කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 03 වන මාත්‍රාව ලබා ගැනීමට ඒකාරාශි නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 03 වන මාත්‍රාව ලබා ගැනීමට ඒකාරාශි නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

*********************************************

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 03 වන මාත්‍රාව ලබා ගැනීමට ඒකාරාශි නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

(17.11.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 3 වන මාත්‍රාව ලබා ගැනීමේදී එන්නත්කරණ මධ්‍යස්ථාන වල විශාල ලෙස ඒකරාශී නොවී, නිල දැනුම්දීමක් ලැබීමෙන් පසු එන්නත ලබා ගැනීමට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගෙන මාස 3 ක් සම්පූර්ණ වූ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ‘බූස්ටර්’ හෙවත් ‘වර්ධක මාත්‍රාව’ ලෙස ෆයිසර් එන්නත ලබා දීම අද (17) ආරම්භ කළා.

ඒ කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්ක වලින්.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 532 ක් අද (17) මේ දක්වා වාර්තා වී ඇති අතර, ආසාදිතයන් 448 ක් සුවය ලබා තිබුණා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් මුතුරාජවෙලට – හෙටත් (18) පෙට්‍රල් නැවක්

(17.11.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

දැනට රට තුල ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති, මොහොමඩ් උවයිස් මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වනවිටත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ මුතුරාජවෙලට ගොඩබාමින් තිබෙන බවයි.

කෙසේ වෙතත්, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඇතුලු ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් අදත් (17) චෝදනා කළේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග රට තුල නොමැති බවයි.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන පවතින බව බලධාරින් ප්‍රකාශ කළත්, අදත් (17) ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබුණා.

එසේම, ප්‍රමාණවත් පරිදි ගෑස් නොමැති බවට ද පාරිභෝගිකයින් චෝදනා කරනවා.

එවන් පසුබිමක දිනෙන් දින එළවළු මිල ගණන් ද ඉහළ යමින් පවතින බවටයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාර සඳහන් කළේ.

******************************************

ගැටළුවලට හේතුව යහපාලන ආණ්ඩුව නොවේ – හිටපු ජනපති මෛත්‍රී

(17.11.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ රටේ පවතින සියලු ගැටලුවලට හේතුව පසුගිය යහපාලන ආණ්ඩුව නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ අයවැය විවාදයේ දෙවන (2) වර කියවීමේ විවාදයේ 4 වන දිනයට එක්වෙමින්.

එසේම, යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට විභාග වන නඩුවට තමන් සහ අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වන බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ.

******************************************

පනාමුරේ සන්සුන් – පොලීසියේ දෙදෙනෙකුගේ (2) වැඩ තහනම්

(17.11.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – පනාමුරේ පොලිස් සිරමැදිරිය තුලදී පුද්ගලයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර තිබෙනවා.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ඍජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගත් 38 හැවිරිදි ඉන්දික ජයරත්න නැමැති පුද්ගලයා පොලිස් සිරමැදිරියේදී තමා ඇඳ සිටි කමිසය ආධාරයෙන් ගෙල වැලලාගෙන සිටියදී අද (17) අලුයම පොලිස් නිලධාරීන් විසින් ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබුණා.

ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී රන්කොත්ගේ ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම සඳහා පනාමුරේ පොලිස් ස්ථානය වෙත පැමිණි අතර, මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (17) එම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසින් සහ මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කළේ පොලීසිය මෙම පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇති බවටයි.

ඔවුන් කොළොන්න – ඇඹිලිපිටිය මාර්ගයේ ටයර් පුළුස්සමින් රතිඤ්ඤා ද දල්වමින් විරෝධය පළ කිරීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, පසුව විරෝධතාකරුවන් විසිර ගොස් තිබුණා.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් තම සැමියා බීමතින් පැමිණ තමාට පහරදෙන බවට මීට පෙර අවස්ථා 07 කදී පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මියගිය පුද්ගලයාට වයස අවුරුදු 14, 08 සහ 03 යන වයස්වල පසුවන දියණියන් 03 දෙනෙකු සිටින අතර, පියා විසින් පහර දුන් බව පවසමින් පසුගිය 12 වැනිදා වැඩිමහල් දියණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම දියණිය දින 04 ක් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා ඇති අතර, ඊට අදාළවයි මෙලෙස ඊයේ (16) රාත්‍රියේ සැකකරු පනාමුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි අද (17) පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා. ඊට ප්‍රතිචාර දැක්වූයේ මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරයි.

******************************************

රට සිහින පෙන්වා තරුණ, තරුණියන් මුලාකර මුදල් ගැරූ කූට ව්‍යාපාරිකයා

(17.11.2021 – 21:14 +0530 – hirunews.lk/sinhala)

සී ෂෙල්ස් රාජ්‍යයේ මත්ස්‍ය සැකසුම් ආයතනයක රැකියා ලබාදෙන බව පවසමින් මෙරට තරුණ, තරුණියන් මුලාකර මුදල් වංචාකිරීමේ කූට ව්‍යාපාරයක් මේ දිනවල ක්‍රියාත්මක වනවා.

අද (17) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

ගම්පහ – රදාවාන ප්‍රදේශයේ පදිංචි මොහු මේ දිනවල තරුණ තරුණියන්ට විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරිමේ ජාවාරම සිදුකරන්නේ කුළී පදනම මත ලබාගෙන ඇති කළු පැහැති ‘ටොයොටා ප්‍රියස්’ වර්ගයට අයත් මෙම මෝටර් රථයෙන් පැමිණයි.

තම විදේශ රැකියා ආයතනයට සී ෂෙල්ස් රාජ්‍යයේ මත්ස්‍ය සැකසුම් ආයතනයක රැකියා රැසක් ලැබී ඇති බව පවසා ඔහු ජනතාව මුලා කරන්නේ මෙලෙසින්.

******************************************

විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගෙන් අල්ලස් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(17.11.2021 – 22:32 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගෙන් රු. 10,000 ක අල්ලසක් ලබා ගත් තෙල්දෙණිය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

ඉල් පොහොය අදයි (18)

(18.11.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි (18).

මෛත්‍රී බෝධි සත්ත්වයාණන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්ම ධූත සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදීම, තුන් බෑ ජටිලයන් දමනය කිරීම සදහා බුදුරජාණන් වහන්සේ ඌරුවෙල් දනව්වට වැඩම කිරීම සහ පසුවස් පවාරණය මෙම පොහොය දිනයේ සිදු වූ වැදගත් ශාසනික සිදුවීම් වනවා.

******************************************

සඳහිරු සෑයක් එපා! හමුදාවේ ඇරයුම්පත පිළිනොගත්, මහැදුරු හිමිගෙන් පාලකයන්ට බණක් (18-11-2021)

******************************************

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 76 වැනි උපන් දිනය අදයි

(18.11.2021 – 06:24 +0530 – hirunews.lk/sinhala)

අඩසියවසක දේශපාලන දිවිය තුළ දෙවරක් (2) ජනාධිපති ධුරය ද, සිව් වරක් (4) අගමැති ධුරය ද හොබවමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.

1945 නොවැම්බර් 18 වැනිදා උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන පරිසරය කුඩා කල පටන්ම නොමඳව ලැබුණා.

රාජපක්ෂ පරපුරට උරුම වූ කුරහන් සාටකයේ ආශිර්වාදයෙන් 25 වන වියේදී මැතිවරණ සටනට පිවිසි තරුණ මහින්ද 1970 වසරේ දී බෙලිඅත්ත ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,103 ක්.

ඒ ඔහුගේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිවාදියා ඡන්ද 16,477 කට සීමා කරමින්.

මහින්ද රාජපක්ෂ එලෙස තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබය නියෝජනය කරන්නේ එවක සිටි ලාබාලතම මන්ත්‍රීවරයාද වෙමින්.

දේශපාලන දිවි ගමනේදී සිය ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද සම සිතින් විඳගත් මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලන සටන් බිමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු ලෙස පමණක් නොව විධායක ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළා.

අඩසියවසකට අධික සිය දේශපාලන ජීවිතය තුළ ඔහු රටට දිනාදුන් දේ බොහෝයි.

30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි.

එතැන් පටන් රටේ සංවර්ධන යුද්ධය ඇරඹු එතුමන් මෙරටට තවත් ජයග්‍රහණ රැසක් උරුම කර දුන්නා.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජන ප්‍රසාදය සහ ආශිර්වාදය මැද, සිව්වන (4) වරටත් අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටිනවා ෴

******************************************

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙවැනි (2) පදවි ප්‍රාප්තිය අදයි

(18.11.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවන (2) වසර අද (18) සම්පූර්ණ කෙරෙනවා.

2019 වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්වන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස, ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25% ක ප්‍රතිශතයක් ලබාගනිමින්.

නොවැම්බර් 18 වන දින අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑරඳුන් ඉදිරිපිට දී ජනාධිපතිවරයා සිය ධූරයේ දිව්රුම් දුන්නා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරදැරිව ජනාධිපති ධුරයේ සිය මෙහෙවර අරඹන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙවුණු දෙවසරක (2) කාලය තුළ රටේ ආරක්ෂක, සමාජයීය, ආර්ථික, මෙන්ම ක්ෂේත්‍ර රැසක ප්‍රගමනය වෙනුවෙන් සිය තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ කොරෝනා අභියෝගය මධ්‍යයේයි.

මේ අතර, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා. මේ නිමිත්තෙන් ප්‍රදේශ රැසක පිංකම් පැවැත්වෙනවා.

තිස් (30) වසරක් තිස්සේ පැවති යුද්ධය ජයග්‍රහණය කිරීම සනිටුහන් කරමින් අනුරාධපුරයේ ඉදිකර ඇති සඳහිරු සෑය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සඟ සතු කිරීම අද (18) සිදු කිරීම විශේෂත්වයක්.

******************************************

ආණ්ඩුවේ හවුල් පක්ෂ යුගදනවි පෙත්සම ගැන සාකච්ඡාවක

(18.11.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

අයවැය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් ඊයේ (17) පැවැත්වුණා.

ඒ, පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදීයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී වෙනම නීතිඥවරයෙකු ඉදිරිපත් කිරීමේ තීරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එම සාකච්ඡාවට එක් වූ ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියා සිටියේ, අදාළ පෙත්සම් විභාගයෙන් පසු යළි රැස් වී ඊට අදාළ සුදුසු පියවර ගැනීම පිළිබඳව තීරණය කරන බවයි.

මේ අතර, අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට (19) කැඳවා තිබූ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ලබන සතිය දක්වා කල් දැමීමට තීරණය කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළා.

******************************************

16-11-2021

******************************************

තෙවන (3) පාර්ශවයක පරීක්ෂාවකින් පසුවත් චීන පොහොර ලබා ගැනීමේ සූදානමක් නැහැ – කෘෂිකර්ම අමාත්‍යාංශය

(18.11.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්නගත චීන පොහොර තොගය තුන්වන (3) පාර්ශවයක් මඟින් යළි සාම්පල පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා කියා සිටියේ, එම පොහොර තොගය 3 වන පාර්ශවයක සාම්පල පරීක්ෂාවකට ලක් කර, ඉන් පසු ලබා ගැනීම සඳහා සූදානමක් නොමැති බවයි.

මේ අතර, අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවතේ පිහිටි කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35 කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබනවා.

ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට් අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබනවා.

මහ කන්නය සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000 ක් නිෂ්පාදනය කිරීමටයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *