මින් ඉදිරියට සවස 04:15 න් පසු සිදු වෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථාවත් කරන්නේ නැහැ – විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර

මින් ඉදිරියට සවස 04:15 න් පසු සිදු වෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථාවත් කරන්නේ නැහැ – විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර

*********************************************

මින් ඉදිරියට සවස 04:15 න් පසු සිදු වෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථාවත් කරන්නේ නැහැ – විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර

(01.12.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

ජාතික විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණද රටේ සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් ඔවුන් වහාම ක්‍රියාත්මක වී ඒවා යථාවත් කිරීමට කටයුතු කළ බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩු මහතා පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට විදුලි බල මණ්ඩල සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අනුගමනය කරන අමනෝඥ වැඩපිළිවෙළ නිසා මින් ඉදිරියට සවස 04:15 න් පසු සිදු වෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථාවත් කිරීමට කටයුතු නොකරන බව බවයි ඔහු පවසන්නේ.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා කියා සිටියේ මේ වනවිටත් විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙකු (2) කිසිදු සාධාරණ හේතුවකින් තොරව සභාපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇති බවයි.

යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ‘ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගම’ට පවරාදීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටයි විදුලි ඉංජිනේරුවන් මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වී ඇත්තේ.

මේ වන විටත් මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි ඉංජිනේරු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියා සිටියේ සිය සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයකට යොමු ව සිටිය ද පසුගිය දා සිදු වූ බරපතළ විදුලිය බිඳ වැටීම යථාවත් කිරීමටත් මුළු රැය පුරා වෙහෙසී කටයුතු කළ බවයි.

නමුත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට විදුලිබල මණ්ඩල සභාපතිවරයා මේ ආකාරයෙන් අනවශ්‍ය මැදිහත්වීම් සහ බාධා කිරීම් සිදු කරන්නේ නම් එය තවත් දඩි කරනු විනා වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

******************************************

එස්.බී. දිසානායක කොතලාවල පනත ඉල්ලයි

(01.12.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

උසස් අධ්‍යාපනය රටට ආදායම් උපදවන ක්ෂේත්‍රයක් බවට පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට අද (01) එක්වෙමින් ඔහු කියා සිටියේ විරෝධතාවලට බිය නොවී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතද සම්මත කරගත යුතු බවයි.

******************************************

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති රිමාන්ඩ්

(01.12.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ 21 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පොලීසියට භාර වූ එහි හිටපු විදුහල්පති ගාමිණි ජයවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (02) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (01) නියෝග කළා ෴

******************************************

භාණ්ඩ ආනයන හැකියාව තවත් සති පහමාරකට පමණයි – ජවිපෙන් හෙළිදරව්වක්

(01.12.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ ආනයනය සඳහා විදෙස් සංචිත පවතින්නේ තවත් සති පහමාරකට (5½) පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

******************************************

කොටි වළ දැමූ රත්‍රං ගොඩ ගැනීමට ගිය ඇමති ලේකම්වරුන් දෙදෙනෙකු (2) ගැන විමර්ශන

(01.12.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය විසින් මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වලදමා ඇති බව කියන රත්‍රං තොගයක් රහසිගතව ගොඩගැනීමට තැත් කළ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු (2) ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් ලේකම්වරුන් දෙදෙනෙකු (2) පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට අයත් ලේකම්වරුන් දෙදෙනෙකු (2) බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධ බව කියැවෙන සිය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බවයි.

එමෙන්ම, එම වාර්තා හා සිද්ධීන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය මගින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළ දමා ඇතැයි කියන රත්‍රං තොගයක් අධිකරණ නියෝග අනුව පසුගිය මස 25 වනදා ගොඩගැනීමට නියමිතව තිබුණා.

නමුත් පසුගිය දින කිහිපයක් පුරා අදාළ ප්‍රදේශයේ මහවිරු සැමරුම්වලට අදාළ තත්ත්වයන් නිසා කැණීම් කටයුතු හෙට (02) දිනය දක්වා කල් දමා එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබූ බව සඳහන්.

ඒ අතරතුර පසුගිය 23 වනදා පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසින් හැඳින්වෙන පුද්ගලයෙකු හා ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ ‘අපි ඔය පැත්තෙ එනවා. ආවට පස්සෙ හමුවෙමු’ යනුවෙන්.

අනතුරුව, පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට අදාළ දිනයේදී ඔවුන් ගොස් සඳහන් කර ඇත්තේ, තමන් සැලසුම් කළ කැණිම් කටයුත්තක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බැවින් නොවැම්බර් 25 ට පෙර එය කිරීමට සහය වන ලෙසයි.

කෙසේ වෙතත්, පසුව පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාපතිවරයා විසින් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර තිබුණා.

මේ අතර, සිදුවීම සම්බන්ධයෙන් උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා විසින් පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තාවක් ද යොමුකර තිබෙනවා.

******************************************

සෑම ඩොලරයකටම මහ බැංකුවෙන් අමතර රුපියල් 10 ක්

(01.12.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

විදේශගත ශ්‍රී ලාංකිකයින් එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම අමතර රුපියල් 10 ක මුදලක් ලියාපදිංචි බැංකු මගින් ගෙවීමට කටයුතු යොදා ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ මුදල් සම්ප්‍රේෂණය වන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ද තමන් උපදෙස් ලබා දී ඇති බවයි.

++++++

ශ්‍රී ලංකා මහ බැංකුව ‘විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය’ පිළිබඳව මෙහෙයුම් උපදෙස් නිකුත් කරයි

(01.12.2021 – cbsl.gov.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ‘විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය’ යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සදහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කර, 2021.12.01 සිට 2021.12.31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා එ.ජ. ඩොලරයකට රුපියල් 8.00 ක අමතර දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව, 2021 දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා ලැබෙන මුළු දිරි දීමනාව එ.ජ. ඩොලරයකට රු. 10.00 කි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන අතිරේක දිරිගැන්වීම් හේතුවෙන් විධිමත් බැංකුකරණ මාර්ග ඔස්සේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය වනු ඇතැයි ද, එමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. ඒ අතරම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් පියවර ගනිමින් සිටින අතර, එමගින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇත ෴

මාධ්‍ය නිවේදන (pdf)

******************************************

ගෑස් ආශ්‍රිතව සිදුවන අනතුරුවලට වගකිවයුත්තන් අනාවරණ කිරීම රජයේ වගකීමක් – ගීතා කුමාරසිංහ

(01.12.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිතව සිදුවන අනතුරුවලට වගකිවයුත්තන් අනාවරණ කිරීම රජයේ වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

++++++++

******************************************

භාරතීය කෑම උයන ඇමති බැසිල්

(01.12.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක් අරඹමින් ඊයේ (30) එරටට ළඟා වුණා.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ විසින් අමාතවරයා පිළිගනු ලැබුවා.

බැසිල් රාජපක්ෂ අද (01) සහ හෙට (02) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රජයේ වෙනත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සමග සාකච්ඡා පවත්වනු ඇති.

ඉන්දියාවේ පුවත්පතක් වන හින්දු පුවත්පත වාර්තා කළේ, සංචාරක කර්මාන්තය වෙනුවෙන් සහයෝගය ලබාගැනීම, හීනවන විදේශ සංචිත ශක්තිමත් කරගැනීම ඇතුළු සහයෝගීතාව එහිදී අමාත්‍යවරයා අපේක්ෂා කරනු ඇති බවයි.

මේ අතර, බැසිල් රාජපක්ෂ එහිදී ඉවුම් පිහුම්වල යෙදෙන අයුරු ද දැකගත හැකි වුණා.

******************************************

ආණ්ඩුවේ ප්‍රශ්නවලට හේතුව මන්ත්‍රී චන්දිම හෙළි කරයි

(01.12.2021 – 23:25 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දී සිටින ගැටලුවලට ප්‍රධාන හේතුව ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ උගතුන් හා බුද්ධිමතුන්ගේ උපදෙස් ලබා නොගැනීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තවත් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

******************************************

******************************************

******************************************

වසර 22 ක් රට වෙනුවෙන් කැපවී ආබාධිතවූ රණවිරුවා වසර 13 ක් තිස්සේ බිරිඳ බේරාගැනීමේ සටනක

(01.12.2021 – 17:41 +0530 – sinhala.adaderana.lk)

වසර 22 ක් මව්බිම රැකගැනීම වෙනුවෙන් දිවි දෙවැනි කොට සේවය කළ යුද හමුදා විශ්‍රාමික ආබාධිත රණවිරුවෙකුගේ සංවේදී කතාවක් අපට වාර්තා විය.

ඔහු මේ වනවිට තම ආදරණීය බිරිඳගේ දිවි රැකගැනීමේ සටනක නිරතවෙමින් සිටී.

ඒ ඇය වසර 13 ක් තිස්සේ පීඩාවිඳි වකුගඩු රෝගය හේතුවෙනි.

මෙම සංවේදී කතාව වාර්තා වූයේ ගලේවෙල අළුත්වැව බඹරගස්වැව ප්‍රදේශයෙනි.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන එච්.එම්.සී.ටී. විජේරත්න මහතා ත්‍රස්තවාදීන්ට එරෙහි මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවකදී ප්‍රහාරයකට මැදිවී හිසට වෙඩි වැදී පාදයක් ද අහිමිවී තිබුණි.

යුද හමුදාවේ 9 වෙනි සිංහ රෙජිමේන්තුවේ සේවය කළ ඔහු කා අතරත් ජනප්‍රිය වී සිටියේ ‘අලි පැටියා’ නමින්ය.

ඒ අනුව වසර 22 ක සේවා කාලයෙන් පසුව දරු තිදෙනා (3) සහ බිරිඳ සමඟ සතුටින් ජීවත්වීමට වීශ්‍රාම ගිය මෙම යුද හමුදා සෙබළාට අද අත්වී ඇත්තේ නොසිතූ ඉරණමකට මුහුණ දෙන්නටය.

විජේරත්න මහතාගේ බිරිඳ වන කේ.ජී. ශ්‍රියානි කුමාරි මහත්මිය තුන්වැනි (3) දරුවා බිහිකිරීමට සූදානම් වෙද්දී වකුගඩු රෝගියෙකු බවට හඳුනාගෙන තිබුණි.

ඇය දැනට වසර 5 ක පමණ කාලයක සිට සතියට දෙවතාවක් (2) රුධිරය මාරු කරගැනීමෙන් ජීවිතය ගැටගසාගෙන සිටින්නීය.

විජේරත්න මහතා සඳහන් කළේ ඒ සඳහා වරකට රුපියල් 5,000 ක් පමණ මුදලක් වැයවන බවත් සිය පවුලේ තත්ත්වය අනුව එම මුදල දරාගැනීම ඉතා අපහසු බවය.

ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් සිය ත්‍රීරෝද රථයත් උකසට තබා ඇති බවත් දරුවන් තිදෙනාගේ (3) අධ්‍යාපන කටයුතු පවා සිදුකරගෙන යන්නේ දැඩි අපහසුතා රැසක් මධ්‍යයේ බවය.

සිය පවුල පත්වී ඇති තත්ත්වය ගැන දැඩි වේදනාවෙන් කතා කළ විජේරත්න මහතා ඉල්ලා සිටින්නේ හැකි අයෙක් වේ නම් පුංචි පිහිටක් හෝ ලබාදෙන ලෙසය.

සිය බිරිඳව වෛද්‍යවරයෙකු වෙත පෙන්වා ඇයට සුදුසු ප්‍රතිකාර ලබාගැනීමට සහයෝගය දෙන මෙන් ද ඔහු ඉල්ලයි.

සිය මතකය අවදි කරමින් විජේරත්න මහතා සඳහන් කළේ,

“මා සමග සිටි මිතුරා මා ඉදිරියේදීම ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මියගියා. පසුව ඔහුගේ නිවසේදී මිතුරාගේ මව කරන ලද ඉල්ලීමකට දැන් විවාහවී සිටින බිරිඳ ශ්‍රියානි කුමාරි හමුවුණා. ඇය මිතුරාගේ නැගණිය. කවදාවත් දැකලා නැති ඇයව මම විවාහ කරගත්තේ මිතුරාට තිබූ ගෞරවය නිසා. ඔහු ඇයව පණ මෙන් ආරක්ෂා කළා. මම ඒක දැනන් හිටියා.”

( එච්.එම්.සී. ටී.විජේරත්න – 076 126 3394 )

******************************************

බැසිල්ගේ වස්ත්‍ර ගලවපු මාධ්‍ය හමුව – රාජ්‍ය සේවකයින් රටට බරක් – බැසිල්ගේ ප්‍රකාශයක ඉල්ලා අස්කරගනු (01.12.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *