පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා – ජනපති

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා – ජනපති

*********************************************

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා – ජනපති

(24.11.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය වුවද අවශ්‍ය නම් අහෝසි කිරීමට ආණ්ඩුවට බලය ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ අධි තාක්ෂණික කේබල් මත මෙරට ඉදිකළ ප්‍රථම පාලම වන නව කැලණි පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එම පාලම නම්කර ඇත්තේ ‘කල්‍යාණි රන් පිවිසුම’ ලෙසයි ෴

+++++

පාස්කු විමර්ශන කඩිනම් කළ හැකි අයුරු ජනපති යෝජනා කරයි

(24.11.2021 – 22:17 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යනම් එය පාර්ලිමේන්තුව හරහා සිදුකළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පස්වරුවේ එක්වෙමිනි.

එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

ඉන් අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ,

“වස විසෙන් තොර ආහාර වේලක් මේ රටේ ජනතාවට ලබාදෙන අභියෝගය අපි භාර ගත්තා. නමුත් කොවිඩ්, වර්ෂාව, ඇතැම් නිලධාරීන්ගේ කැපවීමක් නොතිබූ නිසා අපිට ඒක කල්දාන්න සිදුවුණා. නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් අපි එය ඉදිරියට ගෙන යනවා.”

විරුද්ධ පක්ෂයෙන් පාලනයෙන් ගිහින් තාම අවුරුදු දෙකයි (2). හැබැයි ඒ අය කතා කරන්නේ ජීවිතේට රට පාලනය කරපු කට්ටියන් නෙවෙයි වගේ.

“පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රටේ පාලනය කළේ. ඒ අය බලයට ඇවිත් බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන්ව නැති කරලා, ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්න ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිදුවුණා. ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඒකට වගකියන්න ඕනේ කියලා කියලා තියෙනවා. හැබැයි ගිය ආණ්ඩුව වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නෑ. ඒක අධිකරණය කරයි. හැබැයි කඩිනමින් කරන්න ඕනේ නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා ඒකට වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒක නිසා එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න වෙයි.”

“ජනතාව රැවටෙන්න එපා. මම හොඳ නැත්තම්. ආණ්ඩුව හොඳ නැත්තම් විකල්පය විපක්ෂය ද? ඒ අයට නැවත බලයට ගෙන එන්න මේ ජනතාව සූදානම් නෑ කියලා මම හොඳින් දන්නවා.”

“කොවිඩ් වසංගතය අස්සේ ජනතාව කොළඹට ගෙනආවා.. බයිලා කිය කියා. මේකද ජනතාව බලාපොරොත්තුවෙන විපක්ෂය.”

මේ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“අපි 71% ම ඉන්ධන ගෙන එන්නේ වාහනවලට නම් ඇයි අපිට බැරි විදුලියෙන් ක්‍රියාකරන වාහන මේ රටට ගෙන එන්න.”

කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380 කි.

පැකේජ දෙකක් (2) යටතේ පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

පළමු (1) පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539 ක් වැය කර ඇති අතර දෙවන (2) පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9,896 ක් වැය කර තිබේ.

පාලම ඉදිකර ඇත්තේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ය දායකත්වය මතය.

ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළ නව මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදන‍යක් නිකුත් කෙරෙයි ෴

******************************************

පාලම් පාරුවේ සිද්දියට තිදෙනෙකු (3) අත්අඩංගුවට

(24.11.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරුංඤ්ඤන්කේනි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු (6) ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව පාලම් පාරුවෙහි හිමිකරු ඇතුළු 3 දෙනෙකු අද (24) අත්අඩංගුවට ගත්තා.

ඔවුන් මේ වනවිට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටිනවා.

පාලම්පාරුව අනතුරට ලක්වීමෙන් පසු එහි අයිතිකරු සහ පැදිකරු පලාගොස් තිබුණා.

පසුව ඔවුන් අද (24) ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඊට අමතරව, පාලම් පාරුවේ ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් ලබා ගන්නා පුද්ගලයා ද කින්නියා පොලීසිය විසින් අද (24) අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරෙන් ඔහු ද ප්‍රතිකාර සඳහා කින්නියා රෝහලට ඇතුළත් කර සිටි අතර, ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් අවුරුදු 35, 40 සහ 53 යන වයස්වල පසුවන අතර ඔවුන් කින්නියා ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පාලම් පාරුව පෙරළී මිය ගිය දරුවන් 4 දෙනා ඇතුළු 6 දෙනාගේ අවසන් කටයුතු ඊයේ (23) දිනයේදීම සිදුකෙරුණු අතර තුවාල ලැබූ 20 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු (6) ජීවිතක්ෂයට පත්වීමෙන් පසු අදාළ ප්‍රදේශය හරහා අද (24) සිට ශ්‍රී ලංගම බස් රථ සේවාවක් ආරම්භ කෙරුණත් ඊට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමඟ එය අත්හිටුවනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදත් (24) පාර්ලිමේන්තුවේදී සංවාද මතු වූ අතර මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා චෝදනා කළේ අදාළ පාලම් පාරුව යෙදූ කින්නියා නගර සභාවේ සභාපතිවරයා මෙම සිද්ධියට වගකිව යුතු බවයි.

මේ අතර, පාලම් පාරුව පෙරළී හයදෙනෙකු (6) ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පත් කළ කමිටුව ත්‍රිකුණාමලය පළාත් මාර්ග අමාත්‍යාංශයේදී අද (24) රැස්වුණා.

එහිදී කින්නියා නගර සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයා අද (24) දින මෙම කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදුන් බවයි පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ.

මීට අමතරව, එම කමිටුවේ නිලධාරින් අද (24) දින ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද සිදු කළා.

ත්‍රිකුණාමලය කින්නියා කලපුවේ ඊයේ (23) උදෑසන සිදු වූ පාලම් පාරු අනතුරට වගකිව යුතු බවට සැකපිට අත්අඩංගුවට ගත් එම පාලම්පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා (2) අද (24) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

අනතුරෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් සිටි හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා (2) අද (24) දහවල් ත්‍රීකුණාමලය මුලස්ථාන පොලිසිය සහ කින්නියා පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක්දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ තිදෙනා (3) ත්‍රීකුණාමළය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙසැම්බර් 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

පාලම් පාරුව පෙරළී යාමෙන් සිදු වූ මෙම අනතුරෙන් කුඩා දරුවන් සිව් දෙනකු (4) ඇතුළු හය දෙනෙකු (6) මිය ගිය අතර තවත් විසි දෙනකුට (20) තුවාල සිදුවුණා ෴

++++++++

ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්‍රා කරමින් තිබූ පාරුව පෙරළීයෑමෙන් අනතුරුව මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆීක්ගේ නිවසට එල්ලවූ ප්‍රහාරයේ CCTV දර්ශන :

******************************************

රසායනික පොහොර ආනයනයට අවසර ලැබුණත්, සිදුවූ වගා හානියට ගොවි සංගම් වන්දි ඉල්ලයි

(24.11.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර සහ පලිබෝධ නාශක ආනයනය කිරිම සඳහා පෞද්ගලික අංශයට අද (24) සිට අවසර ලබාදීමට තීරණය කළත්, පසුගිය මාස කිහිපය පුරා ගොවීන්ට සිදුවූ වගා හානියට වන්දි ගෙවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ හරිත ශ්‍රී ලංකාවක් පිළිබඳව රජය ගත් තීන්දුව ආපසු හැරවීමක් සිදුනොකරන බවයි.

රසායනික පොහාර, කෘමිනාශක සහ වල් නාශක ආනයනය තහනම් කෙරුණේ පසුගිය අප්‍රේල් 27 වනදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුවයි.

ඒ සමගම රටපුරා ගොවි විරෝධතා මතුවූ අතර, ගොවීන් මහා කන්නයේ වගා කටයුතුවලින් ද ඉවත් වුණා.

******************************************

මැනිං වෙළඳපොලේ එළවළු මිල අඩුවේ

(24.11.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක එළවළු මිළ ගණන්වල අඩු විමක් අද (24) දක්නට ලැබුණා.

එළඵළු තොග නිසි පරිදි ආර්ථික මධ්‍යස්ථාන වෙත නොලැබිම මීට හේතුව බවයි වාර්තාවන්නේ.

මේ අතර, පැළියගොඩ , මැනිං වෙළඳපළේ පැවැති එළවළු මිළ ගණන් පිළිබඳ එහි වෙළදුන් අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය දින කිහිපයට සාපේක්ෂව එළවළු මිල පහත බැස ඇති බවයි.

මේ අතර, එල් පී ගැස් සංයුතියේ සිදු කර ඇති වෙනස්වීම් හේතුවෙන් ගැස් සිලින්ඩර පිපිරිම් සිදු වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ලිටිරෝ සමාගම පවසනවා.

එහි රසායනික ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මහතා කියා සිටියේ එල් පී ගැස් සංයුතියේ කිසිදු වෙනසක් සිදු නොකර නිසි ප්‍රමිතියකින් යුක්තව ගැස් සිලින්ඩර බෙදා හැරිම් සිදු කරන බවයි ෴

******************************************

වසර 15 කට අධික කාලයක් තිස්සේ කළ ව්‍යාජ ලේඛණ සැකසීමේ ජාවාරම

(24.11.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

වසර 15 කට අධික කාලයක් තිස්සේ ජාතික හැදුනුම්පත්, උප්පැන්න සහතික, රියදුරු බලපත්‍ර ඇතුළු විවිධ ලේඛණ ව්‍යාජ ලෙස සකසන ජාවාරමක් හෙළි කර ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

අද (24) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින පුද්ගලයන්ට ව්‍යාජ උප්පැන්න සහතික, ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර ආදීය සකස් කරදෙන සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව පසුගියදා පෞද්ගලික ඔත්තුකරුවෙකු හරහා හෝඩුවාවක් ලැබෙනවා.

එහි සුල මුල සෙවීම ආරම්භ කෙරුනේ ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්, මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම එක්වයි.

ජාතික හැදුනුම්පත අස්ථානගත වී ඇති බවත්, උප්පැන්න සහතිකයක් ද නොමැති බව පවසා යළි හැදුනුම්පතක් ලබාගැනීමේ අවශ්‍යතාව සඳහන් කළ විට ජාවාරම්කරුවෙකු මෙලෙස අප හමුවට පැමිණියා.

******************************************

දිස්ත්‍රික්ක 4 කට අදාලව නාය යෑමේ අනතුරු ඇඟවීම්

(24.11.2021 – 23:14 +0530 – hirunews.lk/sinhala)

මහනුවර, මාතලේ, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාලව නාය යෑමේ අවදානම් ප්‍රකාශයට පත් කර තිබෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා ෴

(25.11.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය, අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී දැනට දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගත ව පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇති.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවට යි වාර්තා වෙන්නේ.

උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහමධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

කළුතර ප්‍රදේශ රැසකට අද (25) ජල කප්පාදුවක්

(25.11.2021 – 07:21 +0530 – sinhala.adaderana.lk)

අලුත්ගම – මතුගම හා අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් අද (25) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (25) පෙරවරු 09:00 සිට පස්වරු 07:00 දක්වා පැය 10 ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත.

වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ කටුකුරුන්ද, නාගොඩ, පිළිමිනාවත්ත, බෝම්බුවල යන ප්‍රදේශ වල ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඊට අමතරව පයාගල, මග්ගොන, බේරුවල, මොරගල්ල, කළුවාමෝදර, දර්ගා නගරය අලුත්ගම සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද අද (25) දිනයේ ජලසැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාවක්

(24.11.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

Covid-19 ට එරෙහිව 3 වන බූස්ටර් මාත්‍රාව වයස අවුරුදු 20 ට වැඩි අයට ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

++++

තවත් කොරෝනා ආසාදිතයින් 227 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝන ආසාදිතයින් ගණන 5,59,605 ක් ෴

++++++++++++++++++

අද (24) සිට ක්ෂේත්‍ර කිහිපයකට සේවා පවත්වාගෙන යෑමට අවසර

(24.11.2021 – 20:16 +0530 – sinhala.adaderana.lk)

රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යෑමට අද (24) සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

“රටේ ආර්ථිකය ඉදිරියට යන්න ඕන. ඒ අනුව විශේෂයෙන්ම මංගල උත්සව, ආපනශාලා, විශාල වශයෙන් පවත්වාගෙන යන හෝටල්, සිනමාශාලා ඒ සියල්ලටම.. ඒ වගේම ‘ඉවෙන්ට් මැනේජ්මන්ට්’ කියන කණ්ඩායම්වලටත් එම සේවා කටයුතු පවත්වාගෙන යෑමට අද (24) සිට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *