර සුළු වේලාවකින් සිදුවූ අනතුරක් පිළිබඳව බද්දේගම නගරයෙන් වාර්තා විය.

සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා සඳහන් කළේ,

“එක පාරටම රෙගියුලේටරය උඩ විසිවී ගියා. ගෑස් කාන්දු වෙන්න ගත්තා. නවත්ත ගන්න බැරි වුණා. මට කරගන්න දෙයක් නැති වුණා. කඩේ ගිනිගනී කියලා බයට සිලින්ඩරය ඔසවාගෙන ඇවිත් පාරෙන් තිබ්බා. ඊට පස්සේ ගෑස් ඉවර වෙනකම් පාරේ මිනිස්සුන්ව ඉවත් කළා.”

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය පැමිණ අදාළ ස්ථානයේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

++++++++++++

පිපිරීමක් සමග ආපනශාලාවක් ගිනි ගනී

(05.12.2021 – 11:36 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ රාත්‍රී ආපනශාලාවක ඊයේ (04) සවස 06:45 ට පමණ පිපිරීමක් සිදුව තිබේ. එහිදී හටගත් ගින්නෙන් වෙ‌ළෙඳසැළට දැඩි අලාභහානි සිදුවී ඇත. වෙ‌ළෙඳසැල්හිමියා පවසන්නේ අධික ශබ්දයක් සමග ගින්න හටගත් අතර, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවය. ඔහු පැවසුවේ සිය වෙළෙඳසැළේ ආහාර පිසීම සඳහා භාවිත කරන ගෑස් උඳුනේ මෙම පිපීරිම සිදුවු බවය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *