ප්‍රභාකරන්ගේ උපන්දිනය ජයටම සැමරෙයි – තැන් කිහිපයක උණුසුම් තත්ත්වයක්

ප්‍රභාකරන්ගේ උපන්දිනය ජයටම සැමරෙයි – තැන් කිහිපයක උණුසුම් තත්ත්වයක්

*********************************************

ප්‍රභාකරන්ගේ උපන්දිනය ජයටම සැමරෙයි – තැන් කිහිපයක උණුසුම් තත්ත්වයක්

(29.11.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මස 26 සහ 27 දිනයන්ට යෙදී ඇති මහවිරු දිනය සහ එල්.ටී.ටී.ඊ. නායකයාගේ උපන්දිනය උතුරු පළාතේ ස්ථාන කිහිපයක රහසිගතව සහ විවිධාකාරයෙන් සැමරුම් සිදුකර ඇති අයුරු වාර්තා වනවා.

මේ අතර පසුගිය වසරවලට වෙනස්ව උතුරේ ස්ථාන කිහිපයක මහවිරු සැමරුම් සිදු කිරීමට පියවර ගෙන තිබූ අතර, එම සැමුරුම් වෙනුවෙන් ද ආරක්ෂක අංශ සීරුවෙන් සිටීම හේතුවෙන් සැමරුම් සිදු කරන ලද පුද්ගලයින් සහ ආරක්ෂක අංශ අතර ඇතම් ස්ථානවලදී උණුසුම් තත්ත්වයන් ඇති වුණා.

මුලතිව් වෙරළ ආසන්නයේ මහවිරු සැමරුමක් සිදු කිරීමට ගිය පිරිසක් අතර සිටි පුද්ගලයෙකු පොලිස් භාරයට ගැනීමට යාමේදී එහි සිටි පිරිස් සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී පොලීසියට රැස්ව සිටි පිරිස්වලින් දැඩි විරෝධයක එල්ල වූ බවයි වාර්තා වන්නේ.

නමුත් පොලීසිය සඳහන් කොට සිටියේ අදාළ පුද්ගලයා පොලිස් භාරයට ගැනුණේ, පහරදීමක් සම්බන්ධයෙන් බවටත් අනතුරුව ඔහු පොලිස් ඇප ලබා මුදා හැර ඇති බවටත් ය.

එමෙන්ම යාපනය වේලනෙයි ප්‍රදේශයේ ද මහවිරු සුසාන භූමියක මහවිරු සැමරුමක් සිදු කිරීමට ගිය පිරිසකට ආරක්ෂක අංශ විසින් එය නැවත්වීමට පියවර ගැනීමත් සමග අදාළ පිරිස්වල දැඩි විරොධයක් එල්ල වුණා.

උතුරු පලාතේ අධිකරණ කිහිපයකින් මහවිරු සැමරුම් සඳහා අධිකරණ තහනම් නියෝග පොලීසිය විසින් ලබා දී තිබූ අතර, තහනම් නියෝග ලබා නොදුන් අධිකරණ මගින් යම් මහවිරු සැමරුමක් සිදුකොට මහජන සාමය කඩකෙරෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කෙරෙන්නේ නම්, නීත්‍යානුකූලව කටයුතු කොට අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොලීසියට නියෝග කළා.

එවැනි වාතාවරණයක් අතර යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය යන දිස්ත්‍රීක්කයන්හි දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහවිරු පවුල් සාමාජිකයින් විසින් මහවිරු සැමරුම් ලෙසින් ප්‍රසිද්ධියට පත් නොකොට විවිධාකාරයෙන් සැමරුම් සිදු කර තිබෙනවා.

ප්‍රභාකරන් මියගිය මුලතිව් නන්දිකඩාල් කලපුවේ, මුලතිව්හි හින්දු කෝවිල් කිහිපයක සහ මුහුදු වෙරළ ආසන්නයේ ද යාපනය දිස්ත්‍රික්කයේ ද ස්ථාන 20 කට ආසන්න ප්‍රදේශයන්හි මහවිරු සැමරුම් සිදුකළ අතරම යාපනය සරසවියේ ද සිසුන් පිරිසක් රහසිගතව සරසවිය තුළ ගොඩනැගිල්ලක ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ 67 වන උපන්දිනය වෙනුවෙන් කේක් ගොඩියක් ද කපා තිබූ බව ද වාර්තා වනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වනදාට යෙදීම සහ එම සංවිධානයේ කර්නල්වරයෙකු වූ ශංකර් නමැත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමත් හේතුවෙන් මෙලෙස මහවිරු සැමරුම් සිදු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් වෙනත් වසරවලදී මෙන් මෙවර මහවිරු සැමරුම් ප්‍රසිද්ධියේ සිදු නොවීම ද විශේෂත්වයක් වන අතර, මහවිරු සැමරුම් සිදුවන ස්ථානවල ආරක්ෂක අංශ විසින් ද අධික්ෂණය කරනු ලැබුවා ෴

******************************************

මීනගයා යළි මඩකලපුවට – පොඩි මැණිකේත් බදුල්ලට ගමන් අරඹයි

(29.11.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

පුනානි සහ වැලිකන්ද අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය 27 වනදා අත්හිටවූ කොළඹ – මඩකලපුව අතර දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (28) රාත්‍රී 7 ට කොළඹ – කොටුවෙන් ‘මීනගයා’ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මඩකලපුව බලා ධාවනය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය ද අද (29) සිට යළි ධාවනය ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

එසේම පුත්තලම දුම්රිය මාර්ගය ද මේ වනවිට පිළිසකර කිරීමේ කටයුතු අවසන් බැවින් බොහෝ දුරට එම මාර්ගයේ ද දුම්රිය ධාවනය හෙට (30) සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ ෴

******************************************

පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගෙන් විශේෂ නිවේදනයක්

(29.11.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමට වැය කරන මුදල් පිළිබඳ ගැටලුවක් පවතින බව පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

කොවිඩ් නිසා අර්බුධයකට ලක් වී ඇති තම කර්මාන්තය අමුද්‍රව්‍ය හිඟය නිසා තවදුරටත් අභියෝගයකට ලක් වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අමුද්‍රවය ආනයනය කර, රටට අවශ්‍ය පාවහන් සියයට අනූ පහක් ම (95%) මෙරටදී ම සාදා ගැනීමට හැකියාව තිබිය දී දේශීය නිෂ්පාදකයින්ට නිසි අනුග්‍රහයක් නො දෙන බව එම සංගමය සඳහන් කරනවා.

නිලධාරින් තම ගජමිතුරන්ට බාල නිමි භාණ්ඩ ගෙන්වීමට අවස්ථාව ලබා දෙනවා දැ යි යන සැකයක් ද පවතින බවයි ඔවුන් සඳහන් කළේ.

සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනටය සම්බාධක පැනවීමෙන්, නිෂ්පාදන ක්‍රියාවලිය නැවතී රැකියා අහිමි විය හැකි බවත් ඊට අමතර ව මූල්‍ය ආයතන හා බැංකු පද්ධතිය අවධානමට ලක් විය හැකි බවත් ඔවුන් අවධාරණය කරනවා.

එම නිසා රජයේ මැදිහත් වීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරක්ෂා කරගැනීම සඳහා අමුද්‍රවය ගෙන ඒම පිළිබඳ නිසි යාන්ත්‍රණයක් සකසන ලෙසයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ ෴

******************************************

අලි අගල ඉල්ලා විරෝධතාවක්

(29.11.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – ශ්‍රාවස්තිපුර සහ තලාව ප්‍රදේශවල අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස අගල් කැපීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව නතර කර ඇති බව පවසමින් එම ප්‍රදේශවල ජනතාව තලාව තේක්ක හන්දිය ප්‍රදේශයේදී විරෝධතාවක නිරතවුණා.

ඊයේ (28) පස්වරුවේ පැවති මෙම විරෝධය හේතුවෙන් අනුරාධපුර – කුරුණෑගල – ඇල්ල මාර්ගය අවහිර වූ අතර, විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ කඩිනමින් අගල් කපා වන අලි අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසයි.

අඩි 10 ක් පළලට සහ අඩි 10 ක් ගැඹුරට කිලෝමීටර 17 ක දුරක් මෙලෙස අගල් කැපීමට සැළසුම් කර තිබූ බවයි විරෝධතාකරුවන් එහිදී සඳහන් කළේ ෴

******************************************

මරණ තර්ජන කළ මහරගම නගරාධිපති තවමත් නිදැල්ලේ

(29.11.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් දා හොරෙන් විදුලිය ලබාගත් මහරගම නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිසියට සහ විදුලි බල මණ්ඩල නිලධාරින්ට මරණ තර්ජනය කොට දින හතක් (7) ඉක්ම ගොස් ඇතත් මේ දක්වා ඔහු අත්අඩංගුවට නො ගැනීමට එරෙහි ව මහරගම නගර සභාව ඉදිරිපිට අද (29) උදෑසන විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහුගේ පියා ඉදිරිපත් කොට නගරාධිපතිවරයා බේරී ඇති බවත් එහි දී නගරාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට මරණ තර්ජනය කිරීම බරපතළ වරදක් බවත් විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය භාර ඇමතිවරයා වහා මැදිහත් වී නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඔහුට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සඳහන් කළ විරෝධතා පුවරු සහිතවයි උද්ඝෝෂණ‍යේ පැවැත්වුණේ ෴

******************************************

රුහුණු සරසවි උපකුලපති පිළිබඳ පාර්ශව දෙකකින් (2) චෝදනා

(29.11.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

වසර තුනකට (3) ආසන්න කාලයක සිට සුජීව අමරසේන උපකුලපතිවරයා විසින් රුහුණ විශ්වවිද්‍යාලය තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අත්තනෝමතික පරිපාලනයක් ගෙනයමින් ඇති බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරනවා.

එම කාලය තුළ ශිෂ්‍යයින්, ආචාර්යවරුන් සහ සේවකයින් නිහඬ කිරීමේ දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් ඇති බව හා එම නිසා අධ්‍යයන සහ අනධ්‍යයන නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා රුහුණ සරසවි ප්‍රජාවට ම අහිමි වී ඇති බව යි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ.

අසාධාරණ ලෙස චෝදනා ගොඩනගමින් සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, ආචාර්යවරුන්ට විනය පරීක්ෂණ සහ විශ්‍රාම ගැන්වීමටත් සේවකයින්ට ස්ථාන මාරු ලබා දීමට සහ සේවයෙන් පිටමං කිරීමටත් කටයුතු කර ඇති බව ඔවුන් පවසනවා.

ශිෂ්‍ය නේවාසිකාගාර තුළ පවා CCTV කැමරා සවි කරමින් සිසුන්ගේ පෞද්ගලිකත්වය සීමා කර ඇති බව ද ඔවුන් සදහන් කර සිටිනවා.

ඔවුන් වැඩිදුරටත් සදහන් කර සිටින්නේ, ඉදිරි වසර තුනක (3) කාලය සඳහා නව උපකුලපතිවරයකු පත් කිරීමේ කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.

නමුත් චන්ද විමසීම සඳහා ඉදිරිපත් ව ඇත්තේ සුජීව අමරසේන උපකුලපතිවරයා සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනක් පමණක් බවට වාර්තා වී ඇති අතර, රුහුණ විශ්වවිද්‍යාලයේ පවතින මෙම මර්දන ගැටලුව නිරාකරණය කිරීම සදහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මඟින් ජනාධිපතිවරයාට ඒකාබද්ධ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාවලිය : [පිටුව 1][පිටුව 2][පිටුව 3][පිටුව 4][පිටුව 5]

******************************************

විදුලි සැර වැදීමකින් වනඅලියෙකු මරුට

(29.11.2021 – 11:36 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් කරපිංචාලන්ද යාය මයිලවල ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් වන අලියෙකු මියගොස් තිබෙනවා.

අනවසර විදුලි රැහැන් පද්ධතියක ගැටීමෙනුයි මෙම වන අලියා මියගොස් ඇත්තේ.

විදුලි රැහැන සවි කළ පුද්ගලයා හදුනාගෙන ඇති අතර, ඔහු ව අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

වනඅලියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (29)දින සිදු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිසිය සහ හම්බෙගමුව වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කෙරෙනු ඇති ෴

******************************************

නුවරඑලිය අරලිය හෝටලයේ පස්වන මහලින් ඇද වැටී අයෙක් මිය යයි…

(29.11.2021 – 10:00 +0530 – lankacnews.com)

නුවරඑලිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක (Green Araliya) සේවය කල කලමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් 29 වන දින අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම හෝටලේ සුපිරි වෙලදසැලක කලමණාකරුවෙකු වශයෙන් කටයුතු කල තරංග ප්‍රියන්ත හෙට්ටිආරච්චි නැමති 47 හැවිරිදි ගම්පොල දොලොස්බාගේ පාරේ පදිංචි දෙදරු පියෙකි.

එම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාදයක් 28 වන දින පවත්වා ඇති අතර එම සාදයෙන් අනතුරුව එම සාදයට සහභාගි වු සේවකයින් විසින් කලමණාකරුව ඔහු නවාතැන් ගෙන සිටි එම හෝටලයට අයත් තවත් හෝටලයක පස්වන මහලේ පිහිටි ඔහුගේ කාමරය වෙත කැදවාගෙන ගොස් ඇරලවා ඇත.

කාමරයේ ජනේලය මත රැදි සිටි කලමණාකාරවරයා 29 වන දින අලුයම 01:45 ට පමණ පහලට වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැකකරයි.

ජිවිතක්ෂයට පත් කලමණාකරවරයාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පැවසිය ෴

******************************************

සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් ඉහළ දැමූ තිරිඟු පිටි මිල ප්‍රකාශයට පත් කරයි

(29.11.2021 – 12:06 +0530 – hirunews.lk/sinhala)

අද(29) සිට බලපැවැත්වෙන පරිදි සෙරන්ඩිබ් ආයතනය ද තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17.50 කින් ඉහළ දමා තිබෙනවා.

දේශීය සහ විදේශීය වෙළඳපල තත්වයන් පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස මිල ඉහළ දැමූ බවයි එම සමාගම සඳහන් කළේ.

එසේම ප්‍රීමා සමාගමද පසුගිය සෙනසුරාදා සිට බලපැවැත්වෙන පරිදි තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17.50 කින් ඉහළ දමනු ලැබුවා ෴

******************************************

හැටන් ප්‍රදේශයේ ආපණ ශාලාවක පිපිරීමක්

(29.11.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත අනතුරුවල යම් සැළකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ගෑස් සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තා ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් ලබා දී ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, හැටන් මලියප්පුව ප්‍රදේශයේ පිහිටි ආපණ ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් අද (29) පෙරවරුවේ පිපිරීමක් සිදු වී තිබෙනවා.

කලක සිට තමන් මෙම ආපණ ශාලාව පවත්වාගෙන ගිය අතර, උදෑසන ආහාර පිසිමින් සිටිය දී අදාළ පිපිරීම සිදු වූ බවයි ආපණ ශාල හිමිකරු පැවසුවේ.

අදාළ සිද්ධියට හේතු වී ඇත්තේ, ගෑස් ටැංකිය සහ ගෑස් ලිප අතර ඇති නළය පුපුරා යෑමයි.

මෙම ගින්නෙන් වෙළෙඳසැලට හානි සිදුව ඇති අතර, පිසිමින් සිටි ආහාර ද විනාශ වී තිබෙනවා.

මේ මාසයේ මේ දක්වා ගෑස් අනතුරු 11 ක් පමණ වාර්තා වී ඇති අතර, ආසන්නතම සිදුවීම අද, පොල්ගස්ඕවිට – සියඹලාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මත්තේගොඩ ප්‍රදේශයේ වෙළඳසැළකින් මිලදී ගත් ගෑස් සිලින්ඩරයක් නිවසට රැගෙන ඒමෙන් පසුව එය කාන්දු වූ බවයි නිවෙස් හිමි පුද්ගලයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර ඊයේ (28) කෑගල්ල, පුත්තලම – ආරච්චිකට්ටුව, අහංගම, ජාඇළ ප්‍රදේශවලින්ද මෙවැනිම ගෑස් සම්බන්ධ සිදුවීම් වාර්තාවූ අතර, මීට පෙර නිකවැරටිය, වැලිගම, අලව්ව, රත්නපුර, කොළඹ සහ පන්නිපිටිය ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත ගිනිගැනීම් වාර්තා වුණා.

******************************************

නරක්වූ අර්තාපල් ක්‍ෂණික ආහාර සඳහා බෙදාහරින ජාවාරමක් හෙළිවෙයි

(29.11.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කළ නරක්වූ අර්තාපල් ක්‍ෂණික ආහාර නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහැරීමේ ජාවාරමක් අනාවරණ කරගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුලු කණ්ඩායමක් සමත්වී තිබෙනවා.

ඒ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක කණ්ඩායමක් වරායෙන් ඉවත්කරන අර්තාපල්, කන්ටේනර්වල පටවා, දඹුල්ලට රැගෙන විත් නැවත සුද්ධ පවිත්‍ර කර මෙලෙස මහ පරිමාණ සහ කුඩා හෝටල්වල ආහාර නිෂ්පාදනය සඳහා අලෙවි කරන බවට ඔවුන්ට ලැබී තිබූ තොරතුරකට අනුවයි.

ඒ අනුව දඹුල්ල නගරාධිපතිවරයා ඇතුලු පිරිස ඊයේ(28) අදාළ වැටලීම සිදුකර ඇති අතර, එහිදී හෙළිවුණේ අදාළ ගබඩාව තුළ නරක්වූ අර්තාපල් කිලෝ 45,000 ක් පමණ පවතින බවයි.

අනතුරුව එම ගබඩාව හිමි ව්‍යාපාරිකයාද එම ස්ථානයට පැමිණි අතර, මේවා ඉන්දියාවේ සිට රැගෙන ආ බවත්, දඹුල්ලට සහ වරායෙන් ඉවතට ගත් කිසිදු ලියවිල්ලක් තමන් සතුව නොමැති බවත් ඔහු පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ගබඩාවට මේ වනවිට මුද්‍රා තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන් රටවල් 12 කින් හිස ඔසවයි

(29.11.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් නව ප්‍රභේදය මේ වන විට රටවල් 12 කින් තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බ්‍රිතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, හොංකොං, ඊශ්‍රායලය, ඉතාලිය, කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින්.

නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ දකුණු අප්‍රිකාවට රටවල් රැසක් සංචාරක තහනම් පනවනු ලැබුවා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා එම තහනම හෙළා දැක ඇති අතර, විද්‍යාත්මක පදනමකින් තොරව පැනවූ එම තහනම් ඉවත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

මේ අතර ඊයේ (28) මෙරටින් නව ආසාදිතයන් 742 කු හඳුනාගැනීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ 62,520 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 18,553 ක්.

නව මරණ 27 ක් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,305 ක් ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *