ජා ඇලින් සහ අහංගමිනුත් ගෑස් ආශ්‍රිත තවත් සිදුවීම් දෙකක් (2)

ජා ඇලින් සහ අහංගමිනුත් ගෑස් ආශ්‍රිත තවත් සිදුවීම් දෙකක් (2)

*********************************************

ජා ඇලින් සහ අහංගමිනුත් ගෑස් ආශ්‍රිත තවත් සිදුවීම් දෙකක් (2) – සීනිගම දේවාලයේ දේව කන්නලව්වක්

(29.11.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම කෙරෙහි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ගිනි ගැනීම් වාර්තා වූ ස්ථාන වෙත එම දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, අහංගම ප්‍රදේශයේ හෝටලයක ඊයේ (28) පස්වරුවේ ගෑස් සිලින්ඩරයකට රෙගියුලේටරය සවි කිරීමට යාමේදී විශාල ශබ්දයක් ඇසීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

ඒ පිළිබදව අහංගම පොලිසියට ද තොරතුරු වාර්තා වී ඇති බවයි අප කළ විමසීමකදී සදහන් කළේ.

කෙසේ වෙතත්, කිසිදු ගිනි ගැනීමක් එම ස්ථානයේ සිදුව නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

එමෙන්ම, ජාඇල – තුඩැල්ල ප්‍රදේශයේ නිවසකින් ද ඊයේ (28) රාත්‍රියේ විශාල ශබ්දයක් සමගින් ගෑස් ලිප පුපුරා යාමේ සිද්ධියක් වාර්තා වුණා.

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් දෙකක් (2) ඊයේ (28) දිනයේම කෑගල්ල සහ පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් ද වාර්තා වූ අතර, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගෑස් ආශ්‍රිතව වාර්තා වූ සිදුවීම ද අලුතින් මිල දී ගත් සිලින්ඩරයකට රෙගියුලේරටය සවි කර ලිප දැල්වීමට යාමේදී ඇති වූවක් බව සඳහන්.

එමෙන්ම, ගත වූ දින කිහිපය තුල ගෑස් කාන්දු ආශ්‍රිතව ඇති වු ගිනි ගැනීම් සිද්ධීන් රත්නපුර, අලව්ව, වැලිගම, පන්නිපිටිය, කොළඹ තුරඟ තරඟ පිටිය අසල අවන්හලකින් සහ නිකවැරටිය ප්‍රදේශවලින් ද වාර්තා වී තිබුණා.

එම තත්ත්වය හමුවේ සිලින්ඩරවල අන්තර්ගත සංයුතිය සම්බන්ධයෙන් සමාජය තුළ වැඩි කතාබහක් මතුව තිබෙනවා.

ජනතාව තුළ පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගත්තේ කොළඹ ඇතුළු දිස්ත්‍රික් 7 කින් සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි.

එහි වාර්තා අද (29) තමන් වෙත ලැබෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ.

මේ අතර, ගෑස් අනතුරුවලින් ජනතාව බේරාදෙන ලෙස ඉල්ලා ඊයේ (28) සීනිගම දේවාලයේ දේව කන්නලව්වක් පැවැත්වුණා.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ගෑස් ටැංකියක් ද රැගෙන සීනිගම දේවාලයට ගොස් පඬුරක් ගැට ගසා දේව කන්නලව්වක් පැවැත්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සිලින්ඩරවල පවතින ගෑස් සංයුතිය වෙනස්වීම හේතුවෙන් ගිනිගැනීම් සිදුවන බවට පැහැදිළි කිරීම සඳහා මහජනයා සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පසුගිය දා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ද නිකුත් කර තිබුණා ෴

++++++++

තවත් ගෑස් කාන්දුවීමේ සිදුවීම්

(29.11.2021 – 12:02 +0530 – sinhala.adaderana.lk)

ගෘහස්ත ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දුවීමේ සිද්ධීන් දෙකක් (2) අදත් (29) වාර්තා විය.

ඒ පොල්ගස්ඕවිට සහ ජාඇල ප්‍රදේශවලිනි.

පොල්ගස්ඕවිට සියඹලාගොඩ රණවිරු ප්‍රේමසිරි මාවතේ පිහිටි නිවසක හිමිකරු ඊයේ (28) මිලදීගත් ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වන පවසයි.

එම ගෑස් සිලින්ඩරයේ වෑල්වයෙන් ගෑස් කාන්දුවන ආකාරය නිවසේ හිමිකරු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

ඉන් පසු නිවසේ හිමිකරු සිලින්ඩරය නිවසෙන් පිටතට රැගෙන ගොස් ගෙවත්තේ පාළු ස්ථානයක තබා ඒ පිළිබඳව ගෑස් සැපයුම්කරුට දැන්වීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු පවසා සිටියේ, “මම පොලිස් මූලස්ථානයට කතා කරලා ඇහුවා මොකක්ද මේකට කරන්නේ කියලා. ඒ අය කිව්වා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශයට කතා කරලා කියන්න කියලා. ඒකටත් මම කතා කරලා පණිවුඩයක් දුන්නා. පොදු මහජනතාවට කරදරයක් වෙන්නේ නැතිව මේ හරිගස්සන කියන එක තමයි අපිට අවශ්‍ය.” යනුවෙනි.

මේ අතර ජා ඇල, තුඩැල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ (28) රාත්‍රීයේදී ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදුවූ බව නිවැසියන් පැවසීය.

නිවැසියන් පැවසුවේ ඒ පිළිබඳව පොලිසියටද පැමිණිලි කළ බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ කාන්තාවක් පැවසුවේ, “මම මේ උයලා ඉවරවුණා විතරයි. ලිප ‘ඕෆ්’ කෙරුවාම තමයි ඒ පිපිරීමේ සද්දේ ආවේ. ඊට පස්සේ මම කෑගැහුවා. පස්සේ පුතා ඇවිත් ‘ඕෆ්’ කළා.” යනුවෙනි.

මතුව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය නිසා සිලින්ඩර්වල අන්තර්ගත සංයුතීන් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 6 කින් සාම්පල ලබාගෙන ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (28) ප්‍රකාශ කළේය.

ඒ කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලිනි.

++++++++

ගෑස් සංයුතියේ වෙනසක් සිදු වුවහොත් පිටතට ගෑස් පැමිණිය හැකියි – ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා

(29.11.2021 – 05:55 +0530 – lankaleadnews.com)

ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා පවසන්නේ සිලින්ඩරය ශක්තිමත් වුවද ගෑස් සංයුතිය වෙනස් වුවහොත් ගෑස් පිටතට පැමිණිය හැකි බවයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රොපේන් පීඩනය බ්‍යුටේන් පීඩනය මෙන් 4 ගුණයක් බවයි.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් නිමල් ද සිල්වා මහතා පවසා සිටියේ,

“ගෑස් සිලින්ඩරයේ වෑල් එක ‘ඩිසයින්’ කරලා තියෙන්නේ ප්‍රොපේන් 30 යි බ්‍යුටේන් 70 ට නම්, ඒකට අපි ප්‍රොපේන් 30 ට වැඩිය දැම්මොත් ඒ වෑල් එකට ඔරොත්තු දෙන්නේ නැතුව යන්න පුළුවන්. බ්‍යුටේන් ‘ප්‍රෙෂර්’ එක අඩුයි. හැබැයි ප්‍රොපේන් ‘ප්‍රෙෂර්’ එක, බ්‍යුටේන් ‘ප්‍රෙෂර්’ එක වගේ 4 ගුණයක්. ඊළඟට රෙගියුලේටරය.. එය ප්‍රමිතියට හදලා තියෙනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඊළඟට බලන්න ඕනේ ඇයි වෑල් එකෙන් ලීක් වෙන්නේ කියලා. පීඩනයේ තමයි මෙතන ප්‍රශ්නය. එතකොට පීඩනය ඇතිවෙන්නේ සංයුතිය වෙනස් වුණොත් විතරයි. පාරිභෝගිකයා ගෑස් සිලින්ඩරයක් ගෙනාවොත් සබන් වතුර ටිකක් දාලා බලන්න ගෑස් ලීක් වෙනවාද කියා. එහි ලීක් එකක් තිබුණොත් ගේ ඇතුළට ගන්න එපා. ආපසු ගිහින් බාරදෙන්න ගත්ත තැනට. නැත්නම් ඒ ගත්ත තැනට කෝල් කරලා කියන්න. ඊළඟට රෙගියුලේටරයත් මාරු කරන්න. හැබැයි හොඳ එකක් ගන්න. ඊට පස්සේ ගෑස් ගෙනයන බටෙත් හොඳට පරීක්ෂා කරලා බලන්න. මොකද මේවා අපි නොසලකා හැරියොත් ජීවිත හානියක් වෙන්නත් පුළුවන්.”

මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති ගෑස් සිලින්ඩරවල පිපිරීම්වලට හේතුව සොයා මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙන බව බලධාරිහු පවසති.

කෙසේ වෙතත් වායු සංයුතියේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති බව ලිට්‍රො සහ ලාෆ්ස් යන ගෑස් සමාගම් දෙකම (2) අවධාරණය කරයි ෴

******************************************

‘දෝස්ති’ය නිමා වෙයි

(28.11.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව – මාලදිවයින සහ ඉන්දියාවේ නාවික හමුදා ඒකාබද්ධව සිදුකළ නාවික අභ්‍යාසය අද (28) අවසන් වුනා.

‘දෝස්ති’ ලෙස නම්කර තිබූ මෙම දෙදින (2) නාවික අභ්‍යාසය පැවැත්වුණේ මාලදිවයින් මුහුදේයි.

ඉන්දියානු සාගරයේ ආරක්ෂාව මූලික අරමුණ කරගත් මෙම නාවික අභ්‍යාසයේදී මත්ද්‍රව්‍ය නාෂක මෙහෙයුම් – නිර්ක්ෂණ හා මුදවාගැනීම් ඇතුලු අභ්‍යාස කිහිපයක් සිදුකළ බවයි කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ෴

******************************************

සාධාරණ අධිකරණ පද්ධතියක් රටට අවශ්‍යයි – සජිත් ප්‍රේමදාස

(28.11.2021 – 23:19 +0530 – hirunews.lk/sinhala)

සාධාරණ රටක් තුළ සාධාරණ නීති පද්ධතියක් මෙන්ම අධිකරණ පද්ධතියක් ද තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පිළියන්දල පැවති වැඩසටහනකදී.

මේ අතර, මෙරට නායකත්වය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුදුසු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම බොරලැස්ගමුවේ පැවති ජනහමුවකදී ප්‍රකාශ කළා.

******************************************

ආණ්ඩුවේ වරදක් ඇත්නම් විවේචනය කරන්න – ඩලස් අලහප්පෙරුම

(28.11.2021 – 23:23 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ වරදක් ඇත්නම් විවේචනය කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

******************************************

ගෙවුණු 24 පැය තුළ දී මාරක රිය අනතුරුවලින් පුද්ගල මරණ 04 ක්

(29.11.2021 – 07:07 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල මරණ 04 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, ඊයේ (28) පස්වරුවේ දී කටුගස්තොට, වට්ටාරම්තැන්න ධර්මරාජා පිරිවෙන අසල දුම්රිය මාර්ගයේදී මාතලේ සිට මහනුවර දක්වා ගමන් කළ මගී ප්‍රවාහන දුම්රියක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ, 47 හැවිරිදි වියෙහි පසු වූ වටපුළුව ප්‍රදේශයෙහි පදිංචිකරුවෙක්.

එමෙන්ම කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ ගමන් කළ කාන්තාවක් නුවර දෙසට වේගයෙන් ධාවනය වූ වාහනයක ගැටී බරපතළ තුවාල ලබා, රෝහලට රැගෙන යාමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් පසුව අදාළ රථය පලා ගොස් ඇති අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 56 හැවිරිදි නුගවෙලවත්ත ප්‍රදේශයේ තැනැත්තියක්.

අනතුර සිදු කර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

මේ අතර, පනාමුර – සූරියකන්ද, ඇඹිලිපිටිය මාර්ගයේ ගලමඩ හන්දිය අසල දී ඇඹිලිපිටිය සිට පනාමුර දෙසට ධාවනය වූ ගිලන්රථය දැක, යතුරුපැදිය වම්පසට ගැනීමට තිරිංග යෙදීමේ දී එය මාර්ගයේ ලිස්සා ගොස්, ඉදිරියෙන් ආ ගිලන් රථයෙහි ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු රෝහල්ගත කිරීමෙන් පසු ඉන් පසුපැදිකරු ජීවිතක්ෂයට පත් වූ අතර, එලෙස මිය ගියේ, කොලොන්න ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි තැනැත්තියක්.

එමෙන්ම ඊයේ (28) දිනයේ අතුරුගිරිය, මාලඹේ ප්‍රධාන මාර්ගයේ අධිවේගී ගුවන් පාලම මත දී මාලඹේ දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ හමුදා ට්‍රක් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටී එහි පැමිණි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 39 ක් වූ දකුණු තලංගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, අනතුරට හේතුව වී ඇත්තේ, යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය බවයි පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.

කෙසේ වෙතත් හමුදා ට්‍රක් රථය ධාවනය කළ පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

කොත්තුවක මිල රුපියල් 10 කින් ඉහළට

(29.11.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි මිල වැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පිටි සමාගම්වල අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එමෙන්ම, අද (29) සිට පාන් ගෙඩියක් සහ කොත්තුවක් රුපියල් 10 කින් මෙන්ම ක්ෂණික ආහාර රුපියල් 05 කින් ඉහළ නැංවීමට බේකරිහිමියන්ගේ සහ ආපාණශාලා හිමියන්ගේ සංගම් තීරණය කළා ෴

******************************************

‘සහයෝගය විවේචනශීලීව’ – නිදහස් පක්ෂය ආණ්ඩුවට කියයි

(29.11.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවෙන් ඉවත් වීමට තවමත් සූදානමක් නොමැති බවත්, විවේචනශීලී සහයෝගය ලබාදෙමින් ඉදිරියට ගමන් කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ, කුරුණෑගල ඊයේ (28) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ෴

******************************************

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට

(29.11.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නො මැති ව පුපුරන ද්‍රව්‍යයක් වන පොටෑසියම් නයිට්‍රේට් කිලෝ 23 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු කටාන- කලුවාරිප්පුව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව නිවේදනය කළ අතර, මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 54 ක පුද්ගලයෙක් ෴

******************************************

බහලුම් මුදාගන්න ආනයනකරුවන් යළි මහබැංකු අධිපතිගේ සහාය පතයි

(29.11.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් හිඟය හේතුවෙන් තවදුරටත් පරිප්පු, අල, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත බහලුම් දහසක් පමණ කොළඹ වරායෙන් මුදාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අද (29) වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

මීට පෙර වාර්තා වූයේ බහලුම් 1,200 ක් පමණ ඩොලර් නොමැතිව කොළඹ වරාය තුළ සිර වී ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ ඉන් බහලුම් 200 ක් පමණ මුදාගැනීමට හැකි ව තිබෙනවා.

ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් දිගින් දිගටම කොළඹ වරායේ සිරව පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව එම බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් කරන ලෙස බැංකුවලට මහබැංකු අධිපතිවරයා අවශ්‍ය උපදෙස් ලබා දී තිබුණා.

කෙසේ වෙතත්, දැනට සති දෙකක (2) පමණ කාලයක සිට යළිත් වරක් වරාය පරිශ්‍රයේ බහලුම් දහසක් (1000) පමණ ගොඩගැසී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

මෙම බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙස පසුගිය සතියේ අදාළ අංශ වෙත දැනුවත් කිරීම් කළ ද මේ දක්වා විසදුමක් ලැබී නොමැති බව ඔවුන් කියා සිටියේ ෴

******************************************

පොහොර ගැසට්ටුව ප්‍රමාදය ගැන නලින්ගෙන් ප්‍රකාශයක්

(29.11.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ප්‍රමාද වීමට හේතුව පෞද්ගලික සමාගම් හරහා පොහොර ආනයනය කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ප්‍රකාශ කළා.

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5 ක් භාවිතය හෝ විකිණීම තහනම් කරමින් 2014 වසරේ දෙසැම්බර් 22 වන දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනය පසුගිය 22 වන දා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් අවලංගු කෙරුණා.

ඒ අනුව ග්ලයිෆොසෙට් වල් නාශකයට අමතරව ප්‍රොපනිල් වල්නාශකය, සඳහා පැන වූ තහනම මෙලෙස ඉවත් කෙරුණු අතර, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන කෘමිනාශක සඳහා පැනවූ තහනම ද එම ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබුණා.

කෙසේ වෙතත්, රසායනික පොහොර තහනම් කරමින් යළි ගැසට් නිවේදනයක් මේ මස 26 වන දා නිකුත් කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා අයවැය විවාදය අතරතුර දී කියා සිටිය ද මේ දක්වා එය නිකුත් කර නැහැ.

මේ අතර, පොහොර මෙතෙක් නොලැබීම නිසා සිය බඩඉරිගු වගාවන්, මේ වන විට සේනා දළඹු උවදුරට ගොදුරු වී ඇති බව හොරොව්පතාන – කකුල්බැදිදිගිලිය ගම්මානයේ ගොවීන් ප්‍රකාශ කළා ෴

******************************************

ඉටි පන්දම් පෝලිම් ගැනත් අනතුරු අඟවයි – ඉටිපන්දමටත් පෝලිම් හැදෙන ලකුණු

(29.11.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

යළි ඉන්ධන මිල ඉහළ දැමුවහොත් ත්‍රීරෝද ඇතුළු රථවාහන මගම නතර කොට ඊට විරෝධය පළ කරන බව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එමෙන්ම, විදුලි ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග වෙළෙඳපළේ ඉටි පන්දම් මිල දී ගැනීම ද ඉහළ ගොස් ඇති බවයි කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් සඳහන් කළේ ෴

******************************************

නව විභාග කොමසාරිස් ජනරාල් වැඩ අරඹයි

(29.11.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත්වීම් ලද එල්.එම්.ඩී. ධර්මසේන මහතා අද (29) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඒ, පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් පැළවත්ත විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි කාර්යාලයේදීයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එල්.එම්.ඩී. ධර්මසේන මහතා, කොළඹ ආනන්ද සහ මහානාම විද්‍යාලවල විදුහල්පතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා ෴

******************************************

කුරුණෑගල නගර සභාව ලක්ෂ 50 ක පාසල් උපකරණ ‘වාහන අමතර කොටස් ආයතනයකින්’ මිලට අරන් – විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි

(28.11.2021 – colombotoday.com)

කුරුණෑගල මහ නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල් සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා පාසල් උපකරණ මිලදී ගෙන ඇති ආයතනය පිළිබඳව සොයා බැලීමේදී එය පාසල් උපකරණ අලෙවි කරන ආයතනයක් නොව ‘වාහන අමතර කොටස්’ අලෙවි කරන ආයතනයක් බවට තොරතුරු හෙළිවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මිලදීගැනීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් නිර්දේශයක් හෝ ලබාගෙන නොතිබූ බව විගණන වාර්තාවක සඳහන්වේ.

එසේම මෙම මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5:3:2 වගන්තියට අනුකූල නොවී පුවත්පත් දැන්වීමක් පළකර තිබූ බවත් 6:2:2 වගන්තියට අනුකූලව ප්‍රසම්පාදනය සඳහා දින 21 ක් ලබාදිය යුතු වුවත් ලබාදී ඇත්තේ දින නවයක් (9) පමණක් බවත් විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

නගර සභාව මේ ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නගර සභා ප්‍රධානීන්ට අප්‍රසාදය පළකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කුරුණෑගල මහ නගර සභාවේ 2016, 2017, සහ 2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධන පරීක්ෂාව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නියෝග සඳහා විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කරමින් මෙම වාර්තාව පිළියෙල කරනු ලැබ ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *