ප්‍රවීණ නළු සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නළු සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

*********************************************

ප්‍රවීණ නළු සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

(04.12.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (04) අලුයම මියගිය බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ.

මියයනවිට ඔහු 57 වැනි වියේ පසු වුණා.

වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට රැසකටම සිය රංගනයෙන් ඔහු දායකත්වය ලබා දී තිබුණා.

‘අබුද්දස්ස කෝලම’, ‘ගුරු තරුව’, ‘පුත්‍ර සමාගම’, ‘තලමල පිපිලා’ ඇතුළු වේදිකා නාට්‍ය මෙන්ම ‘දූ දරුවෝ’, ‘පබා’ මෙන්ම ‘හිරු ටීවී’ ඔස්සේ විකාශය වන ‘රැල්ල වෙරළට ආදරෙයි’, ‘මහවිරු පණ්ඩු’ ටෙලි නිර්මාණවලට ද ඔහු රංගනයෙන් දායක වුණා.

මීට අමතරව ‘රාජ්‍ය සේවය පිණිසයි’, ‘කුරුලු පිහාටු’, ‘රන් කෙවිට’, ‘පහ සමත්’, ‘සමනල තටු’ සහ ‘සිකුරු හතේ’ ඇතුළු සිනමා නිර්මාණ රැසකට ද අභාවප්‍රාප්ත සරත් චන්ද්‍රසිරි මහතා රංගනයෙන් එක් වුණා.

+++++++

https://www.youtube.com/watch?v=Vi00YFW3QL8

******************************************

පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කළ සිද්ධියට අදාළ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට

(04.12.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර මහතා පාකිස්ථානයේ සියල්කොට් නුවර දී ඝාතනය කර සිරුර පුළුස්සා ඇත්තේ ඉස්ලාමීය අන්තවාදී මත දරන්නන් විසින් බව අනාවරණ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තහනම් කළ අන්තවාදී සංවිධානයක් වූ ‘ටී.එල්.පී.’ හෙවත් ‘ටෙහෙරික් ඊ ලබ්බයික් පාකිස්ථාන්’ වෙත චෝදනා එල්ලවන අතර, එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ, සිද්ධියට තම සංවිධානයේ සම්බන්ධයක් නොමැති බවයි.

ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන රජයට එරෙහි දැවැන්ත විරෝධතාවලින් පසු ව එම සංවිධානයට පනවා තිබූ තහනම පසුගිය දා ඉවත් කෙරුණා.

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ඝාතනයට ලක් කර ඇත්තේ, ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි වන චෝදනා නගමින් බව දැන් තහවුරු වී තිබෙනවා.

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් සුළු හෝ ඍණාත්මක අදහසක් පළ කරන පුද්ගලයින්ට එරෙහි විරෝධතා සහ ඝාතන මීට පෙර ද වාර්තා වී තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුට එරෙහිව මෙම කුරිරු අමානුෂික ප්‍රහාරය කළ දිනය පාකිස්ථානය ලජ්ජාවට පත් කළ දිනයක් බවයි.

සිද්ධියට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා තමා පෞද්ගලිකව මැදිහත් වී කටයුතු කරන බවට ඔහු ප්‍රතිඥාවක්ද ලබාදුන්නා.

සිද්ධිය වාර්තා වූ සියල්කොට් නගරය පිහිටියේ ඉස්ලාමාබාද් අගනුවර සිට කිලෝමීටර 200 ක් පමණ ගිණිකොන දෙසින්.

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුට පහර දී ඝාතනය කිරීම මෙන්ම ඔහුගේ සිරුර මහමඟ පිළිස්සීම ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල තවමත් හුවමාරුවෙමින් පවතිනවා.

ඊට සහභාගිවූවන් තම අනන්‍යතාව සැඟවීමටද උත්සාහ කර නැහැ.

සියල්කොට් නගරය ඇතුළත් පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගන්නා බවයි.

ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු ද ඒ අතර වන බව සඳහන්.

මේ අතර පාකිස්ථානයේ සියල්කොට් නුවරදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණය ඉටු වෙතැයි අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තොරතුරු තහවුරු කර ගනිමින් සිටින බවයි ෴

******************************************

සන්ෂයින් සුද්දා ඝාතනයේ ගිනි අවිය සොයාගැනෙයි

(04.12.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සන්ෂයින් සුද්දා වෙඩි තබා ඝාතනය කිරීමට උපයෝගී කර ගත් ටී 56 ගිණි අවිය සහ ජීව පතොරොම් 19 ක් මාතර කොටුවිල ප්‍රදේශයෙන් ඊයේ (03) සොයා ගැනුණා ෴

******************************************

සමනල වැවේ මැණික් ගොඩගැනීමට යෝජනාවක්

(04.12.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව පිළිසකර කිරීම සඳහා ඉදිරි නියං කාලයේ දී එහි ජලය හිස් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, සමනල වැව ජලාශයට ජලය පුරවන අවස්ථාවේ ජලයෙන් යට වූ ප්‍රදේශවල පවතින වටිනා මැණික් ඉල්ලම් ගොඩගැනීමට ද අතුරු යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි ෴

******************************************

රසායනික පොහොර ආනයනයට තවත් මාස 3 ක් ගතවන ලකුණු

(04.12.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත්කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස ඉටුකිරීමේ අරමුණින් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන්.

ඒ අනුව කොළඹ කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගම් ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක කරවීමට මෙම මධ්‍යස්ථානයට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඝන හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය සඳහා දිරිගැන්වීම, නිසි වේලාවට ගොවීන්ට පොහොර නොමිලේ ලබා දීම සහ දිස්ත්‍රික්ක තුළ පොහොර අවශ්‍යතාව සපිරීම යන කාර්යයන් මෙම හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාය වෙත පවරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කෘෂිකර්ම වගා කටයුතුවලට සම්බන්ධ සියලුම නිලධාරීන් සම්බන්ධීකරණය වීම හරහා බඩඉරිගු හා අනෙකුත් ධාන්‍ය, එළවළු, පළතුරු නිෂ්පාදනය වේගවත් කිරීමට ද ප්‍රමුඛතාව ලබා දෙන ලෙස මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථායට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් සෑම සති 2 කට වරක් ම පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික හරිත ආර්ථික මණ්ඩලය සංවිධානය කිරීමට සැලසුම් කිරීමද මෙම නව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත පවරා ඇති බව සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ දේශගුනික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායන් 2 සමග අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම ද මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යන්ට අයත් වන බවයි.

මේ අතර රසායනික පොහොර ආනයනයට රජය යළි අවසර ලබා දීමත් සමග එම පොහොර ආනයනය කිරීමට අදාළ මුලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විශේෂිත පොහොර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් සුජීව වලිසුන්දර මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, ඒ අනුව විදේශීය සමාගම් සමග ඊට අදාළ ගිවිසුම්වලට එළඹ ලිපිලේඛන සකස් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවයි .

කෙසේ වෙතත් පොහොර ආනයනයට අදාළ සාමාන්‍ය ක්‍රියාවලියට අනුව මෙරටට පොහොර තොග ලැබීම සඳහා මාස 3 ක පමණ කාලයක් ගත වන බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන මාර්තු මාසය පමණ වන විට ගොවීන්ට රසායනික පොහොර බෙදා දීමට හැකි වනු ඇති බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

ගෘහස්ථ එල්.පී. ගෑස් පරීක්ෂාව ප්‍රමිති ආයතනයට

(04.12.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ එල්.පී. ගෑස් හා එහි උපාංග පිළිබඳ ප්‍රමිතිය පරික්ෂා කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමට කටයුතු සිදු කරමින් පවතින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඊට අදාළ ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආනයන පාලකගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි.

මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට තීරණය කෙරුණා.

ගෑස් කාන්දු සිදුවීම් පිළිබඳ සොයාබැලීමට සාම්පල් පරීක්ෂාවක්ද සිදු කළ අතර, ඒ පිළිබඳ මොරටුව සරසවියේ විද්‍යාඥයන්ගේ වාර්තාව බලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ගෘහස්ථ එල්.පී. ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංඝටකවල අනුපාතයන් වෙනස් කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් මෙලෙස ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවීමටයි පියවර ගැනුණේ, ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට අවශ්‍ය ‘එතිල් මර්කැප්ටන්’ රසායනිකය නියමිත පරිදි අඩංගු නොවීම හේතුවක් ලෙස සඳහන් කරමින්.

මේ අතර, දෛනිකව ගෑස් භාවිත කරන ජනතාව සහ හෝටල් ව්‍යාපාරිකයින් පවසන්නේ ගෑස් බෙදා හැරීම සහ අලෙවිය අත්හිටුවීමට ගෙන ඇති තීරණය නිසා ගැටලුකාරි තත්ත්වයක් මතු වී ඇති බවයි ෴

******************************************

මෙරටට ලැබෙන විදේශ රැකියා ඇබෑර්තු අනුමත කිරීම කඩිනම් කිරීමට පියවර

(04.12.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට ශ්‍රමිකයින් බඳවා ගන්නා රටවල තානාපති කාර්යාලවලට එම රටවල නියෝජිත ආයතන මඟින් ඉදිරිපත් කරන රැකියා ඇබෑර්තු අනුමත කිරීමට ගත වන කාලය අවම කරන ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

රටවල් 16 ක විදේශ තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ මඟින් අදාළ රැකියා ඇණවුම් අනුමත කිරීමට සති 2 ත් 3 ත් අතර කාලයක් ගත වන බව සඳහන්.

මේ හේතුවෙන් එරට රැකියා නියෝජිත ආයතන තම රැකියා ඇබෑර්තු ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට යොමුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ නිසා එම අනුමත කිරීමේ කාලය පැය 2 ක දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වන තුන් (3) අවුරුදු සැලැස්මක් සැකසීමට අදාළ ව බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩසටහනකට ඊයේ (03) එක්වෙමින් ෴

******************************************

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25 ක් සමඟ කුලී රථ රියදුරෙකු අත්අඩංගුවට

(04.12.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

පොටෑසියම් පර්-ක්ලෝරයිඩ් නැමති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට ඇතුළු වීමට තැත් කළ කුලීරථ රියදුරෙකු එම වෑන් රථය සමඟ ගුවන් තොටුපොළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු පොලිසියට සඳහන් කර ඇත්තේ, අදාළ වෑන් රථයේ හිමිකරු මීගමුව – කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයෙකු වන අතර, මෙම වෑන් රථයෙන් එම පුපුරණ ද්‍රව්‍ය රතිඤ්ඤා නිෂ්පාදනගාරය වෙත රැගෙන විත් ඇති බවයි.

එහෙත් කටුනායක ගුවන් තොටුපපොළේ සිය කුලී රථයට හිමි ගමන් වාරය ආසන්න වීම නිසා තමන් කඩිනමින් වෑන් රථය ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බැවින් එම පුපුරණ ද්‍රව්‍ය වෑන් රථයෙන් ඉවත් කරගැනීමට අමතක වූ බවයි සැකකරු පොලිසියට සඳහන් කර ඇත්තේ ෴

******************************************

ජනපති අබුඩාබි නුවරට ළඟාවෙයි

(04.12.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

පස් වැනි (5) ඉන්දියානු සාගර සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට ළඟා වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රි 10 ට පමණ ජනාධිපතිවරයා එහි ළඟා වූ බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකට ද එක්වීමට නියමිතයි.

එමෙන්ම ‘පරිසරය, ආර්ථිකය, වසංගතය’ යන්න තේමා කරගනිමින් පස්වරුවේ ඇරඹෙන පස්වන (5) ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාරම්භක දේශණය ජනාධිපතිවරයා විසින් සිදු කිරිමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන් මෙරට ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයන් සිටිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

(04.12.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් පළමු වරට හඳුනාගත් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේද ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවෙන් සොයාගත් පළමු ඔමික්‍රොන් ආසාදිතයා පසුගිය 24 වැනි දා දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඇය නිරෝධායනයට ලක්වෙමින් සිටින විටයි එලෙස නව ප්‍රභේදයේ ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුණේ.

එසේම එම ආසාදිත කාන්තාව කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබානොගත් අයෙකු බවට ද අනාවරණ වුණා.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ, අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් සොයා ගැනීම සම්බන්ධයෙන් ගැටලු හටගෙන ඇති බවයි.

ඇය සහ ඇගේ සැමියා නිසි තොරතුරු ලබා නොදීම හරහා මෙම තත්වය හටගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 725 දෙනෙකු ඊයේ (03) හඳුනා ගැනුණු අතර, කොරෝනා ආසාදිත මරණ 20 ක් ද වාර්තා වුණා ෴

++++++++++++++++

ඔමික්‍රොන් ගැන කලබල විය යුතු නැහැ – මුහුණදීමට සූදානම් වන්නැ යි WHO කියයි

(04.12.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකවාසීන් කලබලයට පත්වීමෙන් පළක් නොවන අතර, ඊට මුහුණ දීමට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධාන විද්‍යාඥවරිය සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කළේ, දැන් ලෝකය නව කොරෝනා ප්‍රභේදයට මුහුණදෙන්නේ මීට වසරකට පෙර පැවති තත්ත්වයට බෙහෙවින් වෙනස් වාතාවරණයක් මැද බවයි.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව රටවල් 40 කට පමණ ව්‍යාප්ත වී ඇති අතර, එය එන්නත්කරණය පහසුවෙන් මඟහරිමින් ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් පෙන්නුම් කරන බව දැන් තහවුරු කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂ මයික් රයන් ජිනීවා නුවර ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, කොරෝනා ප්‍රභේදවලට එරෙහි ක්‍රියාකාරීත්වයක් සහිත එන්නත් අද ලෝකය නිෂ්පාදනය කර ඇති බවයි.

එම එන්නත් ලොව පුරා සාධාරණ අන්දමින් බෙදාහැරීම වසංගතය පාලනය කිරීමේ මග ලෙස ඔහු හැඳින්වූවා.

ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් දැනට නිපදවා ඇති කොරෝනා එන්නත් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතු වී නොමැති බවයි මයික් රයන් අවධාරණය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *