‘සිනමාව’ කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට සහ පිළිගැනීමට අනුමැතිය

‘සිනමාව’ කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට සහ පිළිගැනීමට අනුමැතිය

*********************************************

‘සිනමාව’ කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට සහ පිළිගැනීමට අනුමැතිය

(16.11.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ කැපී පෙනෙන චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වී ඇති අතර, ජාත්‍යන්තර කීර්තියට පත් දක්ෂ සිනමාකරුවන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාව තුළින් ලෝක සිනමාවට දායක කර තිබෙනවා.

එහෙත් දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නීත්‍යනුකූලව ප්‍රකාශයට පත් කර නොමැති වීම තුළ එහි ප්‍රමාණය හා වර්ධනය කුඩා දේශීය වෙළෙඳපොළට සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය මහත් අර්බුද රැසකට ලක් වී ඇති අතර, එම තත්තවය වෙනස් කර සිනමාව නගා සිටුවීමටයි රජය විසින් තීරණය කර ඇත්තේ.

ඒ අනුව, චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තුළින් ජීවනෝපාය මාර්ගයන් රාශියක් උත්පාදනය වීම, සමාජ හා සංස්කෘතික මෙන්ම ආර්ථික නවීකරණයක් ඇති වීම , සංචාරක ව්‍යාපාරය හා අධ්‍යාපනය යන අංශ සඳහා දායක වීම ආදී ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව දියුණු සිනමා කර්මාන්තයක් හෙබි රාජ්‍යයන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද එකී ප්‍රතිලාභ අත්පත් කර ගැනීම උදෙසා සිනමාව කර්මාන්තයක් ලෙසට ප්‍රවර්ධනය කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ (15) දිනයේදීයි, අමාත්‍ය මණ්ඩල හමුවේදී සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමට සහ එය ලියාපදිංචි කිරීමට සිදු කළ යෝජනාව අනුමත වූයේ ෴

******************************************

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය

(16.11.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනමාධ්‍යකරුවන් දිරිමත් කිරීම සඳහා පැවැත්වීමට යෝජිත ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල තෝරාගත් කාණ්ඩ හයක් (6) යටතේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මේ යටතේ රූපවාහිනී, ගුවන්විදුලි, මුද්‍රිත මාධ්‍යය, වෙබ් අඩවි, පාසල් මාධ්‍යය හා මාධ්‍ය පර්යේෂණ යන ක්ෂේත්‍ර හය ආවරණය කරමින් සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම 2021 වර්ෂයේ සිදු කළ නිර්මාණයන් සඳහා මෙලෙස සම්මාන පිරිනැමෙනු ඇති.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පවත්වන දිනය හෝ ඒ සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීම් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ ෴

******************************************

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

(16.11.2021 – 10:44 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන නිවාඩු සමය ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වූ මෙරට සංචාරක ව්‍යාපාරය නැවත වරක් 2021/2022 සංචාරක සමයේදී යථා තත්ත්වයට පත් කර ගැනීමේ සහ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ගුවන් සමාගම් ඇතුළු සියලුම සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්වයන් සාමූහික ප්‍රයත්නයක් මේ වනවිටත් දරමින් සිටින බව ප්‍රසිද්ධ රහසක්.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ගෝලීය සන්නිවේදන වැඩසටහන්වල කොටසක් වශයෙන් ප්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් තුළ වසර 05 ක කාලයක් සඳහා ගමනාන්ත නියෝජිත සමාගම් සහ මහජන සම්බන්ධතා සමාගම පත් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.

එකී ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් අතුරු ක්‍රියාමාර්ගයක් වශයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු සංචාරක වෙළෙඳපොළවල් වශයෙන් එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ ආසියානු කලාපයේ ප්‍රධාන මූලාශ්‍ර වෙළෙඳපොළ වන ඉන්දියාව ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ (15) දින අනුමත කරනු ලැබුවා ෴

******************************************

තැපෑලේ ගොඩනැගිලි ඉදිකිරීමට පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීමේ සූදානමක්

(16.11.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නව තැපැල් කාර්යාල ඉදි කිරිම සඳහා දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉඩම් කොටස් වෙන්කර ඇති නමුත් එම ගොඩනැගිලි ඉදිකිරිම සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මෙතෙක් එම ගොඩනැගිලි ඉදිකර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් මෙලෙස ඉඩම් කොටස් වෙන්කර ඇති ප්‍රදේශවල එම ගොඩනැගිලි පෞද්ගලික අංශයේ ද දායකත්වය ඇතිව බහුකාර්ය ගොඩනැගිලි ලෙස ඉදි ඉදිකිරීමට තැපැල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුවට මෙම වැඩපිළිවෙළ හරහා නව ගොඩනැගිලි ලබාගැනීමේ අවශ්‍යතාව සපිරෙන අතරවාරයේ ම අතිරේක ආදායම් මාර්ගයක් සලසා ගැනීමට ද අවස්ථාව සැලසෙන බවයි මෙම කැබිනට් පත්‍රිකාව හරහා පෙන්වා දී ඇත්තේ.

මේ වන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රධාන තැපැල් කාර්යාල 654 සහ උප තැපැල් කාර්යාල 3410 කින් සමන්විතයි.

මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන තැපැල් කාර්යාලය 654 න් 154 ක් ම පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ලබාගත් පුද්ගලික ගොඩනැගිලි තුළයි ෴

******************************************

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැසට්ටුවට එක් කිරීමේ යෝජනාවට අනුමැතිය

(16.11.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

රජයේ ආයතන, බැංකු, දුරකථන පහසුකම් සපයන්නන් හා රෝහල් වැනි ආයතන විසින් පෞද්ගලික දත්ත රැස්කර ඒවා ප්‍රයෝජනයට ගනු ලැබීමේදී එකී දත්තවල ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය වන විධිවිධාන සැලසීම පිණිස ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’ කෙටුම්පත් කර තිබෙනවා.

ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයෙන් සිදු කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා ෴

******************************************

සමගි ජන බලවේගයේ විරෝධතා සඳහා අධිකරණයෙන් අවසර

(16.11.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගය අද (16) සංවිධාන කර ඇති විරෝධතාව සඳහා කොළඹ අංක පහ (5) මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඊට අදාළ නඩුව අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය හමුවේ කැඳවූ අවස්ථාවේ නියෝග කරනු ලැබුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අදාළ විරෝධතාව පැවැත්වීම සඳහා අවසර ලබාදෙන බවයි.

එසේම මෙම විරෝධතාව පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල පොලීසිය, මහේස්ත්‍රාත් අධිකරණ අංක දෙකෙන් (2) කළ ඉල්ලීමක්ද අද (16) ප්‍රතික්ෂේප කෙරුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරු 2 ට කොළඹ දී පැවැත්වීමට නියමිත මෙම විරෝධතාව තහනම් කරන්නැයි ඉල්ලා පොලිසිය අධිකරණ නියෝග ඉල්ලා සිටියා.

බොහෝ අධිකරණ එම ඉල්ලීම් ඊයේ (15) ප්‍රතික්ෂේප කළ අතර, ඇතැම් අධිකරණ පොලිසිය කරනු ලැබූ ඉල්ලීම පිළිගෙන විරෝධතා පැවැත්වීම තහනම් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම විරෝධතාවට සහභාගිවීම සඳහා බස් රථ ඇතුළු මෝටර් රථවලින් පැමිණි ජනතාව පරීක්ෂා කිරීමට දිවයිනේ ප්‍රදේශ රැසක පොලීසිය යොදා තිබූ අතර, ඇතැම් ස්ථානවලදී මාර්ග බාධක යොදා පැමිණි බස් රථ නැවත හරවා යැවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

විරෝධතාව සඳහා කොළඹට පැමිණෙමින් සිටි පිරිස් මාර්ග කිහිපයක්ම අවහිර කරමින් සිය විරෝධය පළ කරනු ලැබුවේ පොලීසිය කරන ලද බාධා හේතුවෙන්.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයින් සමඟ විරෝධතාවට පැමිණි පිරිස සහ පොලිස් නිලධාරීන් අතර ඇතැම් ස්ථානවලදී උණුසුම් තත්වයක් ද ඇතිවුණා.

කෙසේ වෙතත් කොළඹදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ අධිකරණවලින් වාරණ නියෝග ලැබී ඇති නිසා ඒවා කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

විරෝධතාවට වාරණ පනවන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියා ෴

******************************************

සමුද්‍රීය නීති යාවත්කාලීන කිරීම්ට කමිටුවක් පත් කෙරෙයි

(16.11.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර හා දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සමුද්‍රීය නීති සම්බන්ධයෙන් වන නෛතික විධිවිධාන හඳුනා ගැනීම සහ ඒවා යාවත්කාලීන කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, ඉන්දියන් සාගරය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය උපායික පිහිටීම සැලකිල්ලට ගනිමින් සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට ප්‍රවර්ධනය කිරීමේ දී අන්තර්ජාතික ගිවිසුම්වලට අනුකූල වන පරිදි දේශීය නීති යාවත්කාලීන කිරීම සහ අන්තර්ජාතික ගිවිසුම් සහ ජාත්‍යන්තර අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන නෛතික යටිතල පහසුකම් සකස් කිරීමේ අවශ්‍යතාව මතයි.

මීට පෙරද මෙම ක්ෂේත්‍රයට අදාළව කරුණු අධ්‍යයනය කිරීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ජනාධිපති නීතිඥ පී.ජේ. රත්නායකගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත්කර තිබුණා.

නමුත් එකී කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ඉදිරි කටයුත්තක් සිදු වී නොමැති බවත් අනාවරණය වනවා.

මෑතක දී ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ගිනි ගැනීමට ලක් වූ ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ සහ ‘එම්.වී. එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාවන්ට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් හා සිදු වූ හානිය සැලකිල්ලට ගැනීමේ දී නව නීති හඳුන්වා දීමේ අවශ්‍යතාව වඩාත් වැඩි වී තිබෙනවා.

ඒ අනුව මීට පෙර පී.ජේ. රත්නායක මහතාගේ සභාපතිත්වය යටතේ පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තා ද පදනම් කර ගනිමින් අලුතින් හඳුන්වා දිය යුතු හෝ දැනට පවතින සංශෝධනය කළ යුතු නීති හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් මෙම කමිටුව විසින් ඉදිරිපත් කිරීමට යෝජිතයි.

මෙම කමිටුවේ සභාපති ධුරය ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා වෙත පිරිනැමීමටත් නිර්දේශ වී තිබෙනවා ෴

******************************************

පාස්කු ප්‍රහාරයේ FR පෙත්සම් විභාගය මාර්තු 14

(16.11.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා සත් (7) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද (16) දින නියම කළා.

ඒ අනුව එය, ලබන වසරේ (2022) මාර්තු 14 වනදා විභාගයට ගැනීමටයි විනිසුරු මඬුල්ල නියෝග කළේ.

කෙසේ වෙතත්, පෞද්ගලික හේතුවක් මත නඩු විභාගයෙන් ඉවත් වන බව ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන් දැනුම් දුන්නා.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් අදාළ පෙත්සම් ගොනුකර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා සහ පීඩාවට පත් පවුල්වල සාමාජිකයින් ඇතුළු 12 දෙනෙක් ෴

******************************************

ගුවන් හමුදාපති හා යුක්රේන ආරක්ෂක කර්නල් අතර හමුවක්

(16.11.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලයේ ආරක්ෂක ගුවන් හා නාවික අනුයුක්ත කර්නල් වොලොඩිමියර් බකේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමු වී තිබෙනවා.

ඒ ඊයේ (15) දින ගුවන් හමුදා මූලස්ථානයේදී යි.

මෙම හමුවේදී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි ගුවන් හමුදාපතිවරයා මෙහිදී කර්නල් වොලොඩිමියර්ට ප්‍රකාශ කළේ.

අදාළ හමුවීම සනිටුහන් කිරීම සඳහා නිල ඵලක හුවමාරු කර ගැනීමක් ද සිදු වුණා.

******************************************

සමගි ජන බලවේගයේ විරෝධතාවට පැමිණෙන ආධාරකරුවන්ට පොලිසියෙන් බාධා

(16.11.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට සහභාගි වීම සදහා නුවරඑළිය ප්‍රදේශයෙන් පැමිණි ආධාරකරුවන් පිරිසක් රැගත් බස් රථ දෙකක් (2) මාර්ග බාධක යොදා පොලිසිය අවහිර කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

අද (16) පෙරවරුවේ නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී සමගි ජන බලවේගයේ ආධාරකරුවන් රැගත් බස් රථ දෙක (2) පොලිස් මාර්ග බාධක යොදා නතර කර තිබෙනවා.

පසුව එහි රියදුරන් සහ සමගි ජනබලවේගයේ ආධාරකරුවන්ට මහර අධිකරණය ලබාදුන් වාරණ නියෝගය දැනුවත් කර ඔවුන් ආපසු හරවා යවා ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

එහි දී පොලිසිය සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව මෙම බස් රථ දෙක (2) තාවකාලික ගමන් බලපත්‍රයක් ද නොමැතිව ධාවනය කරමින් තිබු බවයි.

පසුව එහි ගමන් ගත් ආධාරකරුවන් පිරිස, එහිදී උද්ඝෝෂණයක් ද සිදු කර තිබෙනවා.

මේ අතර, බෙන්තර, ඇල්පිටිය, ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින් මෙම විරෝධතා පාගමනට පැමිණි බස් රථ කිහිපයක් අද (16) පෙරවරුවේ බෙන්තර මංසන්ධියෙන් පොලිස් මාර්ග බාධක යොදවා නතර කර ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

එහිදී එම පිරිස සහ පොලිසිය අතර උණුසුම් සංවාදයක් ද ඇතිව තිබෙනවා.

******************************************

මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවක්

(16.11.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත හෝ ගොස් ණයක් ලබාගන්නා ලෙස අමාත්‍යවරුන් කිහිපදෙනෙකු කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ඊයේ (15) පැවති කැබිනට් රැස්වීමේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඩොලර් හිඟය, ඉන්ධන ආනයනය කිරීමට ද අහිතකර අන්දමින් බලපා ඇති බව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමතිවරු කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගතහොත් ඔවුන්ගේ කොන්දේසිවලට අනුගත වීමට සිදුවනු ඇති බවයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

6, 7, 8, 9 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වෙයි

(16.11.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් විවෘත කර නොමැති හයේ (6) සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා (22) ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (16) ප්‍රකාශ කළා.

මේ අතර අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා බූස්ටර් එන්නත ලබාදීම බස්නාහිර, දකුණ යන පළාත්වලත්, අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් හෙට (17) ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

පාසල් සිසුන් ලක්ෂ 10 කට මේ වනවිට ෆයිසර් එන්නත ලබාදී අවසන් බවයි ඔහු කියා සිටියේ.

එසේම පුද්ගලයින් 1,20,485 දෙනෙකුට මේ වනවිට බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ ඕනෑම කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව මෙරට පුද්ගලයින් එක්කෝටි පනස් අට ලක්ෂයකට (1,58,00,000) වැඩි ප්‍රමාණයකට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් එක්කෝටි 36 ලක්ෂයකට (1,36,00,000) ලබා දී ඇති බවයි ෴

+++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 429 ක් පූර්ණ සුවය ලබයි

(16.11.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් 429 දෙනෙකු අද (16) දිනයේදී සුවය ලබා තිබෙනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතවී සුවය ලද මුළු සංඛ්‍යාව 5,24,740 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

මේ අතර වයිරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්වලට වී ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,518 ක් වන අතර මේ දක්වා සිදු ව ඇති මරණ සංඛ්‍යාව 14,016 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 528 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,52,802 ක් ෴

තවත් කොරෝනා මරණ 18 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 14,034 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 192 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 552,994 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *