පාකිස්තානයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ජනපති එරට රජයෙන් ඉල්ලයි

පාකිස්තානයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ජනපති එරට රජයෙන් ඉල්ලයි

*********************************************

පාකිස්ථානයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ජනපති එරට රජයෙන් ඉල්ලයි

(04.12.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කළ සිද්ධියට අදාළව පාකිස්ථාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ලක් රජය සහ ජනතාව දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ අදාළ සිද්ධිය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය එම මිලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව අගය කරන බවයි.

එසේම, පාකිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කළ අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අන්තවාදී කළහකාරීන් ප්‍රියන්ත කුමාර දියවඩන මහතා කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධියෙන් තමා දැඩි කම්පනයට පත්වූ බවයි.

ඔහුගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන්ට සිය කණගාටුව පළ කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා යුක්තිය ඉටු කිරීමට සහ චූදිතයන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දුන් ප්‍රතිඥාව පිළිබඳ විශ්වාසයෙන් පසුවන බව කියා සිටියා.

මේ අතර, සිද්ධියෙන් මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර අනිද්දා (06) දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බව පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා.

රජයේ වියදමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අදාළ සිරුර දිවයිනට රැගෙන එන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම, පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහමුඩ් කුරේෂි ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ට දුරකතනයෙන් අමතා ශෝකය පළ කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයින් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සහතික වන බව එහිදී ප්‍රකාශ කළ බව එමඟින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

නිෂ්පාදන ඉංජිනේරුවෙකු ලෙස පේරාදෙණිය සරසවියේ 1993 වසර කණ්ඩායමෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධි ලද ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පාකිස්ථානය වෙත ගොස් ඇත්තේ මීට වසර 11 කට පෙරයි.

2010 වසරේදී ඔහු පාකිස්ථාන ‘ක්‍රසන්ට් ටෙක්ස්ටයිල්’ ඇඟළුම් කර්මාන්තශාලාවේ කාර්මික ඉංජිනේරු කළමනාකරු ලෙස එක්වූ අතර, 2012 වසරේදී සියල්කොට් හි ‘රාජ්කෝ’ කම්හලේ සාමාන්‍යාධිකාරී ලෙස සේවයට එක්වී තිබෙනවා.

ගනේමුල්ල – වැලිපිහිල්ල ප්‍රදේශයේ පදිංචි ඔහුට වයස අවුරුදු 14 ක් සහ 9 ක් වන දරුවන් දෙදෙනෙකුද සිටිනවා.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා, අන්තවාදී සංවිධානයක් වූ ‘ටී.එල්.පී.’ හෙවත් ‘ටෙහෙරික් ඊ ලබ්බයික් පාකිස්ථාන්’ අනුගාමිකයන් විසින් ඝාතනය කර ඇත්තේ ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා කරමින්.

එහෙත් ඔහු සිදුකර තිබුණේ තම කම්හලේ අලවා තිබූ ආගමික පෝස්ටරයක් ඉවත් කිරීම පමණක් බව සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කොළඹ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.

ඊට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද එලෙස විරෝධතා ලිපි කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

+++++++++++++

සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා කර්මාන්තශාලා කළමනාකරුගේ දේහය සඳුදා (06) දිවයිනට

(04.12.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා කර්මාන්තශාලා කළමනාකරුගේ දේහය සඳුදා ලාහෝරයේ සිට කොළඹට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා පවසනවා.

එමෙන්ම පකිස්ථාන විදේශ ලේකම්වරයා පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පවසා ඇත්තේ පකිස්ථානයේ සිටින අනෙකුත් ශ්‍රී ලාංකික සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර ඇති බවයි ෴

+++++++++++++

ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයට පකිස්තානු ජනතාව ශෝකය පලකරමින් සංවේදීව දැමූ සිංහල සටහන

(04.12.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් පකිස්ථානයේදී ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයා පහර දී අමානුෂිකව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන වැසියන් බොහෝ පිරිසක් කම්පාවට පත්ව සිටිනවා.

ඔවුන් එම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම් ඔස්සේ ශ්‍රී ලංකාවෙන් සමාව ඇයද තිබෙනවා.

ඒ අතර, සිංහල භාෂාවෙන් ද ඇතැම් පිරිස් ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව ඇයද තිබෙනු දක්නට ලැබුණා.

ඉස්ලාමාබාද් නුවර පිහිටි ‘Global Youth Association’ සංවිධානයේ සභාපති කාශිෆ් සහීර් සිය ට්විටර් ගිණුම ඔස්සේ සිංහල භාෂාවෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ, “පකිස්ථානු ශ්‍රී ලාංකික ජනතාවගෙන් සහ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත (දියවඩන) පවුලේ අයගෙන් මම සමාව අයදිනවා” යනුවෙනි.

+++++++++++++

පාකිස්ථාන අගමැතිගේ සංවේගය

(04.12.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා.

ජනාධිපතිතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් පාකිස්ථාන අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පළුදුවීමට ඉඩ නොතබන බවයි.

සිදුවීමට අදාළ සියලු වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වන විට පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් ලබාගෙන ඇති අතර සැකකරුවන් 113 දෙනෙක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි පිරිස් ද සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව පාකිස්ථාන අග්‍රමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

දීර්ඝකාලයක් පුරා පාකිස්ථානයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා කළමණාකරුවෙකු ලෙස ඉතා ඉහළ වෘත්තීය නිපුණත්වයක් පෙන්වූ අයෙකු බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා සමග සඳහන් කර තිබෙනවා.

අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර නීතියෙන් ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත්, සාධාරණය ඉටුකර, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබෙනවා ෴

+++++++++++++

ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය ගැන කම්පා වන පාකිස්ථාන වැසියන්

(04.12.2021 – 21:09 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් හි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු කෲර ලෙස වද දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සිය බලවත් ශෝකය සහ කනගාටුව පළ කළ බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

දෙරටේ රාජ්‍ය නායකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක සාගර සමුළුවට සහභාගිවීම සඳහා එහි ගොස් සිටිනවා.

මෙම අමානුෂික ක්‍රියාව සිදුකළ අයට දෙවියන්ගෙන් කිසිදු මොහොතක සමාව නොලැබෙන බවත් එමෙන්ම නීතියෙනුත් ඔවුන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී ජනාධිපතිවරයාට පැවසූ බව එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

එහිදී පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩි දුරටත් පවසා ඇත්තේ මේ වන විටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 115 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම සීසීටීවී දර්ශන සහ මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිත කරමින් මේ සිද්ධියට අදාළ අනෙකුත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබෙනවා.

මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවීම හෙළා දකින පකිස්ථාන ජාතිකයින් ලාහෝර් නගරේ තැන් තැන් වල රැස්වී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාව ඉල්ලා සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් පන්ජාබ් පොලිස් ප්‍රධානියාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් දහයක් තවදුරටත් විමර්ශන වල නිරත වනවා.

මේ අතර මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මරණයට පත් ප්‍රියන්ත කුමාර දියවඩන ගේ සිරුර ලබන සඳුදා ලංකාවට රැගෙන එන බව පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ප්‍රකාශ කළා.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂි දුරකථනයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍වරයා අමතා තිබෙනවා.

එහිදී විදේශ අමාත්‍යවරයාට පාකිස්තාන රජයේ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කර ඇති පාකිස්තාන විදේශ අමාත්‍යවරයා සහතික වී ඇත්තේ මෙම අපරාධය සිදුකළ පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දෙන බවටයි.

නිෂ්පාදන ඉංජිනේරුවෙකු ලෙස පේරාදෙණිය සරසවියෙන් 1993 වර්ෂයේදී උපාධිය හිමිකරගත් ප්‍රියන්ත කුමාර දියවඩන වසර දහයකට අධික කාලයක් පකිස්ථානයේ සේවයේ නිරත වූ පුද්ගලයෙක්.

ඔහු ඝාතනයට ලක්වන විට පාකිස්ථානයේ සියල්කොට් හි රාජ්කෝ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ආයතනයේ සාමාන්‍ය අධිකාරිවරයා ලෙස සේවය කළා.

පකිස්ථානයෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ ඔහු විසින් එම කම්හලේ අලවා තිබූ ආගමික පෝස්ටරයක් ඉවත් කිරීම හේතුවෙන් මෙලෙස ඔහුට කෲර ලෙස පහර දී ඝාතනය කර ඇති බවටයි.

දැඩි අන්තවාදී දේශපාලන පක්ෂයක් වන ටී.එල්.පී හෙවත් ටෙහෙරික් ඊ ලබ්බයික් අනුගාමිකයින් විසින් අදාළ ඝාතනය සිදුකළ බව සඳහන්.

+++++++++++

ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට ඇමතුමක්

(05.12.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා ඝාතනය කළ මිලේච්ඡ ඝාතකයින්ට උපරිම දඬුවම් ලබාදෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඒ පිළිබඳව සඳහන් කර ඇති බවයි.

එසේම, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසි විටෙකත් පළුදු වීමට ඉඩ නොතබන බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් සැකකරුවන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස් සොයා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්වීටර් පණිවුඩයක්ද නිකුත් කර තිබූ අතර, එහි දැක්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තමා මේ පිළිබඳව දැනුම් දුන් බවයි.

මේ අතර, සිද්ධියෙන් මියගිය ශ්‍රී ලාංකිකයාගේ සිරුර හෙට (06) දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා ඊයේ (04) ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් රජයේ වියදමින් අදාළ සිරුර දිවයිනට රැගෙන එනු ඇති.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් තවත් විස්තර පන්ජාබ් පොලිස්පති සර්දාර් අලි ඛාන් විසින් ඊයේ (04) හෙළිදරව් කරනු ලැබුවා.

එහිදී අනාවරණ වී ඇත්තේ කර්මාන්තශාලාවේ යන්ත්‍රසූත්‍රවල අළවා තිබූ ආගමික සටහන් ඇතුළත් ස්ටිකර විදේශීය නියෝජිත කණ්ඩායමක් එහි පැමිණෙන බැවින් ඊට පෙර ඉවත් කරන ලෙස කම්හල් කළමනාකරු වන ප්‍රියන්ත කුමාර මහතා විසින් දැනුම්දී තිබූ බවයි.

එම පියවරට විරෝධය පළ කළ ඇතැම් කම්හල් සේවකයන්, ඔහු ඉස්ලාම් දහමට අපහාස කළ බව චෝදනා කරමින් ඔහුට විරුද්ධව විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

පසුව ඔවුන් පැමිණ ප්‍රියන්ත කුමාර මහතාට පහර දී ඔහු ඉවතට රැගෙන යාමට උත්සාහ කර ඇති අතර, ඊට ඔහුගේ සඟයෙකු එරෙහි වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් ප්‍රියන්ත කුමාර මහතා ඉන් ඉවතට ගෙන ගිය පිරිස මහාමාර්ගයේදී පහර දී ඔහු ඝාතනය කර තිබෙනවා.

පන්ජාබ් පොලිස් ප්‍රධානියා සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර, සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන ෆර්හාන් ඉද්රීස් සහ උස්මාන් රෂීඩ් ද සිටින බවයි.

අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 13 දෙනෙකු ප්‍රධාන සැකකරුවන් ලෙසයි පන්ජාබ් පොලිස් ප්‍රධානියා හැඳින්වූයේ.

විමර්ශන සඳහා සී.සී.ටී.වී. කැමරා 160 කින් ලබාගත් තොරතුරු සහ දත්ත මෙන්ම ජංගම දුරකථන දත්ත ද ලබාගෙන තිබෙනවා.

පන්ජාබ් තොරතුරු අමාත්‍ය හසාන් කවාර් කියා සිටියේ අභ්‍යන්තර සහ විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ කිසිවෙකු පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවට සහතික වූ පන්ජාබ් පොලිස් ප්‍රධානී රාඕ සර්දාර් අලිඛාන් රාජකාරිය මගහැර ඇති නිලධාරීන් සිටිත්නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව ද ප්‍රකාශ කළා.

පසුගිය සිකුරාදා සියල්කොට්හි රාජ්කෝ කර්මාන්තශාලවේ කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන මහතා කුරිරු ලෙස ඝාතනය කර සිරුර පිළිස්සීමේ සිද්ධියේ කාලවිරාමයන් ද පන්ජාබ් පොලිස්පතිවරයා අනාවරණ කළා.

සිද්ධිය එදින උදෑසන 10:02 ට පමණ ආරම්භ වී ඇති අතර, ප්‍රචන්ඩ පහරදීම් සිදුව ඇත්තේ 10:45 ට පමණයි.

එමෙන්ම 11:05 ට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පොලීසියට සිද්ධිය දැන ගැනීමට ලැබී ඇත්තේ 11:28 ට බවත් ඔහු අනාවරණ කළා.

ඒ අනුව පොලීසිය ළඟාවී ඇත්තේ 11:45 ට පමණයි.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශනවල ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර ගිනිබත් කරද්දී ඒ අසලින් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු දැකගත හැකියි.

මේ අතර හිරු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායමක් ඉස්ලාමාබාද් නුවරට ගොස් පාකිස්ථාන ප්‍රවෘත්ති අමාත්‍ය සහ රජයේ ප්‍රකාශක ෆවාඩ් චෞද්‍රි හමුවුණා.

එහිදී හිරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මරණය සම්බන්ධයෙන් පාකිස්ථාන රජය ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත වන්දි ගෙවීමට සූදානම් බවයි.

ඒ සඳහා පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ඔහු හිරු වෙත සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *