පාකිස්ථානයේ ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනයේ තොරතුරු එළියට

පාකිස්ථානයේ ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනයේ තොරතුරු එළියට

*********************************************

පාකිස්ථානයේ ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනයේ තොරතුරු එළියට

(04.12.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් නුවර දී ඉස්ලාමීය අන්තවාදී අනුගාමිකයන් විසින් අමානුෂික ලෙස ඝාතනය කර සිරුර පිළිස්සූ ශ්‍රී ලාංකිකයා ගැන තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

නිෂ්පාදන ඉංජිනේරුවෙකු ලෙස පේරාදෙණිය සරසවියේ 1993 වසර කණ්ඩායමෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධි ලද ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්ථානය වෙත ගොස් ඇත්තේ මීට වසර 11කට පෙරයි.

2010 වසරේදී ඔහු පාකිස්ථාන ක්‍රසන්ට් ටෙක්ස්ටයිල් ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්මික ඉංජිනේරු කළමනාකරු ලෙස එක් වූ අතර, 2012 වසරේ දී සියල්කොට් හි රාජ්කෝ කම්හලේ සාමාන්‍යාධිකාරී ලෙස සේවයට එක්වී තිබෙනවා.

ගනේමුල්ල – වැලිපිහිල්ල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු වන ඔහුට වයස අවුරුදු 14ක් සහ 9ක් වන පුතුන් දෙදෙනෙකුද සිටිනවා.

ප්‍රියන්ත කුමාර දියවඩන, අන්තවාදී සංවිධානයක් වූ ටී.එල්.පී. හෙවත් ටෙහෙරික් ඊ ලබ්බයික් පාකිස්ථාන් අනුගාමිකයන් විසින් ඝාතනය කර ඇත්තේ, ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා කරමින්.

එහි දී ඔහු සිදු කර ඇත්තේ, තම කම්හලේ අලවා තිබූ ආගමික පෝස්ටරයක් ඉවත් කිරීම පමණක් බව සඳහන්.

ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්ථානයේ අන්තවාදී අනුගාමිකයින් විසින් අමානුෂික සහ ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

+++++++++++

සියල්කොට් ඝාතනයේ තවත් තොරතුරු එළියට

(04.12.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

සියල්කොට්හි කම්හල් සේවකයින් සහ තවත් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා ඝාතනය කර ඇත්තේ, ‘දෙවියන්ට අපහාස කළ බවට’ චෝදනා කරමින්.

මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පංජාබ් පොලිස් කණ්ඩායම් 10 ක් අනුයුක්ත කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලාංකිකයා ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරන සියල්කොට් හි ප්‍රමුඛ පෙළේ කර්මාන්ත ශාලාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියා.

සියල්කොට් හි දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී (DPO) උමාර් සයීඩ් මලික් Umar Saeed Malik විසින් පොලිස් කණ්ඩායමට මෙම සිදුවීම සම්බන්ධයෙන් පහත අනුපිළිවෙලට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 11:30 ට වසිරාබාද් පාරේ පිහිටි කම්හලක සේවකයකුට පහරදීමක් සහ වධහිංසා පැමිණවීමක් පිළිබඳව පොලිසියට තොරතුරක් ලැබි තිබෙනවා.

උගෝකි පොලිස් ස්ථානයේ ප්‍රධානී ඇතුළු කණ්ඩායමක් පෙ.ව 11:50 වන විට එම ස්ථානයට පැමිණි අතර කුපිත වූ පුද්ගලයින් කණ්ඩායමක් පුද්ගලයෙකුට ගිනි තබා ඇති බව එහි දී සොයා ගෙන තිබෙනවා.

පසුව පොලිසිය මැදිහත් වී ගින්න නිවා දැමීමට කටයුතු කළා.

මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වීමෙන් පසු සියොල්කොට් පොලිස් ප්‍රධානී ඇතුළු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් දහයක් (10) පිහිටුවා ඇති අතර ඔවුන් වීඩියෝවලින් හඳුනාගෙන ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදු කරනා බවයි වාර්තා වන්නේ.

පන්ජාබ් රජයේ ප්‍රකාශක හසාන් ඛාවාර් මාධ්‍යවේදීන්ට පැවසුවේ මේ වන විටත් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර CCTV දර්ශන මගින් තවත් බොහෝ දෙනෙකු හඳුනා ගනිමින් සිටින බවයි.

කෙසේ වෙතත් පසුව පන්ජාබ් පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බවයි.

මීට පෙර එක් වයිරස් වීඩියෝවක පෙනී සිටි සහ ශ්‍රී ලාංකික කළමනාකරුට එරෙහි ප්‍රචණ්ඩත්වයට සහාය දැක් වූ ෆර්හාන් ඉද්‍රීස් නම් චූදිතයෙකුගේ ඡායාරූප දෙකක් (2) පොලිසිය ට්වීට් කළ අතර එහි එක් ඡායාරූපයක ඔහු සිර මැදිරියක සිටින ආකාරය දැක්වෙන අතර අනෙක ඔහු යම් රූපවාහිනී සාකච්ඡාවක සිටින අයුරු දැක්වුනා.

පන්ජාබ් පොලිස්පති (IGP) විසින් විමර්ශනය අධීක්‍ෂණය කරමින් සිටින අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩ වැටලීම් සිදු කරන බවත් එම ට්විටර් පණිවුඩයේ සඳහන්.

ප්‍රහාරයට සම්බන්ධ සෑම පුද්ගලයෙකුට ම එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නා බව හසාන් කවාර් මීට පෙර ප්‍රකාශ කළා.

“අපි අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වනු ඇත” ඔහු කියා සිටියා.

******************************************

ස්මාට් වන් ස්ටොප් ෂොප් හම්බන්තොට වරාය කාර්යාලය විවෘත කෙරේ

(04.12.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද ආයෝජකයන්ට එක් වහලක් යට සිට කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතින් හා පහසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ස්මාට් වන් ස්ටොප් ෂොප්’ කාර්යාල පරිශ්‍රය ඊයේ (03)දින විවෘත කෙරුණා.

චීන ජනපති සමග සාකච්චාවේදී අද්භූත දෙයක් විමල් හෙලි කරයි.. හම්බන්තොට වරායෙන් කොටසක් නොමිලේ දෙයි…

******************************************

ඉදිරි දින හතරේ දිනකට පැයක් ප්‍රදේශ කිහිපයකට විදුලිය කැපේ

(04.12.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින හතර (4) තුළදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු හයත් (06:00) රාත්‍රී 09:30 ත් අතර පැයක (1) කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, ඊයේ (03) මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සිදුවූ විදුලි බිඳ වැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක (2) සිදුවූ දෝෂය යථා තත්වයට පත් කරන තුරු මෙම පියවර ගන්නා බවයි.

ඊයේ (03) දින සිදුවූ විදුලි බිඳ වැටීම පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙම විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

මෙය, කිසියම් පාර්ශවයක් විසින් උවමනාවෙන් සිදුකල කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න සොයා මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ මේ වන විට විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික අංශ වල නිලධාරීන්ගෙන් සහ සේවකයන්ගෙන් ප්‍රකාශ ලබා ගිනිමින් සිටින බවයි.

ඊයේ (03)දින මෙලෙස මුලු දිවයිනටම විදුලිය බිඳවැටුනේ පසුගිය 2020 වසරේ අගෝස්තු මස 17 වනදායින් පසුවයි.

ඉන් පසු මෙම සතියේ පසුගිය 29 වනදාද සැලකිය යුතු ලෙස දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසියේ විදුලිය බිඳ වැටුණා.

මේ අතර ඊයේ (03) පස්වරුවේ විදුලිය බිඳවැටී තිබූ අවස්ථාවේ නාරම්මල – වේරගල ප්‍රදේශයේ වෙළඳසැලක දල්වා තිබූ ඉටිපන්දමක් පෙරළී යාමෙන් ගින්නක් ඇති වුණා.

ගින්නෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර ප්‍රදේශවාසීන් සහ කුරුණෑගල ගිණි නිවීමේ ඒකකයට අයත් ගිණි නිවීමේ රථයක් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගනු ලැබුවා.

ගින්නෙන් 25 හැවිරිදි වෙළඳසැල් හිමිකරු සුළු තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර ඊයේ (03) විදුලිය බිඳ වැටී තිබූ අවස්ථාවේදී තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය තුළ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල කියා සිටියා.

******************************************

කාර්මික සහ ආදාහනාගාර භාවිතය සඳහා LP ගෑස් නිකුත් කෙරෙයි

(04.12.2021 – 11:48 +0530 – hirunews.lk/sinhala)

කාර්මික සහ ආදාහනාගාර භාවිතය සඳහා LP ගෑස් නිකුත් කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ගෑස් සමාගම් දෙකට ම උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා ෴

******************************************

මිනිත්තු පහක් (5) නිසා මැති සබය උණුසුම් වෙයි

(04.12.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (03) දිනයේදී විපක්ෂයට කාලය අහිමි වීමක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීමත් සමඟ උණුසුම් සංවාදයක් හටගත්තා.

ඊට කථානායකවරයා මෙන්ම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ජේ.සී. අලවතුවල, මනූෂ නානායක්කාර සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මැදිහත් වුණා.

මේ අතර, මෙම ගැටලුව හා වෙනත් ගැටලු කිහිපයක් ම සාකච්ඡා කිරීම සඳහා අද ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (04) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පස්වරු 06:30 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී එම රැස්වීම පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

අයවැය තුන්වන (3) වර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධව සහ පවතින දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහි දී අවධානය යොමු කෙරෙනු ඇති බවයි ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙකු සඳහන් කළේ.

******************************************

ගෑස් හානි සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි බව නීති විශාරදයන් කියයි

(04.12.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සංයුතියේ වෙනසක් සිදුවී ඇති බවට පරික්ෂණ මගින් සනාථ වුවහොත් අදාළ ගෑස් සමාගම්වලට එරෙහිව නඩු පවරා ජනතාවට වන්දි ලබාගැනීමේ හැකියාවක් පවතින බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නිතීඥ යු.ආර් ද සිල්වා මහතා පවසනවා.

මේ අතර ගෑස් ආශ්‍රිත සිද්ධින් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ නිළධාරින් පිරිසක් අද (04) පෙරවරුවේ බියගම – මාබිම පිහිටි ලාෆ්ස් ගෑස් ගබඩා සංකීර්ණයට ගොස් තිබෙනවා.

එහිදි ඔවුන් ලාෆ්ස් ගෑස් ගබඩා කිරිම සිට ජනතාව වෙත බෙදා හැරීම දක්වා ක්‍රියාවලිය පරික්ෂා කරනු ඇති.

එසේම, ඊයේ (03) රාත්‍රියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ලාෆ් ගැස් සමාගම ආනයනය කළ ගෑස් අඩංගු නෞකාවක් පරික්ෂා කරනු ලැබුවා.

එහි සාම්පල අද (04) පෙරවරුවේ රසායනාගාර වෙත යොමු කළ බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ නිළධාරියෙකු සඳහන් කළේ.

ඊයේ (03) ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ පිහිටි ගැස් ගබඩා සංකිර්ණයට ද පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරින් ගොස් තිබෙනවා.

එහිදි ලබාගත් ගෑස් සාම්පල් වල පරික්ෂණ කටයුතු මේ වනවිටත් රසායනාගාර විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් ආශ්‍රිත සිද්ධින් සොයා බැලිම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ නිලධාරින් ද ලිට්රෝ සමාගමේ ගෑස් ගබඩා සංකීර්ණය නිරීක්ෂණයට මීට පෙර ගොස් තිබුණා.

ගෘහස්ථ එල්.පී. ගෑස් කාන්දුවීමේදී එය හඳුනා ගන්නා ‘එතිල් මර්කැප්ටන්’ රසායනිකය නියමිත පරිදි අඩංගු නොවීම හේතුවෙන් ගෑස් බෙදාහැරිම සහ අලෙවිය අත්හිටුවීමටයි පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේ.

කෙසේ වෙතත් කර්මන්තශාලා සහ ආදාහනාගාර සඳහා ගෑස් බෙදා හැරීමට අදාළ ගෑස් සමාගම් දෙකට අවසර ලබාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

අද (04) දිනයෙත් ප්‍රදේශ කිහිපයක ගැස් ආශ්‍රිත සිදු විම් වාර්තා වුණා.

******************************************

මසක් තුළ රුපියල් බිලියන 72 ක විදෙස් මුදල් නීතිවිරෝධී ලෙස හුවමාරු වී ඇති බව මහබැංකු අධිපති කියයි

(04.12.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ගත වූ මාසයේ රුපියල් බිලියන 72 ක පමණ වටිනාකමකින් යුත් විදෙස් මුදල් නීතිවිරෝධී ලෙස හුවමාරු වී ඇති බව හෙළිදරව් වී තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (04) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙස විදෙස්ගත සේවකයින්ට උපදෙස් ලබාදෙන බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනාවරණයක්

(04.12.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව ප්‍රචලිත කොරෝනා ප්‍රභේදය බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

පසුගිය 26 වනදා දකුණු අප්‍රිකාවෙන් ප්‍රථමවරට ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය සහිත ආසාදිතයෙකු හඳුනා ගැනුනු අතර, මේ වනවිට එය රටවල් 40 ක ව්‍යාප්තවී තිබෙනවා.

මේ අතර, ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් කලබලයට පත්වීම නොව කළ යුත්තේ ඊට මුහුණදීමට සූදානම් වීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කෙසේ නමුත් ඒ සඳහා නව එන්නතක් අවශ්‍ය නොවන බවයි, එමඟින් අවධාරණය කළේ.

මේ අතර, පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා ආසාදිත පුද්ගලයන් 94 දෙනෙකුගේ ජාන පරීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ ඔමික්‍රොන් ආසාදිත නයිජීරියානුවා හැර ඉන් 93 දෙනෙකුම ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයන් බවයි.

ඒ අතුරෙන් ශ්‍රී ලංකාවට ආවේනික ඒ.වයි. 28 සහ ඒ.අයි. 104 උප ප්‍රභේද ආසාදනය වූවන් කොළඹ, ගම්පහ, නුවරඑළිය, වවුනියාව, වැලිගම ආදී ප්‍රදේශ රැසකින් සොයාගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *