තම ත්‍රීරෝද රථය සිතාමතාම වෙනත් වාහනවල ගැටීමට සලස්වා මුදල් කඩා ගන්නා අයෙක්

තම ත්‍රීරෝද රථය සිතාමතාම වෙනත් වාහනවල ගැටීමට සලස්වා මුදල් කඩා ගන්නා අයෙක්

*********************************************

තම ත්‍රීරෝද රථය සිතාමතාම වෙනත් වාහනවල ගැටීමට සලස්වා මුදල් කඩා ගන්නා අයෙක්

(30.11.2021 – 19:37 +0530 – sinhala.adaderana.lk)

තම ත්‍රීරෝද රථය සිතාමතාම වෙනත් වාහනවල ගැටීමට සලස්වා වංචා සහගත ලෙස බලහත්කාරයෙන් මුදල් ලබාගන්නා පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශනය අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවල මාර්ගවල ධාවනය කරමින් මොහු මෙම වංචනික ක්‍රියාවේ නිරතවී ඇත.

සැකකරු මාස දෙකක් (2) ඇතුළත රියදුරන් 15 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 3 කට අධික මුදලක් වරින් වර ලබාගෙන ඇති බවට මූලික‍ විමර්ශනවලදී අනාවරණය වී තිබේ ෴

******************************************

ගෑස් කාන්දුවී ගින්නකට මැදිවූ දෙදරු මව බරපතළ පිළිස්සුම් තුවාල ලබයි

(30.11.2021 – 17:24 +0530 – sinhala.adaderana.lk)

ගෘහස්ථ ගෑස් කාන්දුවකින් ඇතිවූ විශාල ගින්නකට මැදිවී බරපතළ තුවාල ලැබූ කාන්තාවක් පිළිබඳව කඩවත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

අනතුර සිදුවී තිබුණේ ඇය පෑලියගොඩ පොලීසිය ආසන්නයේ පවත්වාගෙන ගිය ආපන ශාලාවේදීය.

දෙදරු පියෙකු වන මිලින්ද ප්‍රේමරත්න නම් ඇයගේ සැමියා කියා සිටියේ ගෑස් ලිප ක්‍රියාත්මක කිරීම සඳහා ගිනිකූරක් පත්තුකරනවාත් සමග විශාල ගින්නක් ඇතිවී බිරිඳ බරපතළ ලෙස පිළිස්සීමට ලක්වූ බවය.

“කොවිඩ් වසංගතයෙන් පස්සේ අපේ ව්‍යාපාර කඩා වැටුණා. ඒ නිසා පෑලියගොඩ පොඩි ආපනශාලාවක් පවත්වාගෙන ගියා. පසුගිය ඔක්තෝබර් 06 වනදා බිරිඳ එකවරම දුරකථනයෙන් කතා කරලා අනේ මිලින්ද මාව ගිනිගත්තා කියලා කිව්වා.”

“විනාඩි 10 කින් මම එතනට ගියා. බිරිඳ පිච්චිලා හිටියා. මුහුණෙ පැත්තක් සහ අත පය පිච්චිලා තිබුණා. කඩේ හිටපු අය පැනලා දුවලා ගිහින් තිබුණා. පොඩි දරුවෝ දෙන්නෙක් (2) හිටපු නිසා බිරිඳ ගෑස් ලිපත් නිවාගෙන එතනම පුටුවක වාඩිවෙලා හිටියා.”

“බිරිඳ දැනට කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මගේ බිරිඳ අවුරුදු 30 ක් විතර ගෑස්වලින් ආහාර පිසින කටයුතු කරනවා. කිසිම දවසක මේ වගේ දෙයක් සිදුවෙලා නෑ.

ගෑස් ප්‍රමිතිය ගැන මට බරපතළ සැකයක් තියෙනවා. ඒ නිසා මම පෑලියගොඩ පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. මම එතනින් නවතින්නේ නෑ. මගේ බිරිඳව යථා තත්ත්වයට ගන්න කවදාවත් බෑ. ඒ වේදනාව මට හැමදාම තියෙයි. මට අවශ්‍ය වෙන්නේ හෙට දවසේ මේ රටේ දුවෙකුට ඒක නොවෙන්න කටයුතු කරන්න.”

මං මේ ගැන මානව හිමිකම් කොමිසමට සහ පාරිභෝගික කටයුතු අධිකාරියටත් පැමිණිලි කළා.”

ගෑස් එකට ගිනිකූර ගහනවාත් සමගම සම්පූර්ණ ඒ පැත්තම ගිනි අරගෙන තිබෙනවා. මාසෙකට කලින් ගත්ත රෙගියුලේටරයක් තිබුණේ. අලුත්ම බටයක් තිබුණේ. ගෑස් හිඟයත් එක්ක අධික මිලක් ගෙවලා තමයි මම මේ ගෑස් සිලින්ඩරය ගත්තේ” ෴

++++++++++

ගෑස් සිද්ධීන් ගැන මොරටු සරසවියෙන් වාර්තාවක්

(01.12.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත සිද්ධීන් සම්බන්ධයෙන් වන ප්‍රචාරයන් ගැන විමසීමට ඊයේ (30) පත් කෙරුණු විශේෂ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවක් අද (01) රැස්වීමට නියමිතයි.

ඒ අනුව උදෑසන 9 ට මෙම කාරක සභාව කැඳවීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය නිවේදනය කළේ.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට අනුවයි මෙම විශේෂ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව පත් කරනු ලැබුවේ.

මේ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වත් කමිටුව විසින් සම්පාදනය කරන ලද ගෑස් සාම්පල සම්බන්ධයෙන් වන විශේෂඥ මතය ඇතුළත් වාර්තාව ඊයේ (30) පාරිභෝගික අමාත්‍යාංශය භාර දී තිබෙනවා.

ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අහඹු ලෙස ලබා ගත් ගෑස් සිලින්ඩර්වල අන්තර්ගත ගෑස් සංයුතිය පිළිබද රසායනාගාරය විසින් සිදු කළ පරීක්ෂණ වාර්තා වැඩිදුර විමර්ශන සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කෙරුණා.

එහි රසායනික හා ක්‍රියාවලි අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා සදහන් කළේ, ඒ පිළිබද විමර්ශනය කිරීම සඳහා විශේෂඥයින් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් පත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ මතය ඇතුළත් වාර්තාවයි මෙලෙස භාර දී ඇත්තේ.

මේ අතර ගෑස් ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පසුගිය කාලය පුරාවටම ලාෆ්ස් ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් වාර්තා වූ කිසිදු ගෑස් කාන්දුවකට හෝ ගෑස් කාන්දු ආශ්‍රිත ගිනි ගැනීම්වලට ගෑස් සිලින්ඩරවල පුරවා ඇති ගෑස් සංයුතියෙහි සම්බන්ධයක් නොමැති බව සහතික කළ හැකි බවයි.

එසේම ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් 1311 කෙටි දුරකතන අංකයට අමතන ලෙස ලිට්රෝ සමාගම සිය පාරිභෝගිකයින්ට දැනුම් දීමක් කරනවා ෴

++++++++++

නිවසක මුලුතැන්ගෙයක ගෑස් පිපිරුමක CCTV දර්ශන

(01.12.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා තැනින් තැන සිදුවන ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පුපුරා යෑම් ඊයේ (30) සහ පෙරේදා (29) දිනයේ බහුලව වාර්තා වුණා.

පෙරේදා දිනයේ තුළ පමණක් මේ ආකාරයේ සිදුවීම් 16 ක් වාර්තා වූ අතර ඊයේ (30) වාර්තා වූ ගෑස් ආශ්‍රිත හදිසි අනතුරු සංඛ්‍යාව 20 ක්.

දිනෙන් දින ඉහළ යන ගෑස් ආශ්‍රිත මෙම අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් තවමත් පැහැදිලි පිළිතුරක් ලබාදීමට රජයේ හෝ අදාල ගෑස් සමාගම් මෙතෙක් සමත් වී නැහැ.

මේ අතර වාරයේ ඊයේ (30) දිනයේ දී හිරු ප්‍රවෘත්ති කණ්ඩායම මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් ප්‍රධාන ගබඩාව වෙත යන්නේ දිනෙන් දින බුර බුරා නැගෙන මේ සමාජ ගැටලුවට පිළිතුරු සොයා ගැනීමේ අරමුණෙන්.

එහිදී අප සමග අදහස් දක්වන මෙම ගබඩා සංකීර්ණයේ කළමනාකරු පවසා සිටින්නේ, පසුගිය ජූලි මාසය තුළදී ඔවුන් පාරිභෝගිකයන් වෙත නිකුත් කරන ගෑස් සංයුතියේ යම්කිසි වෙනසක් සිදුකළ බවයි.

එලෙස සංයුතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර සාම්පල වශයෙන් පාරිභෝගිකයින් වෙත බෙදා හැරි බව ඔහු එහිදී කියා සිටියා.

කෙසේ වෙතත් එම සංයුතියේ ප්‍රතිශතය කෙතරම් ද යන්න සම්බන්ධයෙන් හිරු මාධ්‍යවේදී පසන් නන්දුල නැගූ පැනයට මෙම කළමනාකරුට පිළිතුරුක් තිබුණේ නැහැ.

ඔහු කියා සිටියේ එම ප්‍රශ්නය ඔහුගෙන් නොවිමසන ලෙසයි.

මෙලෙස අතිශය ආරක්ෂාකාරී ලෙස භාවිත කළ යුතු පාරිභෝගික භාණ්ඩයක් වන ගෑස් සමාගම්වලට සිතෙන සිතෙන ආකාරයට සංයුතිය වෙනස් කරමින් පාරිභෝගිකයා වෙත නිකුත් කළ හැකි ද?

මෙලෙස පාරිභෝගිකයින් රසායනාගාර මීයන්ගේ තත්වයට පත් කර ගැනීමට මෙම ගෑස් සමාගම් වලට ඇති අයිතිය කුමක්ද?

මේ ගැටලුවලට තවමත් පිළිගත හැකි පිළිතුරක් ලබාදීමට මෙම ගෑස් සමාගම්වලට හැකියාවක් ලැබී නැහැ.

මේ අතර අතරවාරයේ සමාජය නොමග යවන විවිධ ප්‍රකාශ සිදුකරන ගෑස් සමාගම් බලධාරීන් සහ දේශපාලන අඳ බාලයින්ට කදිම පිළිතුරක් ලබා දෙමින් මුලුතැන්ගෙයක ගෑස් ලිප ආසන්නයේ හදිසියේ සිදුවන කුඩා පිපිරී යාමක් ඒ මුළුතැන්ගෙයි සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝවට අදාළ නිවස හෝ මුළුතැන්ගෙය සොයා ගැනීමට අප ප්‍රවෘත්ති කණ්ඩායම උත්සාහ දැරුවද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත් මේ වනවිට සමාජයේ පුපුරා යන ගෑස් ගැටලුවට සහ එයට නොගැලපෙන උත්තර සපයන්නන්ට මේ සම්බන්ධයෙන් දිය හැකි පිළිතුර කුමක්ද?

++++++++++

ඊයේ (30) ගෑස් ආශ්‍රිත සිදුවීම් 34 ක් – 11 කට තුවාල

(01.12.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත සිදුවීම් 34 ක් ඊයේ (30) දිනයේදී වාර්තා වී ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේ විශේෂ උපදේශක කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, ගෑස් ආශ්‍රිත සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි ඊට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

මෙම උපදේශක කාරක සභාව අද (01) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස් වූ අතර, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, මොරටුව විශ්වවිද්‍යාලයේ නියෝජිතයින්, ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වල ප්‍රධානීන්, ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන්, ප්‍රමිති ආයතනය ඇතුළු තවත් ආයතන රැසක නියෝජිතයින් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ, ගෑස් උඳුන්වල භාවිතා කරන උපකරණ ආශ්‍රිතව මෙම පිපිරීම් සිදුව ඇති නමුත් ගෑස් සිලින්ඩරවල කිසිදු පිපිරීමක් සිදුව නොමැති බවයි.

මේ අතර, අද (01) දිනයේ ගෑස් ආශ්‍රිත සිද්ධීන් වාර්තා වනවා. දඹුල්ල – මැණික්දෙන, ඉමදූව – අගුණුගහ – දඩුවන සහ හැටන් – දිඹුල ප්‍රදේශවලින් ගෑස් නළ සහ උඳුන් පුපුරා යාමේ සිද්ධීන් වාර්තා වුණා.

මේ අතර, මාතර – වැලිගම – වල්ලිවල ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රියේ ඇති වූ ගින්නකින් වයස අවුරුදු 8 ක දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේ වෙතත්, අනතුරට හේතුව ගෑස් කාන්දුවකින් නොවන බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම, වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේ වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයක ඇති වූ කිසියම් පිපිරීමකින් එහි සේවකයන් දෙදෙනෙකු (2) තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථ සඳහා යොදන වායු සමීකරණ යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටි අවස්ථාවේදියි.

******************************************

ඇඳුම් නැතුව පැමිණ නිවෙස් කොල්ලකන සොරෙක් – පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

(30.11.2021 – 15:16 +0530 – sinhala.adaderana.lk)

ඇඳුම් නොමැතිව රාත්‍රී කාලයේදී සොරකමේ යෙදෙන පුද්ගලයෙකු සොයා නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ දැනට දින කිහිපයක සිට මෙම පුද්ගලයා නිට්ටඹුව පොල්හේන ප්‍රදේශයේ මෙලෙම සැරිසරා තිබූ බවය.

සැකකරු අල්ලා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති අතර මීට දින කිහිපයකට පෙර ද සැකකරු එම ප්‍රදේශයේ නිවසකට ඇතුළුවීමේ සිද්ධියක් වාර්තා වී තිබුණි.

වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන සැකකරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස නිට්ටඹුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.

******************************************

මාතර – වැලිගම නිවසක ගින්නකින් දැරියක් මරුට

(01.12.2021 – 06:48 +0530 – hirunews.lk/sinhala)

මාතර – වැලිගම – වල්ලිවල ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රියේ ඇති වූ ගින්නකින් වයස අවුරුදු 8 ක දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ගින්නෙන් නිවසෙහි සිටි දැරියගේ මිත්තණිය සහ වැඩිමහල් සොහොයුරිය ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න ඇති වන අවස්ථාවේදී නිවසේ දෙමව්පියන් සිට නොමැති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර, කළුතර – පයාගල – පාලයන්ගොඩ ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසලක ඊයේ (30) ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් වෙළෙදසලේ හිමිකරුට සුළු තුවාල සිදුව ඇති අතර එය ගෑස් කාන්දුවකින් සිදු වූවක් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, හලාවත – වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේ පවත්වාගෙන යන වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයක ඇතිවූ කිසියම් පිපිරීමකින් එහි සේවකයන් දෙදෙනෙකු (2) තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථ සඳහා යොදන වායු සමීකරණ යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටි අවස්ථාවේදියි.

වායුසමීකරණ කටයුතු සඳහා යොදාගන්නා නයිට්‍රජන් අඩංගු ටැංකියකට සවිකර තිබූ බටයක් පුපුරා ගොස් ඇති බවට දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා ෴

******************************************

ලෝක ඒඩ්ස් දිනය අදයි (01)

(01.12.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ලෝක ඒඩ්ස් දිනය අදට (දෙසැම්බර් 01) යෙදී තිබෙනවා.

අසමානතා දුරු කර ඒඩ්ස් අවසන් කරමු – වසංගත පරදමු යන්න මෙවර එහි තේමාවයි.

1981 වසරේ ලොව පළමු එච්.අයි.වී. ආසාදිතයා හඳුනාගත් අතර, 1988 වසරේ සිට ඒඩ්ස් දින සැමරුමක් සිදු කරනු ලබන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු රටවල ප්‍රධානත්වයෙන්.

මේ දක්වා ලොව පුරා පුද්ගලයින් මිලියන 79.3 ක් මෙම වයිරසයට ගොදුරු වී ඇති අතර, මිලියන 36 කට අධික සංඛ්‍යාවක් ඒඩ්ස් ආසාදිත ව මියගොස් තිබෙනවා.

2020 වසර අවසන් වන විට මිලියන 37 කට අධික පිරිසක් එච්.අයි.වී. වයිරසය සමඟ ජීවත් වන බව, නවතම වාර්තාවල සඳහන්.

එම වසරේ එච්.අයි.වී. ආසාදිතයින් මිලියන 1.5 ක් ද අලුතින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

1987 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා හඳුනා ගත් අතර, ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව එච්.අයි.වී. ව්‍යාප්තිය අඩු රටක් ලෙස ශ්‍රී ලංකාව වර්ග කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය වසරේ දී නව එච්.අයි.වී. ආසාදිතයන් 363 ක් මෙරටින් හමු වී ඇති අතර, එය 2019 වසර හා සැසදීමේදී අඩුවීමක්.

කොරෝනා හේතුවෙන් ඒඩ්ස් රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු ගිලිහී යාම නිසා රෝගීන්ගේ අඩු වීමක් වාර්තා වන බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය කියා සිටියේ ෴

******************************************

ශ්‍රීපාද වන්දනාවටත් එන්නත් කාඩ්පත

(01.12.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශ්‍රී පාද වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.

නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ (30) පැවති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒමෙන් බාධාවකින් තොර ව ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමට වන්දනාකරුවන්ට හැකි වනු ඇති බවයි.

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරක ම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වී ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින දක්වා ක්‍රියාත්මක වනවා.

එම කාලය තුළ ජාති ආගම් කුල බේදයකින් තොර ව දෙස් විදෙස් බැතිමතුන් විශාල ලෙස ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ආකාරය සාමාන්‍යයෙන් සෑම වසරක ම දැකගත හැකියි.

කෙසේ වෙතත් කොරෝනා තත්ත්වය හමුවේ පසුගිය වසර 2 ක කාලය තුළ සැදැහැවතුන්ට සාමාන්‍ය පරිදි ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමට අවස්ථාව හිමි වුණේ නැහැ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *