කොරෝනා ප‍්‍රතිකාර කරන්න ඉඩ නොදීම නිසා බටහිර වෛද්‍යවරුනට එරෙහිව දේශීය වෛද්‍යවරු නඩු දමති

කොරෝනා ප‍්‍රතිකාර කරන්න ඉඩ නොදීම නිසා බටහිර වෛද්‍යවරුනට එරෙහිව දේශීය වෛද්‍යවරු නඩු දමති

*********************************************

කොරෝනා ප‍්‍රතිකාර කරන්න ඉඩ නොදීම නිසා බටහිර වෛද්‍යවරුනට එරෙහිව දේශීය වෛද්‍යවරු නඩු දමති

(30.11.2021 – 03:20 +0530 – lankacnews.com)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පවත්වන, දේශීය වෛද්‍ය සායනවලට අකුල් හෙලමින් සිටින බවත්, ජනතාවට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමේ අයිතිය අහිමි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යනු ලබන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටත් ‘දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව’ අවධාරණය කරයි.

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවන අතුරු ආබාධ සදහා ආයුර්වේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ඇති බවත්, එසේ අතුරු ආබාධ ඇති පුද්ගලයින් සදහා ‘කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව’ සමග එක්ව පැවැත්වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බාධා පමුණවමින් සිටින බවත් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැදවුම්කරු සුමුදු ලියනාරච්චි මහත්මිය අලුත්වලදී අද (28) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළාය.

දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ අදහස් දැක්වුවත් දේශීය හා ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර සදහා බාධා පමුණවමින් කටයුතු කරන ආකාරයෙන් ඔහුගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය හෙළිදරව් වන බවද වෛද්‍ය සුමුදු ලියනාරච්චි මහත්මිය සදහන් කළාය.

රජයේ ලියාපදිංචි දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ට රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමේ අවස්ථාව වැලැක්වීමට වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරමින් සිටින්නේ හෙළ වෙදකම මේ රටින් තුරන් කිරීමේ අවශ්‍යතාවයක් ඔහු ඇතුළු කණ්ඩායමට තිබෙන නිසාදැයි ඇය ප‍්‍රශ්ණ කළාය. දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට රටේ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිදු හැකියාවක් නොමැති බවත් එසේ කටයුතු කරන්නේ නම් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වෛද්‍ය සුමුදු ලියනාරච්චි මහත්මිය පැවසුවාය.

අම්පාර ප‍්‍රදේශයේදී පසුගිය සතියේදී පැවති දේශීය වෛද්‍ය සායනයකට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමට බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර තිබූ බව සිහිපත් කළ වෛද්‍ය සුමුදු ලියනාරච්චි මහත්මිය දේශීය වෛද්‍යවරුන්ට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුවන්නේදැයි යන්න ගැන අවධානය යොමු කළ යුතු බවද කීවාය.

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇතිවූ අවස්ථාවන් දහස් ගණනක් පිළිබද තොරතුරු තමන් සතුව පවතින බවද ඒ නිසා අතුරු ආබාධ ඇති පුද්ගයින් සදහා වන දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ඇය සදහන් කළාය. පාරම්පරික වෛද්‍ය දැනුම අනුව බිහිවූ දේශිය වෛද්‍ය ක‍්‍රමයක්, ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයත් ලෝකයේ පිළිගත් වෛද්‍ය ක‍්‍රමයක් බව බටහිර වෛද්‍යවරුන් අමතක නොකළ යුතු බවත්, බටහිර වෛද්‍ය ක‍්‍රමය බිහිවීමට වසර දහස් ගණනකට පෙර මෙම වෛද්‍ය ක‍්‍රමය ලෝකයේ ක‍්‍රියාත්මක වී තිබූ බවද වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සුමුදු ලියනාරච්චි මහත්මිය සදහන් කළාය.

+++++++++++++++++++++++

ඔමික්‍රොන් නිසා ඇමරිකාවෙන් රටවල් 8 කට සීමා

(30.11.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා, ඩෙංගු සහ ඇතැම් ස්වසන රෝගී තත්ත්වයන් මේ දිනවල පවතින බැවින් රෝග ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය ලොව පුරා පැතිරෙද්දී අප්‍රිකානු මහද්වීපයේ රටවලට තවත් කොරෝනා එන්නත් බිලියනයක් ලබාදීමට සූදානම් බව චීන ජනාධිපති ෂී-ජින්පින් ප්‍රකාශ කළා.

එමෙන්ම, ඉදිරි වසර තුන තුළ අප්‍රිකානු රටවල ඩොලර් බිලියන 10 ඉක්ම වූ ආයෝජන කිරීමට චීන සමාගම් දිරි ගන්වන බවයි ඔහු කියා සිටියේ.

අප්‍රිකාවට තවත් කොරෝනා එන්නත් බිලියනයක් ලබාදෙන්නේ, මෙතෙක් එම රටවලට සැපයූ එන්නත් මිලියන 200 ට අමතරවයි.

චීන – අප්‍රිකා සහයෝගීතා සමුළුවේ සමාරම්භක අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපති ෂී-ජින්පින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ස්පුට්නික් එන්නත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයට එරෙහිව සටන් වැදිය හැකි වර්ධක එන්නතක් ලෙස යොදා ගත හැකි බව රුසියාව පවසනවා.

එමෙන්ම, මාත්‍රා දෙකකින් යුත් ස්පුට්නික් එන්නත නව ප්‍රභේදයට එරෙහිව ඉහළ ශක්‍යතාවක් පෙන්නුම් කරන බවත්, රුසියානු ‘ගමලයා’ එන්නත් නිෂ්පාදන ආයතනය සඳහන් කළා.

මීට අමතරව ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’, ‘මොර්ඩනා’ ඇතුළු තවත් එන්නත් සමාගම් කිහිපයක්ම ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි එන්නත් නිපදවීමට අවදානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එසේම කැනඩාවෙන් ඔමික්‍රොන් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ඇමරිකාව ඒ පිළිබදව දැඩි අවදානය යොමු කර තිබෙනවා.

මේ වනවිටත් ඇමරිකාව දකුණු අප්‍රිකානු රටවල් 8 කට සංචාරක තහනමක් පනවනු ලැබුවා.

බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ, මොසැම්බික්, නැමීබියා, මලාවි, දකුණු අප්‍රිකාව සහ එස්වර්ටීනි මෙලෙස සංචාරකයන් පැමිණීම තහනම් කර ඇති රටවල්.

මේ අතර, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා කියා සිටියේ කිසියම් රෝග ලක්ෂණයක් ඇති වහාම කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි.

එසේම රෝගීන් ඉහළ යාම අර්බුදකාරී තත්ත්වයක් විය හැකි බැවින් හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, ඊයේ (29) දිනයේත් කොරෝනා ආසාදිතයින් 747 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහල ගියේ 5,63,267 ක් ලෙසයි.

එසේම කොරෝනා මරණ 23 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,328 දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++

එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණයක් නැහැ

(30.11.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, නව ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මෙරටට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ අද (30) යලි ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එම ප්‍රභේදය ආසාදිත වූවන් නොදැනුවත්ව හෝ මෙරටට ඇතුළු විය හැකි බවයි කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

එසේම, නව ප්‍රභේදයේ ආසාදිතයින් හදුනාගත හැක්කේ, නියැදි පරීක්ෂණ හරහා පමණක් බවද ඔහු කියා සිටියා.

නව ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මුව ආවරණය පැලඳීම සහ එන්නත්කරණය සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.

නව ප්‍රභේදය සඳහා අවශ්‍ය වුවහොත් නව එන්නතක් නිෂ්පාදනය කිරීමට වුව ද සූදානම් බවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දුන්නේ ෴

+++++++++++++++

29-11-2021

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ගෑස් සිලින්ඩරයේ කැප් එකට සබන් පෙණ දමන්න එපා

(29.11.2021 – 18:44 +0530 – sinhala.adaderana.lk)

ගෑස් සිලින්ඩරයේ කැප් එක තුළට සබන් පෙණ දැමීමෙන් වළකින ලෙස ඉන්ධන සහ ගෑස් තාක්ෂණික උපදේශක උපාලි ජයසුන්දර මහතා පැවසීය.

‘අද දෙරණ’ පුවත් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව ප්‍රකාශ ප්‍රකාශ කළේය.

මෙලෙස ගෑස් සිලින්ඩරයේ කැප් එක ඉවත්කර එයට සබන් පෙණ දැමීම තුළින් එහි අභ්‍යන්තරයේ ඇති සීල්වලට හානි සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් පලකළ ඉන්ධන සහ ගෑස් තාක්ෂණික උපදේශක උපාලි ජයසුන්දර මහතා :

“ගෑස් සිලින්ඩරයක් කිසිදු විටකදී විවෘත කර තියන්න එපා. ගෑස් ඉවර වුණාම විතරයි ඒ කැප් එක ගලවලා තියන්න පුලුවන්. ඒ හැරුණාම කිසිදු විටකදී සිලින්ඩරයේ කැප් එක ගලවලා සබන් පෙණ දාලා චෙක් කරන්න යන්න එපා. ඕකේ තියනවා සීල් වගයක්. සබන් පෙණ දැම්මොත් ඒවා නරක් වෙන්න පුලුවන්. මගේ උපදේශය ඒක කරන්න එපා. යම් කෙනෙක් සබන් පෙණ දාලා චෙක් කරාම ගෑස් ලීක් වෙන බව පේනවා නම් කරන්න තියෙන්නේ රෙගියුලේටර් එක සවි කරන එක. එයින් පසුවත් ඔබට දැනෙනවා නම් ශබ්දයත් එක්ක ගෑස් ලීක් වෙනවා කියලා, රෙගියුලේටරය සවිකර තිබෙන තැනට සබන් පෙණ ගාලා චෙක් කරන්න පුලුවන්. නැත්නම් රෙගියුලේටර් එකේ හෝස් කැප් එක ලඟ චෙක් කරන්න පුලුවන්. තවත් ලීක් වෙනවා නම් කැප් එක ගහලා සිලින්ඩරය පැත්තකින් තියන්න. ඒකයි කරන්න තියෙන්නේ.”

“සිලින්ඩරයට කිසිදු විටකදී වතුර දාන්න යන්න එපා. සැකයක් තියනවා නම් පැත්තකින් අරන් තියන්න. අදාළ ආයතනයට කතා කරලා ඒ ගනුදෙණුව කරගන්න.”

******************************************

මියන්මාරයෙන් සහල් ආනයනය කෙරෙයි

(30.11.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

හිඟයකින් තොර ව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමට හා ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යෑමට හැකි වන පරිදි සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් දක්වා ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රජයකින් රජයකට යන පදනම යටතේ, ශ්‍රී ලංකා රජය සහ මියන්මාරය රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත යි මෙම සහල් තොග ආනයනයට පියවර ගෙන ඇත්තේ.

සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 460 ක් බැගින් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කිරීම පිණිස මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා ෴

******************************************

වැසිකිළියක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

(30.11.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

පූඩළුඔය – නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (29) ලද තොරතුරකට අනුව පොලීසිය එම ඇඟලුම් කර්මාන්තශාලාව පිටුපස සිදුකළ සෝදිසියකදීයි මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය ලබන 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

******************************************

ගෑස් ආශ්‍රිත සිද්ධි සොයා බලන්න කමිටුවක් පත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(30.11.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (30) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඊට අදාළ වාර්තාව ලබන සිකුරාදා ලබා දීමට නියමිත බවයි.

එමෙන්ම මෙම සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ උපදේශක කාරක සභාවක් හෙට (01) පෙරවරු 09 ට රැස්වීමට නියමිතයි.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම උපදේශක කාරක සභාව කැදවීමටයි අද (30) පාර්ලිමේන්තුවේදී තීරණය කළේ ෴

******************************************

මහ මගදී කාන්තාවකට සිදුවූ අකරතැබ්බ – CCTV

(30.11.2021 – 11:35 +0530 – sinhala.adaderana.lk)

ප්‍රදේශ කිහිපයක රන් මාල කඩා ගැනීමේ සිද්ධි රැසකට සැකකෙරෙන පුද්ගලයෙකුව පොලීසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ CCTV දර්ශන මගින් අනාවරණය කරගත් තොරතුරු මතය.

සැකකරු සොරකම් කරන ලද යතුරුපැදියකින් ගමන් කරද්දී පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවද පොලීසිය පවසයි.

එගොඩඋයන පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු සොරකම් කරන ලද යතුරුපැදිවලින් පැමිණ එම රන් භාණ්ඩ කොල්ලකා ඇති බවය.

සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ අලුත්ගම, පානදුර, මොරටුව සහ එගොඩඋයන යන පොලිස් බලප්‍රදේශවල යතුරුපැදි සොරකම්කර එම යතුරුපැදි උපයෝගී කරගෙන මහ මග ගමන් ගන්නා අයගේ රන් භාණ්ඩ කොල්ලකා තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව සොරකම් කරන ලද යතුරුපැදි 3 ක් සහ රන් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බව පොලීසිය පැවසීය.

******************************************

විදුලි බිඳ වැටීම් ගැන පරීක්ෂණ

(30.11.2021 – 12:37 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශයෙන් විදුලි අධිකාරීවරුන් ඉවත් කිරීම, ඊයේ (29) සිදු වූ විදුලි බිඳ වැටීම යළි යථා තත්ත්වයට පත් කිරීමේ දී සිදු වූ ප්‍රමාදයට හේතුවක් වූ බව විදුලි තාක්ෂණික, ඉංජිනේරු හා අධිකාරී සංගමය ප්‍රකාශ කළා.

එම නිසා අදාළ බිද වැටීම ස්වභාවික හේතුවක් නිසා සිදු වූවක් ද එසේ නොමැති නම්, කඩා කප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි එම සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්. එම්. රණතුංග මහතා කියා සිටියා.

ඊයේ (29) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසක මෙම විදුලි බිඳ වැටීම වාර්තා වූ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ඉංජිනේරුවරුන්ගේ ද මැදිහත්වීමෙන් රාත්‍රී 09:30 පමණ වන විට එය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බවයි ඔහු සදහන් කළේ ෴

******************************************

ඉදිකිරීම් පුහුණු පාඨමාලා සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4 ක ප්‍රදානයක්

(30.11.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

කාර්මික විද්‍යාල හා තාක්ෂණික විද්‍යාලවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලා වැඩි දියුණු කිරීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතන මගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක ප්‍රදානයක් ලබාදීමට එකඟ වී තිබෙනවා.

එම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර එය ලබන 2024 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴

******************************************

අදත් (30) ප්‍රදේශ කිහිපයකින් ගෑස් අනතුරු

(30.11.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ගෑස්වල අඩංගු සංයුතිය පිළිබඳ නියාමනය කිරීම සඳහා මේ දක්වා ආයතනයක් නොමැතිවීම කණගාටුවට කරුණක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

මේ අතර, අදත් (30), ගෑස් ආශ්‍රිතව සිදුවූ තවත් සිද්ධින් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

මාතර – නාවිමන, මීගොඩ – පානලුව, මීරිගම, මොරටුව – රාවතාවත්ත, කැකිරාව ආදි ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිතව සිදුවූ තවත් සිද්ධින් කිහිපයක් මෙලෙස වාර්තා වී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෑස්වල සංයුතිය පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වාර්තා හෙළිකළ යුතු බවයි ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *