වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අද (17) සිට ‘බූස්ටර් එන්නත’

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අද (17) සිට ‘බූස්ටර් එන්නත’

*********************************************

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අද (17) සිට ‘බූස්ටර් එන්නත’

(17.11.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ‘කොරෝනා බූස්ටර් එන්නත’ ලබාදීමේ කටයුතු අද (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ඒ අනුව බස්නාහිර, දකුණ යන පළාත්වලත්, අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු ආරම්භ කරන බවයි.

එසේම පුද්ගලයින් 120,485 දෙනෙකුට මේ වනවිට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දී තිබෙනවා.

පාසල් සිසුන් ලක්ෂ 10 කට මේ වනවිට ෆයිසර් එන්නත ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට පුද්ගලයින් 1,58,83,630 දෙනෙකුට කුමන හෝ කොරෝනා එන්නතක පළමු (1) මාත්‍රාව ලබා දී ඇති අතර, මාත්‍රා දෙකම (2) ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,36,74,957 ක්.

ඊයේ (16) මෙරටින් කොරෝනා ආසාදිතයින් 720 දෙනෙකු හඳුනාගත් අතර, ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,52,994 දක්වා ඉහළ ගියා.

එසේම, පෙරේදා (15) සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 18 ද සමඟ මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළ ගියේ, 14,034 ක් ලෙසයි.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ අනුගමනය කරමින් මේ මස 28 වැනි දා සිට දහම් පාසල් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව දහම් පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් සහ අනෙකුත් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙසයි, සියලු ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා වෙත ලිපියක් යොමු කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එළැඹෙන 21 වැනි දා ඊට අදාළ පූර්ව සූදානම් කටයුතු සිදුකරන ලෙසද එමඟින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පරිසර හිතකාමී කෘෂිකර්මයක් සඳහා වන සැලසුම ජනපතිට

(17.11.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

පරිසරික හිතකාමී කෘෂිකර්මාන්තයක් සඳහා වන ඉදිරි සැලසුම, කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙනවා.

මෙම සැලසුම සකස් කරන ලද්දේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කෘෂි විශේෂඥයන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින්.

මහාචාර්යවරුන් වන ජගත් එදිරිසිංහ, මාලක රණතිලක, රංජිත් සෙනාරත්න සහ ළමාවංශ ඇතුළු මහාචාර්යවරුන් 11 දෙනෙකු මෙම සැලසුම සකස් කිරීම සඳහා දායකත්වය ලබා දී තිබෙනවා ෴

******************************************

මිනිස් පාරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 40,000 ක් දඹුල්ලේ

(17.11.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පාරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 40,000 කට අධික ප්‍රමාණයක් අඩංගු බහාලුමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක තිබියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ අර්තාපල් ඉන්දියාවෙන් ගෙන්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම අර්තාපල් තොග සේවකයින් යොදවා පාරිභෝජනයට සුදුසු අයුරින් සකස් කොට වෙළෙඳපොළට යොමු කිරීමට සූදානම්ව තිබියදී ඊයේ (16) මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මීට පෙර ද අදාළ ගබඩාව හිමිකාර පුද්ගලයා පාරිභෝජනයට නුදුසුදු ලොකුලූනු තොගයක් පාකිස්තානයෙන් ගෙන්වා තිබිය දී මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් වැටලීමක් සිදු කර තිබුණා.

******************************************

වේගයෙන් පැමිණි දුම්රියෙහි ගැටුණු සද්දන්තයා

(17.11.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන දුම්රියකට ඊයේ (16) රාත්‍රියේ දී වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ දී වනඅලියෙකු ගැටී එම ස්ථානයේදීම මරුමුවට පත්ව ඇති බව වැලිකන්ද වනජීවී කාර්යාලය පවසනවා.

මාදුරුඔය රක්ෂිතයේ සිට වනඅලි නිරන්තරයෙන්ම මෙම ස්ථානයෙන් එහාමෙහා මාරු වන අතර, දුම්රියෙහි ගැටී මෙලෙස මියගිය වන අලියා වයස අවුරුදු 25 ක් පමණ උසින් අඩි නවයක් (9) වන පිරිමි සතෙක් බවයි වාර්තා වන්නේ.

වනඅලි නිරන්තරයෙන් මෙම දුම්රිය මාර්ගය හරහා එහා මෙහා මාරු වන බවට සලකුණු කර ඇතත්, දුම්රිය රියදුරන් එය ආසන්නයේදී අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙසේ වනඅලි මිය යන බවත්, මීට පෙර ද වනඅලි අට දෙනෙකු (8) මෙම ස්ථානයේදීම මියගොස් ඇති බවත්, වනජීවි නිලධාරීන් ප්‍රකාශ කරනවා.

මෙම වන අලියා දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදුව ඇති අතර, සිල්පර තිහක් (30) පමණ ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව අලාභ හානි සිදු ව ඇති දුම්රිය මාර්ගය නැවත සකස් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් පිරිසක් අද (17) උදෑසන එම ස්ථානයට පැමිණි බව ද වාර්තා වනවා ෴

******************************************

ගිනි අවිත් සමඟ අත්අඩංගුවට ගත් ඇමරිකානු ජාතිකයාට ඇප

(17.11.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

දිගන – අඹකොටේ ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයකදී ගිනි අවිත් සමඟ අත්අඩංගුවට ගත් ඇමරිකානු ජාතිකයා ඇතුළු දෙදෙනා (2) ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් ජේ.වී. ප්‍රනාන්දු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත ඔවුන්ව මුදා හැරීමටයි.

ඇමරිකානු ජාතිකයා සහ අනෙක් පුද්ගලයා පසුගිය මස 30 වැනි දා ජීව උණ්ඩ 100 ක්, පිස්තෝලයක්, තියුණු ආයුධ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුනා ෴

******************************************

රාජ්‍ය ලාංඡනය භාවිත කර ව්‍යාජ වාහන අංක තහඩු සැකසූ අයෙකු අත්අඩංගුවට

(17.11.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අංක තහඩුවලට සමානව නීතිවිරෝධීව ව්‍යාජ වාහන අංක තහඩු සැකසීමේ ස්ථානයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වව්නියාව පොලිස් වසමේ තාන්ඩිකුලම් ප්‍රදේශයේදීයි, මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඊයේ (16) පස්වරුවේ සිදු කළ මෙම වැටලීමේදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අංක තහඩුවලට සමානව, පරිගණක මුද්‍රණ යන්ත්‍ර උපයෝග කරගනිමින් දිගු කලක සිට නීතිවිරෝධී ව්‍යාජ වාහන අංක තහඩු සැකසීමේ මෙම ස්ථානය සොයා ගැනුණා.

එහි සිටි සැකකරුවකු සන්තකයේ තිබී, වාහන තහඩු අංක සැකසීමට ගන්නා පරිගණක භාණ්ඩ කිහිපයක්, රාජ්‍ය ලාංඡනය සහිත ස්ටිකර් 412 ක් අඩංගු කාඩ්පතක්, DMT ලෙස මුද්‍රිත ස්ටිකර් කාඩ්පත් 02 ක් සහ ඇළුමිනියම් පැහැති ස්ටිකර් කාඩ්පතක් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම ව්‍යාජ ලෙස සකසන ලද ඉදිරිපස අංක තහඩුවක් සහ පසුපස අංක තහඩුවක් ද මෙම වැටලීමේදී සොයා ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී, තාන්ඩිකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

සහරාන්ගේ අනුගාමිකයෙක් කාත්තන්කුඩිවල දී අත් අඩංගුවට

(17.11.2021 – 09:55 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ ගෝලයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි ඊයේ (16) මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

37 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර දැනට ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරකට අනුවයි මෙම පුද්ගලයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

දත්ත මැකීමේ චෝදනාව ලැබූ ඉංජිනේරුවරයා ඇප මත මුදා හැරේ

(17.11.2021 – 10:37 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘එපික් ලංකා ටෙක්නොලොජි පෞද්ගලික සමාගමේ’ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද (17) කැඳවූ අවස්ථාවේදී නියෝග කෙරුණේ සැකකරු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් (2) සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත මුදා හැරීමටයි. ඔහුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා, පරීක්ෂණවලට බාධා කිරීමෙන් වළකින ලෙස ද දැනුම් දුන්නා ෴

******************************************

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට මූල්‍යමය පරිත්‍යාගයක්

(17.11.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් මෙරට ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය වෙත මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

ඒ පසුගිය 12 වැනිදිනදී යි.

මෙය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් වැන් ඩොන්ග් ප්‍රමුඛ චීන නියෝජිත පිරිස විසින් සිදු කරන ලද අතර, ඔවුන් ගුවන් හමුදා මූලස්ථානයේදීයි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවූයේ.

චීන තානාපති කාර්යාලය වෙනුවෙන් ආරක්ෂක උපදේශකවරයා විසින් මෙම රුපියල් මිලියන 1.5 කට අධික මුදල ගුවන් හමුදාපතිවරයාට පරිත්‍යාග කෙරුණා.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2022 වර්ෂයේ දී සැලසුම් කර ඇති සුබසාධන ව්‍යාපෘති හරහා විශේෂ අවශ්‍යතා ඇති සේවා පුද්ගලයින්ගේ සහ සිවිල් පුද්ගලයින්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම උදෙසා යොදා ගැනීමට නියමිත අබවි ගුවන් හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ ෴

******************************************

කඩුගන්නාවේ එක් මංතීරුවක් විවෘත වෙයි

(17.11.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

නායයෑමේ අවධානමක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12 න් පසු ගමනාගමනය සඳහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

නායයාමේ අවධානමක් හේතුවෙනුයි, පසුගියදා මෙම මාර්ගය වසා දැමීමට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙනු ලැබුවේ ෴

******************************************

ඉන්දියාවේදී මියගියේ අංගොඩ ලොක්කාම බව තහවුරු වේ

(17.11.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ නමැත්තා බවට තහවුරු වී තිබෙනවා.

ඒ ඔහුගේ මවගෙන් සහ සහෝදරියගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල, ඔහුගේ සාම්පල සමග සමාන වීමත් සමඟයි.

මීට අදාළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ.

පසුගිය දා ඉන්දීය ආරක්ෂක අංශ කළ ඉල්ලීමකට අනුව මවගේ සහ සහෝදරියගේ ඩී.එන්.ඒ. සාම්පල එරටට යැවීමට මෙරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවා.

පසුගිය දා තමිල්නාඩුවේ කොයිම්බතූර් හිදී අංගොඩ ලොක්කා මියගොස් තිබූ අතර, ඉන් අනතුරුවයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *