ඩොලර්වලට හිර වූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම්

ඩොලර්වලට හිර වූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම්

*********************************************

ඩොලර්වලට හිර වූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම්

(29.11.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් හිඟය හේතුවෙන් පරිප්පු, අල, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් දහසක් පමණ මුදා ගැනීමට නොහැකිව කොළඹ වරායේ තිබෙන බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග අද (29) සාකච්ඡාවක නිරත වීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මේ අතර, පාන්, කොත්තුරොටි සහ කෙටි ආහාර වර්ග අද (29) සිට අලෙවි වන්නේ වැඩි කළ නව මිල ගණන් යටතේයි.

******************************************

ධුරවලට යට නොවන තම ඇමතිකම ගැන ඇමති දුමින්දගෙන් සැර ප්‍රකාශයක්

(29.11.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ඇමති ධුර දැරුව ද, ආණ්ඩුව වරදක් කරන අවස්ථාවලදී නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් නොමැති බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරොව්පතාන ආසන බල මණ්ඩලය අමතමින්.

******************************************

අවදානමට ලක් වූ හිඟුරක්ගොඩ ගිලා බසින ජීවිත

(29.11.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනකට මැදිවූ ගම්වාසීන් පිරිසක් පිළිබඳව පොළොන්නරුව – හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ, ජීවිතයකින් වන්දි ගෙවීමට පෙර තම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි.

******************************************

රඹුක්කන පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බලපත්‍ර රහිත දැව තොගයක් සමග අත්අඩංගුවට

(29.11.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් බුද්ධික ජයසූරිය බලපත්‍ර රහිතව මහෝගනී දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාල දැව තොගය ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරා වශයෙන් කටයුතු කර ඇත්තේ රඹුක්කන ‍ප්‍රාදේශීය සභාවේ හිරිවඩුන්න කලාපය නියෝජනය කරන අදාළ මන්ත්‍රීවරයා විසින්.

අද (29) අලුයම කෑගල්ල කලුගල්ල මාවතේ නාරම්බැද්ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මාර්ග බාධකයක් දමා සිදු කළ පරීක්ෂාවක දී අදාළ ලොරිය සහ දැව තොගය අත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් අදාළ ලොරි රථය සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල මූලස්ථාන පොලිසියට භාර දී තිබෙනවා.

පොලිසිය විසින් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ලබා ගැනීමෙන් පසු පොලිස් ඇප මත මන්ත්‍රීවරයා මුදාහැර ඇති අතර නැවත දෙසැම්බර් 08 වන දින කෑගල්ල මහේස්ත්‍රාත් ඉදිරියේ පෙනී සිටින ලෙසත් දන්වා තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් පදවාගෙන ආ ලොරි රථය සහ බලපත්‍ර රහිත ව ප්‍රවාහනය කළ දැව තොගය තවදුරටත් පවතින්නේ කෑගල්ල මූලස්ථාන පොලීසිය භාරයේයි ෴

******************************************

මැණිකෙලා දෙදෙනා වටගොඩ දී හමු වේ

(29.11.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග මාස 08 කට පමණ ආසන්න කාලයක් තාවකාලිකව නතර කර තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (29) දින යළි ආරම්භ කෙරුණා.

ඒ අනුව ‘පොඩි මැණිකේ’ දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවන කටයුතු මෙලෙස ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කළ ‘පොඩි මැණිකේ’ දුම්රිය සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රිය අද (29) දින දහවල් 1 ට පමණ අට (8) මසකට පසු තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානයේදි දුම්රියන් දෙක (2) එකිනෙක මාරු වීම ද සිදු වුණා.

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියේ ගමන් කිරීමට ද දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් එක්ව සිටීම ද විශේෂත්වයක් ෴

******************************************

රජයේ සේවකයින් කෑම පැයේදී විරෝධතාවක

(29.11.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දස දහසකින් (10,000) වැටුප් වැඩි කර ගැනීම, විශ්‍රාම යාමේ අවුරුදු හැට පහේ (65) සීමාව ඉවත් කිරීම, භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද (29) දිවයිනේ ප්‍රදේශ රැසක රජයේ සේවකයින් විරෝධතාවල නිරත වුණා.

කොළඹ, මහනුවර, බේරුවල, ගාල්ල ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක මෙලෙස විරෝධතා පැවැත්වුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කළමනාකරණ සේවය ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක රජයේ නිලධාරීන් මෙම විරෝධතාවලට එක්ව සිටියා.

අද (29) දිවා කෑම විවේකයේදී මොවුන් මෙලෙස විරෝධතාවලට එක්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴

******************************************

ලෝකයේ දියුණුම අන්තර්ජාල සේවා මෙරටට

(29.11.2021 – 16:16 +0530 – hirunews.lk/sinhala)

Starlink අන්තර්ජාල සේවා මෙරටට හඳුන්වා දීම සඳහා පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ ඒ සඳහා SpaceX ආයතනය සමඟ මූලික අදහස් හුවමාරු කරගැනීම සිදුකළ බවයි.

පළමු වටයේ අදහස් හුවමාරු කරගැනීමේදී මූලික වශයෙන් නියාමන කටයුතු සම්බන්ධයෙන් සහ එම සේවා මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය කරන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.

SpaceX සමාගම ලොව සිටින බිලියනපතියෙකු වන ඉලෝන් මස්ක් සතු සමාගමකි ෴

******************************************

ආරක්ෂක අංශ වෙත ඉඩම් පැවරීමේ සූදානමකට එරෙහිව විරෝධතාවයක්

(29.11.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

යාපනය, මාදගල් දකුණ ප්‍රදේශයේ ඉඩම් කොටසක් ආරක්ෂක අංශ වෙත පැවරීමේ සූදානමකට විරුද්ධව ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරතවුණා.

යාපනය, මාදගල් දකුණ ජේ 150 ග්‍රාම නිළධාරි කොට්ඨාශයේ ඉඩම් කොටසක් එලෙස ආරක්ෂක අංශ වෙත පවරාදීමේ සූදානමකට විරුද්ධවයි අද (29) දින ප්‍රදේශවාසීන් එහිදී විරෝධතාවය පල කළේ.

අදාළ ඉඩමේ මිනුම් කටයුතුවලට පිරිසක් පැමිණි අවස්ථාවේ අදාළ විරෝධතාවය පැවැත් වූ බවද, පෞද්ගලික ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරාදීමේ ක්‍රියාවලිය වහාම නවතා දැමිය යුතු බවයි එහිදී විරෝධතාකරුවන් පැවසූවේ ෴

******************************************

අර්ජුන රණතුංග එජාපයෙන් ඉවත් වෙයි

(29.11.2021 – 17:53 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග තීරණය කර තිබෙනවා.

ඔහු විසින් පක්ෂ නායකත්වය වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බවට හැගී යන බවයි.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ දැවැන්ත පරාජයක් බව ස්වයං විවේච්චනාත්මකව පිළිගත යුතු බවයි අර්ජුණ රණතුංග මහතා අවධාරණය කරන්නේ.

වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙලක් ඇතිවන බවක් පක්ෂය තුළ පෙනෙන්නට නොමැති බැවින් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බව ඔහු යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.

******************************************

පිටි සමාගම් මිල ප්‍රකාශයට පත් කරයි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි

(29.11.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන පිටි සමාගම් අද (29) සිය මිල ගණන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව සමාගම් දෙකම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17.50 කින් ඉහළ නැංවීමටයි තීරණය කළේ.

දැනට තිරිඟු පිටි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් පාරිභෝගික සේවා අධිකාරියට ද මිල ගණන් තීරණය කිරීම සම්බන්ධයෙන් සීමා පැනවීමේ හැකියාවක් නැහැ.

කෙසේ වෙතත්, පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පිටි සමාගම්වල නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබෙනවා.

පිටි මිල ඉහළ යාමත් සමඟ පාන්, කොත්තු සහ ක්ෂණික ආහාරවල මිල ගණන් මේ වන විට ඉහළ දමා ඇති අතර පාරිභෝගික ජනතාව ඒ පිළිබදව ඊයේ (28) දිනයේදී මෙන්ම අද (29) දිනයේදීත් අදහස් පළ කරමින් විරෝධයක් පළ කළා.

මේ අතර, කොළඹ වරායේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් දහසක් (1000) මුදා ගැනීමට අදාළ සාකච්ඡාවක් ආනයනකරුවන් සහ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර අද (29) පැවැත්වුණා.

එහිදී ඩොලර් හිඟය සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී මේ සම්බන්ධයෙන් සංවාදයට බදුන් කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත්තේ.

******************************************

ගෘහස්ථ ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවට පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්

(29.11.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ගෑස් සංයුතිය වෙනසකට ලක් කර ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ රසායනාගාර පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (29) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.

අදාල වාර්තාව කඩිනමින් සභාගත කිරීමට කටයුතු කරන ලෙස නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත සිදුකළ බැවින් එය ප්‍රසිද්ධ කිරීමට තමන්ට අයිතියක් නොමැති බවයි.

******************************************

පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරට

(29.11.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

අදාළ අනතුර ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සිදුවූවක් බවට තොරතුරු වාර්තා වනවා.

ඉදිකරමින් පවතින එම ගොඩනැගිල්ලේ සේවයේ නිරත අයෙකු මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගතකර කිරීමට එහි වැඩ කළ අනෙකුත් සේවකයින් පියවර ගතතා.

ගොඩනැගිල්ලේ තුන්වන මහල වෙත කම්බියක් රැගෙන යාමට උත්සාහ ගැනීමේදී ඔහු මෙලෙස විදුලි සැර වැදීමෙන් අනතුරට ලක්ව ඇති බවට ආරංචි මාර්ග සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

******************************************

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිඳවැටීම් යථාතත්වයට

(29.11.2021 – 21:22 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිඳවැටීම් යථාතත්වයට පත්කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා.

කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් අද (29) රාත්‍රී 07:35 ට පමණ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීමක් වාර්තා වුණා.

ඒ අනුව බියගම, කොටුගොඩ, හබරණ, ගාල්ල, මාතර, පන්නිපිටිය, රත්මලාන, ශ්‍රී ජයවර්ධනපුර, කුරුණෑගල, කිරිබත්කුඹුර, අතුරුගිරිය, සපුගස්කන්ද, කොස්ගම යන ග්‍රීඩ් උපපොළවල් ආශ්‍රිත ප්‍රදේශවල මෙම විදුලි බිඳ වැටීම් වාර්තාවන බවයි සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *