හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යවන ලද බුද්ධි අංශ වාර්තාව

හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යවන ලද බුද්ධි අංශ වාර්තාව

*********************************************

හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යවන ලද බුද්ධි අංශ වාර්තාව

(24.11.2021 – facebook.com/kanchana.wijesekera)

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11 කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් අත්අඩංගුවට ගන්න නිර්දේශ කරමින් යහපාලන රජයට ලබා දුන් වාර්තාව

සහාරාන් හෂීම් ප්‍රහාරයකට සුදානම් වන බව ප්‍රකාශ කරමින් සහ ඔහු අත්අඩංගුවට ගත යුතු බව නිර්දේශ කරමින්, පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11 කට පෙර, එවකට බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින්, යහපාලනය රජය සමයේ පොලීසිය භාරව කටයුතු කල ඇමති සහ වර්තමානයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත, යවන ලද බුද්ධි අංශ වාර්තාව.

******************************************

දුවන බසයෙන් ඇද වැටුණු කත

(24.11.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – අනුරාධපුර මාර්ගයේ උල්ලාලපොල ප්‍රදේශයේදී වේගයෙන් ධාවනය වු බස් රථයකින් කාන්තාවක් ඇද වැටෙන ආකාරය සී.සී.ටී.වී. කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

******************************************

උස් කුළුණු, කෞතුකාගාර හා කල්‍යාණි පාලම් මැදින් කින්නියා කලපුවට

(24.11.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

නව කැලණි පාලම අද (24) ජනාධිපතිගේ සුරතින් විවෘත වීමට නියමිත ව ඇති මොහොතක දී ‘කොළඹට කිරි ගමට කැකිරි’ යන යෙදුමෙහි අර්ථය වඩාත් ප්‍රකට කරවන සිදුවීමක් සිදු වුණා.

කල්‍යාණි රන් පිවිසුමෙන් කොළඹට
කින්නියා මැටි පිවිසුමෙන් පරලොවට

ඒ ඊයේ (23) උදෑසන කින්නියා කලපුවේ පාලම් පාරුවක් පෙරළී පාසල් සිසුන් හතර දෙනෙකු (4) ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු (6) මිය ගිය සිදුවීමයි.

පාලම් පාරුව පෙරළීමේ සිදුවීමත් සමග ප්‍රදේශයේ ඇති වූයේ දැඩි නොසන්සුන්තාවක්.

නොසන්සුන් වූ ප්‍රදේශවාසින් සමගි ජන බලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට අලාභ හානි සිදු කිරීමට පෙළඹුනේ, ඇති වූ ආවේගය නිසාම වෙන්නට ඇති.

එලෙස භෞතික වස්තුවලට හානි කිරීමෙන් හෝ කඩා බිඳ දැමීමෙන් අහිංසක අසරණ මිනිසුන්ගේ සිත්වල ඇති වූ ආධ්‍යාත්මික වේදනාව නිවා දැමිය හැකි ද ?

අහස උසට බැඳි විසල් සිහින තිබුණද ඒ සිහින යථාර්තයක් කරගත නොහැකි දුප්පත් දරු දැරියන් අකාල මරණවලට ඒ තුළින් වටිනාකමක් එකතු කළ හැකි ද ?

ඇතැම් විට කහට කෝප්පයකින් පමණක් කුස පුරාවාගෙන උදෑසන අකුරු කරන්නට පාසල් ගිය මේ කුඩා ළමුන්ගේ ජීවිතවලට වගකිව යුත්තේ, බිම් මට්ටමේ සිට ඉහළට විහිදුණු අකාර්‍යක්ෂම, වගකීම් විරහිත, මජර, ආත්මාර්ථකාමී, දූෂිත, පාලන තන්ත්‍රය ම නො වේ ද?

මාපියන් වෙනුවෙන් කෞතුකාගාර තැනුනු රටේ කුණු කඳුවලට යට වී මිනිසුන් මිය ගිය ඉතිහාසයක් අප අත් දැක තිබෙනවා.

ඉඳින්, මිනිසුන් මිය යෑම තම කඳවුරේ ලකුණු හා ඡන්ද අඩු වීමට හේතුවක් පමණක්ම ලෙස සිතනා පාලකයන් සමඟ රටක් ඉදිරියට යන්නේ කෙසේ ද?

තව නොබෝ වෙලාවකින් නව කැලණි පාලම හෙවත් කල්‍යාණි පිවිසුම ජනපතිගේ සුරතින් විවෘත වනු ඇත.

රමණීය විදුලි බුබුලු මැද මංතීරු හය (6) බෙදාගත් සැප වාහන, කැලණි පාලම උඩින් ගමන් කරනු ද ඇත.

දක්ෂ ඡායාරූප ශිල්පීන් තෙවැනි ඇසින් දකිනා කැලණි පාලමේ පින්තූර සමාජ මාධ්‍යවලට උඩුගත කරනු ඇත.

ඒවාට ඉතා හොඳ ප්‍රතිචාර ද ලැබෙනු ඇත.

නමුත් ලැම්බොගිනි හා කාර් රේස් සිහින හීනයක් ම වූ පැල්පතේ උන් අහිංසක දරුවන්ගේ, මල කඳන් කලපු පතුළෙහි ම සැඟවුණු ඛේදවාචකයට මේ කිසිවකින් පිළිතුරු ලැබෙයි ද?

මේ මොහොත වන විටත් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ එම වගකීම දෙපසට මාරු කරමින් සිටිනා පාලකයින් රතු එළි දල්වන්නේ එම වගකීම භාර ගැනීමට තමන් සූදානම් නොමැති බවටයි.

ජීවිතයේ එළිපත්තට වත් පිය නොනැඟූ මේ මල් කැකුළු හිතා මතා ම මිලින වන්නට ඉඩහසර සැලසූ අමන පාලකයින් හෙටත් මේ අයුරින්ම එකිනෙකාට බෝලය මාරු කරමින් සිටිනු ඇති.

ඊනියා සෞභාග්‍යය මාවතට කල්‍යාණී පිවිසුමෙන් ඇතුළු වී රටේ එහා කෙළවර කින්නියා කළපුව වෙත කිසිවෙකුට හෝ යා හැකි නම් එකම රටක අන්ත දෙකක ඇති යථාර්ථය වටහා ගනු හැකි වනු ඇති.

ඒ යථාර්ථය වටහා ගත් දිනට ජාතිවාදය, ජාතික ආරක්ෂාව, දූෂනය, භීෂනය, විකුණා බලයට එන පාලකයාගෙ ඡන්ද පොරොන්දු වල වලංගු භාවය ද මැකී යනු ඇති.

එතෙක් කල්‍යාණි පිවිසුම මත සිට මුහුද ගිලගන්නා සූර්යා ලෝකය දෙස බලා සිටිමු ෴

******************************************

අලුත්වන අලුත් කඩේ අධිකරණය

(24.11.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිසා අධිකරණ පරිශ්‍රයෙහි ගොඩනැගිලි වල පැවති අබලන් තත්වය හේතුවෙන් අධිකරණ කටයුතු සිදු කිරීමේදී සිදුවන අපහසුතාවයන් වලක්වා ගැනීම සඳහා එම ගොඩනැගිලි නවීකරණය කර තිබෙනවා.

අද (24) එම නවීකරණය කරන ලද ගොඩනැගිලි නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැමිණියා.

වර්තමානය වන විට ස්ථාවර දිසා අධිකරණ සංකීර්ණය තාවකාලික ස්ථානයකට ගෙන ගොස් අධිකරණ කටයුතු පවත්වාගෙන යන අතර නවීකරණය වන අධිකරණ සංකීර්ණයෙහි වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නිම කිරීමෙන් අනතුරුව දිසා අධිකරණයෙහි වැඩ කටයුතු නැවත ආරම්භ කල හැකි අතර නවීන පහසුකම් වලින් සමන්විත මෙම අධිකරණ සංකීර්ණයෙහි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නඩු කටයුතු සිදුකිරීම සඳහා දත්ත පරිඝණක ගත කිරීමේ කටයුතුද මේ වන විටත් සාර්ථකව සිදු වෙමින් පවතිනවා ෴

******************************************

කොරෝනා රෝග ව්‍යාප්තියේ ඉහල යාමක්

(24.11.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රීතව කොරෝනා රෝග ව්‍යාප්තියේ ඉහල යාමක් නිරීක්ෂණය වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අසාමාන්‍ය ලෙස කොරෝනා රෝගින් ඉහල ගියහොත් යලිත් රට තුළ සීමා පැණවීමට සිදුවන බවයි.

මෙරටින් වාර්තා වි ඇති කොරෝනා මරණ අතරින් 10,837 ක් වයස අවුරුදු 60 ට වැඩි අය බවද වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දුන්නා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්වුනා.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සිදු කරන සියළු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉටු විය යුතු බවයි ඔහු අවධාරණය කළේ ෴

******************************************

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කරනවා – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

(24.11.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කර රුපියල් හතළිස් එක් දහසක (41,000) වැටුපක් ලබා දෙන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

******************************************

ඉතා දුර්ලභ ගණයේ මැණික් ගලක් මෙරටින් හමුවේ

(24.11.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

ඉතා දුර්ලභ ගණයේ Natural Phenakite වර්ගයේ මැණික් ගලක් මෙරටින් හමුවී තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ මෙම මැණික් ගල ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම Phenakite මැණික බවයි.

එම මැණික් ගල මේ වනවිට බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබෙනවා.

බලංගොඩ ප්‍රදේශයෙන් එම මැණික ඔහු මිලදී ගෙන ඇති බව සඳහන්.

එහි බර කැරට් 616.90 ක් වන අතර එහි මිල රුපියල් කෝටි 100 ක් පමණ වන බව එම ව්‍යාපාරිකයා පවසනවා.

අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ඔහුට සහතිකයක් ද නිකුත් කර තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ බැවින් එය අධික මිලකින් යුක්ත බවයි.

කෞතුක වශයෙන් මැණික් එකතු කරන්නන් විසින් මෙවැනි මැණික් ගල් වැඩි මිලකට මිලදී ගනු ලබන බවත් ඔහු පැවසුවා.

+++++++

******************************************

වයස අවුරුදු 55 සම්පූර්ණ වූ ඕනෑම රාජ්‍ය සේවකයෙකුට විශ්‍රාම යා හැකියි

(24.11.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 55 සම්පූර්ණ වූ ඕනෑම රාජ්‍ය සේවකයෙකුට, තම අභිමතය පරිදි ජනවාරි 01 වනදා සිට විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

******************************************

පූජිත්ට සහ හේමසිරිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය දෙවන (2) දිනටත්

(24.11.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද (24) දෙවන (2) දිනටත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වුණා.

එහිදී සාක්ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන කියා සිටියේ 2017 වසරේ ඔක්තෝම්බර් මස 31 වනදා තමා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියක් මගින් මෙරට තුළ අයි.එස්. මතවාදය පතුරුවන සහ අනාගත ප්‍රහාරයක් සඳහා යොමුවිය හැකි පුද්ගලයින් 94 දෙනෙකු පිළිබඳ තොරතුරු ලබා දුන් බවයි.

ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය, සහ ප්‍රසිද්ධ දේවස්ථාන වලට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට 2019 වසරේ අප්‍රේල් මස 04 වනදා විදේශීය තොරතුරු කරුවකුගෙන් තමාට තොරතුරක් ලැබුණු බව ද ඔහු සඳහන් කළා.

ඒ පිළිබඳව අප්‍රේල් මස 07 වනදා ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මෙන්ම පසුව, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ද දැනුවත් කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර වෙත 2018 වසරේ මැයි මස 19 වනදා සහරාන් අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් යොමුකළ ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *