පොලිස්පති කවුද ? පොලිස්පති කියයි

පොලිස්පති කවුද ? පොලිස්පති කියයි

*********************************************

පොලිස්පති කවුද ? පොලිස්පති කියයි

(29.11.2021 – 22:15 +0530 – hirunews.lk/sinhala)

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුවක සාක්ෂි ලබාදීම සඳහා වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා.

නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පොලිස්පති චන්දන වික්‍රමරත්න රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැවරී තිබෙන රාජකාරිය පැහැදිලි කළා.

පොලිස්පතිවරයා කියන්නේ රාජ්‍ය ආරක්ෂාව හා සම්බන්ධ ප්‍රබල චරිතයක්.

ඔහු ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙක්. ආරක්ෂක කවුන්සිලයේ සිටින සාමාජිකයින් සියලුදෙනා හා සමාන බලතල පොලිස්පතිවරයාට තිබෙනවා.

විධායකය විසින් ගනු ලබන තීරණ භූමියේ ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුවයි.

රාජ්‍ය ආරක්ෂාව හා දේශපාලනය සම්බන්ධ තොරතුරු පිළිබඳ රාජ්‍ය නායකයා දැනුවත් කිරීමේ වගකීමත් පොලිස්පතිවරයා වෙත පැවරී තිබෙනවා.

පොලිස්පතිවරයා යනු හුදෙක් වැටුප් ලබන තවත් රජයේ නිලධාරියකු නොවෙයි.

******************************************

කොළඹ තැන් කීපයක හෙට (30) රාත්‍රී 10 සිට පැය 7 ක් වතුර නෑ

(29.11.2021 – 19:17 +0530 – lankadeepa.lk)

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) රාත්‍රී 10 සිට පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන්න සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල – කොස්වත්ත, රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත .

ඒ අනුව හෙට (30) රාත්‍රී 10 සිට පසුදින (01) අලුයම 5 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇත.

අත්‍යවශ්‍ය ජලනල නවීකරණ කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය ෴

******************************************

කතරගම සංචාරක බංගලාවේ අලුත්වැඩියාවට කෝටියක් ගෙවලා

(29.11.2021 – 17:00 +0530 – lankadeepa.lk)

සංචාරක සංවර්ධන අධිකාරිය කතරගම සංචාරක නිකේතනයේ අලුත්වැඩියාව සදහා වසර කිහිපයකට පෙර වැය කළ රුපියල් කෝටි තුනකට (3,00,00,000) ආසන්න මුදලින් රුපියල් කෝටියකට (1,00,00,000) වැඩි මුදලක් නොකළ වැඩ කොටසක් වෙනුවෙන් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා)විමර්ශනයක් අරඹා ඇත.

මෙහි වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කමිටුවක් නිර්දේශ කර ඇතත් මේදක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.

සිද්ධියට සම්බන්ධ නිලධාරියාට‍ අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කර ඇති බවද විගණකාධිපතිවරයා මෙහිදී අනාවරණය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව දැඩි අප්‍රසාදය පළ කළේය.

විගණන නිරීක්ෂණවලට සහ නිර්දේශවලට නිසි පියවර ගැනීම සෑම ආයතනයකම වගකීමක් බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම කල්පිටිය තොරයිඅඩි ජැටිය සහ වන්නිමුන්දලම කලපුව අසල පාර ඉදි කිරීම වෙනුවෙන් කලුගල් සහ බොරලු පස් සදහා වැඩිපුර රුපියල් කෝටියකට (1,00,00,000) වැඩි මුදලක් ගෙවීම පිළිබදවද කමිටුව සංචාරක සංවර්ධන අධිකාරිය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේ‍ය

මෙහිදී අධිකාරියේ ප්‍රධානීන් පැවසුවේ මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයාගෙන් විමසූ අවස්ථාවේදී අදාළ ලියකියවිලි ඔවුන් සතුව නොමැති බැවින් ඉදිරි කටයුතු සිදු කිරීමට නොහැකි බව දැනුම් දුන් බවයි.

මේ පිළිබදව සොයා බැලීමට 2016 වසරේදී කෝප් කමිටුව විසින් නිර්දේශයක් ලබා දෙනු ලැබතිබුණද මේ පිළිබදව සොයා බැලීමට ආරම්භ කර ඇත්තේ 2018 වසරේදී බව විගණාධිපතිවරයා අනාවරණය කළේය.

මේ පිළිබදව දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ රටේ මූල්‍ය පාලනය පිළිබදව ඉහළම ආයතනය වන පාර්ලිමේන්තුව මගින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන බැදී සිටින බැවින් වහාම මේ පිළිබදව විමර්ශනයක් ආරම්භ කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසයි.

මේ අතර සංචාරක සංවර්ධනය අධිකාරිය යටතේ පවතින කල්පිටියේ දූපත් 12 ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සංචාරක සංවර්ධනය අධිකාරියට පසුගියදා උපදෙස් දුන්නේය.

අක්කර 2055 ක් වූ එම දූපත් 12 න් 5 ක් සදහා ආයෝජකයකු 2011 වසරේදී ඉදිරිපත් වුවද ඔහුගේ ජල බංගලා ව්‍යාපෘතියට (Water Bungalows) අනුමැතිය ලබා ගැනීමට නිසි ආයතනයක් හදුනා ගැනීමට නොහැකි වීම නිසා මෙය ප්‍රමාදවී ඇති බවද මෙහිදී අනාවරණය විය.

මාලදිවයිනේ දැනටමත් මෙම වර්ගයේ හෝටල් ඇති මෙම ආයෝජකයාට අනුමැතිය ලබාදීමට නොහැකිව වසර 10 ක් මෙලෙස ව්‍යාපෘතියක් ප්‍රමාද වීම සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක් බැවින් මේ සදහා වහාම මැදිහත් විය යුතු බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඉතා සුන්දර මෙම දූපත් සංචාරක කර්මාන්තය සදහා යොදා ගැනීමේ අවශ්‍යතාවද කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. මේ සදහා කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බැවින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් සභාව, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වැනි අදාළ සියලු පාර්ශව සමග මෙහෙයුම් කමිටුවක් පත් කර ශක්තිමත් නෛතික රාමුවක් තුළ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් . හෙට්ටිආරච්චි මහතාට සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දුන්නේය

මෙම තොරතුරු අනාවරණය වූයේ සංචාරක සංවර්ධන අධිකාරියේ 2018 සහ 2019 වර්ෂයන් සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (26) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

සංචාරක කටයුතු සංවර්ධනය සදහා 2018 – 2019 වසර වල රු බිලියන 1.2 ක් වියදම් කළද සංචාරයකයන් පැමිණ ඇත්තේ මිලියන 1.9 ක් හෙයින් සංචාරකයන් ගෙන්වාගැනීම සදහා වඩාත් කාර්යක්ෂක්ෂම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නාය.

මේ අනුව සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන ඒකාබද්ධ කර තනි ආයතනයක් ගොඩ නගන බවත් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය වෙනම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරිය සඳහන් කළාය .

මේ සදහා මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බැවින් ලබන මාර්තු- අප්‍රේල් වන විට නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් සදහා අමාත්‍යාංශ සහ එම ආයතනවල අවශ්‍යතාව එය නම් එම කටයුතු කඩිනම් කරන ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

මාලදිවයින මේ වනවිට සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවට එම තත්වයට යාමේ ඇති බාධාව පිළිබද කමිටුවේ අවධානය යොමුවිය. මෙහිදී කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේදී ඉහළම මිල ගණන්වල සුඛෝපභෝගි හෝටල් පමණක් ක්‍රියාත්මක වීම, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක මහජන සම්බන්ධතා හරහා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයන් 15 දෙනෙකුගේ කුඩා කණ්ඩායමක් යටතේ මෙහෙයවීම, ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ආයෝජකයන් ගෙන්වීම හරහා ඔවුන් විශාල ප්‍රවර්ධනයක් සිදුකිරීම යනාදි කරුණු මීට බලපා ඇති බවයි

කොවිඩ් වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ආයතනය විශාල කාර්යභාරයක් සිදුකළ බව මෙහිදී පැවසූ සභාපතිවරිය කොවිඩ් තත්වය තුළ හෝටල්කරුවන් පුහුණු කරවීම, සංචාරක ලියාපදිංචිය මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය හරහා සම්පූර්ණයෙන්ම සිදු කිරීම යනාදිය තම ආයතනය ලැබු විශාල ප්‍රගතියක් බවද ඇය පැවසීය.

සංචාරක සංවර්ධන අධිකාරිය සතුව බොහෝ ‍ප්‍රදේශවල ඇති ඉඩම් ඇතුළු දේපළ වඩාත් ඵලදායි ලෙස සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමේ අවශ්‍යතාවයද කෝප් කමිටුවේදී අවධාරණය කෙරිණ.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, නලින් බණ්ඩාර, එස්.එම් මරික්කාර්, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුද සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ ෴

******************************************

පුත්තලමේ දී මනුෂ්‍ය ඝාතනයක්

(30.11.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම පොලිස් වසමේ දෙවැනි හරස් වීදිය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගල ඝාතනයක් සිදු වී තිබෙනවා.

අරවුල අතරමඟ දී එක් පුදගලයෙකු විසින් තවත් කෙනෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙනුයි මෙම ඝාතනය සිදු වී ඇත්තේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 25 ක අනුරාධපුර පාර, පුත්තලම ලිපිනයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට සම්බන්ධ ව වයස අවුරුදු 33 ක තිල්අඩිය ප්‍රදේශයේ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අද (30) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

වැඩිදුර පරීක්ෂණ පුත්තලම පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

******************************************

එල්.එන්.ජී. ගිවිසුම අවාසිදායක නම් එකඟ වන්නේ නෑ – ඇමති මහින්දානන්ද

(30.11.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

එල්.එන්.ජී. බලාගාර ගිවිසුම රටට අවාසිදායක නම්, රජය තුළ සිටිය ද ඊට එකඟ විය නො හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ඩීසල් බලාගාරවලින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 25 ක් නම්, එල්.එන්.ජී. විදුලි ඒකකයක් රුපියල් 18 නො ඉක්මවිය යුතු බවයි පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ.

අවාසිදායක කොන්දේසිවලට රජය එකඟ නොවිය යුතු අතර, ඒකාධිකාරය එක් සමාගමකට පැවරිය නොහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළා ෴

******************************************

එච්.අයි.වී. නොමැති අයටත් එම ඖෂධ

(30.11.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

එච්.අයි.වී. වයිරසය ආසාදනය වී නොමැති එහෙත් අවදානම් තත්ත්වයේ පසුවන පුද්ගලයින්ට ඒ සඳහා භාවිත කරන ඖෂධ ලබාදීමට සූදානම් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය කියා සිටියේ, වයිරසය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ දත්තවලට අනුව මෙරට එච්.අයි.වී. ආසාදිතයින් 3700 ක් පමණ සිටිනවා.

එහෙත් ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ 2600 ක පමණ පිරිසක් පමණයි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම සංඛ්‍යාව ද පහත වැටී ඇති අතර මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 363 ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවයි වාර්තා වන්නේ.

ඊට පිළියමක් ලෙස ස්වයං එච්.අයි.වී. පරීක්ෂණ කට්ටල නොමිළේ ලබාදීමට ද වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය කියා සිටියේ ෴

******************************************

ගෑස් භාවිතය ඉහළ යෑම පිපිරීම් වැඩි වීමට හේතුවයි – ඇමති වාසු

(30.11.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (30) රැස් වූ අමාත්‍ය මණ්ඩල හමුවේ දී දැඩි සංවාදයට බදුන් වී තිබෙනවා.

භාණ්ඩ මිල ඉහළ යාම නතර කළ නොහැකි බවත්, එහෙත් භාණ්ඩ හිඟයක් හෝ භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාවට පෝලිම්වල රැදී සිටීමට අවස්ථාවක් නො දීමට වග බලා ගන්නා බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, ජනතාව දිගින් දිගට ම ප්‍රකාශ කර සිටියේ, භාණ්ඩවල මිල දරාගත නොහැකි ලෙසට ඉහළ ගොස් ඇති බවට යි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව සිදු වන ගිනි ගැනීම් පිළිබදව ද අමාත්‍ය මණ්ඩල හමුවේ දී කතාබහට ලක් වී තිබෙනවා.

තවත් රටවල් කිහිපයක දැනට මෙරට භාවිතා වන ගෑස් සංයුතිය යොදා ගන්නා බවත් එම රටවල මෙවැනි සිද්ධීන් වාර්තා නොවන බවත් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් මෙම සිදුවීම් සංයුතියෙහි ගැටලුවක් නොවන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ගෑස් භාවිතා කරන ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ගෑස් සම්බන්ධ අනතුරුවල ඉහළ යාමක් පවතින බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා ෴

******************************************

සෞඛ්‍ය වෘත්තීයවේදීන් කොළඹ දී අද (30) රථ පෙළපාලියක

(30.11.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ අද (30) විවාදයට ගැණෙන අවස්ථාවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් රථ පෙළපාලියක් සංවිධාන කර තිබෙනවා.

වෛද්‍ය රාසායනාගාර වෘත්තියවේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කළේ, කොළඹ දී මෙම විරෝධතාව පවත්වන බවයි ෴

******************************************

සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

(30.11.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

මේ වසර අවසන් වනවිට සංචාරකයින් 150,000 ත් 180,000 ත් අතර පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

එසේම ලබන වසර වන විට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වනු ඇති බවයි සංචාරක අමාත්‍යාංශය කියා සිටියේ.

ඒ හේතුවෙන් රුසියාව, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක ප්‍රවර්ධන කටයුතු ද මේ වන විටත් ආරම්භ කර තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන් ලොව පුරා පැතිරේ ; දැඩි ප්‍රතිවිපාක – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි

(29.11.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් කොරෝනා වයිරස් ප්‍රභේදය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වෙමින් කොරෝනා වසංගතය උත්සන්න කිරීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඔමික්‍රොන් ප්‍රභේදය ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

මේ නිසා විශේෂයෙන් ප්‍රමුඛතා කණ්ඩායම් ඉලක්ක කරගෙන එන්නත්කරණ වැඩසටහන් වේගවත් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එහි සාමාජික රටවල් 194 න් ඉල්ලා සිටියා.

එහිදී අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීමේ සැලසුම් සකස් කළ යුතු බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ අසාමාන්‍ය ලෙස ආසාදනය උත්සන්න කරන විකෘතිතා පැවතීම ගෝලීය වසංගතය ඉහළ නැංවීමට හේතු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඒ අනුව නව ප්‍රභේදයේ සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි නිගමනයයි.

කෙසේ නමුත් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය එන්නත්කරණ ප්‍රතිශක්තිය මගහැරීම පිළිබද අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍යයි.

ඉදිරි සති කිහිපය තුළ එම දත්ත ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා පළ කළා.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට ආසාදනය වීමේ හැකියාව පිළිබදවයි මෙහිදී විශේෂ අවධානය යොමු වන්නේ.

මේ අතර, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව සහ වීසා බලපත් හිමියන් සඳහා ලබන 01 වන දා සිට සිය දේශසීමා විවෘත කිරීමේ සැලසුම් ඕස්ට්‍රේලියාව විසින් දෙසැම්බර් 15 වන දා දක්වා කල් දමනු ලැබුවා.

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 13 කට ව්‍යාප්ත වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර, නව විද්‍යාත්මක දත්ත සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

එම මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ මෙරට තුළ එම ප්‍රභේදය ඇති බවට සහතික විය නොහැකි බවයි ෴

+++++++++++++++++

බූස්ටර් එන්නත පුද්ගලයින් ලක්ෂ 5 කට

(30.11.2021 – 08:48 +0530 – hirunews.lk/sinhala)

බූස්ටර් එන්නත ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂය (5,00,000) ඉක්මවා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ එය 5,81,973 ක් බවයි.

එසේම මේ වන විට ඕනෑ ම කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව මෙරට පුද්ගලයින් 15,927,537 කට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 13,741,194 දෙනෙකුට ලබා දී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *