රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනයට පෞද්ගලික අංශයට අද (24) සිට අවසර

රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනයට පෞද්ගලික අංශයට අද (24) සිට අවසර

*********************************************

රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනයට පෞද්ගලික අංශයට අද (24) සිට අවසර

(24.11.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර, සහ කෘෂි රසායනික යලි ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (24) පස්වරුව වන විට නිකුත් කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ.

පසුගිය අප්‍රේල් මස 26 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් රසායනික පොහොර ආනයනය සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයන තහනම් කිරීමට පියවර ගනු ලැබුවේ ජනාධිපතිවරයා කළ යෝජනාවකට අනුවයි.

ඒ සඳහා පසුව ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.

කෙසේ වෙතත්, පොහොර ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය කාලයේ ගොවි විරෝධතා පැවති අතර දිගින් දිගටම පැවති විරෝධතා හමුවේ රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර ලබා දීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) පැවති සාකච්ඡාවකදී තීරණය කෙරුණේ.

ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 5 ක් භාවිතය තහනම් කරමින් 2014 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් එදිනම තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූවා.

කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය හේතුවෙන් පළිබෝධනාශක රෙස්ට්‍රාර්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමටයි විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කළේ.

කෙසේ වෙතත්, අද (24) පැවති මාධ්‍ය හමුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ අද (24) සිට රසායනික පොහොර, වල් නාශක, දිලීර නාශක සහ පළිබෝධනාශක ආනයනය සඳහා පෞද්ගලික අංශයට අවසර ලබාදෙන බවයි.

හරිත කෘෂිකර්මාන්ත සංකල්පය යථාර්තයක් කර ගැනීමට රජයේ ඇතැම් පාර්ශවයන්ගෙන් ද, සහයෝගය නොලැබුණු බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.

******************************************

නුවර පෙරහර නූලෙන් බේරුණු හැටි ගැන හෙළිදරව්වක්

(24.11.2021 – 12:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ථ කල්ලියේ දෙවැනියා (2) වන ‘නවුෆර් මව්ලවී’ 2021 වසරේ දිවයිනේ සෑම පළාතකට ම පහර දීමට සැලසුම් කර තිබූ නමුත් අවිධිමත් සැලසුම් නිසා එය සාර්ථක වී නොමැති බව වාර්තා වෙනවා.

නිසි නායකත්වයක් නොමැතිවීම මෙම සැලසුම් අසාර්ථක වීම්වලට හේතුව බවයි පැහැදිලි වන්නේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ‘සහරාන්’ට අවශ්‍ය වී තිබෙන්නේ, මෙම පහර දීම් ඉක්මන් කිරීමට යි.

නමුත් මේ සම්බන්ධ ව ‘නවුෆර් මව්ලවී’ හා ‘සහරාන්’ අතර මත ගැටුම් ඇති වී ඇති අතර, ඒ නිසා මෙම අසාර්ථකවීම් සිදුවූ බව යි ඒත්තු ගැන්වෙන්නේ.

විමර්ශන හා ප්‍රශ්න කිරීම් මත අනාවරණය වූ පරිදි පළාත් නවය (9) ඉලක්ක කරගනිමින් මෙන්ම, නිදහස් දින සැමරුම ඉලක්ක කරගෙන ද මෙම ප්‍රහාර දි‍යත් කිරීමට සැලසුම් සකස් වී තිබෙනවා.

මෙම දෙවැනි (2) ප්‍රහාර මාලාව සඳහා ‘සහරාන්’ විසින් වගකීම පවරා ඇත්තේ, ඔහුගේ සොහොයුරා වන ‘සයිනි මව්ලවී’ට බව සඳහන්.

‘සයිනි’ සහ ‘සහරාන්’ගේ තවත් සොහොයුරෙකු වන ‘රිල්වාන්’ විසින් නුවර ඇසළ පෙරහරට ද ප්‍රහාර එල්ල කිරීමට පිඹුරුපත් සැකසූ බව අනාවරණය වෙනවා.

මෙම තොරතුරු අණාවරණය වී ඇත්තේ, ‘සහරාන්’ගේ බිරිඳගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදියි.

දෙවැනි (2) ප්‍රහාර මාලාව තුළින් විශාල ජීවිත හානියක් සිදු වීමට ඉඩ තිබූ අතර, එය පාස්කු ප්‍රහාරයටත් වසා ප්‍රබල එකක් බවට යි විමර්ශනවලින් තොරතුරු ලැබී ඇත්තේ.

නමුත් දෙවැනි (2) ප්‍රහාරයට සූදනම් වී සිටි පිරිස ‘සයින්දමර්දු පිපිරීමෙන්’ මිය ගියා.

******************************************

සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

(24.11.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම, දීමනා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) උදෑසන ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසකම බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් ද දැඩි අපහසුතාවට ලක්වුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වර්ජනයට සහය දැක්වීමත් සමග කොරෝනා පරීක්ෂණ ද නැවතී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ තම සංගමයට අයත් හෙද කාර්ය මණ්ඩලය මෙම වර්ජනයට සහය ලබා නොදෙන බවයි.

++++++++

******************************************

නාය යෑමේ අවදානම් නිකුත් කෙරෙයි

(24.11.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්වලට අදාළව නාය යෑමේ අවදානම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ බව නිවේදනය කළා ෴

******************************************

ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස කාදිනල් හිමියන් යළිත් ඉල්ලයි

(24.11.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු පාර්ශ්ව පියවර නොගැනීමෙන්, මෙම ප්‍රහාරය පිටුපස ඔවුන් සිටින බවට සැකයක් මතුවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ වාද්දූව – ශුද්ධාත්මයන්ගේ දෙව් මැදුර විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (23) පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින්.

******************************************

චාවකච්චේරියේ මවක් තම බිළිදිය, පණ පිටින් වළ දමයි

(24.11.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

දිනයක් (1) වයසැති තම බිලිඳිය පණපිටින් වළදැමූ මවක් පිළිබද පුවතක් චාවකච්චේරි – මට්ටුවිල් උතුරු ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෙසේ වෙතත්, මේ වනවිට අදාළ බිලිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම මව දරු ප්‍රසූතිය සිදුකර නිවස පිටුපස වලදමා ඇති බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් ඊයේ (23) පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

ඒ අනුවයි, චාවකච්චේරි පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළේ.

එම අවස්ථාවේදී බිළිඳිය වලදමා තිබූ ස්ථානයෙන් ගොඩගෙන ඇති අතර එහිදී බිලිඳිය ජිවතුන් අතර සිටීම හේතුවෙනුයි රෝහලට ඇතුළත් කර ඇත්තේ.

සිද්ධියට අදාල මව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, රුපියල් 21,56,000 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කළමනාකරණ සංවර්ධන නිලධාරිනියක් ගාල්ල බන්ධනාගාරය තුලදී වස පානය කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඇය විසින් පැලඳ සිටි සාරිය තුල අදාළ වස බෝතලය සඟවාගෙන සිට ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා ෴

******************************************

ජාතික තෙල් වායු සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(24.11.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම් ද්‍රෝණියේ සිදුකළ ගවේෂණය දී හඳුනා ගත් ඛනිජ තෙල් සහ ස්වභාවික වායු නිධිවලින් ස්වභාවික වායු නිපදවා ගැනීම සඳහා ‘ජාතික තෙල් වායු සමාගම’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (23) රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එහි සදහන් වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් ලෙස මෙම ජාතික තෙල් වායු සමාගම ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි ෴

******************************************

කමල් ගුණරත්නට අමාත්‍යාංශ ලේකම් ධුරයක්

(24.11.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යාංශ ලේකම්වරුන් 8 දෙනෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබද කාරක සභාව රැස් වූ අවස්ථාවේදියි.

එම අමාත්‍යාංශ ලේකම්වරුන් අතරට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද ඇතුළත් ෴

******************************************

කින්නියා පාලම් පාරුවේ ක්‍රියාකරුවන් තිදෙනෙකු (3) පොලිස් අත්අඩංගුවට

(24.11.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු (6) ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාලම් පාරුවේ හිමිකරු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනා (2) පාලම් පාරුවේ ක්‍රියාකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

දෙදෙනෙකු (2) ත්‍රිකුණාමලය පොලීසියට සහ සෙසු පුද්ගලයා කින්නියා පොලීසියට භාර වීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

දෙපා වාරු නැති නමුත් සාර්ථක වූ කොටවෙහෙ‍රේ ගොවියා

(24.11.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

දෛවය මිනිසුන්ගේ ජිවිත වෙනස් කරන්නේ නො සිතන අවස්ථාවලදියි.

එහිදී ඇතැමුන්ගේ ජිවිත තිබෙන තත්ත්වයටත් වඩා පහළට ඇද දමන අවස්ථා ද ඕන තරම්.

එලෙස හදිසි අනතුරකට මුහුණ දී දෙපා වාරු ඇති මිනිසුන්ටත් ආදර්ශයක් වන දෙපා වරු නැති ගොවි මහතෙක් පිළිබඳව අපට වාර්තා වුණේ කොටවෙහෙර ප්‍රදේශයෙන්.

******************************************

රජයේ පොහොර ප්‍රතිපත්තිය අවිධිමත් බවට දයාසිරි ජයසේකර ගෙන් චෝදනාවක්

(24.11.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

පොහොර සම්බන්ධයෙන් රජයේ නිසි ප්‍රතිපත්තියක් නොමැතිකමින් ගොවීන් අනවශ්‍ය පීඩනයකට ලක් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මේ අතර, අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

******************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සෙල්ලම් දැමූ එක් බසයක් හදුනා ගනියි

(24.11.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපසට ධාවනය වූ බස් රථ දෙකක් (2), අතරමගදී නවතා, එහි රියැදුරන් දෙදෙනා (2), බස් රථ දෙකට (2)මාරු වීමේ සිද්ධියට අදාළ එක් (1) බස් රථයක හිමිකරු හඳුනාගෙන ඇති බව දක්ෂණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසනවා.

SP WP 3996 දරණ බස් රථ අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට, එහි අනන්‍යතාවය තහවුරු කරගත් බවත්, ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ බස්රථ හිමිකරුට අද (24) දින අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයට වාර්තා කරන ලෙසට දැනුම් දී ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව ඔහුගෙන් ලබාගන්නා තොරතුරුවලට අනුව සිද්ධියට සම්බන්ධ අනිත් බස්රථය හඳුනා ගැනීමට නියමිතයි.

මෙම සිදුවීම පෙරේදා (22) දිනයේ පෙරවරු කාලයේ සිදු ව තිබු අතර, කඩවත, අම්බලන්ගොඩ මාර්ගයේ, මගී ප්‍රවාහන බස් රථ දෙකක් (2) සිද්ධියට සම්බන්ධ බවයි පොලීසිය සඳහන් කළේ.

එම බස් රථ දෙක (2) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ දී , අතරමඟ නවතා , රියදුරන් දෙදෙනා (2) මෙසේ මාරු වී ඇති බව ද වාර්තා වනවා ෴

******************************************

එළවළු මිල පහළ යාමක් !

(24.11.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවලට සාපේක්ෂව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

දිවයින පුරා එළවළු සපයන සියලු ප්‍රදේශවලින් එම වෙළෙඳාපොළට එළවළු අස්වනු ලැබී ඇති බවත් වෙළෙඳුන් පැවසුවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මුඛ ආවරණ නොපළඳින්නන් සොයා බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුම්

(24.11.2021 – 12:09 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වයිරසය දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීම හේතුවෙන්, එලෙස වයිරසය පැතිරීමට ප්‍රධාන හේතුවක් ලෙස සෞඛ්‍ය අශ විසින් හඳුනාගෙන ඇත්තේ, මහජනතාව නිසි පරිදි මුඛ ආවරණ භාවිත නොකිරීම බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් පොලිසිය විසින් ඊයේ (23) දින බස්නාහිර පළාත මුල් කරගනිමින් එලෙස නිසි ලෙස මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කළ සෝදිසි කිරීම්වලදී, නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුගත නොවෙමින් කටයුතු කළ පුද්ගලයින් 6324 කට පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම පොදු ස්ථාන 823 කට, යතුරු පැදි සහ ත්‍රීරෝද රථ රියදුරන් 3328 කට පොලිස් නිලධාරීන් 918 දෙනෙකු විසින් ඊයේ (23) දින අවවාද කරනු ලැබුවා.

මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරින් 1475 දෙනෙකු යොදා තිබූ අතර, පරීක්ෂාවට ලක් වූ මුළු සංඛ්‍යාව 23,193 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

කොරෝනා වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 401 දෙනෙකු අද (24) දිනයේදිත් සුවය ලබා තිබෙනවා. ඒ සමග මෙරට සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,27,929 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

තවත් කොරෝනා ආසාදිත මරණ 23 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 14,205 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *