වයස අවුරුදු 20 ට වැඩි රෝගාබාධ සහිත පුද්ගලයින්ට කොරෝනා එන්නත් තෙවැනි (3) මාත්‍රාවක්

වයස අවුරුදු 20 ට වැඩි රෝගාබාධ සහිත පුද්ගලයින්ට කොරෝනා එන්නත් තෙවැනි (3) මාත්‍රාවක්

*********************************************

වයස අවුරුදු 20 ට වැඩි රෝගාබාධ සහිත පුද්ගලයින්ට කොරෝනා එන්නත් තෙවැනි (3) මාත්‍රාවක්

(20.11.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

විවිධ රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන් සඳහා කොරෝනා එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 745 ක් ඊයේ (19) වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,55,204 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,086 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (19) වාර්තා වූ කොරෝනා මරණ 14 ක් සමගයි.

එමෙන්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට 3 වන මාත්‍රාව හෙවත් ‘වර්ධක මාත්‍රාව’ ලෙස ෆයිසර් එන්නත ලබා දීම අදත් (20) ක්‍රියාත්මකයි.

ඊයේ (19) දින වන විට මෙරට 3 වන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,63,789 ක්.

විවිධ රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන් සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට අදාළ උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි ෴

තවත් කොරෝනා මරණ 22 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 14,108 ක් ෴

මෙරට කොරෝනා ආසාදිතයින් අතුරින් තවත් 442 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,26,353 දක්වා ඉහළ යනු ඇති. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 14,765 ක් ෴

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 496 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,55,700 ක් ලෙසටයි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 229 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් අද (20) වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 725 ක්. මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,55,929 ක් වනවා ෴

++++++++++++++

කොරෝනා නිසා මළ දරු උපත් දෙගුණ වේ

(20.11.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරස් ආසාදනය හේතුවෙන් මළ දරු උපත් බිහිකරන මව්වරුන්ගේ සංඛ්‍යාව දෙගුණ (2) වී ඇති බව සී.ඩී.සී. හෙවත් ‘ඇමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය’ සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එමගින් පෙන්වා දෙන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් එම අනුපාතය සිව් (4) ගුණයක් වී ඇති බවයි.

මෙහිදී පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකානු රෝහල් වල සිදුවූ දරු උපත් මිලියන 1.2 ක් විශ්ලේෂණයට ලක් කර තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

බෙල්ලන්විල විහාර මාවතේ ඥාතින් විසින් දමා ගිය කාන්තාවක්

(20.11.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

බෙල්ලන්විල විහාරස්ථානය යාබද විහාර මාවතේ මීට සති දෙකකට (2) පමණ පෙර කිසිවෙක් මවක අතරමං කර දමා ගොස් ඇති බව වාර්තා වෙනවා.

වයස අවුරුදු අසූවක් (80) පමණ වන ‘එදිරිසිංහ ආරච්චිගේ සුමනාවතී’ නම් වන ඇය දික්වැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේ පදිංචි බවත් ඥාතීන් සියලු දෙනා තමන්ට පහර දී පන්නා දැමූ බවත් ඇය ප්‍රකාශ කර සිටිනවා.

මෙම ස්ථානයට පැමිණි ආකාරය පිළිබඳ කළ විමසීමේදී ඇය ප්‍රකාශ කළේ, ගමේ සිට දින ගණනාවක් පයින් පැමිණි බවත්, පාරේ ගමන් කරන අතරතුර ආහාර පාරේ යන අයගෙන් ඉල්ලා ගත් බවත් ය.

මේ වන විට ඇවිද යාමට අපහසු බවකුත් මෙම මහලු කාන්තාව ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටින්නේ, මේ පිළිබඳව වගකිවයුත්තන්ට දැනුම් දුන්නත් ඔවුන් ක්‍රියාත්මක වී නොමැති බවයි ෴

******************************************

ඔක්තෝම්බරයේ මෙරට අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට

(20.11.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.16 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය, ඔක්තෝම්බර් මාසයක දී මෙතෙක් වාර්තා වූ ඉහළම අපනයන ආදායම බවයි මහබැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම වසරේ පළමු මාස 10 තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 12.6 ඉක්මවා තිබෙනවා.

මේ වසර සඳහා මෙරට අපනයන ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 15.7 ක්.

ඒ අනුව එම ඉලක්කයෙන් සියයට 80 ක් මේ වනවිට සාක්ෂාත් කරගැනීමට හැකිව තිබෙනවා.

බටහිර වෙළඳපොල යළි විවෘත වීමත් සමඟ වෙළෙඳ භාණ්ඩ අපනයනය ඉහළ යාම මෙලෙස අපනයන ආදායම ඉහළ යාමට හේතු වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙනවා.

වසරේ මුල් මාස 10 තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 21 ක වර්ධනයක්.

වසරේ මුල් මාස 10 තුළ සේවා අපනයනයන්ගෙන් ශ්‍රී ලංකාව නිපද වූ ආදායම ඩොලර් බිලියන 2.5 ක් ෴

******************************************

මිලේනියම්සිටි පාවාදීම බොරුවක් යැයි ෆීල්ඩ් මාෂල්ගෙන් ප්‍රකාශයක්

(20.11.2021 – 10:53 +0530 – hirunews.lk/sinhala)

මිලේනියම්සිටි බුද්ධි අංශ පාවාදීම අමූලික බොරුවක් බවත්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ වැඩක් රජයක් පිට දමා කළ මඩ ගැසීමක් බවත් සමගි ජනබලවේග මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළා, මිලේනියම් සිටි සිදුවීම වන කාල පරිඡේදයේ ඔහු යාපනයේ සේවය කළබව.

ෆීල් මාෂල් සරත් ෆොන්සේකා තව දුරටත් කරුණු පැහැදිලි කරමින් දන්වා සිටියේ, හමුදාවේ බුද්ධි අංශ දිගු දුර මෙහෙයුම් සිදු නො කළ බව හා කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන්වීමට අවශ්‍යතාවක් නො තිබුණු බවයි.

විශේෂ බලකා ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියෙකු කළ වැඩක්, රජය පිටින් දමා මඩ ගැසීමට භාවිත කර ඇති බව යි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හෙළිදරව් කළේ.

******************************************

රජයේ ඉඩම් අක්කරයක වටිනාකම රුපියල් 500 යි – කෝප් කමිටුවේ දී හෙළිදරව්වක්

(20.11.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයේ වටිනාකම ලෙස වසර ගණනාවකට පෙර සිදු කරන ලද රුපියල් මිලියන 676 ක් තක්සේරුව වර්තමානයේ නිවැරදි විය යුතු බව කෝප් කමිටුව පෙන්වා දී තිබෙනවා.

එම තක්සේරුව අනුව ඉඩම් අක්කරයක වටිනාකම රුපියල් 500 ක් පමණයි.

එම ගැටලුව වහාම මාස හයක් (6) තුළ නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට උපදෙස් දී ඇත්තේ.

එසේම එම කොමිසන් සභාව විසින් ඔප්පු දස ලක්ෂයක් (10,00,000) ලබාදීමේ ව්‍යාපෘතියට 2018 වසරේ දී බඳවාගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කර ඇති බවද පසුගිය දා රැස් වූ කෝප් කමිටුවේ දී අනාවරණ වී තිබෙනවා.

කැබිනට් අනුමැතියක් යටතේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් මෙම පිරිස, 2014 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් පදනම් කරගෙන ස්ථිර කිරීමටද කටයුතු කර ඇති බවයි කෝප් කමිටුවේ දී හෙළි වී ඇත්තේ.

ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් පිරිසක් මෙලෙස ස්ථිර කිරීමේ දී බලවත් වරදක් සිදුව ඇති බැවින් එම තත්ත්වය අනෙකුත් රාජ්‍ය ආයතනවලටද වැරදි පූර්වාදර්ශයක් සපයන බවයි කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ.

එබැවින් මේ පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් විධිමත් විමර්ශනයක් සිදු කර පූර්ණ වාර්තාවක් මසක් (1) ඇතුළත කෝප් කමිටුවට ලබාදෙන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා ඉඩම් අමාත්‍යාංශ ලේකම් ඒ.කේ. රණවක මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

******************************************

අපනයන භෝගවලින් ඩොලර් බිලියන 4 ක ආදායමක් අපේක්ෂාවෙන්

(20.11.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

තේ, පොල්, රබර් ඇතුලු අපනයන භෝග මගින් ඩොලර් බිලියන 4 ක ආදායමක් මේ වසර තුළ අපේක්ෂා කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ, 2022 අයවැය 2 වන වර කියවීමේ 6 වන දිනයේ විවාදයට එක්වෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කර තිබුණා.

******************************************

කොළඹට එළවළු හිඟවන ලකුණු

(20.11.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙඳුන් පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ කවරදාටත් වඩා වැඩි මිල ගණන් යටතේ බෝංචි, තක්කාලි, මාලු‍ මිරිස් ඇතුළු එළවළු වර්ග දැන් අළෙවි වන බවයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය සඳහන් කළේ, මෙලෙස එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමේ තත්ත්වය දෙසැම්බර් මස 03 වැනි සතිය තෙක් බලපැවැත්විය හැකි බවයි.

මේ අතර, උඩරට ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවීන් පෙන්වා දෙන්නේ, පවතින ගැටලු හමුවේ එළැඹෙන උත්සව සමය වන විට ජනතාවට දරාගත නොහැකි මට්ටමකට එළවළු මිල ගණන් ඉහළ යා හැකි බවයි.

මේ දිනවල ඉතිහාසයේ කවරදාකටත් වඩා වැඩි මිලකට මේ දිනවල එළවළු අලෙවි වන බව පෑලියගොඩ මැනිං වෙළඳපොලේ වෙළෙඳුන් පෙන්වා දෙනවා.

එසේම නුවරඑළියේ එළවළු ගොවීන් ඵලදාව නෙළීම නවතා දමන තත්වයක් උද්ගතව ඇති බවද පෑලියගොඩ මැනිං පොදු වෙළඳ සංගමයේ නියෝජිතයින් සඳහන් කළා.

එසේම, එළවළු ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ පිසින ලද ආහාරවල මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳුන් පවසන්නේ පවතින තත්ත්වය හමුවේ එම ආහාරවල මිල ගණන් තවදුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.

මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට බලාපොරොත්තුවක් ලබාගත නොහැකිද යන්න පිළිබඳව අප පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගෙන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ, ලෝක ප්‍රවණතාවන් සැළකීමේදී ලබන ජනවාරි මාසයෙන් පසුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යනු ඇති බවයි.

******************************************

පසුගිය මාස 10 යේ දී කෘෂිභෝගවලින් ඉහළම අපනයන ආදායමක්

(20.11.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර 10 ක 15 ක කාලය තුල කෘෂි බෝග මගින් ලබා ගත් ඉහළම අපනයන ආදායම මේ වසරේ ගත වු මාස 10 දී වාර්තා කර ඇති බව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා සඳහන් කළේ, මේ වසරේ ගත වූ මාස 10 තුල පසුගිය වසරට වඩා රුපියල් බිලියන 22 කින් වැඩි අපනයන ආදායමක් කෘෂි බෝග මගින් ලබා ගෙන ඇති බවයි.

මේ අතර වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති බව පවසමින් අදත් (20) දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා.

මේ අතර තමන් විසින් සකසා ගත් කාබනික පොහොර යොදමින් මෙවර මහ කන්නයේ වී වගාව සිදු කරන ගොවි මහතෙකු පිළිබඳ පුවතක් මොරගහකන්ද – තෝරපිටිය ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්තී අංශයට වාර්තා වුණා ෴

******************************************

වීරකැටියේ පුද්ගල ඝාතනයක්

(20.11.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

වීරකැටිය – කැකුණයායපොල අසළ මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අද (20) අලුයම් කාලයේ මෙලෙස ඝාතනය කර ඇත්තේ වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.

වළස්මුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා ෴

******************************************

ජනපතිට, අගමැතිට, රටට සහ ජනතාවට ආශිර්වාද පතා රුවන්වැලි මහ සෑ පුදබිමේ ආගමික වතාවත්

(20.11.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රියාත්මක නව දේශපාලන වැඩපිළිවෙළ සඳහා රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ සහාය හිමිවිය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පැවති ආශිර්වාද පිංමකට ඊයේ (19) එක් වූ අවස්ථාවේ සිදු කළ විශේෂ අනුශාසනාවකදීයි.

මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනා කර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට සහ රටට ජනතාවටත් ආශිර්වාද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්, අනුනා හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය, ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

******************************************

‘දෙමටගොඩ රුවන්’ ගේ රුපියල් කෝටි 5 ක මුදල් සහිත බැංකු ගිණුම් හෙළිවේ

(19.11.2021 – 11:45 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘දෙමටගොඩ රුවන්’ නැමැත්තා සතු රුපියල් කෝටි 5 ක මුදලක් දෙමටගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් සොයාගෙන තිබේ.

එම මුදල් ඔහුගේ බිරිඳගේ සහ පුතාගේ නමින් ස්ථාවර තැන්පතු ලෙස තිබු බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එම මුදල් ලැබුණු ආකාරය අනාවරණය වී නොමැති වීමෙන් එම ගිණුම් හරහා මුදල් සංසරණය තාවකාලිකව තහනම් කර තිබේ.

එමෙන්ම ඔවුන්ට අයත් කෝටි එකහමාරක් (1½) වටිනා රත්‍රං සහිත සේප්පුවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

ඔහුට අයත් තවත් සේප්පු දෙකක් (2) පිළිබඳ අද (19) දින පරීක්ෂාවට ලක්කිරීමට නියමිත බව ද වාර්තා වේ.

දෙමටගොඩ රුවන් නැමැත්තාගේ මුදල් හා රන් භාණ්ඩ ඇත්දැයි මුල්‍ය සමාගම් සහ බැංකු 53 ක් පරීක්ෂා කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය සඳහන් කරයි.

‘දෙමටගොඩ රුවන්’ නැමැත්තා දැනට මරණ දණ්ඩනය නියමව සිටින ‘දෙමටගොඩ චමින්ද’ ගේ සහෝදරයා ය.

මේ අතර හෙරොයින් ජාවාරමෙන් අයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත ‘දෙමටගොඩ රුවන්’ හෙවත් ‘රුවන් චමිල’ නැමැත්තා ලබන 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වු බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

සැකකරුගේ නිවසේ තිබී සොයාගත් රත්රන් කිලෝ එක හමාරකට (1½) වැඩි තොගය පිළිබඳ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් කැඳවන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියම කර තිබේ.

සැකකරුවන්ගේ ඥාතීන් විසින් රත්රන් කිලෝ තුන හමාරක් (3½) පමණ උකසට තබා රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක (1,50,00,000) පමණ මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය හමුවේ ප්‍රකාශ වී ඇත.

එමෙන්ම සැකකරුගේ බිරිඳගේ නමින් බැංකු ගිණුම් 3 ක පවතින රුපියල් කෝටි දෙකකට (2,00,00,000) අධික මුදල පිළිබඳව ද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *