පනාමුර පොලිසිය තුළ පුද්ගලයෙකු මියයාමට එරෙහිව විරෝධතාවක්

පනාමුර පොලිසිය තුළ පුද්ගලයෙකු මියයාමට එරෙහිව විරෝධතාවක්

*********************************************

පනාමුර පොලිසිය තුළ පුද්ගලයෙකු මියයාමට එරෙහිව විරෝධතාවක්

(17.11.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට (17) එම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ, විරෝධතාවයේ නිරත වන පිරිස් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කළ බවයි.

ඔවුන්ගේ මෙම විරෝධතාවය හේතුවෙන් කොළොන්න – ඇඹිලිපිටිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (16) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ තමන්ට සහ දරුවාට පහරදෙන බවට මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

කෙසේ වෙතත් ඔහු අද (17) අලුයම සිරමැදිරිය තුළ ගෙල වැළලාගෙන මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළා.

එහෙත් විරෝධතාවයට එක්ව සිටින පිරිස් චෝදනා කළේ පොලීසිය මෙම පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇති බවයි.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (17) දින පාර්ලිමේන්තු සභා ගැබේ විරෝධතාවක නිරත වුණා.

පනාමුර පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු(2) ගේ වැඩ තහනම්

(17.11.2021 – 12:03 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය පනාමුරේ පොලීසිය තුල පුද්ගලයෙකු මියයාමට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (17) එම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ, විරෝධතාවයේ නිරත වූ පිරිස් කොළොන්න – ඇඹිලිපිටිය මාර්ගයේ ටයර් පුළුස්සමින් රතිඤ්ඤා ද දල්වනු ලැබූ බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

තමන්ට සහ දියණියට පහරදෙන බව පවසමින් මියගිය පුද්ගලයාගේ බිරිඳ කර තිබූ පැමිණිල්ලකට අනුව ඊයේ (16) පොලීසිය 39 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

පනාමුර – වැලිගෙයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් සිරමැදිරිය තුලදී අද (17) අලුයම මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය කියා සිටියා.

එහෙත් විරෝධතාවයට එක් වූ ප්‍රදේශවාසින් චෝදනා කළේ, පොලීසිය මෙම පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇති බවටයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පනාමුරේ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු (2) ගේ වැඩ තහනම් කර තිබෙනවා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් (2) ක්‍රියාත්මක බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ ෴

+++++++++

අද (17) පාර්ලිමේන්තු විවාදය ආරම්භයේදී වැඩි අවධානයක් යොමු වුණේ, සමගි ජන බලවේගය ඊයේ (16) සංවිධාන කර තිබූ උද්ඝෝෂණය පිළිබඳවයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සංවිධාන කර තිබූ උද්ඝෝෂණයට පොලිසිය බාධා කළ බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතා පුවරු රැගෙන සභා ගැබේ උද්ඝෝෂණයක ද නිරත වුණා.

පනාමුරේ පොලිසිය ඉදිරිපිට දී ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඇමති සරත් වීරසේකරට දැඩි විරෝධයක් එල්ල වූ අතර, ඔවුන් නොයෙක් සටන් පාඨ කියමින් තම අප්‍රසාදය සරත් වීරසේකර කෙරෙහි දැක්වුවා.

******************************************

වැඩි ම වකුගඩු රෝගින් බස්නාහිර පළාතෙන් වාර්තා වෙන බවට හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්

(17.11.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

අද (17) පැවැත් වුණු පාර්ලිමේන්තු සැසිවාරයේ දී මේ වෙනවිට රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අදහස් කිහිපයක් ම ප්‍රකාශ කළා.

මෙරට ජනගහනයෙන් 17% ක පමණ ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සඳහන් කරන හිටපු ජනපතිවරයා, ඒ සඳහා ගත වූ කිසිඳු ආණ්ඩුවක් විධිමත් ක්‍රියාමාර්ගයක් නොගත් බවට චෝදනා කරනවා.

ඊට අමතර ව දියවැඩියාව, අධි රුධිර පීඩනය හා පිළිකා වැනි රෝග ද ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කරනවා.

හිටපු ජනපතිවරයා මෙහි දී විශේෂයෙන් අවධාරණය කළේ වකුගඩු රෝගය පිළිබඳව යි.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත හා තොරතුරුවලට අනුව, වැඩිම වකුගඩු රෝගින් පිරිසක් වාර්තා වෙන්නේ, බස්නාහි‍ර පළාතෙන් බවයි ඔහු පැවසුවේ.

රසායනික පොහොර පිළිබඳ ඇති වී තිබෙන ගැටලුව පිළිබඳ කතා කළ හිටපු ජනපති, අනුරාධපුර පිළිකා රෝහලේ පිළිකා රෝගින් විසි දහස (20,000) ඉක්ම වා ඇති බව හා වකුගඩු රෝගින් ද විසි දහස (20,000) ඉක්ම වා ඇති බව හෙළිදරව් කළා.

එම රෝගින් බොහෝ දෙනෙක් තරුණ තරුණයින් බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම ගැටලුවලට ‍රජයක් වශයෙන් කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් එහි දී ප්‍රකාශ වුණා.

ඇතැම් පුද්ගලයින් විවිධ අවස්ථාවල දී පොළොන්නරුවේ ඉදි කළ වකුගඩු රෝහල චීනයෙන් ලැබුණු පරිත්‍යාගයක් බවත් වකුගඩු රෝගයට විසඳුමක් ලද පසු එම රෝහලෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැති බවත් පවසනවා යනුවෙන්, මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරනවා.

විශේෂයෙන් සමස්ත කෘෂිකාර්මික ක්‍රියාවලිය කාබනික වූ පසු මෙම රෝහල ප්‍රයෝජනවත් නො ව බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවයි ඔහු අවධාරණය කළේ.

නමුත් එය ඉතා වැරදි කතාවක් බව පවසන හිටපු ජනපතිවරයා සඳහන් කළේ, වකුගඩු රෝග සිය ගණනක් ඇති බවත් මෙරට පවතින එක ම වකුගඩු රෝගය රජරට වකුගඩු රෝගය නො වන බවත් ය.

දිවයින පුරා විසිරී හිඳින වකුගඩු රෝගින් විශාල ප්‍රමාණයක් මෙම රෝහලට එන බව පැවසූ ඔහු සඳහන් කළේ, රෝහලට අවශ්‍ය ඇතැම් පහසුකම් ලබා දීමට රජය සමත් වී නැති බවයි.

ඒ අනුව මෙම රෝහලේ එක්ස් කිරණ ඒකකය ආරම්භ කර නො මැති බව හා රෝහලට අධ්‍යක්ෂවරයෙක් ද පත් කර නො මැති අතර, රෝහලේ පැවතිය යුතු රසායනාගාර පහසුකම්, සී.ටී. ස්කෑන් පහසුකම්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආදිය ද පහසුකම් පැවතියත් ආරම්භ කර නො මැති බවයි හිටපු ජනපතිවරයා පැවසුවේ.

******************************************

සංචාරකයින් 19,000 ක් දිවයිනට

(17.11.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

මේ මස මුල් සති දෙක තුළ සංචාරකයින් 19,000 ක් මෙරටට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

******************************************

අවශ්‍ය තරම් ඉන්ධන රට තුළ ඇති බව ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සභාපති පවසයි

(17.11.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

දැනට අවශ්‍ය තරම් ඉන්ධන රට තුළ පවතින අතර, මේ වනවිටත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් මුතුරාජවෙලට ගොඩබාමින් පවතින බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපතිවරයා පවසනවා.

එමෙන්ම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක් ලැබීමට නියමිත බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා ෴

******************************************

රුපියල් මිලියන 350 ක් යටිමඩි ගැසූ ‘යොවුන් පුරය’

(17.11.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

2018, 2019 කාලය තුළ ‘යොවුන් පුර වැඩසටහන’ සඳහා රුපියල් මිලියන 350 කට වැඩි මුදලක් වියදම් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.

ඊයේ (17) පැවති කෝප් කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරුණේ, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින්.

එහිදී වැඩිදුරටත් හෙළිවූයේ, මේ සම්බන්ධව ‘ජාතික තරුණ සේවා සභාව’ අභ්‍යන්තර විගණනයක් හෝ සිදුකර නොමැති බවයි.

ආයතන අතර, සහයෝගිතාව රාජ්‍යයේ ඉදිරි ප්‍රගමනයට ප්‍රමුඛ සාධකයක් බවට ද මෙම කෝප් කමිටු සාකඡාවේදී අවධානයට ලක් වුණා.

එමෙන්ම ‘ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම’ 2017 වසරේ සිට සංයුක්ත සැලැස්මක් සකසා නොතිබීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු අතර අදාළ සමාගම ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙළ නොකිරීම ගැන ද සභාපතිවරයා ප්‍රශ්න කර සිටියා.

මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

******************************************

සාමූහික වගකීම් දැරුව ද ආණ්ඩුවේ රූකඩ නොවන බවට ඇමති අමරවීර කියයි

(17.11.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් දැරුවද ආණ්ඩුවේ රූකඩ ලෙස හැසිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජිතයින් සූදානම් නොමැති බව
අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

******************************************

විසඳුම් නැති පොහොර අර්බුදය

(17.11.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් සඳහා වන ඉදිරි සැලසුම කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

මේ අතර මෙවර මහ කන්නය සඳහා වාරි ජලය නිකුත් කළ ද, පොහොර නොලැබීම හේතුවෙන් සිය වගා කටයුතු අඩාල වී ඇති බවට ගොවීන්
තවමත් මැසිවිලි නගනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් රෝගීන්ට ලබාදෙන ආහාරවල පණුවෝ – රෝගීන්ගෙන් චෝදනා

(17.11.2021 – 11:43 +0530 – hirunews.lk/sinhala)

නාඋල – අඹන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොරෝනා වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට රෝහලෙන් ලැබෙන ආහාරවල පණුවන් සිටින බවට වාර්තා වනවා.

කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා පසුගිය සමයේ දී නාඋල – අඹන ප්‍රාදේශීය රෝහලේ වෙනම වාට්ටු සංකීර්ණයක් ද ස්ථාපිත කෙරුණා.

රෝගීන් සදහා අවශ්‍ය පහසුකම් සහිතව ඉදිකරන ලද මෙම වාට්ටු සංකීර්ණය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වන රෝගීන් සඳහා නේවාසික ප්‍රතිකාර ලබාදෙනවා.

එම රෝගීන් සඳහා රෝහලේ අධීක්ෂණය යටතේ ආහාර ලබාදෙන බවයි රෝගීන් සඳහන් කළේ.

මෙලෙස ලබාදෙනු ලබන බත්වල පණුවන් සිටිම සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන් මහතා ගෙන් ද විමසීමක් සිදු කළ අතර, එහිදි ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් රෝගීන් විසින් තමාව ද දැනුවත් කර ඇති බවයි.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊට අවශ්‍ය කරන කඩිනම් පියවර ගන්නා බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

++++++++++++++++++

කොරෝනා ඉහළ යාමේ අවධානමක්

(17.11.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළඳුනු පාසල් සිසුන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඉදිරියේදී රට තුල කොරෝනා ආසාදිතයින් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

එසේ වුවහොත් යළි සංචරණ සීමා පැනවීමට සිදු වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ වන විට මෙරට කොරෝනා වැළඳුනු සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 5,52,994 ක් වන අතර, මරණ 14,034 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද (17) ආරම්භ කෙරුණේ, බස්නාහිර හා දකුණු පලාත්වලින් සහ අනුරාධපුර හා අම්පාර දිස්ත්‍රික්කවලින්.

මීට පෙර පළමු පෙළ කොරෝනා රාජකාරිවල නිරත පිරිස් සදහා බූස්ටර් එන්නත ලබාදීම සිදු කෙරුනා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා සඳහන් කළේ, කොරෝනා වැළඳුණු ලමයින් මෙන්ම, ඩෙංගු වැළඳුණු ළමයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසදිතයින් 448 දෙනෙකු අද (17) දිනයේදීත් සුවය ලබා තිබෙනවා. ඒ සමග මෙරට වයිරසය ආසාදිතව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 5,25,188 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයින් 532 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,53,526 ක් ෴

තවත් කොරෝනා මරණ 23 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 14,057 ක් ෴

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්ට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *