මංගල උත්සවයකට 200 කට අවසර

මංගල උත්සවයකට 200 කට අවසර

*********************************************

මංගල උත්සවයකට 200 කට අවසර

(01.12.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

අද (01) සිට මේ මස 15 වැනි දා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සවයක් සඳහා ශාලා ධාරිතාව තුනෙන් එකක් (1/3) නො ඉක්මවන පරිදි උපරිමය අමුත්තන් 200ක් සහභාගි කරගත හැකියි.

එළිමහන් විවාහ උත්සව සඳහා පුද්ගලයින් 250 දෙනෙකු සහභාගි කරගත හැකි වනවා.

සිනමාශාලා සඳහා එක් දර්ශන වාරයක් සඳහා එහි ආසන ධාරිතාවයෙන් 75%කට අවසර හිමිවන අතර, කාර්යාල සහ වෘත්තිමය හමුවීම් 150කට සීමා කර තිබෙනවා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 722කු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 563989 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණි තුන්දෙනෙකු ද වනවා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 9256ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේ දා සිදු වූ බවට ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 18ත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14 දහස් 346ක් දක්වා ඉහළ ගියා ෴

කොරෝනා වයිරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 396 දෙනෙකු අද (01) දිනයේදිත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන වයිරසය ආසාදනය වී සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,40,783 ක් ෴

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 559 දෙනෙකු අද (01) දිනයේදී හඳුනාගෙන ඇතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා ෴

කොරෝනා වයිරසය ආසාදිත මරණ 26 ක් අද (01) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම මරණ 26 අතරට කාන්තා මරණ 15 ක් සහ පිරිමි මරණ 11 ක් ඇතුළත්. ඒ සමග මෙරට කොරෝනා ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,372 ක් ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 185 දෙනෙකු අද (01) දිනයේදී තහවුරු වී තිබෙනවා. ඒ අනුව අද (01) දිනට පමණක් මෙරටින් වාර්තාව ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 774 ක්. මෙම ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5″64,733 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

අප්‍රිකාවෙන් හමුවීමට පෙර ඔමික්‍රොන්, යුරෝපයේ තිබූ බවට තොරතුරු

(01.12.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමු වූ රටවල් සංඛ්‍යාව මේ වන විට 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, නෙදර්ලන්ත වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනාවරණ කළේ, මෙම වයිරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වීමට පෙර යුරෝපයේ තිබූ බවයි.

ලොව පුරා ඔමික්‍රොන් ප්‍රභේද සහිත ආසාදිතයින් 169 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, මෙම ප්‍රභේදය ගැන සෙවීමට වඩා වැදගත් වන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය මඟින් රෝග ව්‍යාප්තිය අවම කරගැනීම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, වව්නියාව – පුදුකුඩුඉරිප්පු ගණදෙවි කෝවිලේ ප්‍රධාන කුරුක්කල් එස්. කන්දසාමි කොරෝනා ආසාදනය වීමෙන් අද (01) මියගොස් තිබෙනවා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කල්‍යාණි රන් පිවිසුමට නව මාර්ග සැලැස්මක්

(01.12.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා විවෘත කෙරුණු නව කැලණි පාලම ආශ්‍රිත මාර්ග සඳහා විධිමත් රථවාහන මාර්ග සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රියදුරන්ට මාර්ග හඳුනා ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන අපහසුතාවය සහ ඒ සමග ඇතිවන වාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම මාර්ග සැලැස්ම හඳුන්වා දෙන බවයි.

නව කැලණි පාලම හරහා ගමන් කිරීමට අවසර හිමි වන්නේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අවසර ඇති වාහන සඳහා පමණයි.

එමෙන්ම මෙහි වරාය පිවිසුම් මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු තවදුරටත් සිදු කිරීම හේතුවෙන් දැනට එම මාර්ගය හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ කොළඹ වරායට ඇතුලු වීමට බලපත්‍ර හිමි වාහන සඳහා පමණයි.

කොලඹ දෙසට පැමිණෙන සෙසු වාහන වරාය පිවිසුම් මාර්ගයට ඇතුලු නොවී සිරිමාවෝ බණ්ඩාරනායක මාවතෙන් ගොස් වමට හෝ දකුණට හැරවිය යුතු වනවා.

එමෙන්ම වරායේ සිට පැමිණෙන කන්ටේනර් රථවලට නව කැලණි පාලම හරහා ගමන් කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

එම කන්ටේනර් රථ ඇතුලු නව කැළණි පාලමේ ගමන් කිරීමට අවසර නොමැති සෙසු සියලු වාහනවලට පාලමට පහලින් පිහිටි බේස්ලයින් මාර්ගය ඔස්සේ පැමිණ, පාලමට පිටතින් පිහිටි මංතීරුව ඔස්සේ ගමන් කල හැකියි.

එමෙන්ම අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ මෙරට ප්‍රථම ගුවන් පාලම වන කල්‍යාණි රන් පිවිසුම අවට මතුව ඇති මාර්ග තදබදය තවත් සති දෙකකින් පමණ අවසන් වනු ඇති බව මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා ෴

******************************************

මේ වසරේ සංචාරකයින් ලක්ෂය පනී

(01.12.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 1,01,872 නෙකු මෙරටට පැමිණ තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේ පමණක් පැමිණි සංඛ්‍යාව 41,177 ක්.

වැඩි ම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර එංගලන්තය, රුසියාව, පාකිස්තානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, ඇමරිකාව, කැනඩා සහ ඕස්ට්‍රේලියා යන රටවලින් ද සංචාරකයන් පැමිණ තිබෙනවා ෴

******************************************

‘මැණිකේ’ ලෝක සංචාරයක

(01.12.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

සංක්‍රමණික පක්ෂීන් පිළිබද ව සිදු කරන ලද අධ්‍යයනයකින් මෙරටට ආවේණික පක්ෂියෙකු කිලෝමීටර් 19,360 ක දුර ප්‍රමාණයක් පියාසර කර ඇති බවට සොයාගෙන තිබෙනවා.

‘මැණිකේ’ නමින් හඳුන්වන මෙම පක්ෂියාට ජී.පී.එස්. උපකරණයක් සවි කිරීම තුළිනුයි එම සත්වයා පියාසර කරන ලද දුර සහ ගමන් මාර්ගය අනාවරණ කරගෙන ඇත්තේ.

ඒ අනුව මැණිකේ නැමති මෙම පක්ෂියා මන්නාරමේ සිට යුරෝපය වෙත ගොස් ආක්ටික් සාගරය හරහා යළිත් මන්නාරමට පැමිණ තිබෙනවා ෴

******************************************

ආදිවාසී නායකයාට ‘සූම්’ තාක්ෂණය

(01.12.2021 – 09:31 +0530 – hirunews.lk/sinhala)

ජාතික පරිසර සභාවේ පැවැත්වෙන රැස්වීම් සඳහා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සහභාගි වීමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ට ද පහසුකම් සලසා දී තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට ඒ අනුව උපදෙස් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් පරිසර සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමත් සමඟයි ඊට අදාළව පැවැත්වෙන සාකච්ඡා සඳහා ඔහු සහභාගි කරවා ගැනීමට තීරණය කර ඇත්තේ ෴

******************************************

පාසල්වල පහසුකම් ගාස්තු අය කිරීම ගැන ගුරු සංගමයකින් චෝදනා

(01.12.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

වසරේ දිගු කාලයක් පාසල් වසා තැබුණු පසුබිමක පාසල්වල මුළු වර්ෂයටම අදාළ පහසුකම් හා සේවා ගාස්තු අය කිරීම අසාධාරණ බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං කියා සිටියේ මේ සමග දෙමව්පියන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවයි ෴

******************************************

‘ගෙළ වැළලාගෙන’ මිය ගිය කාන්තාවකගේ සිරුරක් හමුවෙයි

(01.12.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලේ – ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවක් ‘ගෙල වැළලාගෙන’ මිය ගොස් තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති කාන්තාවගේ හිසෙහි තුවාල දක්නට ලැබෙන බව පොලීසිය සදහන් කළා.

ඒ අනුව මෙය ‘සිය දිවි හානි කර ගැනීමක් ලෙසට නිගමනය කළ නොහැකි’ බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ. මිය ගොස් ඇති කාන්තාව 24 හැවිරිදි ඉලුප්පුකන්නිය – උතුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ෴

******************************************

ලංවිම ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

(01.12.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

ලංවිම සේවකයින් 02 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට සභාපතිවරයා ගත් තීරණයට එරෙහි ව ලංවිම ඉංජිනේරු සංගමය විරෝධය පළ කිරීමත් සමඟ, ලංවිම ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා ෴

******************************************

උද්ධමනය 9.9% යි

(01.12.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව පසුගිය මාසයේදී උද්ධමනය සියයට 9.9 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේදී උද්ධමනය සියයට 7.6 ක් වූ අතර එය සියයට 9.9 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ෴

******************************************

ලෝක ඒඩ්ස් දිනයට සමගාමී ව වෛද්‍ය නිමාලි ජයසූරිය ගෙන් විශේෂ ප්‍රකාශයක්

(01.12.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

1981 වසරේ ලොව පළමු එච්.අයි.වී. ආසාදිතයා හඳුනාගත් අතර, 1988 වසරේ සිට ඒඩ්ස් දින සැමරුමක් සිදු කරනු ලබන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු රටවල ප්‍රධානත්වයෙන්.

මේ දක්වා ලොව පුරා පුද්ගලයින් මිලියන 79.3 ක් මෙම වයිරසයට ගොදුරු වී ඇති අතර, මිලියන 36 කට අධික සංඛ්‍යාවක් ඒඩ්ස් ආසාදිත ව මියගොස් තිබෙනවා.

2020 වසර අවසන් වන විට මිලියන 37 කට අධික පිරිසක් එච්.අයි.වී. වයිරසය සමඟ ජීවත් වන බව, නවතම වාර්තාවල සඳහන්.

එම වසරේ එච්.අයි.වී. ආසාදිතයින් මිලියන 1.5 ක් ද අලුතින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

1987 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා හඳුනා ගත් අතර, ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව එච්.අයි.වී. ව්‍යාප්තිය අඩු රටක් ලෙස ශ්‍රී ලංකාව වර්ග කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය වසරේ දී නව එච්.අයි.වී. ආසාදිතයන් 363 ක් මෙරටින් හමු වී ඇති අතර, එය 2019 වසර හා සැසදීමේදී අඩුවීමක්.

මෙවැනි තත්ත්වයක් තුළ, ලිංගික සෞඛ්‍ය ලිංගාශ්‍රිත රෝග සහ එච්.අයි.වී. පිලිබද විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම ලිපිය : [පිටුව 1][පිටුව 2]

******************************************

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

(01.12.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස නීල් ද අල්විස් පත් කර තිබෙනවා.

අද (01) පෙරවරුවේ වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් නව සභාපතිවරයාට පත්වීම් ලිපිය භාර දුන් බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ප්‍රාදේශීය ලේකම්වරයෙකු, දිසාපතිවරයෙකු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ද නීල් ද අල්විස් මහතා කටයුතු කර තිබෙනවා ෴

******************************************

කසකස්තානයෙන් පැමිණි මංගල ගුවන් යානය මෙරටට ළඟා වේ

(01.12.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

කසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින්, එරට ‘එයාඅස්තානා’ (Air Astana) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය කසකස්තානයේ – අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට අද (01) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

කසකස්තානයේ ‘අල්මාආටා’ ගුවන් තොටුපළේ සිට ගුවන් මගීන් 157 දෙනෙකු රැගෙන ‘එයා අස්තානා’ ගුවන් සේවයේ කේ.සී.-167 දරණ මෙම ගුවන් යානය අද (01) දහවල් 11.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

මෙම පළමු මංගල ගුවන් ගමන සඳහා එම ගුවන් සේවය සතු ගුවන් යානා 35 අතරින් , ඒ 321-271 එන්.එක්ස්. වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබුණා.

මෙම ගුවන් සේවයේ ගුවන් යානා සතියකට දින 03 ක් , එනම් අඟහරුවාදා , බදාදා සහ සිකුරාදා දිනවල කසකස්තානයේ අල්මාආටා සිට දහවල් 11:25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , යළි ආපසු දහවල් 12:30 ට කසකස්තානය බලා පිටත්ව යෑමට නියමිත අතර , මේ සඳහා පැය 06 විනාඩි 20 ක පියාසර කාලයක් ගත වන බව ද එම ගුවන් සේවා නිලධාරීන් ප්‍රකාශ කළා.

කසකස්තානය රන් , රිදී , ඛනිජ තෙල් , ගෑස් ,ගල් අඟුරු වලින් පොහොසත් රටක් වන අතර, ආනයන මෙන් දෙතුන් ගුණයක් අපනයනවලින් ආදායම් ලබන රටක් බවත් , එරට සමස්ත ජනගහනය මිලියන 18.85 ක් බවත් , ඔවුන් අතරින් පසුගිය වසරේ මිලියන 10.70 ක් විදේශ සංචාර සඳහා පිටත්ව ගොස් තිබූ බවත් , මෙම එයාඅස්තානා ගුවන් සේවයේ උප සසභාපති චමීන්ද්‍ර ලේනව සඳහන් කර සිටියා ෴

******************************************

‘ස්ලිට්’ නඩුව අගවිනිසුරු නොමැතිව කැඳවයි

(01.12.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය හෙවත් ‘ස්ලිට්’ (SLIIT) ආයතනය මහපොළ භාරකාර අරමුදල යටතට පත්කරන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී, විජයදාස රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම අගවිනිසුරු නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා අද (01) දිනය නියම කෙරුණා.

ඒ අනුව පෙත්සම මාර්තු මස 21 වනදා කැඳවීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (01) එය කැඳවනු ලැබුවා.

එහිදී තමන් මහපොළ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන හෙයින් මෙම පෙත්සම සලකා බැලීමට තම නියෝජනයක් නොමැති විනිසුරු මඩුල්ලක් හමුවට යොමු කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රකාශ කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ගැරන්ටි සමාගම, අල්ලස් කොමිසම පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු 43 දෙනෙකු නම් කර තිබෙනවා ෴

******************************************

ගෑස් වගේම පෙට්‍රල් ඩීසල් සංයුතියත් බාල කරල ද ? බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් (30.11.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *