IMF කොන්දේසි පිළිබදව මහ බැංකු අධිපති කළ ප්‍රකාශ ගැන නිවැරදි තොරතුරු රටට හෙළි කරන්න – එජාපය

IMF කොන්දේසි පිළිබදව මහ බැංකු අධිපති කළ ප්‍රකාශ ගැන නිවැරදි තොරතුරු රටට හෙළි කරන්න – එජාපය

*********************************************

IMF කොන්දේසි පිළිබදව මහ බැංකු අධිපති කළ ප්‍රකාශ ගැන නිවැරදි තොරතුරු රටට හෙළි කරන්න – එජාපය

(01.12.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිබඳව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රටට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කර සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ දී යෝජනා කර ඇති කොන්දේසි මොනවා ද යන්න මහ බැංකු අධිපතිවරයා රටට හෙළි කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ පවසන්නේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ගියහොත් ශ්‍රී ලංකා රුපියල මුදල් ඒකකය 30% කින් අවප්‍රමාණය කිරීමට සිදුවන බවත් රජයේ රැකියා අඩු කිරීමට සිදුවන බවත් පසුගියදා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ඉල්ලීම් කර ඇත්තේ කොහේද?

2009 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹුණු අතර, එම අවස්ථාවේ දී කබ්රාල් මහ බැංකු අධිපතිවරයා වූ අතර ඔහු එවැනි ගිවිසුමකට විරුද්ධ වූයේ නැත.

මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ඔහු විරුද්ධ වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ බැංකු ඩොලර් හිඟයකට මුහුණ පා සිටින අතර අද පුරවැසියන්ට බැංකුවලින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවයි දිනුක් කොළඹගේ පවසන්නේ.

කළු වෙළඳපොළෙන් ඩොලර් මිලදී ගැනීමට පුරවැසියන්ට සිදුවී ඇති අතර එහිදී ඔවුන්ට ඩොලරයක් වෙනුවෙන් රුපියල් 240 ක් මුදලක් ගෙවීමට සිදුවී තිබෙනවා.

නමුත් බැංකු විසින් ප්‍රචාරය කරන අනුපාතය පුරවැසියන්ට මිල දී ගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ක්ෂය වී ඇති විදේශ සංචිත සම්බන්ධයෙන් රජයේ උපාය මාර්ගය ඉදිරිපත් කරන ලෙස ඔහු මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

2019 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඩොලර් බිලියන 07 ක විදේශ සංචිතයක් සමඟ රජය භාර දුන්නා.

වසර දෙකක (2) කාලය තුළ මේ රජය අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.3 දක්වා අඩු කර තිබෙනවා.

විදේශ මුදල් නොමැතිව මේ රජය ආහාර, බෙහෙත් සහ ඉන්ධන සඳහා ගෙවන්නේ කෙසේද? යන්න පිළිබඳවද දිනුක් කොළඹගේ ප්‍රශ්න කර සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට රජය උනන්දු නොවන්නේ නම්, ආර්ථික ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා විකල්ප සැලැස්මක් මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවයි ඔහු පවසන්නේ.

පුද්ගල පක්ෂග්‍රාහී මත පදනම්ව නොව මහජනතාවගේ අවශ්‍යතා මත තීරණ ගැනීමේ වගකීම මේ රජයට ඇති බවයි ඔහු පැහැදිලි කළේ.

මහජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින අතර මේ රජය ගත යුතු පළමු පියවර වන්නේ විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීම බව දිනුක් කොළඹගේ පැවසුවා.

එමෙන්ම ඔවුන්ට මෙය කළ නොහැකි නම්, රටේ අනෙකුත් බොහෝ ප්‍රශ්න නොවිසඳී පවතිනු ඇති බව අවසන් වශයෙන් ඔහු අවධාරණය කළේ ෴

******************************************

හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදලේ සංශෝධනයක්

(01.12.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ (2,00,000) සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් (2,50,000) දක්වාත්, බරපතළ තුවාල ලබන වින්දිතයින්ට රුපියල් ලක්ෂයේ (1,00,000) සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස (1,50,000) දක්වාත් වැඩි කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබාදුන් උපදෙස් මත මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අපරික්ෂාකාරී රිය ධාවනය, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය, ජංගම දුරකථන භාවිත කරමින් ධාවනය ආදී අනාරක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කිරීම, ප්‍රමිතියකින් නොමැති හිස් ආවරණ පැලඳීම ආදිය ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු බහුල වීමට හේතු වී තිබෙනවා.

මාරක රිය අනතුරුවලට වගකිවයුතු වාහන අතර 42% ක් යතුරුපැදි වන අතර, 12% ක් ලොරි සහ ටිපර් රථ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිනකදී මියයන පුද්ගලයින්ගෙන් 40% ක් යතුරුපැදිකරුවන් වන අතර 30% ක් පදිකයන් හා 9% ක් පාපැදිකරුවන් බව දත්තවලින් හෙළි වනවා.

මේ අතර, අනතුරුවලින් 47% ක් සවස 6 ත් රාත්‍රී 10 ත් අතර කාලය තුළ සිදු වන අනතුරු බවටයි වාර්තා වන්නේ.

මෙම කරුණු හෙළි වූයේ, මාර්ග අනතුරුවලට ලක් වූ වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයකදීයි.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (01) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවති මෙම සැමරුම් උත්සවයේදී මාර්ග ආරක්ෂාව, රිය අනතුරු අවම කරගැනීම හා පදිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කටයුතු කළ ක්‍රියාකාරී පුද්ගලයින්ට සමරු සහ මුල්‍ය සහන ලබාදීම සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු 50% කින් අඩු කිරිම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව විසින් සකසන ලද ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීම ද මෙහිදී සිදු කරනු ලැබුවා ෴

******************************************

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මළසිරුරක් සොයා ගැනේ

(01.12.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

යාපනය – චාවකච්චේරි පොලිස් වසමේ තනංකිලිප්පු, අරුකුවේලි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී, හිටපු ද්‍රවිඩ ජාතික සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මළ සිරුරක් අද (01) උදෑසන සොයාගත් බවට චාවකච්චේරි පොලීසිය පවසනවා.

මෙලෙස නිවසක් තුළ දී මිය ගොස් ඇත්තේ, වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ 51 හැවිරිදි සුබ්‍රමිණියම් සිවපාලන් නමැත්තෙක්.

ජීවිතක්ෂයට පත් වූ මෙම මන්ත්‍රීවරයා අරකුවේලි ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේ තනිවම කාලය ගත කොට ඇති බවටත්, මියයාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතරම නිවසේ සිටින අතරතුර කිසියම් අසනීප තත්ත්වයක් ඇති වී මිය යන්නට ඇති බවටත්, පොලීසිය සැක පළ කරනවා.

අදාළ නිවසින් දැඩි දුර්ගන්ධයක් හැමීම හේතුවෙන් ප්‍රදේශවාසියෙකු විසින් ඒ පිළිබඳව චාවකච්චේරි පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් නිවසට පැමිණ පරික්ෂා කිරීමෙන් පසුව මෙම මළසිරුර සොයාගනු ලැබුවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාළ නිවසට ගොස් පරික්ෂා කර ඇති අතර, මළ සිරුර මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කොට ඇති බවත්, පී.සී.ආර්. පරික්ෂණයක් ද සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පවසනවා ෴

******************************************

ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරනවා – මහින්ද රාජපක්ෂ

(01.12.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රාත්‍රියේ දී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණා.

මෙම සුවිශේෂි හමුව සහ රාත්‍රි භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ආරාධනාව අනුවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පැමිණි සිටි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත වුණා.

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග මෙහි පැමිණ සිටි තානාපති හා මහ කොමසාරිස්වරුන්ගේ ඇගයීමට ලක්වුණා.

ඉස්ලාමීය රටවල් සමඟ දැනට පවතින ද්විපාර්ශවික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම සම්බන්ධයෙන් තානාපතිවරු මෙහි දී අදහස් පළ කළා.

වසංගත තත්ත්වය හමුවේ අභියෝග ජයගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වත්මන් රජය දරණ වෙහෙස පිළිබඳව මෙහි දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පැහැදිලි කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බව මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ ප්‍රකාශ කළා.

ඉස්ලාමීය රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකා තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 15 දෙනෙකු මෙම හමුවට එක්ව සිටියා ෴

******************************************

ජාතික පුස්තකාල සහ තවත් මහජන පුස්තකාල 25 ක් ඩිජිටල්කරණයට

(01.12.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25 ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස සංවර්ධනය කර තිබෙනවා.

ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ‘ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය’, ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය’ හා අදාළ පළාත් පාලන ආයතන අතර ඊයේ (30) සිදු කෙරුණා.

නවීන ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වාදීම මගින් ජාතික පුස්තකාල ජාලය ස්වයංක්‍රීය කිරීම මෙමගින් සිදු කෙරෙනු ඇති.

මෙම පුස්තකාලවල සියලුම ග්‍රන්ථ සුචි තොරතුරු පද්ධතියකට එක් කිරීම තුළින් මහජනතාවට තමන්ට අවශ්‍ය පරිශීලක පොත් පිළිබඳ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමේ හැකියාව ද ලැබෙනවා.

ඉදිරියේ දී අවශ්‍ය පොත් කල්තියා වෙන්කර ගැනීමට ද මෙමගින් පහසුකම් ලැබෙන අතර, මේ සඳහා ලෝකයේ වඩාත් ප්‍රචලිත කොහා (KOHA) විවෘත මෘදුකාංග පද්ධතිය භාවිතා කෙරෙනවා.

අවශ්‍ය දත්ත ගබඩා කිරිම හා හුවමාරුව ‘ලංකා රාජ්‍ය මේඝය’ (LGC) මගින් සිදු කෙරෙන අතර, මේ සඳහා අවශ්‍ය තාක්ෂණික පද්ධති නිර්මාණය පුහුණු හා සේවා පහසුකම් සැපයීම ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය’ මගින් සපයනු ලබන බව ද වාර්තා වනවා ෴

******************************************

එල්.පී. ගෑස් පිපිරීම් : වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක්

(01.12.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

දින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි (? ගෑස් ලිප්) පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (01) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තුවේදී ඊයේ (30) විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව සහ තවත් පාර්ශව කිහිපයක් සම්බන්ධකරගෙන මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහායි මෙම විශේෂ රැස්වීම පැවැත්වුණේ.

මේ සඳහා වෙළඳ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන රැසක නිළධාරීන් මීට එක්ව සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කිහිපයක් මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළ අතර හැකි ඉක්මනින් මේ සඳහා පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද යන්න සහ ගෑස්වල ගඳ සුවඳ පිළිබඳ පරීක්ෂා කර වාර්තාවක් ලබාගෙන ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තා සති දෙකක් (2) ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද, මෙරටට ගෙන්වන ගෑස් රටට ඇතුලු කිරීමට පෙර නැව තුළදීම ප්‍රමිතිය පරීක්ෂාකිරීම පිළිබඳවද යම් යම් එකඟතාවයන්ට පැමිණීම මෙහිදී සිදුවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

+++++++++++

එල්.පී. ගෑස් පිපිරීම් : ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයෙන් නිවේදනයක්

(01.12.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර කිසිදු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට එම ආයතනයට බලයක් නොමැති බවද එහි සඳහන්ව තිබෙනවා.

මේ අතර කපාට, රේගියුලේටර් සහ නම්‍යශීලී හෝස් සඳහා නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය කර ඇති අතර එහි අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ වගකීම බව ද එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

+++++++

01-12-2021

******************************************

With Prof. Rohan Gunarathne – Zahran’s farewell statement – Cyber Conference (01.12.2021)

++++++++

29-11-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *