නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ඇරඹේ

නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ඇරඹේ

*********************************************

නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ඇරඹේ

(16.11.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ඉදිරි වසර තුල ආර්ථිකය ශක්තිමත් වනු ඇති බව අගමැති කියයි

(16.11.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර තුල මෙරට ආර්ථිකය ශක්තිමත් වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

ඒ 2022 අයවැය දෙවන (2) වර කියවීමේ විවාදයේ තුන්වන (3) දිනයට එක්වෙමින්.

******************************************

සෞඛ්‍ය උපදෙස් කඩකරන්නන් සොයා වවුනියාවේ විශේෂ සෝදිසි කිරීම්

(17.11.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින්, යුද හමුදාව, පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් එක්ව වවුනියාව නගරයේ වෙළෙඳසැල්, පොදු ස්ථාන හා ජනතාව ගැවසෙන ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (16) දින පැවැත්වුණා.

වවුනියාව නගරයේ කොවිඩ් රෝගීන් වාර්තාවීම දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් නගරයේ පවතින ජනතාව ඒකරාශී වන ස්ථාන පරීක්ෂා කිරීම සිදුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් පැවසුවා.

මෙම විශේෂ සෝදිසි කිරීමේ අරමුණ වී ඇත්තේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන ස්ථාන පරීක්ෂා කිරීමයි.

වර්තමානයේදී ජනතාව නැවත වතාවක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන තත්ත්වයක් වාර්තාවන බැවින්, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම හා වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීමට කටයුතු කළ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළා ෴

******************************************

ව්‍යසනයක් මැද රට ගොඩනැගිය හැකි ක්‍රමවේදයක් ගැන සෞඛ්‍ය ඇමති හෙළි කරයි

(17.11.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යසනයට මුහුණදෙමින් රට ගොඩනැංවීම උදෙසා වසංගතය මෙන්ම ආර්ථිකය ද කළමනාකරණය කිරීම අතිශය වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ නිලධාරීන් සමග සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (16) පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ඉහළ විදේශ විනිමයක් ඉලක්ක කෙරෙන සංචාරක ක්ෂේත්‍රය ප්‍රමුඛ වන බවත්, ඉන් ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 5 ක පමණ වන ආදායමක් වසංගතය හේතුවෙන් අහිමි වූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මෙරට රෝහල් පද්ධතියේ ඔක්සිජන් සැපයුම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු වූ අතර, ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර ස්ථාපිත කිරීම, ගබඩා කිරීමේ ටැංකි ස්ථාපිත කිරීම, ඔක්සිජන් නිෂ්පාදන ජංගම රථ වැඩපිළිවෙළ ආරම්භ කිරීම ආදී ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් විවිධ වැදගත් තීරණ රැසක් මෙහිදී ගනු ලැබුවා.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා එක්ව සිටියා ෴

******************************************

ජනවාරියේ ඩොලර් බිලියන හතක (7) ණය ගෙවි යුතුයි.. නොගෙවුවොත් බංකොලොත්.. අප ඉන්නේ අන්තිම ගැට්ටේ.. පරිප්පු ආනයනයත් නතර වේවි..

(17.11.2021 – 09:20 +0530 – lankacnews.com)

දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීම තුළින් පමණක් නිකරුණේ රටින් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට හැකි බවත් අපනයන වෙළෙඳපොළ ජයගන්නා ප්‍රමාණයට රට තුළට ඩොලර් රැගෙන ආ හැකි බවත් පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, රට තීරණාත්මක තත්වයක ඇති බව සැබෑ ලෙසම පිළිගන්නවා නම් අපට රටක් ලෙස දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත හැර වෙනත් මාවතක් නැතැයි අවධාරණය කරයි.

කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති ‘දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව වැඩි කිරීම පිණිස නව ව්‍යවසායකයන් බිහිකිරීම වෙනුවෙන් දියත්කළ ව්‍යාපෘතිය’ යටතේ පුහුණුව ලැබූ කොළඹ දිස්ත්‍රික් පළමු ව්‍යවසායක කණ්ඩායමට සහතික පත්‍ර, උපකරණ හා අමුද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා එසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය :

“මිනිසුන්ගේ අවශ්‍යතාවලට තමයි අපි වෙළෙඳපොළ අවකාශය යනුවෙන් පවසන්නේ. මිනිස්සුන්ට සොබාදහම මැවූ කොණ්ඩයක් තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි විවිධ සැලූන් පවතින්නේ. ඒ තමයි අපේ කොණ්ඩය වෙළෙඳපොළ සාධකයක් බවට පත් කර ගන්නා විදිහ. අපේ දෙපාවල විවිධ දේ ඇනෙනවිට ආදි මානවයා සොයා ගන්නවා උත්තරයක්. ඒ උත්තරය තමයි පාවහන් යුගලේ ප්‍රාථමික අවස්ථාව. පසුකාලීනව විවිධ විලාසිතා සමගින් පාවහන්වල අවශ්‍යතාව වෙළඳ අවකාශයක් බවට පෙරළා ගනු ලැබුවා.

මානව ශිෂ්ටාචාරයේ ඇරඹුම

නූතන ලෝකය දෙස බලන විට දැවැන්ත සන්නාම සහිත පාවහන් වර්ග තිබෙනවා. අද ඔබ මෙතැන ප්‍රදර්ශනය කර තිබෙන පාවහන් යුගලක්ම ඉහත කී දැවැන්ත සන්නාමයක් සමඟ එකතු කළ විට, සන්නාමය රහිත ඔබේ මිල රුපියල් 1000 ක් නම් ඒ සන්නාමය සහිතව මෙහි මිල රුපියල් 5000 – 10000 ක් පමණ විය හැකියි. එක්තරා දාර්ශනිකයෙකු පවසා තිබෙනවා ‘මානව ශිෂ්ටාචාරය ආරම්භ වූයේ මිනිසුන් තමා හඹා එන සතෙකුට ගලකින් පහරදීම නතරකර අසභ්‍ය වදනින් බැන වැදුණු දිනයේ සිටය’ කියලා. භාෂාව ආදී සියල්ල වර්ධනය වීමට පටන් ගත්තේ එතැන් සිට බවයි ඔහු පෙන්වා දෙන්නේ. ‘ගැටුම’ තමයි මානව ශිෂ්ටාචාරයේ වර්ධනයේ සාධකය. එය තමන් අභ්‍යන්තරයේ තිබෙන ගැටුම සහ පිටත සමග ගැටුම ලෙස දෙයාකාරයි.

‘හොන්ඩා’ සෙවූ උත්තරය

අපට තිබෙන ගැටුමක් තමයි ජීවත්වීමේ ගැටුම. නිකම්ම ජීවත් වෙනවාද, මේ රටට, සමාජයට යමක් කළ අයෙකු ලෙස ජීවත් වෙනවාද, කියන ප්‍රශ්නයත් එතන තිබෙනවා. ඒ ප්‍රශ්නවලට සොයන උත්තර තමයි ජීවිතය ජයගන්නා ක්‍රමයන් වන්නේ. ‘හොන්ඩා’ නමැති මෝටර් සයිකල් ඇතුළු වාහන සඳහා වන දැවැන්ත සන්නාමයේ නිර්මාතෘවරයා, ලෝක යුද සමයෙන් පසුව ජපානයේ කුඩා ගරාජයක වැඩ කළ තරුණයෙක්. ඔහුගේ විවාහක බිරිඳ දිනපතා උයාපිහා ගෙන ඔහුට දිවා ආහාරය රැගෙන ඒමට ප්‍රමාද වෙනවා. එයට හේතුව නිවසේ සිට ගරාජයට ඇයට පයින් ඒමට සිදු වීමයි. හොන්ඩා තරුණයා ගරාජය තුළ තිබූ යුද සමයේ භාවිතා කළ අබලි යතුරුපැදි ආදිය සමඟ හැපිලා නව නිපැයුමක් කරනවා. ඒ තමයි හොන්ඩා මෝටර් සයිකලයේ මූලික අවස්ථාව. ඒ බයිසිකලෙන් ගෙදර ගොස් ‘වෙලාවට කාලා වෙලාවට වැඩට එන්න’ ඔහුට හැකි වෙනවා.

හිතාගන්න බැරි දුරක් යාමට පාරක්

ඒ විදියට අද මෙතන ඉන්න පුළුවන් අනාගත ලෝකයේ දැවැන්ත පාවහන් සන්නාමවල අයිතිකරුවන් සහ අයිතිකාරියන්. ඒකට හොඳ ධෛර්යක් පැවතිය යුතුයි. ‘ලැබුණු දේ මත ඉඳන් කොහොමද ඉතිරි දුර යන්නේ?’ කියන අභියෝගයට උත්තර සොයන ධෛර්යය සම්පන්න පිරිසක් ලෙස නම් ඔබ මේ පුහුණුව ලැබුවේ එවැනි පිරිසකට බොහෝ දුර යන්න පුළුවන්. අපි කරන්නේ දීමනාවක් දීලා, ‘මේකෙන් කඩේකට ගිහින් මොනවා හරි කන්න’ කියන සංකල්පය වෙනුවට තමුන්නාන්සේලාට හිතාගන්න බැරි දුරක් යන්න පුළුවන් පාරක් කපා දීමයි. නමුත් ඒ පාරේ රතු පාවාඩ එළලා නැහැ. ඔබට බොහෝ දුෂ්කරතා, අමාරුකම් තිබෙන බව අපි දන්නවා. දුෂ්කර වංගු ඔස්සේ ඔබට ඉදිරියට යන්න අපි අමාත්‍යාංශයක් ලෙස කළ හැකි සියල්ල කරන්න සූදානම්.

අන්තර්ජාල වෙළඳපොළ

අද වෙළඳපොළ කියන්නේ අන්තර්ජාල වෙළෙඳපොළත් ඇතුළත් වෙළදපොළක්. මට දැනගැනීමට ලැබුණා අද මෙතැන මේ පුහුණුව ලැබූ පිරිස අතර සිටින පාවහන් නිෂ්පාදිකාවක් තමන්ගේ නිෂ්පාදන අන්තර්ජාලයේ ප්‍රදර්ශනය කරලා තායිලන්තයේ බැංකොක් නගරයෙන් යම් ඇණවුමක් ලබාගෙන තිබෙන බව. අන්තර්ජාල වෙළෙඳපොළ අපි නොසිතන අවස්ථා අපට උදා කර දෙන තැනක්. අන්තර්ජාල වෙළෙඳපොළ පිළිබඳව හොඳ අවබෝධයක් සහිතව මැදිහත් වුවහොත් අපට බොහෝ ජයග්‍රහණ ලබා ගැනීමට පුළුවන්.

තීරණාත්මක කෙළවරක්

අද අපේ රට තිබෙන්නේ ඉතා තීරණාත්මක තැනක. විවෘත ආර්ථිකයේ මුල් අවධිය කියන්නේ හැකිතරම් ඩොලර් ණය හැටියට අරගෙන, විශාල සංවර්ධන ව්‍යාපෘති කරමින්, ඒ සල්ලි පහළට ගලා ඒම නිසා මධ්‍යම පන්තියකුත් අලුතින් බිහි කර ගනිමින් බොහොම සුවපහසුවෙන් ආපු කාලයක්. අපි ඒකට කියනවා ‘උත්පාත අවධිය’ කියා. මේ විදියට ණය අරගනිමින් එන විට ණය කළමනාකරණය අපහසු වන අවධියක් එනවා. ඒක තමයි අවපාත අවධිය. අපි දැන් ඉන්නේ ඒ අවපාත අවධියේ තීරණාත්මක කෙළවරක. අපේ රටේ අයවැයක් ගත්තාම ‘රුපියල් සත අයවැයක්’ වගේම ‘ඩොලර් අයවැයකුත්’ තිබෙනවා. අපට රුපියල්වලින් ගෙවන්න බැහැ විදෙස් ණය වාරික සහ පොලිය. ලෝකය වටේ තිබෙන අපේ තානාපති කාර්යාලවලට රුපියල් යවා වැඩක් නැහැ. යවන්න ඕනේ ඩොලර්. පාවහන් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වීමට අවශ්‍ය නම් යවන්න ඕනේ ඩොලර්. ‘ඩොලර් බජට් එක’ හරියට තිබුණොත් තමා ‘රුපියල් බජට් එකත්’ හරියට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ‘ඩොලර් අයවැය’ අර්බුදයක් වුවහොත් ‘රුපියල් අයවැය’ හදාගෙන තිබ්බයි කියලා අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ නැහැ.

ණය පොලී වාරිකයේ බර

දැන් අපි ඉන්නේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම, විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබුණු ආදායම අහිමි වීම, වාර්ෂිකව ගෙවීමට සිදුව ඇති ණය පොලී වාරිකයේ බර දරාගන්න බැරි මට්ටමකට ඉහළ යෑම යන අර්බුද මැද. මම දන්නා ආකාරයට ලබන වසරේ ජනවාරි වන විට අපි ගෙවිය යුතු විදේශ ණය වාරිකය ඩොලර් බිලියන හතක්. තවම අපි එක විදේශ ණය වාරිකයක් හෝ ගෙවීම පැහැර හැරලා නැහැ. ණය වාරිකය නොගෙවා පැහැර හැරියොත් ඒ රට ලෝකයේ අනෙකුත් රටවල් විසින් හඳුන්වන්නේ ‘බංකොලොත් රටක්’ හැටියට. අපි ඉන්ධන ඇතුළු බොහෝ දේවල් ඩොලර්වලින් ගෙවා රැගෙන විත් පරිභෝජනය කරනවා වැඩියි. නමුත් ලංකාවේ දේවල් නිපදවා පිටරට යවා ඩොලර් හොයනවා අඩුයි. එතකොට කොහොමද මේ ‘ඩොලර් බජට් එක’ හරි යන්නේ.

එකම මාවත

මේ හැම දේකටම අපට මුහුණ දෙන්න වෙන්නේ දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන බිහි කිරීම මගින් පමණයි. එමගිනුයි රටින් නිකරුණේ එළියට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගන්න පුළුවන් වෙන්නේ. අපි අපනයන වෙළෙඳපොළ ජය ගැනීමේ ප්‍රමාණයටයි මේ රටට ඩොලර් රැගෙන ඒමට පුළුවන් වෙන්නේ. රුපියල් නම් ඉතින් අච්චු ගහලා හරි හොයාගන්න පුළුවන්. ඩොලර් අපට අච්චු ගහන්න බැහැනේ. ඒ නිසා අපි තීරණාත්මක තත්ත්වයක් තුළ ඉන්න බව දන්නවා නම්, එය ඇත්තටම පිළිගන්නවා නම් අපට වෙන මාවතක් නැහැ ‘දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත’ හැර. අපට අපේ ආහාර ටික රට තුළ නිපදවා ගැනීමට හැකි විය යුතුයි. අපි පාන් සහ පරිප්පුවලට හුරු වෙලා. නමුත් මේ රටේ එක පරිප්පු ඇටයක් නිපදවෙන්නේ නැහැ. ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන්. එවිට අපි හුරු වූ ජීවන රටාව අභියෝගයට ලක් වෙනවා. එහෙම අභියෝගයට ලක් වන විට උත්තර දෙකක් තිබෙනවා. එකක් තමයි ‘ඉන්න අයට බනිමින් ඉන්න එක’ නැතිනම් ‘ඊට වඩා හපන් කට්ටියක් ගෙනෙන්න බලන එක’. දෙවන උත්තරය තමයි ‘මේ අභියෝගයෙන් එළියට ඒම සඳහා අපට හැකි සෑම ආකාරයකින්ම කැපකිරීමක් කරලා ඊට දායක වීම’. මම හිතන්නේ ඔබ අපි සැමට තිබෙන්නේ ඒ දෙවැනි මාර්ගය.

මේ පාවහන් නිපදවීමේ මූලික පුහුණුවෙන් පසුව අපි ඔබව අතහරින්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ ඔබ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අපි රුපියල් මිලියන හතරක මුදලක් වෙන් කරනු ලැබුවා, ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා. මෙම ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔබ්බට රට පුරා රැගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී අනාවරණය වූ පරිදි දේශීය පාවහන් අවශ්‍යතාවයෙන් මෙරට තුළ නිපදවෙන්නේ සියයට 60-65 ත් අතර ප්‍රමාණයක්. එය අපි සියයට 80-90 දක්වා ඉහළට ගෙන යන්න ඕනේ. අපේ මිනිස්සුන්ට අපේ සපත්තුව පරිභෝජනය කිරීම පිළිබඳ හොඳ විශ්වාසවන්ත මනසක් හදන්න ඕනේ. හැබැයි ඉතින් ඒ මනස හදලත්, පාවහන් මාසෙන් දෙකෙන් කැඩුණොත් ‘සිය රට දේ සිරි සැප දේ’ කියා කියන එකක් නැහැ. ‘සිය රට දේ සිරි සැප දේ’ කියන්න පුළුවන්, කල්පවත්නා, විශ්වාසවන්ත නිෂ්පාදනයක්, පිටරටින් එන අලංකාරවත් බවත් අන්තර්ගත කරමින් නිපදවීමේ හැකියාව ඔබට ඕනෑවටත් වඩා තිබෙන බව මට විශ්වාසයි. මේ ලබපු නිෂ්පාදන හැකියාව තුළින් ඔබේ ජීවිතයට පමණක් නොවෙයි, ඔබගේ අසල්වැසියන්ටත් ආදර්ශයක් විය හැකි අනාගතයක් ගොඩනැගීමට හැකි වේවායි ප්‍රාර්ථනය කරනවා.”

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ, ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුරේෂ් ඉන්දික යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

******************************************

ඉන්ධන වලට ගෙවන්න ඩොලර් නැහැ. නොරොච්චෝලේ ගල් අඟුරු ඉවර වෙනවා. දෙසැම්බර් මාසයේ සිට රටම අඳුරේ – සුනිල් හඳුන්නෙත්ති

(17.11.2021 – 05:19 +0530 – lankaleadnews.com)

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන නැවක් ලබාදීමට පොරොන්දු වී ඇතත් ඊට ගෙවීමට ඩොලර් නැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දවමින් සුනිල් හන්දුන්නෙත්ති මහතා පවසා සිටියේ සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇත්තේ අලුත්වැඩියා කටයුතු කරනු සඳහා නොව බොරතෙල් සදහා ගෙවීමට ඩොලර් නොමැති කම නිසා බවයි.

“සැපයුම් කරුවන් දැනට ලංසු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ මෙරට ඩොලර් නැතිකම නිසා.සපුගස්කන්ද වසා දැමීමත් සමග ගුවන්යානා තෙල් නතර කිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැසී යාමට පුළුවන්. දෙසැම්බර් මස අවසන් වෙද්දී නොරොච්චෝල බලාගාරයේ ගල් අගුරු අවසාන වනවා එතැන් සිට රටේ මිනිස්සුන්ට කළුවරේ සිටින්නට සිදුවෙනවා” යනුවෙන් පැවසුවේය.

+++++

16-11-2021

******************************************

******************************************

සමගි ජන බලවේගයේ විරෝධතාව සංවිධාන කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

(17.11.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගෙන සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමනට එක් වූ පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් එය සංවිධාන කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව ඊයේ (16) විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ කළ අතර, පසුව එය ගාලු මුවදොර ආසන්නයට පැමිණියා.

මීට පෙර මෙම විරෝධතා රැලිය හයිඩ්පිටියේ දි පැවැත්වෙන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කළ අතර, එවැනි තත්ත්වයක් තුල පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ කොළඹදී විරෝධතාව පැවැත්වීම වලක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහිදී ඇතැම් අධිකරණ විරෝධතා වළක්වමින් ද කොළඹ අංක 5 මහේස්ත්‍රාක් අධිකරණය ඇතුළු තවත් අධිකරණ කිහිපයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම විරෝධතාවය පැවැත්වීමට අවසර ලබාදෙමින් ද නියෝගයන් නිකුත් කළා.

කෙසේ වෙතත්, ඊයේ (16) සංවිධාන කළ විරෝධතාවය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

මේ අතර, ඊයේ (16) පැවති මෙම විරෝධතාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයට සටහනක් ලබා දී ගිය පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාළව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මන්ද මානසික අයෙකු බවට පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා ෴

******************************************

අවදානම් කලාපවල පදිංචි පවුල් ආරක්ෂිත ස්ථානවලට යවන්නැ යි අගමැතිගෙන් උපදෙස්

(17.11.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ඊයේ (16) පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදීයි.

අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ විපතට පත්වූවන්ට සහන සැලසීම හා වන්දි ලබාදීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් විමසා සිටි බවයි.

එහිදී අනාවරණ වී ඇත්තේ ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙකු ඔවුන්ගේ ඥාති හිත මිතුරන්ගේ නිවෙස්වල රඳවා ඇති බවයි.

දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000 ක් පමණ පදිංචිව සිටින බවට හඳුනාගෙන ඇතත්, ඉන් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කර ඇත්තේ පවුල් 3,000 ක් පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණ වුණා.

ඒ අනුව ඉතිරි 12,000 කඩිනමින්ම ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදෙනු ලැබුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.