වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නතක්

වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නතක්

*********************************************

වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නතක්

(26.11.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන එන්නත් දෙවන (2) මාත්‍රාව ලබා මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 60 ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අද (26) පෙරවරුවේ රැස් වූ කොරෝනා මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි.

කොරෝනා එන්නත් දෙවන (2) මාත්‍රාව ලැබ මාසයක් (1) ඉක්මවූ වයස අවුරුදු 20 ට වැඩි බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනාට ද තුන්වන (3) මාත්‍රාව ලබාදීමට ද මෙහිදී තීරණය කෙරුණා.

ඒ අනුව, පිළිකා, අවයව බද්ධ කළ, රුධිර කාන්දුකරණය සිදුකළ සහ බෝ නොවන රෝග හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය උපදෙස් මත තුන්වන (3) මාත්‍රාව ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

කොවිඩ් ආසාදිතයින් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ ‘මොල්නුපිරවීර් කැප්සූලය’ ලබාදීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වූ අතර, එය මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

++++++++++++++++

ආසාදිතයින් 406 ක් පූර්ණ සුව අතට

(26.11.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සිටි තවත් 406 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,28,806 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මෙරට සක්‍රිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 17,307 ක් ලෙස දැක්වෙනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 448 දෙනෙකු අද (26) දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,60,833 ක් දක්වා ඉහළ යනු ඇති ෴

කොරෝනා වෛරසය ආසාදිත මරණ 26 ක් අද (26) දිනයේදිත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා. ඒ සමග මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 14,258 ක් දක්වා ඉහළ යනු ඇති ෴

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 226 දෙනෙකු අද (26) දිනයට වාර්තා වී තිබෙනවා. ඒ සමග අද (26) දිනයට මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 714 ක්. මේ අනුව දිවයිනෙන් වාර්තා වන මුළු වයිරසය ආසාදිත සංඛ්‍යාව ද 5,61,059 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පැවරුණු වගකීම නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කරන ලෙස ඇමති සබ්‍රිගෙන් ඉල්ලීමක්

(26.11.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවාගත් ආධුනික II පෙළ ජේලර් හා පුනරුත්ථාපන නිලධාරීන්ගේ විසිරයාමේ නිල පෙරට්ටුව අද (26) දින පැවැත්වුණා.

ඒ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දීයි.

මෙම නිලධාරීන් සඳහා ගිනිඅවි පුහුණුව, කැරලි මර්දනය පිළිබඳ විශේෂ කාර්ය බලකාය විසින් මෙහෙයවනු ලැබූ පුහුණුව ලබා දී ඇති අතර, ගිනි නිවීමේ විශේෂ පුහුණුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය මගින් ලබා දෙනු ලැබුවා.

මෙම විසිර යාමෙන් පසු ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් මෙහෙයවන විනය ආරක්ෂාව සම්බන්ධ විශේෂ පුහුණුවකට ද මෙම පිරිස සම්බන්ධ කිරීමට කටයුතු කෙරුණා.

ආධුනික II පෙළ ජේලර් පිරිමි නිලධාරීන් 65 ක්, කාන්තා නිලධාරිනියන් 05 ක් හා II පෙළ පුනරුත්ථාපන නිලධාරින් පිරිමි 12 ක්, කාන්තා නිලධාරිනියන් දෙදෙනකු (2) සිව්මසක (4) පුහුණුවෙන් පසු විසිරයාම මෙහිදී සිදුව තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා ඉයා සිටියේ, සාර්ථක පුහුණුවකින් පසු විසිර යන නිලධාරීන් හට සුවිශේෂී වගකීම් සමුදායක් පැවරී ඇති බවයි.

වර්තමානයේ පවතින ලෝක වසංගතය හමුවේ වුව ද මෙම ක්ෂේත්‍රය සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය සලකා බලා මෙම බඳවා ගැනීම් සිදුකර ඇති බව සඳහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, තනතුරට අනුව ඔබට පැවරී ඇති රාජකාරීය සහ පුරවැසියකු ලෙස පැවරී ඇති යුතුකම මනාව තේරුම් ගෙන රාජකාරී කටයුතු සිදු කළ යුතු අතර, බන්ධනාගාරගත රැඳවියන් ආරක්ෂා කිරීමට කැපවීම ‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’ යන්න තාප්පවලට පමණක් සීමා නොවිය යුතු බවයි ෴

******************************************

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් දරුවන්ට නත්තල වෙනුවෙන් තෑග්ගක්

(26.11.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23, 24, 25 සහ 26 යන සිව්දිනයන් (4) දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා ද මෙම සිව්දින (4) නිවාඩුව වලංගු වනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ, එම පාසල් යළි විවෘත වන්නේ දෙසැම්බර් 27 වැනි දින බවයි ෴

******************************************

සඳුන්පිටියේ 19 හැවිරිදි කාන්තාව මිය ගියේ ගෑස් කාන්දු අනතුරකින් නොවන බවට හෙළි වේ

(26.11.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, වැලිකන්ද – සඳුන්පිටිය ගම්මානයේ ගෑස් සිලින්ඩරයක් පිපිරී, 19 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවල ලබා මියගිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වාර්තාවේ සඳහන් වන්නේ, අදාළ කාන්තාව, සියදිවි හානි කරගෙන ඇති බවට ඇය මරදාන පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ පැහැදිලිව සටහන්ව ඇති බවයි.

කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේත් අදාළ කාන්තාවගේ මරණය සියදිවි හානි කරගැනීම හේතුවෙන් සිදු වූවක් බවට තහවුරු කළ හැකි බවයි.

අදාළ කාන්තාව සහ සැමියා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැමියා රැකියාවට පිටත්ව යාමෙන් පසු අදාළ කාන්තාව සිය සිරුරට භුමිතෙල් වත්කරගෙන ගිනි අවුළුවා ගෙන තිබෙනවා.

ඇය එසේ කිරීමට පෙර සිය සැමියාට වට්ස්ඇප් ඔස්සේ දුරකතන ඇමතුමක් ලබා දී භූමිතෙල් බෝතලය ද පෙන්වා ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, සැමියා ආපසු නිවසට පැමිණෙද්දි ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව පළමුව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත්තේ, ඇයගේ අසල්වැසි කාන්තාවක විසිනුයි.

ඇය කරුණු හරි හැටි සොයා නොබලා රෝහල් පොලීසියට අනුමාන වශයෙන් කියා ඇත්තේ, ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වන්නට ඇති බවටයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මෙම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට පළමුව යොමු කෙරුණු අතර, ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලබන්නේ පොළොන්නරු රෝහල හරහා යි.

මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවද්දී, මරදාන පොලිසිය විසින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ, සිය සැමියා සමග ඇති වූ අමනාපය හේතුවෙන් භූමිතෙල් වත් කරගෙන සිරුරට ගිනි තබා ගත් බවයි.

කෙසේ වෙතත්, අප වාර්තාකරු සමඟ අදහස් දැක් වූ මෙම 19 හැවිරිදි බී.ජී. අයේශා කුමුදුනිගේ පියා වන බී.ජී. ජයසූරිය කියා සිටියේ, සිය දියණිය අලුයම ගෑස් ලිප පත්තු කිරීමට යාමේදී සිදු ව තිබූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙලෙස හදිසි අනතුරට ලක් වූ බවයි.

ඔහු වැලිකන්ද පොලිසියට ද ලබා දී ඇත්තේ, එම ප්‍රකාශය යි ෴

******************************************

කොළඹ නව රථ වාහන සැලැස්මක්

(26.11.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා පස්වරු 4 සිට රාත්‍රි 7 දක්වා ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුවේ සිට කුරුදුවත්ත දක්වා වාහන ගමන් ගන්නා මාර්ගය වෙනස් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඒ අනුව අද (26) සිට පස්වරු 4 සිට රාත්‍රි 7 දක්වා කොල්ලුපිටිය මංසන්ධිය හරහා එම ප්‍රදේශයට ගමන් කිරීම අත්හිටුවා ඇති බවයි.

ඒ වෙනුවට කොළඹ කොටුවේ සිට පැමිණෙන රථවාහනවලට උද්ඝෝෂණ පිටිය අසලින් හරවා බාලදක්ෂ මාවත අලියා නාන වටරවුම, උත්තරානන්ද මාවත, පෙරහර මාවත සහ පිත්තල හන්දිය හරහා කුරුදුවත්ත දෙසට ගමන් කළ හැකියි ෴

******************************************

විවේචන එල්ල වුණ ද රටේ අනාගතයට ජනප්‍රිය නැති තීරණ ගන්න වේවි – ජනපති

(26.11.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (26) පස්වරුවේ පැවති ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල’ අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ඒවා විවේචනයට ලක් වුව ද, නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ද හෙතෙම සඳහන් කළා.

කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල’ ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව මෙවර උළෙල පැවැත්වූයේ එහි 24 වන සම්මාන උළෙල ලෙසයි.

ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය මෙය වන අතර, අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන මෙහිදී ප්‍රදානය කෙරුණා.

******************************************

ගෘහස්ථ එල්.පී. ගෑස් සංයුතියේ යම් වෙනසක් සිදු වී තිබේ ද?

(26.11.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිවෙස්වල එදිනෙදා භාවිතයට ගන්නා ගෘහස්ථ එල්.පී. ගෑස් සංයුතියේ යම් වෙනසක් සිදු වී තිබේ ද?

මෙය මේ දිනවල සමාජයේ දැඩි ලෙස පැතිර යන කතාබහක්.

එමෙන්ම මෙම මාසය තුළ දිවයිනේ ස්ථාන ගණනාවක ගෑස් ආශ්‍රිත පුපුරා යෑම් වාර්තා වුණා.

එය නව ගෑස් සිලින්ඩර තුළ ඇති ගෑස් සංයුතිය සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ තිබූ සැකය තවත් තීව්‍ර කරන කාරණයක් වුණා.

ඒත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ අලුත් ගෑස් සිලින්ඩරවල ගෑස් කාන්දු වන ආකාරය දැක්වෙන විවිධ වීඩියෝ සංසරණය වීමට පටන්ගෙන තිබෙනවා.

අපි එම වීඩියෝ සම්බන්ධයෙන් මෙරට ස්වභාවික වායු පිළිබඳ සප්‍රමාණික දැනුමක් ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල මහතා ගෙන් විමසා සිටියා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ රූපරාමු ද ඔහු වෙත යොමු කරමින්.

එම රූපරාමු නිරීක්ෂණය කළ හිටපු රසායනාගාර ප්‍රධානියා අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මේ තත්ත්වය ගෑස් සිලින්ඩරයක කාන්දුවක් සෙවීම සඳහා භාවිත කරන සරල ම ක්‍රමවේදය භාවිත කරමින් සිදු කර ඇති දෙයක් බවයි.

එමෙන්ම එම වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී එම ගෑස් සිලින්ඩරවලින් යම් ගෑස් කාන්දුවක් සිදු වන බවටත් ඔහු තහවුරු කළා.

කෙසේ වෙතත්, ඔහු අවධාරණය කළේ, මේ අයුරින් කාන්දු වන ගෑස් සිලින්ඩර කිසිලෙසකත් නිවසක භාවිතයට නොගත යුතු බවයි.

එමෙන්ම ගෑස් කාන්දුවීම සඳහා සිලින්ඩරයේ නිපලය පමණක් අදාළ නොවන බවත් ගෑස් රෙගියුලේටරය, ඒ සඳහා භාවිතා කර ඇති නළය, කෙළවර සවි කෙරෙන මුදු දී සියල්ල නියමිත ප්‍රමිතියෙන් තිබිය යුතු බවටත් ඔහු අවධාරණය කරනවා.

ලොව බොහෝ රටවල ගෑස් භාවිතයේ දී ආරක්ෂාව ප්‍රථමයෙන් තබාගෙන කටයුතු කළ ද, ශ්‍රී ලංකාව තුළ ගෑස් උපකරණ සහ ගෑස් භාවිතය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රමිතියක් හෝ නියාමනයක් නොමැතිවීම බරපතල අඩු පාඩුවක් බවත් ඔහු පෙන්වා දුන්නා.

මේ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා අලෙවියට තබා තිබූ ගෑස් සිලින්ඩරයක් අද (26) දිනයේ රසායනාගාර වෙත යොමු කළ බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.

එය කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ගෑස් සිලින්ඩරයක්.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර හේතුවෙන් සිදුවූ අනතුරු මේ මාසය තුළ රත්නපුර, අලව්ව, වැලිගම, පන්නිපිටිය සහ කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලකින් වාර්තා වුණා.

අද (26) උදෑසන 8 ට පමණ නිකවැරටිය – කන්දෙගෙදර ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි කොටසක් හදිසි ගිනිගැනීමකට ලක්වීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති අතර, එය ගෑස් කාන්දුවකින් සිදු වූවක් ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

ගෑස් සිලින්ඩරවල අන්තර්ගතව තිබූ ප්‍රොපේන් ප්‍රමාණය සියයට 20 සිට සියයට 50 දක්වා ඉහළ දමා ඇති බවත්, බියුටේන් ප්‍රමාණය සියයට 80 සිට සියයට 50 දක්වා අඩු කර ඇති බවත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළා.

මේ පිළිබඳව තමන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙත දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී ලිට්රෝ සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජානක පතිරත්න කියා සිටියේ මේ වනවිට අලෙවි කරන කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක ප්‍රොපේන් මට්ටම සියයට 30 ක් දක්වා සහ බියුටේන් මට්ටම සියයට 70 මට්ටමේ පවතින බවයි.

මේ අතර, ලාෆ් සමාගම අද (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සාමාන්‍යාධිකාරි කුලමිත්‍ර බණ්ඩාර පැවසුවේ සංයුතිය වෙනස් වීමෙන් මෙවැනි සිද්ධීන් වැඩි වී ඇති බවට පළ වන මතවල තාක්ෂණික සත්‍යතාවක් නොමැති බවයි.

ජනතාව තුළ පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මේ වනවිට පියවර ගෙන ඇත්තේ වෙළඳපොලේ අලෙවියට තිබූ ගෑස් සිලින්ඩර රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි.

ඒ අනුව, සංයුතිය පිළිබඳ ගැටලු ඇත්දැයි තහවුරු කර ගත හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

******************************************

ලබන වසරේ පෙබරවාරි දක්වා තෙල් තොග ගෙන්වීමට සැලසුම්

(26.11.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල අර්බුදයට විසඳුමක් ලෙස මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ රටට වාසිදායක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර, ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා රටට අවශ්‍ය තෙල් තොග ගෙන්විම සඳහා සියලු සැලසුම් සකස් කර අවසන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *