කෑගල්ලෙන් සහ ආරච්චිකට්ටුවෙන් ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම්

කෑගල්ලෙන් සහ ආරච්චිකට්ටුවෙන් ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම්

*********************************************

කෑගල්ලෙන් සහ ආරච්චිකට්ටුවෙන් ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම්

(28.11.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් දෙකක් (2) අද (28) කෑගල්ල සහ පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් වාර්තා වුණා

කෑගල්ල – රොක්හිල් – කහටපිටිය ප්‍රදේශයේ නිවසක උදෑසන තේ පානය සඳහා වතුර උණු කිරීමට ලිප දල්වා නිවසේ හිමිකරු නාන කාමරයට ගිය අවස්ථාවේ විශාල පිපිරුම් හඬක් ඇසී තිබුණා.

එහිදී ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදුව නොමැති අතර, ලිප පුපුරා ගොස් එහි කැබලි මුළුතැන්ගෙයි විසිරී තිබෙන අයුරු නිරීක්ෂණය වූ බව නිවසේ හිමිකරු ප්‍රකාශ කළා.

මේ අතර, පුත්තලම – ආරච්චිකට්ටුව – වයිරන්කට්ටුව ප්‍රදේශයේදී නිවසක් තුළ ගෑස් සිලින්ඩරයක් ආශ්‍රිත ගිනි ගැනීමක් වාර්තා වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ නිවැසියා විසින් වෙළදසැලෙන් ලබා ගත් ගෑස් සිලින්ඩරය ලිපට සවි කිරීමට යාමත් සමඟ අද (28) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බවයි. ගින්නෙන් නිවැසියන්ට හානියක් සිදුව නැහැ.

ගත වූ දින කිහිපය තුල ගෑස් කාන්දු ආශ්‍රිතව ඇති වූ ගිනි ගැනීම් සිද්ධීන් රත්නපුර, අලව්ව, වැලිගම, පන්නිපිටිය, කොළඹ තුරඟ තරඟ පිටිය අසල අවන්හලකින් සහ නිකවැරටිය ප්‍රදේශවලින් වාර්තා වීමත් සමග සිලින්ඩරවල අන්තර්ගත සංයුතිය සම්බන්ධයෙන් සමාජය තුල වැඩි කතාබහක් ඇතිවුණා.

ජනතාව තුල පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පෙරේදා පියවර ගත්තේ කොළඹ ප්‍රදේශයේ වෙළඳපොලේ අලෙවියට තිබූ ගෑස් සිලින්ඩර සාම්පල් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි.

එමෙන්ම, අද (28) දිනයේ තවත් දිස්ත්‍රික්ක 6කින් සාම්පල ලබා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

එහි වාර්තා හෙට (29) දිනයේ තමන් වෙත ලැබෙනු ඇති බවයි ඔහු අද වතුපිටිවල මූලික රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ෴

++++++++

අසාමාන්‍ය බරක් සහිත ගෑස් සිලින්ඩරයක තිබූ දේ

(27.11.2021 – 19:27 +0530 – sinhala.adaderana.lk)

සාමාන්‍ය හිස් ගෑස් සිලින්ඩරයක පැවතිය යුතු බරට වඩා කිලෝග්‍රෑම් 2.5 ක වැඩි බරින් යුතු ගෑස් සිලින්ඩරයක් හමුවී තිබේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගෑස් අලෙවිකරුවකු එය පරීක්ෂාවට ලක්කර තිබූණි.

“මේකේ ගෑස් 12.5kg ක් එනවා. හිස් සිලින්ඩරය බරයි 12.2kg ක්. ඔක්කොම 24.7kg ක්. දැන් මේක මම තද කරලා බලද්දි ගෑස් නැහැ. හැබැයි බර තියෙනවා. ඇතුළේ හෙලවෙන සද්දේ ඇහෙනවා. ඊට පස්සේ තමයි මම මේ අනිත් පැත්ත ගහලා බැලුවේ. 2.5kg තිබ්බා බර.” යැයි ගෑස් අලෙවිකරු පැවසීය.

එමෙන්ම සිය නිවසේ ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් පවතින බවට තල්පිටිය දළුව නිර්මලපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු සඳහන් කළේය.

ගැටලුකාරී තත්ත්වයක් පවතින බැවින්, තවදුරටත් වෙළෙඳපොළේ ගෑස් සාම්පල ලබාගනිමින් දිගින් දිගටම පරීක්ෂණ සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ගෑස් කාන්දුවීම හේතුවෙන් සිදුවූ පිපිරීම් පිළිබඳ සොයාබැලීමට වහාම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ යුතු බවයි.

මේ අතර ගෑස්වල ප්‍රමිතිය සහ පසුගිය දිනවල ගෑස් කාන්දුව හේතුවෙන් සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සොයාබලන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය සහ මහජන අයිතීන් සුරැකීමේ පදනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

******************************************

කබලෙන් ලිපට වැටුණු පුත්තලමේ කොසු, ඉදල් කර්මාන්තකරුවෝ

(28.11.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පසුගිය දිනවල ඇදහැලුණු අධික වාර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් පුත්තලම – සෙම්බැට්ටේ ගම්මානයේ කොසු, ඉදල් කර්මාන්තයේ නියැලෙන පිරිස් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

සිය නිෂ්පාදනයන්ට නිසි වෙළෙඳපොලක් නොමැතිව කලක් තිස්සේ අර්බුදයකට මුහුණ පා සිටින මෙම කර්මාන්තකරුවන්ට මෙම ජල ගැලීම් තත්ත්වය හමුවේ සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි.

******************************************

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

(28.11.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

අධික වැසි තත්ත්වය හේතුවෙන් කිලිනොච්චිය – ඉරණමඩු ජලාශයේ වාන් දොරටු හතරක් (4) විවෘත කර තිබෙනවා.

කිලිනොච්චිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ එම දොරටු විවෘත කිරීම හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

ඒ අනුව පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසටයි කිලිනොච්චිය ආපදා කළමනාකරණ කාර්යාලය දැනුම් දෙන්නේ.

ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් කිලිනොච්චිය – පන්නන්කන්ඩි, කන්ඩාවලෙයි සහ මුරුස්සමොට්ටෙයි ප්‍රදේශ ජලයෙන් යටවිය හැකි බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

මහවැලි ගඟට වැටුණු මෝටර් රථය සොයා ගැනේ

(28.11.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala)

වේගය පාලනය කර ගත නොහැකිව, මහනුවර – ඉලුක්මෝදර ප්‍රදේශයේදී මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය සොයාගෙන තිබෙනවා. මහනුවර පොලීසිය සහ යුධ හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ මහවැලි ගඟේ තිබී එය සොයා ගැනුණු බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිට අතුරුදන් වූ පුද්ගලයා තවමත් හමුවී නොමැති අතර, ඔහු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ (27) රාත්‍රී 10:30 ට පමණ අදාළ මෝටර් රථය මහවැලි ගඟට පෙරළී තිබූ අතර එහි ගමන් කළ තුන්දෙනෙකු (3) ගෙන් දෙදෙනෙකු (2) බේරාගෙන මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

මේ වනවිට ඔවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

(28.11.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය සිටි පුද්ගලයාගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා. එම මෝටර් රථය මීට සුළු වේලාවකට පෙර සොයාගෙන තිබුණා.

අදාළ පුද්ගලයා ගුරුදෙනිය, මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම මෝටර් රථය ඊයේ (27) මධ්‍යම රාත්‍රී 12:00 ට පමණ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ඟගට පෙරළී තිබුණා ෴

******************************************

මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි තවදුරටත්

(28.11.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) සන්ධ්‍යා කාලයේ හා රාත්‍රී කාලයේත් ප්‍රබල අකුණු සමඟ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට ප්‍රබල අකුණු සමග වැසි ඇති විය හැකියි.

මේ අතර, තබ්බෝව ජලාශ ද වාන් දමමින් පවතින අතර තවදුරටත් වැසි ඇති වී එම ජලාශයේ ජල මට්ටම ඉහළ ගියහොත් හලාවත ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

******************************************

ඇල්ල – පස්සර මාර්ගය වැසේ

(28.11.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල – පස්සර මාර්ගයේ 16 වන කිලෝමීටර කණුව අසලින් නාය යෑමක් සිදුව ඇති බැවින් එම මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

මාර්ගයට ගල් හා පස් කඩා වැටීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් පරික්ෂාවක් සිදු කර නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව මාර්ගය යලි රථ වාහන ධාවනය සඳහා විවෘත කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ ෴

******************************************

තවත් කොරෝනා මරණ 27 ක් – 422 නෙකු සුවය ලබයි

(28.11.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 27 ක් වාර්තා වීමත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 14,305 දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 422 නෙකු අද (28) සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව ඉහළ ගියේ 5,29,662 දක්වායි ෴

******************************************

මේ වසරේ තුන්වන (3) වරටත් පාන් මිල ඉහළට – තවත් මිල වැඩිවීමක් අවශ්‍ය බව සමාගම් කියයි

(28.11.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

මසක් තුළදී තිරිඟු පිටි මිල රුපියල් 28 කින් ඉහළ දමා ඇති බවත්, එය තම ක්ෂේත්‍රයට දරාගත නොහැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් පාන් ගෙඩියක මිල ද රුපියල් 10 කින් ඉහළ දැමූ බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ.

මේ වසර තුළ දී පමණක් අවස්ථා 3 කදී පාන් ගෙඩියක මිල ඉහළ දමා ඇති බව කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

වෙළඳපොළේ මේ වන විට තිරිඟු පිටි හිඟයක් ද පවතින අතර එවන් පසුබිමකයි ඊයේ (27) සිට පිටකොටුවේ වෙළදුන් රුපියල් 17 කින් තිරිඟු පිටි කිලෝවක් මිල ඉහළ දැමීමට තීරණය කළේ.

කෙසේ වෙතත්, මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ හෙට (29) සිට කොත්තුවක මිල රුපියල් 10 කින් සහ රෝල්ස්, බිත්තර රොටී, පරාටා ආදිය රුපියල් 5 කින්ද ඉහළ දමන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

කෙසේ වෙතත් බේකරි හිමියන් සහ වෙළදුන් කියා සිටියේ මිල වැඩි කළ ද තිරිඟු පිටි වෙළදපළේ හිඟ වී ඇති බැවින් තම නිෂ්පාදන සඳහා එය බාධාවක් වී ඇති බවයි.

මේ අතර, පිටි සමාගම් සඳහන් කළේ මේ මොහොතේ අනිවාර්යෙන් මිල ඉහළ දැමීමකට යා යුතු බැවින් එය හෙට (29) ප්‍රකාශයට පත් කරන බවයි ෴

******************************************

******************************************

රක්ෂණය ගන්න වැඳගෙන ආවට රුපියල් කෝටි 8 ක වන්දියට රුපියලක් ගෙව්වේ නෑ. ලංකාවේ රක්ෂණය මහා වංචාවක්. මම CID යනවා (28.11.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තහනම් කළ රටවලින් පසුගිය දින 14 තුළ සංචාරකයන් පැමිණ නැති බව සංචාරක අමාත්‍යාංශය කියයි

(28.11.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින 14 තුළ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලින් කිසිදු සංචාරකයෙකු දිවයිනට පැමිණ නොමැති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන මගින් එය තහවුරු වන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

සංචාරකයන් හැර, වෙනත් පුද්ගලයින් එම කාලය තුළ දිවයිනට පැමිණ ඇත්දැයි සොයා බලා සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේ.

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් අදාළ රටවල පසුගිය දින 14 තුළ සංචාරය කළ මගීන්ට දිවයිනට පැමිණීම අද (28) රාත්‍රියේ සිට තහනම් කෙරෙන බව සංචාරක අමාත්‍යාංශය මීට පෙර දැනුම්දෙනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *