සෞඛ්‍ය සේවකයින් දෙදින (2) වර්ජනයක

සෞඛ්‍ය සේවකයින් දෙදින (2) වර්ජනයක

*********************************************

සෞඛ්‍ය සේවකයින් දෙදින (2) වර්ජනයක

(24.11.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් අද (24) පෙරවරු 7 සිට දින 2 ක වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ වැටුප් සහ දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෘත්තීය සමිති 16 ක් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ දී ඊයේ (23) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, තම සංගමයට අයත් හෙද කාර්ය මණ්ඩලය මෙම වර්ජනයට සහය නොදක්වන බවයි ෴

******************************************

කෝපායි මහවිරු සැමරුමක් වළකයි

(24.11.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කෝපායි ප්‍රදේශයේදී කිසියම් පිරිසක් මහවිරු සැමරුමක් පැවැත්වීමට ගිය අවස්ථාවේදී පොලිසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා.

කෝපායි ප්‍රදේශයේ මිය ගිය එල්.ටී.ටී.ඊ. පුද්ගලයින් වළ දමා ඇති සුසාන භූමියකයි ඊයේ (23) මෙම සැමරුම පැවැත්වීමට සූදානම් කර ඇත්තේ.

යාපනය පොලිස් බල ප්‍රදේශයේ කිසිදු අයුරකින් මහජන සාමය කඩවීමේ මහවිරු සැමරුම් පැවත්වීම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල නියෝගයක් නිකුත් කොට තිබුණා.

මේ අතර, යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප්‍රධානී රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් ඇතුළු පිරිසකට එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ පුෂ්පය වන නියඟලා මල සිය ඇඳුම්වල පැලදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව යාපනය පොලිසිය සඳහන් කළා.

පසුගිය 20 වන දා යාපනය – නල්ලූර් හි පිහිටි සංගිලියන් උද්‍යානයේ මල් පැළ තවානක් විවෘත කිරීමේ අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තා වී ඇති තිබුණා ෴

******************************************

ඡන්ද කොමිසම පුංචි ඡන්දයට සැරසෙයි

(24.11.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතනවල නියෝජිතයන් පත් කරගැනීම සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ ව්‍යවස්ථාපිත කටයුතුවල මූලික සංවිධාන කටයුතු ආරම්භ කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කළා.

ඒ, මැතිවරණ කොමිසන් සභාව ඊයේ (24) රැස්වීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඡන්ද විමසීමට අදාළ ආකෘති පත්‍ර සකස් කිරීම, නිලධාරී සහ වාහන සංගණන, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කර අඩුපාඩු හඳුනාගැනීම වැනි කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් සහ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම්දෙනු ඇති.

එසේම 2021 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවූ පුරවැසියන් වෙත්නම් ඒ සම්බන්ධ තොරතුරු දෙසැම්බර් 03 වනදාට පෙර මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දෙන ලෙස දේශපාලන පක්ෂ වෙත දැන්වීමට ද මෙහිදී තීරණය කෙරුණා ෴

******************************************

පාලම් පාරුව පෙරළීමෙන් පසු කුරින්චාකර්නි හරහා බස්රථ සේවාවක්

(24.11.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු (6) ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු අදාළ ප්‍රදේශය හරහා අද (24) සිට ශ්‍රී ලංගම බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

කාකමුනෙයි සිට නඩතිව්, කුරින්චාකර්නි හරහා කින්නියා දක්වා මෙම බස් සේවාව ක්‍රියාත්මක කරන බවයි කින්නියා ඩිපෝව සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද (24) ආරම්භ කළ මෙම බස් රථ සේවාවට ප්‍රදේශවාසීන් විරෝධය දක්වන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී දරුවන් 4 දෙනෙකු ඇතුළු හයදෙනෙකු (6) ඊයේ (23) ජීවිතක්ෂයට පත්වුණා.

******************************************

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(24.11.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කිඹුලාඇලේ ගුණා’ නැමැත්තාගේ ගෝලයෙකු වන ‘හෝමාගම පොඩි සම්පත්’ නැමැත්තා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැස්බෑව – මාකන්දන – කැකුළුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු ලඟ තිබී රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ද ඊයේ (23) සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මත්කුඩු ජාවාරමට අමතරව පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ද මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.

36 හැවිරිදි මෙම සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

******************************************

පළිබෝධ නාශක රෙජිට්‍රාර් තනතුරෙන් ඉවත් කිරීම ගැන මහින්දානන්දගෙන් ප්‍රකාශයක්

(24.11.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ගෙන් හෝ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුමකින් තොර ව, ග්ලයිෆොසේට් ඇතුළු කෘෂි රසායන කිහිපයක් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ ඉකුත් 22 වැනි දා යි.

එතෙක් පැවති පනත අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහා ම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය විනය විරෝධී බව සඳහන් කරන අමාත්‍යවරයා, ඒ පිළිබඳ මේ වනවිට පරීක්ෂණයක් අරඹා ඇති බව ද සඳහන් කළා.

මීට මසකට පමණ ඉහත දී රසායන පොහොර සමාගමකට පක්ෂපාතී ව පළිබෝධනාශක ආනයනය කිරීමට අදාළ සිද්ධියකට ද ජනරාල්වරයාට එරෙහි ව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත යි.

ග්ලයිෆොසෙට් ඇතුළු කෲෂි රසායන තහනම ඉවත් කරමින් ඔහු නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවා එම තහනම යළි ක්‍රියාත්මක කරමින් පෙර පැවති ගැසට්ටුව බලාත්මක කිරීමට ද කටයුතු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සිදුවීමට අදාළ රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් පහ කොට කෘෂිකර්ම අමාත්‍යාංශයට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා ෴

******************************************

කුරුණෑගල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් වෙයි

(24.11.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නැවත වර්ගීකරණයට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින්.

ඒ අනුව වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ට සායනික පුහුණුව සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දැනට පවතින තත්වය සලකා කුලියාපිටිය ශික්ෂණ රෝහලට අමතරව කුරුණෑගල රෝහල ද තෝරාගෙන ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

******************************************

කින්නියා පාරු සේවය ආරම්භ කළේ තම රජයෙන් නො වන බවට ජොන්ස්ටන් ගෙන් ප්‍රකාශයක්

(24.11.2021 – 09:51 +0530 – hirunews.lk/sinhala)

කින්නියා පාළම් පාරුවේ සිද්ධිය මිනීමැරුමක් බවත් එම මිනීමැරුමට අදාළ සියලු දෙනා නීතිය හමුවට ඉදිරිපත් කොට දඬුවල් ලබා දෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

ඒ ඊයේ (23) පාර්ලිමේන්තු විවාද අතරතුර යි.

කින්නියා පාලමට ඇස්තමේන්තු නොකර හා ටෙන්ඩර් කැඳවීමකින් තොර ව මුල්ගල් තැබුවේ යහපාලන ආණ්ඩුව බව පැවසූ අමාත්‍යවරයා, තම රජය පැමිණීමෙන් අනතුරු ව ඇස්තමේන්තු කර පාලමේ කොටසක් සෑදූ බවත් සඳහන් කළා.

ඇතැම් අය මෙම සිදුවීමේ වරද රජය මත පැටවීමට උත්සාහ දරන බව පසසන අමාත්‍යවරයා, එම සිදුවීමෙන් විපතට පත් පවුල්වල සියලු දෙනාට ශෝකය පළ කළා.

පාලම සෑදිමේ දී ජනතාවට අතුරු මාර්ගයක් ලබා දී තිබෙන අතර, එම මාර්ගය කිලෝ මීටර් තුනක් (3) දුර හෙයිනුයි ජනතාව එය භාවිත නොකර තිබෙන්නේ.

එසේ ම මෙම පාරු සේවය තම රජයෙන් ආරම්භ කල එකක් නොවන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

රටේ නීතිය අනුව මෙම සිදුවීම මිනී මැරුමක් බව සඳහන් කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, සිද්ධිය පිළිබඳ රජයට ඇඟිල්ල දිගු නො කරන ලෙසයි විපක්ෂයෙන් ඉල්ලා සිටියේ.

******************************************

උද්ධච්ච ඇමතිවරු ගැන රවී කුමුදේෂ් ගෙන් වාග් ප්‍රහාරයක්

(24.11.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැටුප් අර්බුදයට නිසි විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් තමන් වෙත ලබා දුන් උපදෙස් පිළිබඳ පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලන‍යේ කැඳවුම්කරු රවී කුමුදේෂ් සිදු කර තිබෙනවා.

මාධ්‍යවේදීන් පිරිසක් විසින් අද (24) පෙරවරුවේ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ, මුදල් අමාත්‍යවරයා වෙත ජනාධිපති ලබාදුන් උපදෙස් ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ සිදු කළ ද සිය වෘත්තිකයින්ගේ කිසිදු වැටුප් විෂමතාවක් ඉන් නොවිසඳෙන බවයි.

එලෙස පාර්ලිමේන්තුවේ දී වැටුප් අර්බුදය ගැන කතා කළ ද, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම්, මේ අයුරින් රට පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇති නොවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටිනවා.

එමෙන්ම සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සම්මේලනය මගින් වත්මන් සෞඛ්‍ය ලේකම්වරයාට ද බරපතළ චෝදනාවක් එල්ල කර තිබෙනවා.

එනම්, මුදල් අමාත්‍යවරයා සිය වෘත්තීයවේදීන්ගේ වැටුප් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ පිළිබඳව කිසිදු ලෙසකින් පත්තරයකින් හෝ සෞඛ්‍ය ලේකම්වරයා නොදැක මෙන්ම නොදැන සිටීම ගැන ද ප්‍රකාශ කරන රවී කුමුදේෂ් කියා සිටින්නේ, හෙතෙම යුද හමුදාවේ ඉහළ පෙළේ නිලධාරියෙකු වුව ද, සිය ගැටලු සාකච්ඡා කිරීමට එකඳු රැස්වීමක් හෝ තමනට ලබාදීමට ඔහු අපොහොසත් වූ බවයි.

මේ අතර, රට තුළ සෑම ක්ෂේත්‍රයකම විරෝධතා ඇති වීමට තවත් ප්‍රධානතම හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ, අන් කිසිවක් නොව, උද්ධච්ච ඇමතිවරුන්ගේ පාලනය සහ හැකියා රහිත නිලධාරින් සේවයට එක් කර ගැනීම බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙවැනි අක්‍රමිකතාවලින් අනූන පරිපාලන ක්‍රියාවලියක් හේතුවෙන් රටේ ජනතාව මේ වනවිට කබළෙන් ලිපට ඇද වැටීමකට ලක් ව ඇති බව ද රවී කුමුදේෂ් සඳහන් කරනවා.

හෙට (25) දින පැවැත්වීමට නියමිත සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විරෝධතාව සම්බන්ධයෙන් ද අදහස් දක්වන ඔහු කියා සිටින්නේ, මෙම වර්ජනය පැය 48 කින් අවසන් කරන, සංකේතාත්මක අරගලයක් පමණක් වන අතර, එතුළින් හෝ නිදා සිටින ආණ්ඩුවේ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඇහැරවීම වර්ජනයේ මූලිකම බලාපොරොත්තුව බවයි.

කෙසේ වෙතත්, මෙම වර්ජනයට අවතීර්ණ වීමෙන් හෝ සිය ප්‍රශ්න ගැන අනවධානයෙන් යුතුව බලධාරින් කටයුතු කරන්නේ නම්, සිය වෘත්තීය සමිති සාමාජිකයින් 50,000 කින් සමන්විත ඒකාබද්ධ වෘත්තීය සමිති 15 ක් නුදුරේදීම දැවැන්ත වර්ජනයකට සූදානම් වන බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලන‍යේ කැඳවුම්කරු රවී කුමුදේෂ් අවධාරණාත්මකව කියා සිටිනවා ෴

******************************************

අධිවේගී මාර්ගවල ගාස්තු ‘ලංකා කිව්.ආර්.’ ක්‍රමවේදය හරහා අය කිරීමට කැබිනට් අනුමැතිය

(24.11.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයන් හි ගාස්තු අය කිරීම ‘ලංකා කිව්.ආර්.’ ගෙවීම් ක්‍රමවේදය හරහා සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

පසුගිය දා මෙම ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණෙන්.

ඒ අනුව අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු සඳහා ද මෙම කේතය ඉදිරියේදී හඳුන්වා දෙනු ඇති.

ඒ අනුව තම ජංගම දුරකතනයේ පිහිටුවා තිබෙන, ඕනෑම බැංකුවක ‘ලංකා කිව්.ආර්.’ සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් (App) මගින්, ගාස්තු අය කිරීමේ ගේට්ටුවේ ඇති ‘කිව්.ආර්. කේතය’ ස්කෑන් කර, අදාළ මුදල සටහන් කර එම මුදල ගෙවීමට හැකියාව ලැබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

******************************************

ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට

(24.11.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

මනම්පිටිය – මඩකලපුව මාර්ගයේ ආච්චි බෝක්කුව අසල දී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව එක් (1) කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අද (24) අලුයම මෙම අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියදුරුට අමතරව පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් ගමන් කර ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් ගත් පිරිමි පුද්ගලයා යි.

තුවාල ලැබු කාන්තාව පොළොන්නරුව රොහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

කොට්ටාවේ බවුසර් රථ අනතුර – අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් දැඩි හානි

(24.11.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව – අතුරුගිරිය මාර්ගයේ අඟහරුවාදා පොළ ආසන්නයේදී සිමෙන්ති (කොන්ක්‍රීට්) ප්‍රවාහනය කරන බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත තාප්ප දෙකක් (2) හා අධිබලැති විදුලි කණුවක් කඩාගෙන ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් වී තිබෙනවා .

බවුසර් රථය අධිබලැති විදුලි කණුවේ ගැටීමෙන් පසුව විදුලි කණුව හා විදුලි රැහැන් බවුසර් රථයේ ඉදිරිපස කොටස මතට වැටීමෙන් එම කොටසට විදුලිසැර වැදී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් (2) කැඳවා ඇති අතර, එම අවස්ථාවේදී බවුසර් රථයේ ගමන් ගත් රියැදුරු සහ සහායකයා ඉන් පැන දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව විදුලිබල මණ්ඩලයේ සේවකයින් පැමිණ විදුලි කණුව හා රැහැන් ඉවත් කිරීමෙන් පසුව දොඹකරයක ආධාරයෙන් මාර්ගයෙන් ඉවතට පැන තිබූ බවුසර් රථය සහ ඉදිරිපස කොටස ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුම අඩාල වී තිබූ අතර, දුරකථන පද්ධතියට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බවුසර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ ලිපියක්

(24.11.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ජනතා විශ්වාසය බිඳ වැටෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන ‘Vaccine Recovery Clinic’ වැඩසටහන පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් කියා සිටින්නේ, ඉහත කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අම්පාර පර්යන්ත ශාඛාව විසින් තමන් වෙත දක්වා ඇති කරුණු හා සම්බන්ධව අදාළ ලිපිය යොමු කරන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අම්පාර පර්යන්ත ශාඛාවට අනුව ‘කොවිඩ් මරණ වළක්වමු එකමුතුව’ නම් සංවිධානය මගින් ‘Vaccine Recovery Clinic’ නමින් වැඩසටහනක් අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම නිරෝධායන පනතේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වන ඔබ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අනුමැතියකින් තොරව ඉහත සංවිධානය ක්‍රියාත්මක වන බවට ද මෙම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අංශය දැඩි පරිශ්‍රමයකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය අපකීර්තියට හා ජනතා විශ්වාසය බිඳ වැටෙන ලෙස ඉහත සංවිධානය විසින් සිදු කරන ක්‍රියාවලිය සඳහා නිරෝධායන පනතේ නිසි බලධාරියා ලෙස කඩිනමින් ක්‍රියාත්මක වී කොවිඩ් වසංගතය පාලනයට හා එන්නත්කරණය ගැන ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *