සෞඛ්‍ය වෘත්තියවේදීන් හෙට (24) සහ අනිද්දා (25) සංකේත වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තියවේදීන් හෙට (24) සහ අනිද්දා (25) සංකේත වැඩ වර්ජනයක

*********************************************

සෞඛ්‍ය වෘත්තියවේදීන් හෙට (24) සහ අනිද්දා (25) සංකේත වැඩ වර්ජනයක

(23.11.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ගැටලු ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් හෙට (24) සහ අනිද්දා (25) දිනයන්හිදී සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව පරිපූරක වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය වෘත්තියවේදීන් මෙලෙස සංකේත වර්ජනයක නිරතවනු ඇති ෴

++++++++

******************************************

අයවැය ඡන්දය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(23.11.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) පැවති අයවැය ඡන්ද විමසීමෙන් අනතුරු ව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් කිහිපයක් ම පළ කළා.

******************************************

‘කොමෝඩෝ ඩ්‍රැගන්’ සත්ත්වයින්ට ලිංගික සංසේචනයකින් තොරව වර්ගයා බෝකිරීමට හැකි බව හෙළි වෙයි

(23.11.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

උග්‍ර වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් වන ‘කොමෝඩෝ ඩ්‍රැගන්’ (Komodo Dragon) සත්ත්වයින්ට ලිංගික සංසේචනයකින් තොරව වර්ගයා බෝකිරීමට හැකි බවට නවතම පර්යේෂණවලින් අනාවරණ වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ කොමෝඩෝ දූපත් නිජබිම කරගත් මෙම සත්ත්වයා සැලකෙන්නේ ලොව විශාලතම කටුසු විශේෂය ලෙසයි.

ඩ්‍රැගන් යන නාමයෙන් හඳුන්වන මෙම සත්ත්වයා අතිශය භයානකවන්නේ, මෙම සත්වයාගේ මුඛයේ පවතින විෂ ශ්‍රාවයන් හේතුවෙන්.

මෙම විෂ මිනිස් ශරීරයට ඇතුළු වුවහොත් පැය දෙකක් (2) වැනි කෙටි කාලයකදී ශරීරය අඩ පණ වී ජීවිතක්ෂයට පත්වනවා.

දැනට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම සත්ත්වයින් ලොව පුරා වෙසෙන්නේ 500 ක් වැනි ප්‍රමාණයක්.

මෙම ‘කොමෝඩෝ ඩ්‍රැගන්’ සත්ත්වයා වඳවීමේ තර්ජනයට ලක්ව සිටින බැවින් රතු දත්ත වාර්තා පොතට ඇතුළත් කර තිබෙනවා.

******************************************

විසිවන සංශෝධනයත් සමග ස්වාධීන කොමිසම් සභා වල බලය හීන වෙලා – හර්ෂණ රාජකරුණා

(23.11.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

විසිවන සංශෝධනයත් සමග ස්වාධීන කොමිසම් සභා වල බලය හීන වී ඇති බැවින් මේ වන විට රටේ ‘එක රටක් නීති 60 ක්’ ක්‍රියාත්මක වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඔහු සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂයට රටේ එක නීතියකුත් විපක්ෂයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුගිය සමයේ ගොනු කළ නඩු අද වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ම එම නඩු ඉල්ලා අස්කර ගනිමින් සිටින බව හර්ෂණ රාජකරුණා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා ෴

******************************************

‘කල්‍යාණි රන් පිවිසුම’ හෙට (24) ජනතා අයිතියට

(23.11.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම හෙට (24) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380 ක්.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ පැකේජ දෙකක් (2) යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති බවයි.

පළමු (1) පැකේජය වන වානේ නිමවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539 ක් වැයකර ඇති අතර, දෙවන (2) පැකේජය වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 9,896 ක්.

මෙම පාලම ඉදිකිරීම සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ ‘ජයිකා’ හෙවත් ‘ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනය’ යි ෴

[සේයාරූ]

******************************************

ප්‍රදේශ කිහිපයකට අනිද්දා (25) ජල කප්පාදුවක්

(23.11.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම, මතුගම හා අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් මෙම මස 25 වැනිදින පැය 10 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

පෙරවරු 9 සිට පස්වරු 7 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර, වාද්දූව , වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගා නගරය , අලුත්ගම, පිළමිනාවත්ත, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති ෴

******************************************

ආර්ථිකය ගොඩනැගීමට එක්වන්න – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

(23.11.2021 – 16:29 +0530 – hirunews.lk/sinhala)

නව ව්‍යාපාරික අදහස් ඇතැතිව රටේ ආර්ථිකය ගොඩනැගීමට එක්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

අද (23) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2022 වර්ෂය සඳහා නව ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයාගේ අදහස් වලින් කිහිපයක් :

“අපි මේ වෙලාවේ සාමුහිකව රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි. ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා. 2022 වර්ෂය සඳහා නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සඳහා ව්‍යවසායකයන්ගෙන් කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අපි අය කරන්නේ නෑ. අපේ රටේ තරුණ තරුණියන්ට ආරාධනා කරනවා නව ව්‍යාපාරික අදහස්වලින් රටේ ආර්ථික සංවර්ධනය ගොඩනගන්න එකතු වෙන්න කියලා. විදේශ විනිමය රටට ගෙන ඒමටත් දායක වෙන්න කියලා.

අපි ජනතාවට පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දු ඉටුකළ යුතුයි. වසර 25 කට ආසන්න කාලයක් නොවිසඳුණු ගුරු විදුහල්පති වැටුප් විෂමතාව මෙවර අයවැයෙන් විසඳන්න අපි කටයුතු කරමින් පවතිනවා. මෙවර අය වැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කරලා තියෙනවා.

අපි මේ හැම දේම කරන්නේ රටේ අනාගතය වෙනුවෙන්. අභියෝග හමුවේ රට ගොඩගැනීමට අප දරන වෙහෙසට ඔබ සියලු දෙනාගේම සහය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

අපි විපක්ෂයේ කරන යෝජනා ඒ වගේ ම විවේචන සාවදානව අහගෙන හිටියා. සමහර විවේචන අසාධාරණයි. විවේචනවල සාධාරණයක් තියෙනම් ඒ විවේචන අපි පිළි අරගෙන ඒවා නිවැරදි කරන්න ඕනෑ ම වේලාවක අප සූදානම් බව මේ අවස්ථාවේදි මතක් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කථා කළා අපි දැන් කෙටුම් පතක් සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට ලක් කරන බව මතක් කරනවා. ඒ නිසා ඒ පිළිබඳව රහසිගතව අපි කටයුතු නොකරන බව තමුන්නාසේලාට මතක් කරනවා.”

අද (23) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුපක්ෂය විසින් විපක්ෂයට කිසිදු බලයක් නොමැති බවත් ආණ්ඩුව කරන සෑම ක්‍රියාවක්ම කඩාකප්පල් කිරීමට උත්සහ දරන බව සඳහන් කළා.

එහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ආණ්ඩුවට අභියෝග කරමින් බලයක් තිබෙනවාද නැද්ද යන්න බැලීම සඳහා ඡන්දයක් පවත්වන්නැයි ආණ්ඩුවට අභියෝග කළා.

ඉන් පසු ඊට පිළිතුරු ලබා දුන් කතානායකවරයා කියා සිටියේ රටේ ව්‍යවස්ථාව අනුව ඡන්දයක් පැවැතිවීමට තව කල් තිබෙන බැවින් නිසි කාලය පැමිණි පසු එම මැතිවරණ නිසියාකාරව පවත්වන බවයි.

******************************************

පොලී අනුපාත ඉහළ නංවන ලකුණු

(23.11.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

උද්ධමන පීඩනය සමනය කිරීම සහ බාහිර මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතික යළි ඉහළ නංවනු ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

මහ බැංකු මූල්‍ය මණ්ඩලය මගින් අද (23) මේ පිළිබඳ තීරණයකට එළඹීමට නියමිත අතර, රොයිටර් වාර්තාවල දැක්වෙන්නේ බොහෝදුරට පදනම් ඒකක 25 ත් 50 ත් අතර ප්‍රමාණයකින් හෙට (24) දිනයේ මෙලෙස පොලී අනුපාත ඉහළ නංවනු ඇති බවයි.

******************************************

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අමාත්‍යාංශයේම වෙනත් තනතුරකට

(23.11.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධූරයෙන් ඉවත් කළ ආචාර්ය ජේ.ඒ. සුමිත් කෘෂිකර්ම අමාත්‍යංශයේ වෙනත් තනතුරකට පත් කර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයෙකු පත් කිරීම සඳහා කෘෂිකර්ම ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවයි.

එමෙන්ම පලිබෝධනාශක සහ දිලීරනාශක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පැවති සාකච්ඡාව සඳහා ද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධූරයේ කටයුතු කළ ආචාර්ය ජේ.ඒ. සුමිත් සහභාගී කර නොගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධූරයේ කටයුතු කළ ආචාර්ය ජේ.ඒ. සුමිත්ව එම ධූරයෙන් ඉවත් කළේ ‘ග්ලයිෆොසෙට්’ ඇතුළු පළිබෝධනාශක වර්ග 5 ක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේ.

කෙසේ වෙතත් අද (23) පෙරවරුවේ අප කළ විමසුමකදී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් සඳහන් කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් ඉවත් කිරිමේ තිරණයට එරෙහිව ඉදිරියේදි වෘත්තිය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව ශ්‍රි ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඩී.ආර්. කාංචන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරිම නිසි ක්‍රමවේදයට අනුව සිදු කර ඇති බවයි.

******************************************

දක්ෂිණ අධිවේගයේ නීති කැඩූ බස් රියදුරෝ

(23.11.2021 – 16:24 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගයේ ගමන් කරමින් තිබූ බස්රථ දෙකක් (2) හදිසි නතර කර එහි රියදුරන් විසින් බස්රථ මාරු කරගන්නා අයුරු ජංගම දුරකථනයක සටහන්ව තිබුණි.

මාර්ග අංක EX-48 යටතේ ධාවනය වන අම්බලන්ගොඩ – කඩවත බස් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවන් ට ධාවනය වෙමින් තිබු එම බස්රථ දෙකෙහි (2) රියදුරන් ආරක්ෂිත වැටින් පැන අධිවේගය හරහා මාරු වෙන අයුරු එම දර්ශනවල දක්නට ලැබුණි.

එහි එක් බස්රථයක බස් අංකය ND-3996 ලෙස සටහන් වුණි.

******************************************

බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඕනෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි.. – අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..

(23.11.2021 – 22:22 +0530 – lankacnews.com)

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොන් කර ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා සඳහන් කරයි.

දැන් අග්‍රාමාත්‍යවරයා සිටින්නේ ප්‍රදර්ශනාත්මක තත්වයෙන් පමණක් යැයිද ඔහු පැවසීය.

මෑතක පැවති විරෝධතාවකදී මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරයට ජනතාව පහර දෙනු දුටු බවත් තමන් ඉන් බොහෝ කනගාටුවට පත්වූ බවත් ඒ මහතා සදහන් කලේය.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝ නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකින් පොහොට්ටුව පරාජය වන බවත් ඔහු එහිදී තව දුරටත් සදහන් කරයි.

******************************************

24-11-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *