‘කල්‍යාණි රන් පිවිසුම’ පාලම අද (24) සිට විවෘතයි

‘කල්‍යාණි රන් පිවිසුම’ පාලම අද (24) සිට විවෘතයි

*********************************************

‘කල්‍යාණි රන් පිවිසුම’ පාලම අද (24) සිට විවෘතයි

(24.11.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම අද (24) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380 ක්.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ, පැකේජ දෙකක් (2) යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති බවයි.

පළමු (1) පැකේජය වන වානේ නිමවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539 ක් වැයකර ඇති අතර, දෙවන (2) පැකේජය වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 9,896 ක්.

මෙම පාලම ඉදිකිරීම සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ ‘ජයිකා’ හෙවත් ‘ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනය’යි.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එකිනෙක සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුළු වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් සිදු ව තිබෙනවා.

එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නො වීම හේතුවෙන් 2012 වසරේදී මූලික සැලසුම් සකස් කර 2014 වසරේ දී අධිතාක්ෂණික කේබල් යොදා නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

******************************************

පොල් ගෙඩි තුනක් (3) හොරෙන් කැඩූ තිදෙනෙකුට (3) ලක්ෂ දෙක (2) බැගින් ශරීර ඇප

(24.11.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ගොස් අනවසරයෙන් පොල් කැඩූ තිදෙනෙකු (3) පොල් ගෙඩි තුනක් (3) සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසු ව ඔවුන් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළ බවයි වාර්තා වෙන්නේ.

බාලවයස්කාර දරුවෙකු හා ගාල්ලේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුයි (2) මෙම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ.

නිතර නිතර සොරුන් පැමිණෙන නිසා, අක්කර එක හමාරක (1½) පමණ තම පොල් ඉඩමට සී.සී.ටී.වී. පද්ධතියක් සවි කිරීමට පොල් වත්තේ අයිතිකරු තීරණය කර තිබෙනවා.

එම සී.සී.ටී.වී. දර්ශන අනුවමයි අදාළ පොල් කැඩූ අය සොයාගෙන ඇත්තේ ෴

******************************************

ජන දිවි ගලවා ගැනීමට යුද හමුදාවට පරිත්‍යාගයක්

(24.11.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

වැසි සමයේ ඇතිවිය හැකි ජල ගැලීම් තත්ත්වයන්හි දී, ජනතාව ඉන් මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන යුද හමුදාව වෙත අවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් රූපවති කේදීශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින සිදු කෙරුණා.

ඒ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පරිත්‍යාග ලෙස කිලිනොච්චිය යුද හමුදා 57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි.ආර්.ආර්.පි.ජයවර්ධන වෙත අදාළ උපකරණ පරිත්‍යාග කිරීම එහිදී සිදු කෙරුණා.

ජල ගැලීම් අවස්ථාවන්හි දී ජනතාව ගලවා ගැනීම වෙනුවෙන් යොදා ගන්නා ජීවිතාරක්ෂක කබායන්, ගලවා ගැනීමේ මෙහෙයුම් වෙත අවශ්‍ය බෝට්ටුවක් ද යුද හමුදාව වෙත හිමි වුණා.

මාස් කන්නයේ වර්ෂාව හේතුවෙන් ඉරණමඩුව ජලාශය වාන්දැමීම තුළින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් සෑම වර්ෂයකම ජලයෙන් යටවන අතර, කිලිනොච්චිය යුද හමුදාව විසින් එහිදි ජනතාව බේරා ගැනීම සිදු කරනු ලබනවා.

භාණ්ඩ බෙදාදීමේ අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් කනගරාජ් ශ්‍රී මෝහන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින්, කිලිනොච්චිය යුද හමුදා නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴

******************************************

පුපුරණ ද්‍රව්‍ය තොගයක් වන්නියෙන් මතු වේ

(24.11.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

යාපනය, කොඩිකාමම්, වෙම්පිරායි ප්‍රදේශයේ තිබී, පුපුරණ ද්‍රව්‍ය රැසක් ඊයේ (23) දින සොයාගත් බව කොඩිකාමම් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පෞද්ගලික ඉඩමක් වගාවන් වෙනුවෙන් සකස් කිරීමේදී අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක අනතුරුව ඉඩම් අයිතිකරුවන් පොලිසිය දැනුවත් කළ බවයි.

යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් මෙම පුපුරණ ද්‍රව්‍ය ගොඩ ගැනීම සිදුකළ බවයි වාර්තා වන්නේ.

අදාළ ස්ථානයේ තිබි ටි.එන්.ටි වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 07 ක් , අම්මාන් 2000 වර්ගයේ පීඩන බෝම්බ 03 ක්, ටැග්මනේෂන් බෝම්බ 04 ක්, ඇජක්ටර් 02 ක්, හෝල්ඩර් 02 ක්, ක්ලේමෝ බෝම්බ 03 ක්,මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 04 ක කොටස්, පි 4 වර්ගයේ ෆියුස් 23 ක්, ටි56 පතුරම් මැගසින් 03 ක්, ටි 56 පතුරම් 516 ක්, යුද නාශක බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගත් බව ද පොලිසිය පැවසුවා.

යුද සමයේ එල්.ටි.ටි.ඊ. සංවිධානය නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස හමුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කළේ.

චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

******************************************

කින්නියා සිද්ධියේ පාලම් පාරුවේ හිමිකරුවන් පලා යයි

(24.11.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු (6) ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පත් කළ කමිටුව අද (24) රැස්වීමට නියමිතයි.

එහිදී මෙම සිදුවීමට අදාළව නිලධාරීන් කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නා බවයි එම කමිටුවේ නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, පාලම් පාරුවේ හිමිකරුවන් ලෙස සැලකෙන පුද්ගලයින් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි කින්නියා පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී දරුවන් ඇතුළු හයදෙනෙකු (6) මියයෑමත් සමග ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

ඔහු සඳහන් කළේ සමගි ජනබලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසට පහරදුන් අය මෙන්ම ඇතැම් රාජ්‍ය දේපලවලට හානි කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

එමෙන්ම, පාලම් පාරුව පෙරළීමේ සිද්ධිය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙසයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් පාලන කොමසාරිස් එන්. මනිවන්නන් මහතාට ඊයේ (23) නියෝග කළේ.

ඊයේ (23) සිදු වූ මෙම අනතුරෙන් මියගිය 6 දෙනාගෙන් පස්දෙනෙකුම (5) පවුල් දෙකකට (2) අයත් පුද්ගලයන්.

කින්නියා කලපුව හරහා ඇති පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකරමින් පැවතීම හේතුවෙනුයි ප්‍රදේශවාසීන් කලපුව හරහා ගමන් කිරීමට මෙම පාලම් පාරුව යොදාගෙන ඇත්තේ.

ඊට නගර සභාවේ අනුමැතිය ලබාගෙන තිබුණේ මීට මාසයකට පෙරයි.

ඊයේ (23) උදෑසන 07:30 ට පමණ පාලම් පාරුව අනතුරට ලක්වූ අතර, එම අවස්ථාව වනවිට එහි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිටියා.

පාලම් පාරුව පෙරළීමෙන් පසු ප්‍රදේශවාසීන් කින්නියා නගරයේ බුහාර් මංසන්ධියට පැමිණ විරෝධතාවක නිරත වූ අතර, එහිදී ඔවුන් ටයර් ද ගිනි තබනු ලැබුවා ෴

******************************************

ද්විත්ව බලවේග කට්ටල දෙකක් (2) ඉන්දියාවෙන්

(24.11.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ කන්කසන්තුරය අතර ධාවනය කෙරෙන වායු සමනය කළ ශීඝ්‍රගාමී දුම්රිය වෙනුවෙන් සුපිරි පහසුකම්වලින් යුත් ඉන්දියාවේ නිෂ්පාදිත එස්-13 පන්තියට අයත් මැදිරි 13 කින් යුක්ත ද්විත්ව බලවේග කට්ටල දුම්රිය දෙකක් (2) ඉන්දියාවෙන් ආනයනය කර තිබෙනවා.

ඒ, එක් (1) දුම්රියක් ඊයේ (23) කොළඹ වරායට ගොඩ බෑමෙන් පසු අංගනයට ගෙන ගොස් තිබෙනවා ෴

******************************************

කඩුගන්නාව කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙස ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

(24.11.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ නායයෑමේ අවදානමට ලක්ව ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත් කර වෙළඳසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, මෙම මාර්ගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (23) පැවති විශේෂ රැස්වීමකදියි.

නායගිය ස්ථානයේ ස්ථායිතාව ආරක්ෂා කරගැනීම සඳහා සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට මෙහිදී උපදෙස් ලබාදුන් බව සඳහන්.

එමෙන්ම මාර්ගය මංතීරු තුනක් (3) සහිතව සහ බෑවුම දෙසට වන්නට මීටර 3 ක් පළල තීරුවක් නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය වී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

සුදුසු මූල පද්ධතියක් සහිත ශාඛ හඳුන්වාදීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද, මාර්ගය හා පිහිටි ගල් පර්වතය අතර කොටස පරිසර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමටද මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගියදා පැවති අයහපත් කාලගුණ තත්වයත් සමග පහල කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑමේ අවදානම හේතුවෙන් නොවැම්බර් 10 වනදා රාත්‍රී 10 සිට සතියක් මාර්ගය වසා දැමීමටයි පියවර ගැනුණේ ෴

******************************************

2022 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන (2) දිනය අදයි

(24.11.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

විවාදය ආරම්භ කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, කඩිනමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

******************************************

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඉදිරි උත්සව සමයේ රට වැසීමට සිදු උනොත් පුදුම වෙන්න එපා – නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත්

(23.11.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

රට වැසීමේ ක්‍රියාවලිය ඕනෑ ම මොහොතක කරන්න පුළුවන් දෙයක්. ඒ සඳහා මාර්ග උපදෙස් පමණයි නිකුත් කරන්න තියෙන්නේ. අපේ රටේ පුරවැසියන්ගේ චර්යාවන් අපි බලාපොරොත්තු නො වුණ ආකාරයෙන් දිගින් දිගට ම සිදු වෙනවා.

මේ තත්ත්වය මත තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. රටේ ජනතාවගේ හැසිරීම මත තමයි ලොක් ඩවුන් එකක්‌ ඕන ද නැද්ද කියලා තීරණය කරන්නේ.

ඉදිරි නත්තල් උත්සව සමයේ රට වැසීමට සිදු වුණොත් පුදුම වෙන්න එපා. වගකීම් විරහිත පුද්ගලයන් විසින් ප්‍රසිද්ධියේ සහ හොර රහසේ උත්සව සම්භාෂණය සංවිධානය කරනවා. බරපතල තත්ත්වයක ඉඳලා නැගිටින්න උත්සාහ කරන මොහොතේ මෙවැනි උත්සව සංවිධානය කිරීමෙන් සහ ඒවාට සහභාගි වීමෙන් වළකින්න කියලා ඉල්ලා සිටිනවා.

අවසර නැතුව උත්සව සංවිධානය කළොත් අවලංගු කරන්න පුළුවන්, දැනුවත් නොකොට සිදු කළොත් බරපතළ වරදක්.

අපි දන්නවා අපිට වසර කිහිපයක් මෙවැනි උත්සව අහිමි වුණා, නමුත් එයට සහභාගී වන අය මේ ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් මොකද සෞඛ්‍ය අංශ වලට මේ සම්බන්ධයෙන් මුර කිරීමේ හැකියාවක් නෑ.

සාප්පු සවාරි දැන්ම ඉඳලා ගිහිල්ලා අවසන් කර ගත යුතුයි සාප්පුවල පිරිස් පිරුණොත් අපට විවිධ තීරණ ගන්න වෙයි.

එහෙම දෙයක් වෙනවා කියලා තියෙනවා නෙවෙයි නමුත් මේ උත්සව සමයේ රටට අගතිගාමී දෙයක් සිදු නොකර රට වැසීමට පාරවල් නොකපා මේ දේවල් නොකර සිටීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතුයි.

එන්නත් සෑහෙන පිරිසකට ලබා දීලා තිබෙන පසුබිමක් යටතේත් මේ වන විට මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩි වීමක් තිබෙනවා, මියයන ප්‍රමාණය වැඩි වී තිබෙන්නේ ඇයි කියලා වසංගත රෝග ඒකකය විශ්ලේෂණය කරලා ඉදිරියේදී දැනුම් දෙයි.

එන්නත ලබා ගත් පමණින් මිය යන්නේ නෑ කියලා කියන්න බෑ හෙල්මට් පැළඳගෙන මෝටර් සයිකල් පැද්දට අනතුරු වී තුවාල සිදු නොවී තියෙන්නෙ නැහැ ඒ නිසා තමයි කියන්නේ එන්නත තබා ගන්නා අතර ආරක්ෂාව තහවුරු කරගන්න සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා ෴

++++++++++++++++++++

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 418 ක් සුවය ලබයි

(23.11.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 418 දෙනෙකු අද (23) දිනයේදී පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඒ සමග මෙරට සුවය ලද මුළු සංඛ්‍යාව 5,27,528 ක් දක්වා ඉහළ යන බවයි ෴

කොරෝනා ආසාදිත මරණ 24ක් අද (23) දිනයේදීත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,182 ක් දක්වා ඉහළ යනු ඇති ෴

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 542 දෙනෙකු අද (23) දිනයේදිත් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,58,662 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයින් 198 ක් මෙරටින් වාර්තා වීමත් සමඟ අද (23) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 740 ක්. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,58,860 ක් ෴

++++++++++++++++++

රැඳවුම් ළමා නිවාසයක දැරියන් 36 දෙනෙකුට කොරෝනා

(23.11.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය අධිකරණය මඟින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයක දැරියන් 36 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

අද (23) සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් එම පරිශ්‍රයට ගොස් රෝග ලක්ෂණ සහිත දැරියන් 46 ක් වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී අදාළ දැරියන් ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙනවා.

එමෙන්ම සෙසු දැරියන් හා පරිවාස නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

වයිරසය ළමා නිවාසයට පැමිණියේ කෙසේ දැයි සොයා බැලීමට මේ වන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වනවා ෴

++++++++++++++++++

අද (24) සහ හෙට (25) PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නෑ

(24.11.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

අද (24) දින සිදු කිරීමට නියමිත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් පළමු (1) පෙළ කොවිඩ් ආසාදිතයින් සඳහා සිදු කෙරෙන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නො කෙරෙන බව වාර්තා වනවා.

සෞඛ්‍ය අංශ මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ වැටුප් සංශෝධන සහ තවත් ඉල්ලිම් රැසක් මුල්කොට ගෙනයි.

මෙම වැඩ වර්ජන ව්‍යාපාරයට හෙද සේවාවේ සිට පහළට සියලු ම සෞඛ්‍ය අංශ එක්වන බවයි වාර්ථා වන්නේ.

මේ අතර අද (24) දින පැවැත්වෙන වැඩවර්ජනයට සිය සංගමයේ සාමාජිකයින්ගේ සහභාගිත්වය නොලැබෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා තිබෙනවා ෴

+++++++++++++++++

උත්සව සමයේ කොරෝනා ව්‍යාප්තිය ගැන සිහි කැඳවීමක්

(24.11.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේදී මෙරට කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා අදාළ නීති සකස් කිරීමට පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මේ අතර ඊයේ (23) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 740 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙරටින් ඊයේ (23) හඳුනාගත් නව ආසාදිතයින් 740 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,58,860 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම නව මරණ 24 ක් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,182 ක් ලෙසයි.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තාවීම දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් එළඹෙන උත්සව සමයේදී මෙරට කොරෝනා අවදානම උපරිම මට්ටමට ළඟා වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඊට මුහුණ දීමට පූර්ව සූදානමින් පසුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු කළ යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *