නැවේදී ම ගෑස් පරීක්ෂාව අද (02) සිට – ලසන්ත අලගියවන්නගෙන් ප්‍රකාශයක්

නැවේදී ම ගෑස් පරීක්ෂාව අද (02) සිට – ලසන්ත අලගියවන්නගෙන් ප්‍රකාශයක්

*********************************************

නැවේදී ම ගෑස් පරීක්ෂාව අද (02) සිට – ලසන්ත අලගියවන්නගෙන් ප්‍රකාශයක්

(02.12.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ගෙන්වන ගෑස් වරායට ඇතුළු කර ගැනීමට පෙර නෞකා තුළට ම ගොස් අදාළ ආයතන මගින් ඒවායේ ප්‍රමිතිය, තත්ත්වය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ කටයුතු අද (02) සිට ආරම්භ කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එමෙන්ම ගෑස් සමාගම්වල සිට වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ගෑස් සහ සිලින්ඩර පරීක්ෂා කිරීමේ කටයුතු ද අද (02) සිට ආරම්භ කරන බවයි.

එහිදී පූර්ව ආරක්ෂක උපාය මාර්ගයක් ලෙස ගෑස්වලට ගන්ධය ලබා ගැනීම සඳහා එක් කෙරෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව ද පරීක්ෂණ කටයුතු සිදුකරන බව ඔහු කියා සිටියා.

මේ අතර, ඊයේත් (01) දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වී තිබුණා.

නිට්ටඹුව – තිහාරිය, තලවාකැලේ සහ දිඹුල යන ප්‍රදේශවලින් මෙවැනි අනතුරු වාර්තා වූ අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව තිබුණේ නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මෙතෙක් සිදු ව ඇති අනතුරුවල දී ගෑස් සිලින්ඩර පිපිරීයාම් කිසිවක් වාර්තා වී නොමැති බවයි.

ගෑස් නලය, රෙගියුලේටරය හෝ ගෑස් උඳුන් පිපිරී යාමෙන් එම අනතුරු සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා ෴

******************************************

ලිට්‍රෝ ගැස් අලෙවිය අඩුවී ඇති බව ගැස් අලෙවි නියෝජිතයින් ගෙන් ප්‍රකාශයක්

(02.12.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයින් පවසනවා ෴

******************************************

ගෑස් සිද්ධීන් ගැන සොයන ජනපති කමිටුව ගෙන් ගෙට යයි

(02.12.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශණයට හා විසඳුම් සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ කමිටුව, ගෑස් අනතුරු වාර්තා වූ කොට්ටාව, අතුරුගිරිය ඇතුළු ප්‍රදේශවල පිහිටි නිවෙස් අද (02) පරීක්ෂා කළා.

මේ අතර, ඊයේ (01) දිනයේ ගෘහස්ථ ගෑස් ආශ්‍රිත තවත් අනතුරු 35 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියා.

වව්නියාව වේරගම රජයේ සේවක නිවාස ව්‍යපෘතියේ නිවසක කාන්තාවක් ආහාර පිසිමින් සිටි අවස්ථාව්දී ගෑස් උදුන පුපුරා ගොස් තිබෙනවා.

එමෙන්ම කළුතර උතුර – ජාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක මෙන්ම, වේයන්ගොඩ හීන්දෙනිය – පට්ටිගොඩ ප්‍රදේශයේ නිවසක සහ නුවරඑලිය – බඹරකැලේ ප්‍රදේශයේ නිවසක තිබූ ගෑස් උඳුන්ද ආහාර පිසිමින් සිටියදී පුපුරායාමේ සිද්ධීන් වාර්තා වුණා.

නොරොච්චෝලේ ප්‍රදේශයේ ආපණ ශාලාවක ගෑස් උඳුනක් පිපිරී ගොස් තිබූ අතර, පුත්තලමේ නිවසකද ගෑස් උඳුන් පිපිරී ගොස් තිබුණා.

ගෑස් කාන්ඳුවීම්, ගෑස් උදුන් සහ උපකරණ පිපිරීම් හමුවේ ගෑස් සිලින්ඩර අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව ද වාර්තා වනවා.

මේ අතර, ඊයේ (01) මෙරටින් ගෑස් ආශ්‍රිත සිදුවීම් 35 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

ඒ අතරින් 25 ක් ගෑස් උඳුන් ආශ්‍රිත පිපිරීම් වන අතර, ඒවා සියල්ලම මතුපිට වීදුරුව සහිත උදුන් බවයි ඔහු කියා සිටියේ.

ගෑස් කාන්දුවීමේ සිද්ධීන් 09 ක් සහ රෙගියුලේටරය පුපුරා යෑමේ එක් සිද්ධියක්ද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතාගේ සභාපතීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ කමිටුව කොට්ටාව, අතුරුගිරිය ප්‍රදේශවල පිහිටි නිවෙස් පරීක්ෂා කිරීම අද (02) සිදු කරනු ලැබුවා.

මේ අතර ගෑස් ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (01) පැවති විශේෂ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් අද (02) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සභාවේ අවධානය යොමු කළා.

එහිදී සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිතුරු ලබාදුන් අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ද මැදිහත් වුණා.

******************************************

රජය ජනතාවගේ මුළුතැන්ගෙයි ආරක්ෂාව අහිමි කරලා – විපක්ෂ නායක

(02.12.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂාව සහතික කිරීමට පැමිණි ආණ්ඩුවේ නියෝජිතයින් මේ වනවිට මුළුතැන්ගෙයි ආරක්ෂාව අහිමි කළ ගෑස් ප්‍රශ්නය හමුවේ නිහඬව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඒ, හික්කඩුව ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයින් පිරිසක් ඊයේ (01) පස්වරුවේ හමු වු අවස්ථාවේදියි.

******************************************

රිය අනතුරු බහුල හෝරා හතර (4) හෙළි වේ

(02.12.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

මාරක රිය අනතුරුවලට 42% ක් යතුරුපැදි වගකිව යුතු බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

12% ක් ලොරි සහ ටිපර් රථ ඊට ඇතුළත්.

දිනකදී රිය අනතුරු හේතුවෙන් මෙරට මියයන පුද්ගලයින්ගෙන් 40% ක් යතුරුපැදිකරුවන් වන අතර, 30% ක් පදිකයන් සහ 9% ක් පාපැදිකරුවන්.

එසේම, මෙරට අනතුරුවලින් 47% ක්, පස්වරු 6 ත් රාත්‍රී 10 ත් අතර කාලය තුළ සිදු වනවා.

මෙම කරුණු අනාවරණ වුණේ, මාර්ග අනතුරුවලට ලක් වූ වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමී ව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඊයේ (01) පැවති උත්සවයකදීයි.

එහිදී අදහස් දැක් වූ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, හඳුනා නොගත් රිය අනතුරුවලින් මියයන පුද්ගලයින්ගේ යැපෙන්නන්ට සහ තුවාල ලබන වින්දිතයන්ට ගෙවන වන්දි මුදල වැඩි කරන බවයි ෴

******************************************

කඹුරුපිටිය – බණ්ඩාරවත්තේ කාන්තාවකට පොලිස් නිලධාරියෙකු පහර දෙයි

(02.12.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

මාතර – කඹුරුපිටිය – කටුකොටුවිල – බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී ඉඩම් ආරවුලක් මත පොලිස් නිලධාරියෙකු, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් විසින් කාන්තාවකට සහ ඇගේ දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් වාර්තා වුණා.

පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පහරදීමෙන් ඇයගේ හිසට සහ ඇස්වලට බලපෑම් සිදුව ඇති බැවින් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අද මාතර මහ රෝහල වෙත යොමු කිරීමට නියමිත බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මාතර – කඹුරුපිටිය – කටුකොටුවිල – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් සහ ඇගේ 14 හැවිරිදි වැඩිමහල් පුත්‍රයායි.

අදාළ කාන්තාව විසින් නිරවුල් නො වූ ඉඩමක වැසිකිළි වළක් කැපීමට යාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමත් සමඟ මෙම පහරදීම සිදුව තිබුණා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කඹුරුපිටිය පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

එහෙත්, පහර කෑමට ලක් වූ කාන්තාවගේ ඥාතීන් චෝදනා කළේ, පැමිණිලි කිරීම සඳහා කඹුරුපිටිය පොලිසිය වෙත ගිය අවස්ථාවේදී පැමිණිල්ල සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු නො කළ බවට යි ෴

******************************************

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබන 06 යළි කෝප් කමිටුවට

(02.12.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ මස 06 වනදා යළි කෝප් කමිටුව හමුවීමට කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක් ඉදිරි සති දෙක (2) තුළ රැස්වන බවයි.

මැතිවරණ සංශෝධන පිළිබඳ විශේෂ කාරක සභාව සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (02) රැස්වීමට නියමිතයි.

හෙට (03) බලශක්ති අමාත්‍යාංශයේ මෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වනු ඇති ෴

******************************************

දේශනයකට පැමිණි උපදේශකවරයෙකු ඇතුළු 4 ක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

(02.12.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – හාලිඇල ප්‍රදේශයේ පාසලක සිසුන්ට මනෝවිද්‍යා වැඩසටහනක් පැවැත්වීම සඳහා පැමිණි උපදේශකවරයෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් 3 දෙනෙකු වායු රයිෆලයක්, ඊට යොදන උණ්ඩ 129 ක් සහ ගමන් කථන 3 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, කළු පැහැති ඇඳුමින් සැරසී සිටි මෙම පුද්ගලයින් සතුව ගිනි අවියක් ඇති බවට හාලිඇල පොලිසියට ඊයේ (01) තොරතුරක් ලැබී ඇති බවයි.

පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ විද්‍යාලයට ගොස් විමර්ශන සිදු කරන අවස්ථාවේ, අනාවරණ වී ඇත්තේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්වරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය මෙම වැඩසටහනට ගෙන නොමැති බවටයි.

එමෙන්ම අදාළ උපදේශකවරයා කිසිදු ලියාපදිංචි ආයතනයක හෝ එලෙස වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසුකම් ලද්දෙකු නො වන බවටද අනාවරණ වී තිබෙනවා ෴

******************************************

අගමැතිගේ ප්‍රධානත්වයෙන් සමරු මුද්දර දෙකක් (2) සහ මුල් දින කවරයක්

(02.12.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

නත්තල් දින සමරු මුද්දර දෙකක් (2) සහ මුල් දින කවරයක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කර තිබෙනවා.

මෙම මුද්දර හා මුල් දින කවරය පළමුවෙන් තැපැල්පතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී තිබුණා.

අදාළ සමරු මුද්දරය නිර්මාණය කර ඇත්තේ, පාසල් මුද්දර නිර්මාණ තරග අංශයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශවල ජයග්‍රාහක සිසුන් දෙදෙනෙකුගේ (2) චිත්‍ර යොදා ගනිමින්.

සමරු මුද්දර දෙකේ වටිනාකම රුපියල් 45 ක් සහ රුපියල් 15 ක් වනවා ෴

******************************************

රාජ්‍ය සේවකයින් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(02.12.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

අයවැය සම්මත වීමට පෙර රජයේ සේවකයින්ට අවම වශයෙන් රුපියල් දස දහසක (10,000) දීමනාවක් ලබා නොදුන හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහනුවර – අලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙවර අයවැයෙන් කිසිදු වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයින්ට ලබාදී නොමැති බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති හෙයින් දීමනාවක් ලබාදීම රජයේ වගකීම බව ද ඔහු සදහන් කළා ෴

******************************************

හෙරොයින් සමඟ රත්මලානේ අන්ජුගේ ගෝලයින් දෙදෙනෙකු (2) අත් අඩංගුවට

(02.12.2021 – 10:38 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන, ‘රත්මලානේ අංජු’ ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයින් දෙදෙනෙකු (2) විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වී තිබෙනවා.

ඊයේ (01) වන දින ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

විදෙස්ගත ව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සිංහාරගේ අමල් චමින්ද සිල්වා’ නොහොත් ‘රත්මලානෙ කුඩු අංජු’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සමීපතමයෙකු වන ‘එදිරිමුණි ඉන්දික සුරංග සොයිසා’ නොහොත් ‘ලංසියාවත්තේ සුද්දා’ හා ‘පල්ලගේ කිත්සිරි ප්‍රේමලාල් සිල්වා’ යන අයයි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකරුවන්, මනුෂ්‍ය ඝාතන පහක් (5) සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම හේතු කොටගෙන රක්ෂිත බන්ධානාගාරගත කර ඇපමත මුදා හැර සිටින රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34, 39 පසුවන පුද්ගලයින් දෙදෙනෙක් (2).

අත් අඩංගුවට ගන්නාවිට සැකකරුවන් සතු ව හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 110 ක් හා කේරළ ගංජා ග්‍රෑම් 46 යි මිලි ග්‍රෑම් 400 ක් තිබී සොයාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් මෙහෙයවෙනු ඇති ෴

******************************************

අසාද් සාලි නිදහස් කෙරෙයි

(02.12.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලැබ මාස 8 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (02) නියම කළා.

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්ම්වලට පවතින සංහිදියාව බිදී යන අකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන අකාරයෙන් ප්‍රකාශ සිදු කර ඇති බව ඔප්පු කිරිමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොර ව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරුවරයා තීන්දු කළේ.

ඉකුත් මාර්තු මස 09 වන දා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ‘අපේ නීතිය අපිට. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට. ඒවායෙ හරි වැරදි බලන්නේ අපි. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ’ යනුවෙන් ප්‍රකාශයක් සිදු කර තිබූ බවට නීතිපතිවරයා ගොනු කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කර තිබුණා.

මේ අතර තමන්ට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් සිදු කිරීම වෙනුවෙන් පැමිණිලිකරුවන්ගෙන් වන්දි අය කර දෙන ලෙස අසාද් සාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව එම නඩුවේ පැමිණිල්ල ඉදිරිපත් කළ මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන වසරේ පෙබරවාරි මස 21 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නොතීසි නිකුත් කළා ෴

******************************************

නාට්ටාමිවරුන් දෙදෙනෙකු (2) අතර ආරවුලකින් අයෙකු මරුට

(02.12.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – අඹගහමුල ප්‍රධාන බස් නැවතුම්පොළේ දී නාට්ටාමිවරුන් දෙදෙනෙකු (2) අතර ඇති වූ ආරවුලකින් 37 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, කාන්තාවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් අතරතුර මුගුරකින් පහර දී ඊයේ (01) රාත්‍රියේ මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ – විහාර පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මිය ගිය පුද්ගලයා මාතලේ – සුදුගඟවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

******************************************

වැවිලි කර්මාන්තයෙන් ඇ.ඩො. බිලියන 4 ක් අපේක්ෂාවෙන්

(02.12.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

මෙම වසර තුළ වැවිලි කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ආදායමක් බලාපොරොත්තු වන බව වැවිලි අමාත්‍යාංශය නිවේදනය කළා.

එමෙන්ම, ලබන වසරේ සිට සෑම නිවසකටම පොල් පැළ දෙක (2) බැගින් සහ ගෙවතු මිශ්‍ර වගාව සඳහා ඉදිරියේදී කුරුඳු, ගම්මිරිස් සහ පුවක් පැළ ලබාදීමට ද කටයුතු කරනු ඇති බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *