උඩරට එළවළු කොළඹට පැමිණීම නවතී

උඩරට එළවළු කොළඹට පැමිණීම නවතී

*********************************************

උඩරට එළවළු කොළඹට පැමිණීම නවතී

(22.11.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

එළවළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක උඩරට ගොවීන්ගේ එළවළු අද (22) දිනයේ මේ දක්වා කොළඹට ලැබී නොමැති බව තොග වෙළදුන් පවසනවා.

පොහොර අර්බුදය පදනම් කර ගනිමින් උඩරට ගොවීන් දඹුල්ල, පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඇතුළු ආර්ථීක මධ්‍යස්ථාන වෙත එළවළු තොග සැපයීම ඊයේ (21) අත්හිටවනු ලැබුවා.

මෙහි බලපෑම හේතුවෙන් පැළියගොඩ මැනිං වෙළඳපොලට මෙන්ම බොහෝ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු ලැබීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

නුවරඑළියේ එළවළු සැපයීම ඇණහිටීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ඉතා ඉහළ මට්ටමක පැවතුණා.

ඊට අමතරව කටුගස්තොට – මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම තවත් බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඉතා ඉහළ අගයක පැවති අතර, පිටකොටුව ආශ්‍රිත සිල්ලර වෙළඳසැල්වලද එළවළු මිල පැවතියේ ඉතා ඉහළ අගයකයි.

******************************************

මුලතිව් වලින් හමු වූ RPG

(22.11.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, චලෙයි ප්‍රදේශයේ තිබි ආර්.පී.ජි උණ්ඩ දෙකක් ඊයේ (21) සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ රාජ්‍ය බුද්ධි සේවාවේ කිලිනොච්චිය ඒකකයේ නිලධාරියෙකුට ලද තොරතුරක් මත මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමකදී අදාළ ආර්.පී.ජි උණ්ඩ දෙක සොයා ගත් බවයි.

යුද සමයේ එල්. ටී. ටී. ඊ සංවිධානය විසින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය ආර්.පී.ජි උණ්ඩ දෙකක් එලෙස සොයා ගැනීමට හැකි වු බව මුලතිව් ආරක්ෂක අංශ පවසනවා.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් එය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළැ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

******************************************

රිය අනතුරුවලින් අටදෙනෙකු (8) මරුට

(22.11.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතර (24) තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් අටදෙනෙකු (8) මියගොස් තිබෙනවා. දෙණියාය, පැල්මඩුල්ල, මාතලේ, හබරණ, තිහගොඩ, රුවන්වැල්ල, රත්නපුර සහ පේදුරුතුඩුව යන ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තාවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මියගිය අය අතර, කාන්තාවක්ද වනවා ෴

******************************************

පාසල් ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් පෝද්දල ඛේදවාචකය

(22.11.2021 – 11:28 +0530 – hirunews.lk/sinhala)

පෝද්දල – කාසිදෙණිය පදිංචි ගුරුවරයෙකුගේ නිවසට ත්‍රීරෝද රථයකින් පැමිණි අවුරුදු 16 ක ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (21) රාත්‍රියේ දී ගුරුවරයාට පිහියෙන් ඇන පලාගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසනවා.

පිහි ඇනුමෙන් තුවාල ලබා ඇති බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ 45 හැවිරිදි ගුරුවරයා බද්දේගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැහැණු ළමයාගේ මව සමග තුවාල ලැබු ගුරුවරයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවත්, ඒ පිළිබඳ විමසීමට එම කාන්තාවගේ දියණිය ගුරුවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින්බස්වීමක දී මෙසේ පිහියෙන් ඇන ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා ෴

******************************************

සිසුන් පාසල් පැමිණීම ප්‍රශස්ත මට්ටමක – ගුරු – විදුහල්පතිවරුන් කියයි

(22.11.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පාසල්වල හයේ (6) සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (22) ආරම්භ කිරීමත් සමඟ ළමයින්ගේ පැමිණීම ඉතා හොඳ මට්ටමක පවතින බව ගුරු – විදුහල්පතිවරුන් පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී වසා දැමුණු පාසල් අදියර හතරක් (4) යටතේ යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා.

පළමු (1) අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිද, දෙවන (2) අදියර යටතේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිද, තුන්වන (3) අදියර යටතේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණිද මීට පෙර ආරම්භ කෙරුණා.

සිව්වන (4) අදියර යටතේ අද (22) සිට හය (6) සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කළ අතර, ඒ අනුව දිවයිනේ සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ සියලුම පාසල් දරුවන් යළි පාසල් වෙත කැඳවීමට හැකිවීම සෞඛ්‍ය අංශ ලැබූ ජයග්‍රහණයක් බවයි.

කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

******************************************

නැනෝ පොහොර ගෙන්වීමේදී තමාගේ සම්බන්ධයක් නැහැ – රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර කියයි

(22.11.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේ ගණුදෙනුවට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර තුන්වන (3) සහ හතරවන (4) කාණ්ඩයේ පොහොර යළි ආනයනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කියා සිටියා.

වී, බඩඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයටද අවශ්‍ය ශාඛ පෝෂක හා කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ ඊයේ (21) කියා සිටියේ.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ, වී සහ එළවළු සඳහා රසායනික පොහොර හෝ වල්නාශක ආනයනය කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ෴

******************************************

විශේෂ පොහොර වර්ගයක් ආනයනයට අවධානය

(22.11.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

එළවළු සඳහා පළිබෝධනාශක යම් ප්‍රමාණයක් සහ විශේෂ පොහොර වර්ගයක් ආනයනයට ජනපති සමඟ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

******************************************

බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ඉහළට

(22.11.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05 කින් මිල ඉහළ දමන බවයි එම සංගමය පවසන්නේ.

මෙම මිල සංශෝධනය හෙට (23) සිට ක්‍රියාත්මක බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් කිරි තේ කෝප්පයක මිල ඉහළ නොදමන බව ඔහු සඳහන් කළා.

ආපනශාලා හිමියන්ගේ සංගමය මීට පෙර ද ආහාර පාර්සලයක සහ කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, මෙන්ම තේ සහ කිරි තේ කෝප්පයක මිල ඉහළ දමනු ලැබුවා.

******************************************

මන්ත්‍රිවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසන ගැන කථානායකට ලිපියක්

(22.11.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මන්ත්‍රිවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය වැළැක්වීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහි සභාපතිනි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යොමුකළ මෙම ලිපියෙහි තවදුරටත් දැක්වුණේ නීති සම්පාදනය දායක වන මහජන නියෝජිතවරියන් කාන්තාවන්වීම තුළ එම ස්ථානය තුළදීම හිංසනයට ලක්වන්නේ නම් එමඟින් පෙන්නුම් කරන්නේ සමස්ත සමාජයක පරිහානිය බවයි.

මේ අතර ලබන වසරේ අයවැය සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ ජන්ද විමසීම අද (22) පස්වරු 5 ට සිදු කිරීමට නියමිතයි ෴

******************************************

හිසට සෙවණ අහිමි හෙම්මාතගම පවුල

(22.11.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ සිය නිවස කැඩි බිදි යාමෙන් අසරණ වු පවුලක් පිළිබඳව හෙම්මාතගම අඹදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඔවුන්ගේ එකම ඉල්ලීම හිසට සෙවණක් ඉදිකර දෙන ලෙසටයි.

******************************************

රන්ජන් රාමනායක ළඟ තිබී ජංගම දුරකතනයක් සොයා ගැනෙයි

(22.11.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සඳහා ඔහු ව 11:10 වැනි දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යැවූ බවයි වාර්තා වෙන්නේ.

ප්‍රථිකාර සදහා බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක , බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරින් විසින් හදිසි සෝදිසි කිරිමක් 11:21 වැනි දින රාත්‍රී 10:00 ට පමණ සිදු කළ අවස්ථාවේ, ඔහු සන්තකයේ තිබි ජංගම දුරකතනයක් හා හැන්ඩ් ෆ්‍රී 01 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අඥාපනතේ 78 වගන්ති ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර,සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර මුලික විමර්ශණයක්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙනු ඇති.

******************************************

සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පැය 3 ක ප්‍රකාශයක්

(22.11.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තුන්වන (3) දිනටත් පෙනී සිටි ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඉන් පිටව ගියා.

අද (22) පෙරවරු 10 ට පමණ උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, පස්වරු 01:30 ට පමණ ඉන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහිදී පියතුමන්ලා පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතා පුවරු සහ මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වුණේ, ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට කඩිනමින් සාධාරණය ඉටු කර දෙන ඉල්ලමින්.

කෙසේ වෙතත්, එම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන්ගේ බාධා එල්ල වුණා.

මේ අතර, ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ගෙන් වරින් වර ප්‍රකාශ ලබා ගැනීම හේතුවෙන් එතුමන්ට සිදු කරන අගතිය සහ භාෂණයේ නිදහසට සිදු වන බලපෑම පිළිබදව අද (22) දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත සංදේශයක් භාර දුන්නා.

ඊට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සහ රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා 855 කට තමා නිවැරදිකරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (22) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ, මෙම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයින් 376 ක් සුවය ලබයි

(22.11.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 376 දෙනෙකු අද (22) දිනයේදී පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඒ සමග මෙරට සුවය ලද මුළු සංඛ්‍යාව 5,27,110 ක් දක්වා ඉහළ යන බවයි ෴

අමාත්‍ය ගාමිණී ලොකුගේ කොවිඩ්-19 ආසාධිත බව තහවුරු වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *