පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (22)

පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (22)

*********************************************

පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (22)

(21.11.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

පොහොර ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමඟ හෙට (22) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

වැල්ලවාය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර කෘෂි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ අද (21) පැවසුවා.

මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින් සිදුවිය හැකි ආහාර ගැටලු විසදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

******************************************

ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන් වෙයි

(21.11.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – මාගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්වී තිබෙනවා.

මේ පිළිබඳව ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පසුගිය 09 වන දින ධීවර කටයුතු සඳහා අදාළ බහුදින යාත්‍රාව පුද්ගලයින් 7 දෙනෙකු සමග පිටව ගොස් ඇති අතර, එහිදියි එක් (1) අයෙකු මුහුදට වැටී අතුරුදන්වී ඇත්තේ.

එම ධීවරයා මුහුදට වැටී අතුරුදන්වී ඇති බවට සෙසු ධීවරයින් දැනුවත් වී ඇත්තේ යාත්‍රාව මුහුදු සැතපුම් 400 ක් පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුවයි ෴

******************************************

හාස්කම් වූ විස්මිත සැත්කම් දෙකක් (2) සාර්ථකව අවසන්

(21.11.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකගේ මොළයේ හටගත් ගෙඩියක් පූර්ණ නිර්වින්දනය කිරීමකින් තොරව සැත්කමක් මගින් ඉවත් කිරීමට බදුල්ල මහ රෝහලේදී වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

වෛද්‍යවරු සඳහන් කළේ, මෙරට රජයේ රෝහලක දී මෙවැනි සැත්කමක් සිදුකළ දෙවැනි අවස්ථාව මෙය බවයි.

බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලක්මාල් හේවගේ මහතා ප්‍රමුඛ වෛද්‍ය, හෙද-හෙදි කාර්ය මණ්ඩලයක් විසින් මෙම සැත්කම සිදුකර තිබුණා.

මෙවැනි සැත්කමක් බදුල්ල මහ රෝහලේ දී කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම රෝගී කත දැනට සති දෙකකට (2) පමණ පෙර බදුල්ල මහ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ සිදුකළ පරීක්‍ෂාවලදී ඇයගේ මොලයේ සෙන්ටි මීටර් 3-4 අතර ප්‍රමාණයේ ගෙඩියක් තිබෙන බවට හඳුනාගෙන තිබෙනවා.

එය තවදුරටත් පැවතුණහොත් ඇතිවිය හැකි අංශභාග රෝගී තත්වයෙන් වළක්වා ගැනීම සඳහා කඩිනමින් එය ඉවත්කිරීමට තීරණය කළ බවත් ඒ අනුව එම සැත්කම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බවත් ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ හේවගේ මහතා සඳහන් කළා.

සැත්කම සිදු කිරීමට පැය 04 ක පමණ කාලයක් ගත වී තිබෙනවා.

සැත්කමෙන් පසුව මේ වනවිට එම රෝගී කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා.

මේ අතර පුද්ගලයන් ලක්ෂයකින් එක් අයෙකුට වැළදෙන ඇටමිඳුළු තුළ හටගන්නා රෝගයකින් පෙලුණ 65 හැවිරිදි සිව්දරු මවක් පැය දෙකකට (2) ආසන්න සාර්ථක සැත්කමකින් සුව කිරීමට කෑගල්ල මහ රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත් වී තිබෙනවා.

උණ , අක්මාවේ හා වකුගඩුවල ක්‍රියාකාරීත්වයද යම් යම් අකර්මණ්‍යතාවට පත්ව තිබූ මෙම කාන්තාවට සිදුකළ හදිසි සැත්කමකදී කිලෝග්‍රෑම් 3.5 ක ප්ලීහාව ඉවත් කළ බව ඔහු සඳහන් කළා ෴

******************************************

අබල දුබල මාර්ගයෙන් පීඩා විඳින පස්සර වැසියන්

(21.11.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

ජන ජීවිතය පහසු කරලීමට මාර්ග පහසුකම් අත්‍යවශ්‍ය සාධකයක්.

මහාමාර්ග ව්‍යාපෘති කොතෙක් ක්‍රියාත්මක වුවත් ප්‍රමාණවත් මාර්ග පහසුකම් නොමැතිකමින් පීඩා විඳින ගම්වාසීන් පිරිසක් පිළිබඳව අපට වාර්තා වුණේ පස්සර, ගලකුඹුරගම ප්‍රදේශයෙන්.

******************************************

නීති නොතකන දඹුල්ල බස්රථ රියදුරන්

(21.11.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

විශාල මුදලක් වැය කරමින් ඉදිකළ බස්නැවතුම්පොළ පාළුවට යවා මාර්ග නීති සහිත දැන්වීම් පුවරු බෝඩ් ලෑල්ලකට සිමා කරමින් කටයුතු කරන බස් රථ රියදුරන් පිළිබඳව දඹුල්ල නගරයෙන් වාර්තා වනවා.

******************************************

පානීය ජල ව්‍යාපෘතියක හිමිකාරිත්වය දරණිකුලම් ගම්වැසියන්ට

(21.11.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

LG සමාගම, අබාන්ස් සමාගම, කමියුනිටි චෙස්ට් ඔෆ් කොරියා සංවිධානය සහ කොරියා ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් හෝප් ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා සංවිධාන එක්ව දියත් කළ, ‘LG ගම හදන නියමුවා’ සමාජ සත්කාර මෙහෙවර යටතේ වවුනියාව, දරණිකුලම් ග්‍රාමයේ ක්‍රියාත්මක කල දිවියට දිය බිඳක් පානීය ජල ව්‍යෘපෘතිය ජනතා අයිතියට
පත් කිරීම පසුගියදා සිදු කෙරුණා.

මෙම ව්‍යාපෘතිය යටතේ වවුනියාව, දරණිකුලම් ග්‍රාමයේ පදිංචි පවුල් 600 කට අධික ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබා දීමට නියමිතයි.

අවම පහසුකම් යටතේ ජන ජිවිතය පවත්වාගෙන යන ජනතාවට අස්වැසිල්ලක් වෙමින් පිරිසිදු පානීය ජලය ලබා දී වකුගඩු රෝගය මෙරටින් අවම කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

******************************************

‘ගාන්ධාර’ වාර්තාමය චිත්‍රපටය එළි දකී

(21.11.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ බෞද්ධ උරුමය පදනම් කරගෙන සකස් කළ ‘ගාන්ධාර’ වාර්තාමය චිත්‍රපටය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා එළි දැක්වුණා.

මෙම වාර්තා චිත්‍රපටයෙන් ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවසේ සිට හත්වැනි (7) සියවස දක්වා බෞද්ධ ශිෂ්ටාචාරයේ පැවති පාකිස්ථානයේ ගාන්ධාර ශිෂ්ටාචාරය පිළිබිඹු කරනවා.

******************************************

රුපියල් මිලියන 68 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

(21.11.2021 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2021 නොවැම්බර් 21) අළුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරයන් ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ වේළුසුමන ආයතනය මගින් අද (2021 නොවැම්බර් 21) අළුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ ඒ ආශ්‍රිත වෙරළ තීරයන් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී ජාවාරම්කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව වෙරළ ආශ්‍රිතව අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ ගමන්මළු 07 ක පාර්සල් 105 ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 68 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව පිළිබඳ ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.

[සේයාරූ]

******************************************

‘එක රටක්, එක නීතියක්’ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම අරඹයි

(21.11.2021 – 15:16 +0530 – hirunews.lk/sinhala)

‘එක රටක්, එක නීතියක්’ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම ඊයේ (20) වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා.

අද (21) යාපනය වාලම්පුරි ශාලාවේ දී අදහස් විමසීම සිදු වුණා.

නීතිඥයන්, වෘත්තිකයන්, ආගමික නායකයන්, ශිෂ්‍යයන් සහ සිවිල් ජනතාව නීතිය සමානව ක්‍රියාත්මක නොවීමට අදාළව විවිධ පැතිකඩ ඔස්සේ කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දක්වනු ලැබුවා.

හෙට (22) මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලදී ජනතාව හමු වන බවත්, ඉදිරියේදී දිවයිනේ සෙසු පළාත් 8 ද ආවරණය කරමින් ජනතා අදහස් විමසීම සිදු කෙරෙන බවත් කාර්ය සාධක බලකාය පවසනවා.

වව්නියාව බෝගස්වැව ලඋතුරු පළාත් කාබනික ආහාර නිපදවන්නන්ගේ සමිතිල කාර්යාලයේ දී සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (20) දිනයේ අදහස් විමසීම සිදු කෙරුණා.

මෙම ප්‍රදේශවල පදිංචි විවිධ ජන කොටස් නියෝජනය කරමින් පැමිණි පිරිස් බලකාය හමුවේ අදහස් දැක්වූවා.

දීර්ඝ කාලයක් තිස්සේ තම සිත් තුළ පැවති අදහස් බලකාය හමුවේ ප්‍රකාශ කළ ජනතාව මෙවැනි අවස්ථාවක් ලබාදීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ප්‍රණාමය පළ කළා.

ජනතාවගේ අදහස් දැක්වීම අගය කළ බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ‘එක රටක්, එකනීතියක්’ යන්න යථාර්තයක් බවට පත් කිරීමට අධිෂ්ඨානශීලිව කැප වන බව පැවසූවා.

මහාචාර්ය ශාන්ති නන්දන වීරසිංහ, අයියම්පිල්ලෙයි ආනන්ද රාජා යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ, කමිටුවේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

******************************************

බීමතින් රිය පැදවූ පිරිසක් සුපිරි වාහන 04 ක් සමඟ අල්ලයි

(21.11.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

කොටුව පොලිස් බල ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ වැටලීමකදී බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් සුඛෝපභෝගී වාහන 4 ක් සහ එහි රියදුරන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගාලු මාර්ගයේ, චැතැම් වීදිය ඇතුළු තවත් මාර්ග කිහිපයක ඊයේ (20) රාත්‍රියේ සිදුකරන ලද වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ව්‍යාපාරිකයින්, නීතිඥවරුන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන ප්‍රධානීන්ගේ පුතුන් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

සිවිල් ජනයා අනතුරේ දමා මහ රෑ පදින යතුරුපැදි ත්‍රිරෝද රථ රේස්

(21.11.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

නිවාඩු දිනවල කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මහාමාර්ගවල රාත්‍රී කාලයේ සිදු කෙරෙන මුදල් ඔට්ටුවට සිදුකෙරෙන යතුරුපැදි ධාවන තරග පිළිබඳව ත්‍රිරෝද රථ ධාවන තරඟ පිළිබඳව අප මීට පෙර වරින් වර තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

මීට සති දෙකකට පමණ පෙර මේ ආකාරයට මාලඹේ ප්‍රදේශයේ පැවැත්වූ තිරෝද රථ ධාවන තරගයක් අතර තුර ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එම ත්‍රීරෝද රථය පැද වූ පුද්ගලයා බරපතළ ලෙස තුවාල ලැබුවා.

මාධ්‍ය ඔස්සේ වරින් වර මෙවැනි හෙළිදරව් සිදු කරන අතරවාරයේ මෙම තරග මුදල් ඔට්ටුවට සංවිධානය කරන පුද්ගලයින් ඉතා සූක්ෂම ලෙස ඒවා සංවිධානය කර ගැනීමට කටයුතු කරනු ලබනවා.

මේ සඳහා ඔවුන් බොහෝ විට භාවිත කරනුයේ මිතුරන් අතර පමණක් වෙන්වූ ෆේස්බුක් සමාජ ජාලා පිටු මෙම සමාජ ජාලා පිටුවක් ඔස්සේ තරඟ පැවැත්වෙන දිනය වේලාව සහ ස්ථානය පිළිබඳව ඔවුන්ගේ සෙසු සාමාජිකයින් දැනුවත් කරන අතර එම තරග වල වීඩියෝ පට මුදා හැරෙන්නේ ද එම ෆේස්බුක් පිටු වලට පමණක් වීමත් විශේෂත්වයක්.

ලොව බොහෝ දියුණු රටවල මේ ආකාරයේ නවීකරණය කරන ලද මෝටර් රථ ධාවන තරග පැවැත්වෙනවා නගරයේ වීථී ඔස්සේ සාමාන්‍ය රථවාහන ධාවනයේදී සිදුකෙරෙන මෙම තරග මෝටර් රථ ධාවනය අනතුරේ හෙළන ඔවුන්ගේ ජීවිත පමණක් නොවේ ඒ හරහා මෙම තරඟ ධාවකයින් නගරයේ වීථි වල සැරිසරනා පදිකයින් මෙන්ම අනෙකුත් මෝටර් රථ ධාවකයින්ගේ ජීවිතද අනතුරේ හෙළනවා.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ නියාමන පනත අනුව මේ ආකාරයේ ප්‍රධාන මාර්ගවල ධාවන තරග පැවැත්වීම නීති විරෝධී කාරණයක්.

මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වරින් වර ක්‍රියාත්මක වුවද මෙම නොහික්මුණු ජාවාරම්කාර තරඟ සංවිධායකයින් මර්දනය කිරීමට හෝ ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

නීතිය කරවන බලධාරීන් නිද්‍රාශීලීව සිටින්නේ මෙම එක් තරඟයක් හරහා ජීවිත ගණනාවක් ඇසිල්ලකින් විනාශ වී මහා ඛේදවාචකයක් සිදු වන තුරුද?

රාත්‍රී කාලය පුරා කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල සිදු කෙරෙන මෙම නීති විරෝධී සිවිල් ජනයාට අනතුරුදායක ක්‍රියාවලියට නැවතීමේ තිත තබන්නට බලධාරීන් ක්‍රියාත්මක වන්නේ කවදාද හිරු ප්‍රවෘත්ති ඒ දෙස අවධානයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *