රසායනික පොහොර සම්බන්ධයෙන් අවසන් තීරණය අද (22) උදෑසන

රසායනික පොහොර සම්බන්ධයෙන් අවසන් තීරණය අද (22) උදෑසන

*********************************************

රසායනික පොහොර සම්බන්ධයෙන් අවසන් තීරණය අද (22) උදෑසන

(22.11.2021 – 07:49+0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ගෙන්වීමේ තහනම සම්බන්ධයෙන් නැවත වරක් සලකා බැලීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) උදෑසන 10 ට ජනාධිපතිවරයා සමග පැවත්වෙන සාකච්ඡාවේ දී ගනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

මේ අතර අර්බුදයට ලක් වූ චීන පොහොර නැව සම්බන්ධයෙන් ද, යම් එකඟතාවකට පැමිණීමට අදාළ පාර්ශ්වයන් සමත් වී ඇති බව වාර්තාවනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සමග අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ, අදාළ පොහොර නෞකාව මෙම පොහොර තොගය මෙරටට ප්‍රවාහනය කර ඇත්තේ ජාත්‍යන්තර වාණිජ බලපත්‍රයක් රහිතව බවයි.

මෙම වාණිජ බලපත්‍රය රැගෙන නැවත වරක් සාම්පල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ පොහොර තොගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා පැවසුවා.

මේ වන විට මෙරට මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති චීන පොහොර රැගත් නෞකාව නැවත චීනයට ගෙන්වා ගැනීමට අදාළ කාබනික පොහොර තොගය මෙරටට අපනයනය කළ චීන පොහොර සමාගම ද කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර විදෙස් අණ කර නීති රෙගුලාසි අනුව සිදු කෙරෙන ගනුදෙනුවක දී අදාළ භාණ්ඩ තොගය මෙරට වරායට පැමිණීමෙන් අනතුරුව ගිවිසුම්ගත මුදලින් 75% ක් ගෙවිය යුතු බව ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් අදාල පොහොර තොගයේ සාම්පල සම්බන්ධව මතු වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එම ගෙවීම් නතර කිරීම සඳහා උසාවි නියෝගයක් ලබාගත් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම ගැටලුව රාජ තාන්ත්‍රික අර්බුදයක් දක්වා දුරදිග නොගොස් විසඳාගැනීමට සිය අමාත්‍යාංශය සහ චීන තානාපති කාර්යාලය උපරිමයෙන් උත්සාහ කරන බවත් ඔහු සඳහන් කළා

කෙසේ වෙතත් මෙම අර්බුදය සම්බන්ධයෙන් අද (22) උදෑසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා සහ තවත් ඉහල පෙලේ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහභාගී වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එහිදී එම සියලු කාරණා සම්බන්ධයෙන් බරපතළ තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴

******************************************

හෙට (23) දිනයේ දිවයින පුරා තද වැසි

(22.11.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අද (22) දිනයේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල යහපත් කාලගුණ තත්ත්වයක් පවතින අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

මේ අතර, දිවයිනේ මුහුදු ප්‍රදේශ අවට ඇතිවන වැසි තත්ත්වය ද පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ අගයක් ගත හැකියි.

ගාල්ල සිට මාතර දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-45) පමණ දක්වා වැඩි විය හැකි අතර, ගාල්ල සිට මාතර දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු විය හකි බව ද එහි සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි ෴

******************************************

අයවැය දෙවන (2) වර කියවීමේ ඡන්ද විමසීම පස්වරුවේ

(22.11.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන (2) වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පස්වරු පහට (5) පැවැත්වීමට නියමිතයි.

මෙම ඡන්ද විමසීමේ අවස්ථාව සඳහා මැති සබයේ රැඳී සිටින ලෙස ආණ්ඩුව සහ විපක්ෂය සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට පසුගිය 12 වනදා ඉදිරිපත් කරනු ලැබුවා.

විවාදය 13 වනදා ආරම්භ කෙරුණු අතර, අද (22) එහි හත්වන (7) දිනයයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (23) ආරම්භ කෙරෙන අතර, එය ලබන මස 10 වනදා දක්වා දින 16 ක් පැවැත්වෙනු ඇති.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසන් ඡන්ද විමසීම ලබන මස 10 වනදා පස්වරු පහට පැවැත්වීමට නියමිතයි.

මේ අතර, සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය ලබන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (21) පස්වරුවේ රැස්වී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකමතිකව තීරණය කළ බවයි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද ඊයේ (21) රැස්වූ අතර, එහිදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බවයි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ ව්‍යවස්ථා කටයුතු අධ්‍යක්ෂ රුස්ති හබීබ් කියා සිටියේ.

ජාතික ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ අද (22) උදෑසන රැස්වී අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවයි.

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු පක්ෂ ද අද (22) පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර තිබෙනවා ෴

******************************************

පිටකොටුවේ නාට්ටාමිලා වර්ජනයක

(22.11.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුවේ නාට්ටාමිලා පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ජීවන වියදම ඉහළ ගොස් ඇති බැවින් තම දෛනික වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරතවන්නේ.

මේ හේතුවෙන් පිටකොටුව තොග වෙළඳපොළේ භාණ්ඩ බෑමේ සහ පැටවීමේ කටයුතුවල යම් අඩාල වීමක් සිදුව ඇති බව ද සඳහන් ෴

******************************************

කොළඹ – මහනුවර දුම්රිය ධාවනය යළි ඇරඹේ

(22.11.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා අත්හිටුවා තිබූ කොළඹ – මහනුවර දුම්රිය ධාවනය අද (22) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (22) මහනුවර බලා දුම්රිය ගමන් වාර 5 ක් ධාවනය වනු ඇති.

මේ අතර, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් ගමනාගමනය අත්හිටවූ මංතීරුව අද (22) දිනයේත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසනවා.

ඒ, තවදුරටත් එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම හේතුවෙන් ෴

******************************************

හොර වාහන 3 ක් සමග ඇල්ලු සැකකරුවන්ට ඇප

(22.11.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලෙස එකලස් කරන ලද මෝටර් රථ තුනක් (3) සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් (3) දෙනෙකු ඇප මත මුදා හැර තිඛෙනවා.

එක් (1) අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මතයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් මුදා හරිනු ලැබුවේ.

සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබුනේ මාළඹේ ප්‍රදේශයේදියි.

ඔවුන් මාළඹේ හා හෝකන්දර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 38 ත් අතර වියේ පසුවන පුද්ගලයින්.

නඩුව යළි ලබන වසරේ ජනවාරි 03 වනදා කැදවීමට නියමිතයි ෴

******************************************

ෆේස්බුක් සාදයක් වටලා දොළොස් දෙනෙකු (12) අත්අඩංගුවට

(22.11.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය මගින් සංවිධානය කරන ලද සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දොළොස් දෙනෙකු (12) වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේදී වැලිගම පොලිසිය මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

මිදිගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළ මෙම සාදය පවත්වා ඇති අතර මෙහිදී කොකේන්, අයිස්, කේරලගන්ජා ද
මෙම පුද්ගලයන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්තඅඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 ත් 45 ත් අතර වයස් වල පසු වන පුද්ගලයන් වනවා.

මෙම සැකකරුවන් ඊයේ (21) දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩි දුර විමර්ශණ සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා ෴

******************************************

අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරයෙකු ලයිට් කනුවක බැඳ දමයි

(22.11.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

මත්පැන් පානය කොට ගල්පාත ප්‍රදේශයේ අශෝබන ලෙස ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ප්‍රදේශවාසීන් විසින් ලයිට් කනුවක බැඳ තබා කළුතර උතුර පොලීසියට බාර දී තිබෙනවා.

මොහු පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, මන්ත්‍රීවරයකු බව පොලිසිය සඳහන් කළා.

මන්ත්‍රීවරයා , තවත් පිරිසක් සමග ගල්පාත ප්‍රදේශයට පැමිණ මත්පැන් පානය කොට ඇති අතර පිරිසෙන් මගහැරුණු මන්ත්‍රීවරයා ගල්පාත, බහුරුපොල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අශෝභන ලෙස හැසිරී තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව මොහුව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට කතා කර මොහුව පොලිසියට බාර දී තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයාව නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර, සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කොට සිටි බවට තහවුරුවූ ඇති බව අප පොලිසිය සඳහන් කළා.

සැකකරු අද (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

ශ්‍රී ලංකා – රුසියා ඍජු ගුවන් ගමන් යළි ඇරඹේ

(22.11.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඍජු ගුවන් ගමන් යළිත් ආරම්භ කරමින් රුසියානු ඒරෝ ෆ්ලොට් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය ඊයේ (21) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

1964 වසරේ දී රුසියාව, ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබඳතා ආරම්භ කළ අතර, 2020 වසරේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය සමඟ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඊයේ (22) පැමිණි ගුවන් යානයෙන් මගීන් 240 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා ෴

******************************************

මුල්ලේරියාව කිව්වම මතක් වෙන්න සුද්ද පැරදුන එක නෙවෙයි, පිස්සංකොටුව – අමිල සංජීව වෙදමහතා (17.11.2021)

https://www.youtube.com/watch?v=jNe3P7J3zvc

******************************************

ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සෑම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා හා සමානයි…

(22.11.2021 – 22:22 +0530 – lankacnews.com)

මෙරට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය.

මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම (2) එක් වී මෙම රසායනික වෙනස සිදු කළ බවද පැවසූ ඔහු එකල තමා විෂයභාර අමාත්‍යවරු දෙනාටම (2) මේ බව පැවසුවද ඔවුන් එය ගණන් නොගත් බවත් චෝදනා කරයි.

මෙය වංචනික ක්‍රියාවක් බවත් මිනීමැරුම් වලට අනුබල දීමක් බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග කළ සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

******************************************

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

(22.11.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එයට සම්බන්ධ ජල තීරයන්වල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අද (22 දා) සිට ක්‍රියාත්මක වන පරිදියි. 2019 වසරේදී ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් සාමය පවත්වාගෙන යාම සඳහා මෙසේ සන්නද්ධ හමුදාව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

එම ගැසට් නිවේදනය සෑම මසකම 22 දා නිකුත් කරනු ලබන්නේ ඉදිරි මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙන අයුරින් වනවා ෴

******************************************

රෝහිණී කවිරත්න තිස්ස කුට්ටිට ‘බල්ලා’ කියයි

(22.11.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

කුක්කුර ජාතකේ බල්ලාට මෙන් තිස්සකුට්ටිට ගෙරි හම් සුවඳ සහ චීන අසූචි සුවඳ ඉවසිය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්‍ර්තී රෝහිණී කවිරත්න පවසනවා.

සිය මුහුණුපොතෙහි සටහනක් තබමින් ඇය කියා සිටින්නේ, බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි කියන්නේ, කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මය බවයි.

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ද අප තථාගතයාණන් වහන්සේ දේශනා කළ පරිද්දෙන්, මී කිරියි – තණකොළයි කාලා දැන් වමනේ කරන්නෙකු බවට පත් වී ඇතැයි චෝදනා කරන්නේ ඉතා උපහාසයෙන් යුතුවයි.

ඇය පවසනුයේ මේ හේතුවෙන් පළාතේ ඉන්න බැරි තරමටම මුළු පාර්ලිමේන්තුවම ගඳ බවයි.

******************************************

සී සාමින් තිබූ ට්‍රැක්ටරයක නගුලකට හසුවී කුඩා දරුවෙකු මියයයි

(22.11.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව – ඕමන්ත – පාලමොට්ටෙයි ප්‍රදේශයේ සී සාමින් තිබූ ට්‍රැක්ටරයක නගුලකට හසුවී හය (6) හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

අදාළ දරුවා ඊයේ (21) දින මෙම අනතුරට මුහුණපා ඇත්තේ කුඹුරේ සෙල්ලම් කරමින් සිටියදීයි.

දරුවාගේ මාමා එම අවස්ථාවේ ට්‍රැක්ටරය පදවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගජමුතු සමඟ තිදෙනෙකු (3) අත්අඩංගුවට

(22.11.2021 – 11:27 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එරගම පොලිස් වසමේ මිලකල නොහැකි වටිනාකමකින් යුතු ගජමුතු සන්තකයේ තබාගෙන ඒවා විකිණීමට උත්සාහ කළ පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මිළ අධික ගජමුතු ගැනුම් කරුවන් වෙත විකිණීමට ක්‍රියා කිරීමේදී මහත් පරිශ්‍රමයක් දරා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙමෙ වැටලීම සිදු කර තිබෙනවා.

මෙහිදී ගජමුතු දහයක් (10) අත්අඩංගුවට ගන්නා ලද අතර එම ගජමුතු සහ සැකකරුවන් තිදෙනා (3) වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා එරගම පොලිස් ස්ථානය වෙත බාරදී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *