සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සංකේත වැඩ වර්ජනය දෙවැනි (2) දිනටත්

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සංකේත වැඩ වර්ජනය දෙවැනි (2) දිනටත්

*********************************************

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සංකේත වැඩ වර්ජනය දෙවැනි (2) දිනටත්

(25.11.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 16 ක් එක් ව ක්‍රියාත්මක කරන සංකේත වැඩ වර්ජනය අද (25) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක යි.

වැටුප් සහ දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් සහ මහජන සෞඛ්‍ය සේවාවන්ට බාධා එල්ල වී තිබෙනවා.

******************************************

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමා නොකළ යුතු බව අගමැති කියයි

(25.11.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමා නොකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වෛද්‍ය උපාධිය අවුරුදු 22 වනවිට සම්පුර්ණ කිරිම සහ අනෙකුත් මූලික උපාධි අවුරුදු 20 වනවිට සම්පූර්ණ කිරීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව අද ඔවුන් සමග පැවති හමුවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ වනවිටත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර නියමිත පරිදි විභාග පැවැත්වීම සහ ප්‍රමාදයකින් තොරව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සිදුවන බවයි එහිදී අනාවරණ වී ඇත්තේ ෴

******************************************

නැගෙනහිර පළාතේ පාලම්පාරුවල ගුණාත්මක තත්ත්වය සොයන්න විශේෂ කණ්ඩායමක්

(25.11.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ දැනට භාවිතයට ගන්නා සියලුම පාලම් පාරුවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා.

ඒ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් මතයි. පොලීසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව එම කණ්ඩායමට ඇතුළත්.

කුරුන්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරලී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආණ්ඩුකාරවරිය විසින් මීට පෙර විශේෂ කමිටුවක් පත් කළ අතර එමගින් ගත් තීරණවලට අනුවයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.

කින්නියා නගරාධිපතිවරයා අත්අඩංගුවට

(25.11.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා කුරුන්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුව පෙරලී දරුවන් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම් නලීම් අද අත්අඩංගුවට ගත්තා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රිකුණාමලය පොලීසියට පැමිණි අවස්ථාවේදීයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දෙසැම්බර් 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, කුරුන්චාකර්නි පාලම මාස 9 ක් ඇතුළත සකස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

******************************************

පැය 24 ක ජල කප්පාදුවක්

(25.11.2021 – 16:00 +0530 – sinhala.adaderana.lk)

හෙට (26) දිනයේ පැය 24 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

ඒ මහනුවර මහනගර සභාව මගින් අම්පිටිය ජල සම්පාදන ක්‍රමයේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙනි.

හෙට (26) දිනයේ රාත්‍රී 12 සිට පසුදින (27) රාත්‍රී 12 දක්වා කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ඒ හේතුවෙන් ජල සැපයුම අතිහිටුවීමට සිදුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

අම්පිටිය ජල සම්පාදන ක්‍රමය – මීකණුව, පට්ටිය කැලේ, පහලතැන්නේ කුඹුර, දඹවෙල, අම්පිටිය, තලාතුඔය, කැටවල, ලෙච්ල, නැහිනිවෙල, ගොඩම්පිටිය.

තැන්නෙකුඹුර – හරගම ජලසම්පාදන ක්‍රමය – තල්වත්ත, මහනුවර නගර සීමාවෙන් පිටත, තල්වත්ත, පිංතාලියවත්ත, අම්පිටිය පටුමග, අම්පිටිය ඇවනිව්, අම්පිටිය පාර, තේක්කවත්ත මාර්ගය, පහලතැන්නේ කුඹුර, ඉලුක්මෝදර, ගුඩ්හෝප්, පිච්චමල්වත්ත, ගඟපාර, පිච්චමල්වත්ත අම්පිටිය පාර, දඹවෙල මාර්ගය, ගුරුදෙණිය, තල්වත්තේ සිට ගුරුදෙණිය පාලම දක්වා ප්‍රධාන මාර්ගය දෙපස හා සෙමනේරිය ගාඩ්න් පෙදෙස ෴

******************************************

රුපියල් කෝටි 02 ක ‘කුෂ්’ රේගු අත්අඩංගුවට

(25.11.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් කීපයක් තුළ සගවා තිබූ රුපියල් කෝටි 02 ක් වටිනා ‘කුෂ්’ නැමැති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (25) දින අත් අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළා.

මීට මාසයකට පමණ පෙර එංගලන්තය, ඇමෙරිකාව, ඉතාලිය සහ කැනඩාව යන රටවලින් කොළඹ, අහංගම, පිළියන්දල සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් එවා තිබුණා.

රේගු නිලධාරීන් විසින් මෙම පාර්සල් වල හිමිකරුවන්, ඒවා භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම නිසා, එම ලිපිනයන් පිළිබඳව සොයා බැලීමේදී, එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වී තිබෙනවා.

පසුව මෙම ගුවන් තැපැල් පාර්සල් 10 විවෘත කර පරීක්ෂා කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබූ අතර , එහිදී කිලෝ ග්රැම් 01 යි ග්රැම් 300 ක් බරැති මෙම ‘කුෂ්’ නැමැති ගංජා තොගය ඒවා තුළ තිබී අත් අඩංගුවට ගෙන තිබුණා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

ජලාශ 25 ක් වාන් දමයි – තවදුරටත් තද වැසි

(25.11.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පවතින තද වැසි තත්වය ඉදිරි දින කිහිපය තුල තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක වලටත් හෙට (26) දිනයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

පවතින මෙම අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ කොළඹ, කලුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ සඳහා නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය ද හෙට (26) පස්වරු 3 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම, මහවැලි, නිල්වලා ගංගා මෙන්ම දැදුරු ඔය, රාජාංගනය සහ මල්වතු ඔය මෙන්ම තවත් ජලාශ කිහිපයක පහත් බිම්වල වෙසෙන ජනතාවට පැය 48 ක කාලයක් සඳහා ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට ප්‍රධාන ජලාශ 73 න් ජලාශ 25 ක වාන් දමමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴

******************************************

පොහොර ආනයනකරුවන් හිරුට කළ අනාවරණය

(25.11.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ගෙන්වීමට අවසර හිමිවුවත් යූරියා ඇතුලු‍ ප්‍රධාන පෙළේ රසායනික පොහොර වර්ග කිහිපයක් ආනයනයට අවසර හිමි නොවන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළ බව පොහොර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් සුජීව වලිසුන්දර මහතා හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදි මේ බව සඳහන් කළ බවයි.

******************************************

විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සිසුන් ලියාපදිංචි කිරීම හෙට (26) සිට

(25.11.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අදාළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය හෙට (26) ආරම්භවීමට නියමිතයි. එය දෙසැම්බර් 05 දක්වා සිදු කරනු ලබනවා ෴

******************************************

ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට අවස්ථාව

(25.11.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්තවීමත් සමග මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී තිබුණා.

ඊට හේතු වී ඇත්තේ මෙරට තුළ පවතින ඩොලර් හිගය බව පැහැදිලිව රජය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් වාහනයක් මිලදී ගැනීමට සිහින මවන මෙරට වැසියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (24) දින බලාපොරොත්තුවක් ලබා දුන්නා.

ඒ ඉන්ධන වලින් ක්‍රියාකරන රථ වාහන වෙනුවෙන් විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන මෙරටට ආනයනය කිරීමටයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘කල්‍යාණී රන් පිවිසුම’ නව කැලණී පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24) එක් වෙමින්.

“අපිට ගල් අගුරු නැහැ. අපිට තෙල් නැහැ. අපිට ගෑස් නැහැ. හැබැයි අපිට ජලය තියෙනවා. සුළග තියෙනවා. හිරු එළිය තියෙනවා. අපිට 71% ක් ඉන්ධන ගෙන එන්නේ වාහන වලට නම් ඇයි අපිට බැරි විදුලිබලයෙන් වැඩකරන වාහන මෙරටට ගෙන එන්නට. අපි මේවා ගැන හිතලා විසදුම් ගෙන එන්නට ඕනෙ” ෴

******************************************

මහරගම නගරසභාවේ උණුසුම් තත්ත්වයක්

(25.11.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගරාධිපතිවරයා හොරෙන් ලයිට් ගැනීම, රුපියල් කෝටි 8 ක මූල්‍ය වංචාවක් හා පැවති සැප්තැම්බර් ඔක්තෝම්බර් මහා සභාව රැස්වීම් නීත්‍යානුකූල නොවන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නගරාධිපතිවරයාට එල්ල කළ විරෝධතා වත් සමඟ අද (25) පැවති මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.

එහිදී ඇති වූ ඇතිවූ කලහකාරී තත්වය හේතුවෙන් උප නගරාධිපතිවරයාට අවස්ථා දෙකක (2) දී නගරාධිපතිවරයාට එක් අවස්ථාවකදී ද මහා සභාව රැස්වීම කල් දැමීමට සිදු වුණා.

මෙහිදී හොරෙන් විදුලිය ලබාගත් නගරාධිපතිවරයාට විරෝධය පළ කරමින් හැලජන් වර්ගයේ විදුලි ලාම්පුවක් සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 25 දෙනකු සභාව මැදට පැමිණ විරෝධතාව පළ කළා.

එහිදී නිශාන්ත විමලචන්ද්‍ර, කාන්ති කොඩිකාර, අමරපාල වන්නිආරච්චි, රුවන් සේනාරත්න, ප්‍රදීප් ලියනගේ යන මන්ත්‍රීවරුන් අවස්ථා තුනකදී (3) නම් කොට සභාවෙන් පිට කිරීමට නියෝග කළා.

එහිදී ආරක්ෂක අංශය පැමිණ ඔවුන් ඉවත් කිරීමට යාමේදී සෙසු මන්ත්‍රීවරුන් ඔවුන් ආරක්ෂා කරනු දක්නට ලැබුණා ෴

******************************************

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(25.11.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද (25) පෙරවරුවේ භාර දී තිබෙනවා.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඒ අනුව ලබන 29 වන දා ඔහු ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටින්නේ මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මංජු ලලිත් වර්ණකුමාර මහතායි.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී මනාප 46,642 ක් ලබා ගත්තා ෴

******************************************

ත්‍රිවිධ හමුදා පොලිස් විරුවන්ට රුපියල් කෝටි 990 ක් වංචාකරපු මිනිහව රකින්නේ කුරුණෑගල දේශපාලකයෝ (24.11.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් හෙළිදරව්වක්

(25.11.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

නගරබද ප්‍රදේශවලින් පිටත වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

කෙසේ වෙතත් උත්සව සමයේ සීමා පැණවීමක් සඳහා මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

මේ අතර ගෙවුණු දිනයේත් දෛනික කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවා වාර්තා වුණා.

++++++++++++++++++

කොරෝනා මරණ 27 ක්

(25.11.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 27 ක් මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව සමස්ත කොරෝනා මරණ ගණන 14,232 දක්වා ඉහළ යනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 529 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,60,134 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 205 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,60,339 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *