බස් ගැමුණු අවම බස් ගාස්තුව රුපියල් 20 කරන්නැ යි ඉල්ලයි – රජය බෑ කියයි

බස් ගැමුණු අවම බස් ගාස්තුව රුපියල් 20 කරන්නැ යි ඉල්ලයි – රජය බෑ කියයි

*********************************************

බස් ගැමුණු අවම බස් ගාස්තුව 20 කරන්නැ යි ඉල්ලයි – රජය බෑ කියයි

(02.12.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නො හැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඒ, ජනවාරියේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, සිය බස් රථවල භාවිත වන ඉන්ධන ප්‍රමිතිය බාල බව පවසමින්.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කොළඹ ඊයේ (01) පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ පෞද්ගලික බස් රථවලින් 25% ක් භූමි තෙල් භාවිතා කරමින් ධාවනය කරන බවයි.

******************************************

තමා ව වහල්කමට ගත් ආණ්ඩුවේ කෙරුවාව ගැන ගීතා හෙළිදරව් කරයි ද ?

(02.12.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

තමන්ගෙන් වහලියක් වගේ වැඩ අරගත් ආණ්ඩුවේ ප්‍රධානින් කිහිප දෙනෙකුගේ ම නම් ළඟදී ම හෙළිදරව් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

“මම කැමැති නෑ මාව කවුරුවත් ‘යූස්’ කරනවට.”

තමන්ට එසේ සැලකුවා නම්, මේ ආණ්ඩුවෙන් කාන්තාවන් වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු විය නො හැකි බව ඇය පවසනවා.

ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් හෙළිදරව් කරනු ලැබුවේ, හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුක සාකච්ඡාවකට එක්වෙමින්.

මිට වසර කිහිපයකට පෙර තමන් මුහුණ දුන් ගෑස් අනතුරේ අමිහිරි මතකයන් ද මෙම සාකච්චාවේ දී ඇය හෙළිදරව් කළා.

වර්තමානයේ රට තුළ සිදු වන ගෑස් අනතුරුවලට රජය වගකිය යුතු බව ද ඇය චෝදනා කරනවා.

තමන්ට වුණු අනතුර කිසිදු කාන්තාවකට සිදු නො විය යුතු බව ඇය හැඬූ කදුලින් ඉල්ලා සිටියා.

මෙම සාකච්ඡාවේ දී ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා මෙනවිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වූ සිදුවීමක් පිළිබඳව ද ඇය විසින් අදහස් පළ කළා.

නමුත් ඒ පිළිබඳ ව ‘හිරු’ කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇයට යම් තරහ යෑමක් සිදු වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් පැවසු බව කියන තවත් වල් කථාවක් මෙහි දී ඇය පැවැසුවා.

සම්පූර්ණ සාකච්ඡාව පහතින් :

******************************************

නෙළුවෙන් මැලේරියා රෝගියෙකු හමුවෙයි

(02.12.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – නෙළුව ප්‍රදේශයෙන් මැලේරියා රෝගියෙකු වාර්තා වී තිබෙනවා.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේ, උගන්ඩාවේ රැකියාව නිරත ව සිට මොහු මීට මාස 3 කට පෙර මෙරටට පැමිණ ඇති බවයි.

ඒ අනුව පසුගිය 27 වැනි දා ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මොහු උඩුගම රෝහලට ඇතුළත් කෙරුණා.

එහි දී සිදු කළ පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ, මෙම පුද්ගලයාට මැලේරියා රෝගය වැළදී ඇති බවටයි.

2012 වසරේ අවසන් වරට මැලේරියා රෝගියෙකු වාර්තා වීමෙන් අනතුරු ව වසර තුනක (3) කාලයක් මැලේරියා වර්ධනය ශුන්‍ය ව පැවතීම හේතුවෙන් 2016 වසරේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නිවේදනය කෙරුණා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දරුවන්ගේ මානසික සෞඛ්‍යය රැක ගැනීමට අවධානය යොමු කරන්නැ යි ඉල්ලීමක්

(02.12.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා සමයේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය රැකගැනීමට අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 744 දෙනෙකු ඊයේ (01) වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,64,733 ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 9578 ක්.

එමෙන්ම මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,372 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (01) තවත් කොරෝනා මරණ 26 ක් වාර්තා වීමත් සමඟයි.

දිනෙන් දින කොරෝනා ආසාදිතයින් වැඩි වීම හේතුවෙන් උත්සව සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.

කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, රට වසා දැමීමට මෙතෙක් කිසිදු සැලසුමක් නොමැති බවයි.

මේ අතර කොරෝනා තත්ත්වය හමුවේ බොහෝ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු සහගත තත්ත්වයකට පත්වීමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

කොළඹ වෛද්‍ය පීඨයේ සායනික මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංජලී ද සොයිසා මහත්මිය කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දරුවන්ගේ මානසික සුවය සඳහා දෙමව්පියන් වෙනස් විය යුතු බවයි ෴

+++++++++++++++++

ෆයිසර් එන්නත් මාත්‍රා 1,82,400 ක් දිවයිනට

(02.12.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,82,400 ක් අද (02) මෙරටට රැගෙන එනු ලැබුවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මේවා දිවයිනට රැගෙනවිත් ඇති අතර, අදාළ එන්නත් තොගය ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණවල තැන්පත් කිරීමෙන් පසු ව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා ෴

++++++++++++++++

ඔමික්‍රෝන් පැමිණීම වැලැක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් වැඩපිළිවෙළක්

(02.12.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් ප්‍රභේදය දිවයිනට පැමිණීම වැලැක්වීමට නම් ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයින් කොරෝනා පරීක්ෂණවලට යොමු කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කළා.

මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,82,400 ක් අද (02) මෙරටට රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මෙරටට පැමිණීමට පැය 72 කට පෙර සිදු කරන කොරෝනා පරීක්ෂණයට අමතර ව දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපොළේ ද කොරෝනා පරීක්ෂනයක් සිදු කළ යුතු බවයි.

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,82,400 ක් අද (02) මෙරටට රැගෙන එනු ලැබුවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මේවා දිවයිනට රැගෙනවිත් ඇති අතර, අදාළ එන්නත් තොගය ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණවල තැන්පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර, නාවුල පොලීසියේ නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව නාවුල ප්‍රදේශයෙන් මේ වනවිට වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 19 ක්.

එමෙන්ම, තාලෙයිමන්නාරම ප්‍රදේශයේ පාසලක සිසුන් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

+++++++++++++++++++

ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් එන්නත් මාත්‍රා මිලියන 2.6 ක්

(02.12.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

එන්නත් මාත්‍රා මිලියන 2.6 ක් සහ අවස්ථා සැපයුම් සහ අත්‍යාවශ්‍ය සේවා වශයෙන් ඩොලර් මිලියන 17.9 ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

ඒ යටතේ, අද (02) පෙරවරුවේ මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2 කට ආසන්න ප්‍රමාණය ද ලබාදුන් බවයි ඔවුන් සඳහන් කළේ.

ඇමෙරිකාව මේ වනවිට රටවල් 100 කට අධික සංඛ්‍යාවකට කොරෝනා එන්නත් මිලියන 240 ක් පරිත්‍යාග ලෙස ලබා දී ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

+++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 341 ක් පූර්ණ සුවයට

(02.12.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සිටි තවත් 341 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,41,124 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මෙරට සක්‍රීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 9237 ක් ලෙස දැක්වෙනවා ෴

++++++++++++++++++++

රට වසා ඔමික්‍රොන්ගෙන් බේරෙන්න බැහැ – සෞඛ්‍ය ලේකම් කියයි

(02.12.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වයිරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනාගැනීමට, පරීක්ෂණාගාර පහසුකම් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

‘ඔමික්‍රෝන් වෛරසය පිටු දැකීමට රට සූදානම්’ ද මැයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළ කෙරුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් යන මහත්වරු ද මෙම වැඩසටහනට එක්ව සිටියා.

මෙතෙක් පැවති කොරෝනා වෛරස ප්‍රභේද 04 ට වඩා ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත්විය හැකි අතර, කොවිඩි වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට වුව ද එය ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දුන්නා.

ඉදිරි සති දෙක තුන (2-3) තුළ ඔමික්‍රොන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇති බව පෙන්වා දුන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ප්‍රතිශක්තිකරණය ඉහළ නම් විකෘති ප්‍රභේදවලට බිය විය යුතු නැති බව ද සඳහන් කළා.

ලෝකයේ රටවල් 24 කින් මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය හමු වී ඇති බවත්, ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන් පසුවන බවත් මෙහිදී අනාවරණය වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැවැන්ත කැපවීම සහ මැදිහත් වීම හේතුවෙන් කොවිඩ් පාලනයෙන් ලෝකයේ ඉහළ තැනකට රට පත්ව ඇති බවත් නව ප්‍රභේදය පාලනයට ජනතා සහාය අත්‍යාවශ්‍ය වන අතර නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ඊට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීම බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.

මෙතෙක් එන්නත් ලබා නොගත් පිරිස් වහාම එන්නත්කරණයට යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු අතර, බූස්ටර් එන්නතකින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බව පැවසූ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවයි අවධාරණය කළේ.

රෝගයට බියවීමට වඩා සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින්, ප්‍රතිශක්තිකරණය පවත්වාගැනීමේ වැදගත්කම ද හෙතෙම පෙන්වා දුන්නා.

දැනට රජය මගින් සිදු කරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක අතර, උත්සව සමයේ සංචරණ සීමා කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා විසින් වැඩිදුරටත් ජනතාව වෙත දැනුම් දෙනු ලැබුවා.

+++++++++++++++++++

කොරෝනා එන්නත් ඇතුළු ප්‍රතිකාර පහසුකම් වෙනුවෙන් රුපියල් බිලියන 113 ක් වැය කෙරේ

(02.12.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් හා එම ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ, ඖෂධ ඇතුළු සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් මේ දක්වා රුපියල් බිලියන 113 ක මුදලක් වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එච්.මුණසිංහ මහතා ප්‍රකාශ කළා.

ඉන් රුපියල් බිලියන 66.39 ක්ම වියදම් කර ඇත්තේ කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් සඳහා බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++

ඉන්දියාවටත් ඔමික්‍රොන් යයි – ආසාදිතයින් දෙදෙනකුත් (2) වාර්තා වේ

(02.12.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් පළමු ඔමික්‍රොන් වයිරස ආසාදිතයින් දෙදෙනකු අද (02) දිනයේදී වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

මෙලෙස වයිරසය ආසාදනය වී ඇත්තේ, කර්නාටක ප්‍රාන්තයෙහි පුද්ගලයින් දෙදෙනකු (2) බවයි වාර්තා වන්නේ.

වයිරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු 66 හැවිරිදි වියෙහි පසුවන අතර, අනෙකා 46 හැවිරිදි වියෙහි පසුවන්නකු වන අතර, මේ වනවිට ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් සොයා එරට සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ වැඩිහිටි ජනගහනයෙන් 49% ක් පමණ මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර, මෙලෙස ඔමික්‍රොන් වයිරසය ආසාදිතයින් එරටින් සොයා ගනු ලැබුවේ පළමු වතාවටයි.

මේ වනවිට රටවල් 29ක ඔමික්‍රොන් වයිරසය සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, එය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 373 ක්.

එමෙන්ම ඔමික්‍රොන් වයිරසය පැතිරී ඇති ලොව 30 වන රට ඉන්දියාව බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 30 වැනිදා ප්‍රකාශ කළේ COVID-19 ට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් නොකළ, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්, මෙම රෝගයට ගොදුරු විය හැකි පුද්ගලයින් ද ප්‍රජා සම්ප්‍රේෂණය සහිත ප්‍රදේශවලට යාම කල් දැමිය යුතු බවයි ෴

+++++++++++++++++++++

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 538 ක්

(02.12.2021 – 18:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 538 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,65,271 ක් ලෙසටයි.

හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 9748 ක් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,41,124 ක්.

මෙරටින් කොරෝනා මරණ 14,399 ක් ද වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++++++

තවත් කොරෝනා මරණ 27 ක්

(02.12.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත මරණ 27 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කළ මෙම මරණ 27 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,399 ක් ලෙසටයි.

ඊයේ (01) තහවුරු කළ මෙම මරණ අතර අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 05 ක් සහ කාන්තාවන් 3 ක් වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 19 ක් වන අතර ඒ පිරිමි 11 ක් සහ කාන්තාවන් 8 ක් වශයෙන්.

මෙරටින් කොරෝනා ආසාදිතයන් 5,65,271 ක් හමුවී ඇති අතර ඉන් 9748 ක් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,41,124 ක් ෴

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 197 දෙනෙකු අද (02) දිනයේදී වාර්තා වී තිබෙනවා. ඒ සමග අද (02) දිනට පමණක් මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 735 ක්. මෙම ආසාදිතයින් සමග මෙරටින් හමුවන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,65,468 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *