මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අගමැති පවසයි

මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අගමැති පවසයි

*********************************************

මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අගමැති පවසයි

(02.12.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අගමැතිවරයා මේ අදහස් පළ කර සිටියේ, කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති ඇසිදිසි මාධ්‍ය රක්ෂණ ප්‍රදානය කිරීමේ උත්සවය දීයී.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තමන් කිසිදිනක මාධ්‍යයට කිසිවක් සැඟවූයේ නොමැති බවයි.

මාධ්‍යයට යමක් සැඟවීමට උත්සාහ දරන විට ඒ වෙත සෑම විටම වැඩි අවධානයක් යොමු වන බවත් ඔහු කියා සිටියා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වෘත්තීය වශයෙන් නීතිඥවරු හැරුණු විට තමන් වඩාත් සමීපව සිටියේ මාධ්‍යවේදීන් සමග බවයි.

එක්තරා අවස්ථාවක චන්ද්‍රිකා ජනාධිපතිනිය තමන් කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණෙද්දී සිදු කළ කතාවක් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිනිය තමන්ට ‘රිපෝටර්’ කියා ආමන්ත්‍රණය කළ බවයි.

එවිට තමන් කියා සිටියේ තමන් ‘රිපෝටර්’ නොව ‘එඩිටර්’ බවයි.

තමා මාධ්‍යයට කියූ දේවල් රජයට අපහසුතාවක් ඇති නොවන පරිදි සංස්කරණය කර කිවූ බවත් ඔහු කියා සිටියා.

තමන්ගේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් තමන් සමග සිටි බවත් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බලයට පත් වූ පසු මාධ්‍ය තමන් සමඟ නැති බව පවසමින් චෝදනා කිරීම සිදු නොකළ යුතු බවයි.

මාධ්‍යයට ආණ්ඩු පෙරළා දැමීමත්, තැනීමත් කළ හැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍යයට ආණ්ඩුව රැකිය නොහැකිය බවයි.

ආණ්ඩුව රැකගැනීම ආණ්ඩු කරන අයගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.

යම් හෙයකින් මාධ්‍ය ආණ්ඩු රැකීමට කටයුතු කළහොත් මාධ්‍යයට මීටත් වඩා ලොකු රක්ෂණයක් ලබා දීමට සිදුවන බවත් ඔහු කියා සිටියා.

එය මාධ්‍යවේදීන් තේරුම් ගත් ගත්තද ආණ්ඩු කරවන අය තේරුම් නොගන්නා බවයි ඔහු සඳහන් කළේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මාධ්‍ය හරහා සංවර්ධන පුවත් ප්‍රචාරය නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරිය නොහැකි බවයි.

සංවර්ධන පුවත් නැරඹීම්ට පොදුවේ තමන්ද අකමැත්තක් දක්වන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

******************************************

ඇමති අමරවීරගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

(02.12.2021 – 23:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙක (2/3) පමණක් නොව සරල බහුතරය පවා අහිමි විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අනතුරු අඟවනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මේ අතර, පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ නව වැඩපිළිවෙළ ලබන 10 වැනිදායින් පසු ආරම්භ කරන බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

******************************************

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවලට යන ධීවරයන්ට දැනුම්දීමක්

(02.12.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාධාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මධ්‍යම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි.

ඒ අනුව ගිනිකොණදිග සහ මධ්‍යම නැගෙනහිර බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතිනවා.

ඉන් අනතුරුව එළඹෙන පැය 24 තුල එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර ලබන 04 වනදා වන විට ඉන්දියාවේ උතුරු අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත වෙරළට ළඟාවෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50 ක් 60 ක් පමණ දක්වා ඉතා තද සුළං පවතින අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70 ක් පමණ දක්වා වැඩි විය හැකියි.

එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඉදිරි පැය 72 තුල ගිනිකොණදිග බෙංගාල බොක්ක නිරිතදිග බෙංගාල බොක්ක උතුරු ප්‍රදේශය සහ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන්හි ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසට ධීවරයන්ට අවවාද කර තිබෙනවා.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි දැනුම්දෙන්නේ ෴

******************************************

ගෑස් සංයුතිය වෙනස් කිරීම කුමන්ත‍්‍රණයක්.. නඩු දාන්න ගියාම ඇමතිලා දෙන්නා මගේ කට වැහුවා..

(03.12.2021 – 06:17 +0530 – lankacnews.com)

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල සංයුතිය වෙනස් කිරීම සැලසුම් සහගතව කළ අපරාධයක් බවත් එය බරපතළ වංචාවක් බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැනට ඇති ගෑස් භාවිතය ඉතාම අවදානම් බවත් ඊට ප්‍රධාන හේතුව සංයුතිය වෙනස් වීම බව ද ඔහු පැවසීය.

මෙම වංචාව තමන් පසුගිය අප්‍රේල් මාසයේ දී හෙළි කළ ද අදාළ අමාත්‍යවරුන් දෙදෙනා විසින් තමන්ගේ කට වැසූ බවත් නඩු දාන්න ඉඩ නොදුන් බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී මහතා මෙම අදහස් පළ කළේය.

+++++++++

ආයතනයේ ලාභය වෙනුවෙන් මිනී මරන්න සූදානම් වෙන්න එපා! – ලක්මව දියණියෝ ගෑස් සමාගම්වලට කියති

(03.12.2021 – 07:41 +0530 – lankaleadnews.com)

ආයතනවල ලාභය තරකර ගැනීම වෙනුවෙන් මිනී මරන්න සූදානම් වෙන්න එපා! ඒ ලාභය වෙන්වෙන් මේ රටේ අහිංසක අම්මලාගේ දරුවන්ගේ කාන්තාවන්ගේ ජීවිත බිල්ලට ගන්න සූදානම් වෙන්න එපා යැයි ලක්මව දියණියෝ කාන්තා සංගමයේ ජාතික සංවිධායික ප්‍රියංගා කොතලාවල මහත්මිය මාධ්‍ය අමතමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසීය.

“මේ මොහොත කියන්නේ රටේ ජනතාව ඉතාමත් බරපතළ ආකාරයෙන් අර්ථික පීඩනයට ගොදුර වෙලා ඉන්න අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක අහම්බෙන් කතාකළ යුතු මාතෘකාවක් සමාජයේ වැඩියෙන්ම කතාවෙන මාතෘකාවක් බවට පත්කරලා තියෙනවා. ඒ හැම තැනකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම්, ගිණිගැනීම් වාර්තා වෙමින් පවතිනවා. දැන් දවසට 20, 25 දක්වා වාර්තා වෙමින් පවතිනවා. ඊයේ දවසේ විතරක් මෙවැනි සිදුවීම් 46 ක් වාර්තා වෙලා තියෙනවා.

මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත්වෙලා තියෙන්නේ මේ ආර්ථික පීඩනය හමුවේ මහ මෙරක් තරම් දුක් උහුලන අපේ අම්මා. තමන්ගේ අතට හමුවෙන සොච්චමින් මේ මහා ආර්ථික අමාරුකම් තියාගෙන තමන්ගේ දරුවන්ගේ කුස පුරවන අම්මා තමයි මේ ගොදුරු බවට පත්වෙලා තියෙන්නේ.

මේවට වග කියන්නේ කවුද? මේවට වග කියන කිසි කෙනෙක් නැහැ. අපි දැක්කා පසුගිය දවසක රජයේ ඇමතිවරයෙක් කියනවා ගෑස් සිලින්ඩර් එකක්වත් පිපිරිලා නතිලු. දැන් ප්‍රශ්නේ‍ ගෑස් සිලින්ඩර් පිපිරුවේ නැති එකද? දැන් කාන්තාව පුරුදු වෙලා තියෙනවා මුහුණු ආවරණ දාගෙන කෑම උයන්න. සමහර කාන්තාවෝ ගෑස් ලිප් අතහැරලා වෙනත් විකල්ප වලට මාරුවෙලා තියෙනවා. ඒ වෙන මෙකුත් හින්දා නෙවෙයි මරණ බයට.

මේවට කවුද වගකියන්නේ? ප්‍රමිති ආයතනය කියනවා එයාලට අයිති සිලින්ඩර් විතරයිලු. පාරිභෝගික අධිකාරිය තව ඒකක් කියනවා. වෙළඳ කටයුතු අමාත්‍යාංශය මේවා තමන්ගේ නොවෙයි වගේ ඉන්නවා. උපදේශක කාරක සභා කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. කමිටුවල උත්තර කවදා ක්‍රියාත්මක වෙයිද දන්නේ නැහැ. අපි ආණ්ඩුවට කියනවා මේක කමිටු පත්කරලා සති ගණන් ඇදගෙනයන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක හදිසි තත්වයක් මේ හදිසි තත්වයට උත්තර සෙවිය යුතුයි, ඉතා ඉක්මනින් නිවැරදි තීන්දු ගත යුතුයි කියලා.

++++++++

ලිට්රෝ සමාගම නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවයි

(03.12.2021 – 07:38 +0530 – lankaleadnews.com)

ලිට්රෝ සමාගම නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බවයි එම සමාගම පවසන්නේ.

මේ අතර මේ සම්බන්ධයෙන් අප ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. වෑගපිටිය ගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ, සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික රක්ෂණ අමාත්‍යවරයාගෙන් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ෴

******************************************

‘සියල්ලන්ටම ඉහළින් සිටින බවට’ කියා ගන්නා ටී.වී. නාළිකාවක සේවය කළ තවත් කණ්ඩායමක් ස්වර්ණවාහිනියට

(02.12.2021 – 11:06 +0530 – truenews.lk)

කොළඹ ප්‍රධාන ගොඩනැගිල්ලක ඉහළම මහලක පිහිටි ‘සියල්ලන්ටම ඉහළින් සිටින බවට’ කියා ගන්නා ටී.වී. නාළිකාවක තවත් කණ්ඩායමක් ස්වර්ණවාහිනිය සමග එක්ව ඇති බව වාර්තා වනවා.

කලකිරීම් සහ අනිසි බලපෑම් හේතුවෙන් මොවුන් තමන් සේවය කළ ආයතනයෙන් ඉවත්ව ස්වර්ණවාහිනියට එක්ව ඇති බවයි එම වාර්තා මගින් සඳහන් කෙරුණේ.

සියල්ලන්ටම ඉහළින් සිටින බවට කියා ගන්නා නාළිකාවේ සේවකයන්ට දිනකට පැය 11 ක සේවා මුරයක් අනිවාර්යය කර එසේ නොකරන සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට කටයුතු කරන නිසා මානසික පීඩනය දරාගත නොහැකිව එම ආයතනයේ විශාල පිරිසක් කලකිරීමට පත්ව ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් තවත් විශාල පිරිසක් එම නාළිකාවෙන් ඉවත්වීමට සුදානමින් සිටින බවත් ඔවුන් ද ස්වර්ණවාහිනී නාළිකාවට තමන්ව බඳවා ගන්නා ලෙස ඉල්ලීම් කර ඇති බවත් වාර්තා වනවා.

තවත් නාළිකා සමග ද ඔවුන් සේවයට එක්වීම සඳහා සාකච්ඡා කර තිබෙන අතර ඇතැම් සේවක සේවිකාවන් මේවනවිටත් නව රැකියා ස්ථාන සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවට මාධ්‍ය ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිව තිබෙනවා ෴

******************************************

බස්රථවලට අනුමත ඉන්ධන පමණයි – තෙල් සංස්ථාව අනතුරු අඟවයි

(03.12.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

අනුමත ඉන්ධන හැර වෙනත් ඉන්ධන වර්ග භාවිත කරන බස් රථ ඇතුළු සියලු වාහන හිමියන්ට එරෙහි ව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, එලෙස අනුමත නො කළ වෙනත් ඉන්ධන සපයන පිරවුම් හල්වල බලපත්‍ර අත්හිටුවීමට ද පියවර ගන්නා බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කළ යුතු බවට සිදු කළ ප්‍රකාශයට සහ පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම, රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද සභාපතිවරයා කියා සිටියා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් එන්නත් අනිවාර්ය කිරීම මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමක් – නීතිඥවරයෙකුගෙන් පැමිණිලි

(03.12.2021 – 11:01 +0530 – lankaleadnews.com)

කොවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීම පවතින නීතියට අනුව කළ හැකි බවට උපදෙස් ලබා දීම හරහා නීතිපතිවරයා සිදුකර තිබෙන්නේ මනුෂ්‍ය ඝාතනය සඳහා අනුබල දීමක් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කරමින් නීතිපතිවරයාගේ තීරණයට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කොවිඩ් වෛරසය සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සිදු කරන ප්‍රතිකර්ම හා කොවිඩ් එන්නතෙන් ශරීරයට සිදුවන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන නීතිපතිවරයා එන්නත් අනිවාර්ය කළ හැකි බවට උපදෙස් ලබා දී ඇති බව පෙන්වා දෙන නීතිඥවරයා පවසන්නේ එය ස්වයං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි බවයි.

මේ හරහා නීතිපතිවරයා සිය ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැර ඇති බැවින් නීතිපතිවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අරුණ ලක්සිරි මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

නීතිපති සංජය රාජරත්නම් විසින් මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම

  1. කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා කියා ඇත.
  2. ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත ඇති අය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සහ කෝවිඩ් එන්නතෙන් ශරීරයට වන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන සහ නීතිය පිළිබඳව අවධානය යොමු නොකර නීතිපතිවරයා වැරදි ලෙස සිය උපදෙස් දීම සිදුකර ඇත.
  3. නීතිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතිමය උපදෙස් දීමක් වේ.
  4. නීතිපතිගේ මෙම උපදෙස් ලබා දීම මිනීමැරීමට අනුබල දීමක්, ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැරීමක් වන අතර මේ වැරදි ක්‍රියාව කළ. නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිම්.

මෙයට,
විශ්වාසී
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

+++++++++++++++

ඔමික්‍රොන් නැවත ආසාදනය වීම තුන් ගුණයක් ඉහළ බව හෙළි වේ

(03.12.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය නැවත ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා හෝ බීටා ප්‍රභේදවලට සාපේක්ෂ ව තුන් (3) ගුණයක් ඉහළ බව අනාවරණ වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පිරිසක් මේ බව ප්‍රකාශ කළේ, එරට කොරෝනා වෛරස් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙය, ඔමික්‍රොන් ප්‍රභේදය, කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු ලබන ප්‍රතිශක්තිය මඟ හරින බවට ලද පළමු වසංගත රෝග විද්‍යා සාක්ෂිය ලෙස සැලකෙනවා.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තයෙන් ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු (5) හඳුනාගත් බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය වන කැතී හොචුල් ප්‍රකාශ කළා.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් 24 කට ව්‍යාප්ත වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *