උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද (16) සිට ඇරඹේ

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද (16) සිට ඇරඹේ

*********************************************

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද (16) සිට ඇරඹේ

(16.11.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

අද (16) සිට මේ මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වන ලෙස නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිවසින් බැහැරව යෑම හැකිතාක් දුරට අවම කරන ලෙසයි දක්වා ඇත්තේ.

එමෙන්ම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ උපකාරක පන්ති සියයට 50 ක ධාරිතාවයකින් ආරම්භ කිරීමට අවසර ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඊයේ (15) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දෙසැම්බර් 01 වන දා සිට ප්‍රදර්ශන සහ සම්මේලන සඳහා අවසර හිමිවනවා.

මෙතෙක් පැවති සියයට 25 ක් වූ සිනමා ශාලාවල ධාරිතාවය සියයට 50 දක්වා වැඩිකර තිබෙනවා.

එමෙන්ම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර දී ඇති බවයි මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

++++++++++++++++++++

60 ට වැඩි අයට හෙට (17) සිට බූස්ටර් එන්නත

(16.11.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු හෙට (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ඒ අනුව බස්නාහිර, දකුණ යන පළාත්වලත්, අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු හෙට (17) ආරම්භ කරන බවයි.

මේ අතර පාසල් සිසුන් ලක්ෂ 10 කට මේ වනවිට ෆයිසර් එන්නත ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එසේම පුද්ගලයින් 1,20,485 දෙනෙකුට මේ වනවිට බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ ඕනෑම කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව මෙරට පුද්ගලයින් එක්කෝටි පනස් අට ලක්ෂයකට (1,58,00,000) වැඩි ප්‍රමාණයකට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් එක්කෝටි 36 ලක්ෂයකට (1,36,00,000) ලබා දී ඇති බවයි.

+++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 732 ක් සහ මරණ 21 ක්

(16.11.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයන් 732 ක් ඊයේ (15) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,62,274 ක් දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (14) සිදු වූ බවට ඊයේ (15) තහවුරු කළ මරණ 21 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,016 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 13,947 ක්.

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට නම් දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යවශ්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

වෙඩි උණ්ඩවලට ගොදුරු වූ සද්දන්තයා

(16.11.2021 – 06:48 +0530 – hirunews.lk/sinhala)

වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි කෙනෙරකු (ගැහැණු අලියෙකු) ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ (15) දින ගල්කිරියාගම – මානකැටේ ප්‍රදේශයේ සැරිසරමින් සිටියදීයි, මෙම කෙනෙර වනජීවී නිලධාරින් විසින් සොයා ගනු ලැබුවේ.

වෙඩි වැදීම හේතුවෙන් මෙලෙස තුවාල ලබා ඇත්තේ, කහල්ලපල්ලකැලේ අභයභූමියෙහි සැරිසරමින් සිටි, 25 හැවිරිදි පමණ වන උසින් අඩි 8 ක් වන කෙනෙරෙක්.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් විසින් වෙඩි වැදී, සිහිසුන්ව සිටි මෙම කෙනෙරට ප්‍රතිකාර කරනු ලැබූ අතර, එම වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැය 03 කට අධික කාලයක් ගත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබ සිටි මෙම කෙනෙරගේ ශරීරය පුරා වෙඩි සලකුණු දක්නට තිබූ අතර, වෙඩි වැදීමෙන් මෙම සත්ත්වයාගේ එක් කණක් වෙඩි උණ්ඩයක් පසාරු කරගෙන යෑම නිසා බරපතළ තත්ත්වයට පත්ව තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම කෙනෙරගේ එක් කණකට, පාදයකට මෙන්ම හිසට ද බරපතළ තුවාල සිදුව ඇති බැවින්, නිර්වින්දනය කර සත්ත්වයාට ප්‍රතිකාර කර, ප්‍රතීජීවක ඖෂධ ලබා දුන්න ද, අදාළ සත්ත්වයාගේ ජීවිතය රැකගැනීමට නම් සැත්කමක් සිදු කර, තවදුරටත් ප්‍රතිකාර කළ යුතු බවටයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ ෴

******************************************

ජන ජීවිතයට අවදානමක් වූ ඉපැරණි ජල ටැංකියක් පුපුරවා හැරේ

(16.11.2021 – 07:06 +0530 – hirunews.lk/sinhala)

බිඳීයාමේ අවදානමකට ලක්ව තිබූ, වසර 45 ක් පමණ පැරණි ජල ටැංකියක් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ජල සම්පාදන මණ්ඩලයේ අනුමැතිය මත ඊයේ (15) දින පුපුරවා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ මන්නාරම, උප්පුකුලම – කෝන්දපිට්ටි ගම්මානයේදී යි.

ප්‍රදේශයේ ජනතාව අවදානමකට ලක් කරමින්, කැඩී යාමට ආසන්නව පැවති මෙම ජල ටැංකිය යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සහයෝගයෙන් පුපුරණ ද්‍රව්‍ය යොදා පුපුරවා හැරීමට පියවර ගත් බවයි මන්නාරම පොලිසිය පැවසුවේ.

ප්‍රදේශවාසීන් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරියගෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි, මෙම ජල ටැංකිය පුපුරුවා හැරීම සිදු කර ඇත්තේ.

******************************************

තරුණයෙකුට මරු කැඳවූ රිය අනතුර

(16.11.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

යාපනය -කරෙයිනගර් ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය කයිට්ස් පොලීසිය පැවසුවේ ඊයේ (15) පස්වරුවේ සිදු වූ මෙම රිය අනතුරින් 18 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

යතුරුපැදියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යතුරුපැදියේ ගමන්ගත් කරෙයිනගර් ප්‍රදේශයෙහි පදිකංචිකරුවෙකු වන අතර, එහි ගමන්ගත් තවත් පුද්ගලයෙකු අනතුරින් තුවාල ලබා තිබෙනවා.

ජීවිතක්ෂයට පත් තරුණයාගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, තුවාලකරු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

******************************************

ඉන්ධන ගැටලුව ගැන අමාත්‍ය මණ්ඩල හමුවේදී සංවාදයට

(16.11.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුව ද කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇති නොවීමට වග බලා ගැනීමට රජය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ (15) සිට වසා දැමීමත් සමඟ රට තුළ ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඊයේ (15) අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 ක් පමණ කාලයක් වසා දැමීමට සිදු වන බවටයි ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (15) ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙවන් පසුබිමක දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

එහෙත් රට තුළ ඉන්ධන හිගයක් ඇති නොවීමට රජය පියවර ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ෴

******************************************

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකා රාජිනී පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට

(16.11.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ කාන්තා පොලිස් අධිකාරි ලංකා රාජිනී අමරසේන මහත්මිය පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබෙනවා. මීට පෙර ඇය, සේවය කළේ, එහි අතිරේක පරිපාලන අධ්‍යක්ෂ ලෙසටයි. මෙම තනතුරට කාන්තාවක් පත් වූ පළමු අවස්ථාව ද මෙය බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැන තවත් සාකච්ඡාවක්

(16.11.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවීමක් සිදු වුවහොත් එය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ (15) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති අදාළ සාකච්ඡාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව, වරාය අධිකාරිය, නාරා ආයතනය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් එක්වුණා.

නෞකාවේ ගින්නෙන් වූ හානියට වන්දි ලබා ගැනීම සඳහා ගෙනයමින් පවතින ක්‍රියාමාර්ග මෙන්ම ධීවර ජනතාව වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ෴

******************************************

නිවාස ව්‍යාපෘතියක් ඇණහිටීමෙන් විල්ගම්වෙහෙර වැසියෝ අපහසුතාවක

(16.11.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය විසින් 2015 වසරේදී ක්‍රියාත්මක කළ දින සියයේ (100) වැඩ සටහන යටතේ හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කල ත්‍රීකුණාමලය විල්ගම්වෙහෙර වලස්වැව නිවාස ව්‍යාපෘතිය අතරමඟ ඇන හිටීම හේතුවෙන් නිවාස අහිමි පවුල් රැසක් දැඩි අසීරුතාවට ලක් ව සිටින බව වාර්තා වෙනවා.

විල්ගම්වෙහෙර වලස්වැව නිවාස ව්‍යාපෘතිය සදහා පවුල් 35 ක් තෝරා ගෙන තිබුණ ද නිවාස ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ, පවුල් 26 ක පමණයි.

නිවසක් ඉදි කර ගැණීම සදහා රුපියල් ලක්ෂ පහක (5) ණය ආධාර මුදලක් ලබා දෙන බවට නිවාස සංවර්ධන අධිකාරිය මුලදී ප්‍රකාශ කර තිබූ අතර, ඒ අනුව බොහෝ දෙනකු සිය කණකර බඩු උකස් කර නිවාස ඉදි කිරීම ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්,බොහෝ දෙනෙකුට නිවාස සංවර්ධන අධිකාරිය නිකුත් කර ඇත්තේ,රුපියල් එක් ලක්ෂ හැට දහසක් (1,60,000) පමණක් බවයි වාර්තා වෙන්නේ.

රජය වෙනස්වීමත් සමඟ මෙම නිවාස ව්‍යාපෘතිය අතරමග ඇණහිට ඇති අතර, මේ සදහා රජයේ මුදල් නැති බව නිවාස සංවර්ධන අධිකාරිය කියා සිටින බව යි නිවාස අපේක්ෂකයින් කියා සිටින්නේ.

නිවාස සංවර්ධන අධිකාරිය මීට පෙර අවස්ථා කිහිපයකදීම නිවාස සදහා මුදල් නිකුත් කරන බව කියමින් චෙක් පත් සදහා අත්සන් ලබා ගෙන ඇතත් එම චෙක්පත්වලට සිදු වූයේ කුමක්දැ යි තමන් නොදන්නා බව වලස්වැව නිවාස අපේක්ෂකයින් කියා සිටිනවා.

මොවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ, රජය මැදිහත් වී හෝ එසේත් නොමැති නම්, රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් හෝ මෙම නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර, නිවාස නොමැතිව විවිධ දුක්ගැහැට විඳින තමන්ට සාධාරණයක් සලසන ලෙසට යි ෴

******************************************

ගංජා වගාවක් සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(16.11.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය – ආනපල්ලම ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගෙවත්තක පවත්වාගෙන ගිය ගංජා වගාවක් සහ වියළි ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අද (16) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් සිය ගෙවත්තේ මෙම ගංජා වගාව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර, එම වගාවේ තිබී ගංජා ගස් දහයක් (10) පොලිස් නිලධාරීන් විසින් සොයා ගැනුණා.

මීට අමතරව වියළි ගංජා ග්‍රෑම් එකසිය පනහක් (150) සහ තවාන් කිරීම සඳහා සූදානම් කළ ගංජා ඇට බීජ ග්‍රෑම් තුන්සිය විසිපහක් (325) ද සොයා ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු ආනපල්ලම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු වන අතර, සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

වත්මන් ආර්ථික තත්ත්වයන් මත දිවයින පුරා ජන ජීවිතවලට බාධා

(16.11.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළා යෑම නිසා තමන් සෑම අතින් ම අපහසුතාවට පත් වී ඇති බව පවසමින් හොරොව්පතාන ප්‍රදේශයේ දී ජනතා විරෝධයක් පැවැත් වුණා.

ජනතාවගේ ගැටලුවලට කර අරිමින් ඒ සඳහා පිළිතුරක් නො දෙන ආණ්ඩුව, නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි විරෝධයට එක් වූ ජනතාව කියා සිටියේ.

රසායනික පොහොර නොමැතිව මහා කන්නයේ වගා කටයුතු රිසි පරිදි සිදු කරගැනීමේ අපහසුතාවකින් තමන් පෙළෙන බව හා අයවැයෙන් හෝ ඊට විධිමත් සහනයක් නො ලැබුණු බවට ඔවුන් චෝදනා කරනවා.

‘හැට පහට (65) තිබුණු පරිප්පු දෙසීය අසූවක් (280) වෙලා, අනේ අපේ දරුවන්ට රටක් ඉතුරු කරලා දෙන්න, චිත්‍ර අඳින්න විදියක් නෑ තීන්ත ගණං, ලණු කෑව ද, දැන් සැප ද’ ආදී සටන් පාඨ සහිත පුවරු රැගෙනයි ඔවුන් මෙම විරෝධතාව සිදු කළේ.

සිමෙන්ති, හා හා සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල ද වෙළෙඳපොළ හිඟයක් පවතින බවට පැවසූ විරෝධතාකරුවන්, ඉන් තම දෛනික ජීවිතය බරපතළ අභියෝගයකට ලක් ව ඇති බව පැවසුවා.

මේ අතර. දිවයින පුරා ගෑස් හිඟයක් පවතින මොහොතක, ජනතාව අව්ව වැස්ස නො තකා දිගු වෙලාවල් පොලිම්වල සිටින අයුරු විවිධ ප්‍රදේශවලින් දක්නට ලැබුණා.

එවන් පසුබිමක, තමන්ට ගෑස් සිලින්ඩරයක් ලබා නො දුන් බව පවසමින් කාන්තාවක් ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථයක් ඉදිරිපිට බිම හිඳ ගනිමින් විරෝධතාවක නිරත වී තිබෙනවා.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදියි කාන්තාවක් මෙලෙස ගෑස් අලෙවි නියෝජිත ආයතනයක් ඉදිරිපිට විරෝධතාවේ නිරත ව ඇත්තේ.

අදාළ ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් එම කාන්තාවට පවසා ඇත්තේ, ඇනවුමට ප්‍රමාණවත් පරිදි ගෑස් නොපැමිණ ඇති බවයි.

පසු ව එම කාන්තාව ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථය ඉදිරිපිට බිම හිඳගෙන විරෝධයේ නිරත ව තිබෙනවා.

ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ එම ස්ථානයට වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ ඇති අතර, ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් අදාළ කාන්තාවට ගෑස් සිලින්ඩරයක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධය අවසන් කර ඇති බව සඳහන්.

තව ද සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ (15) සිට වසා දැමීමත් සමඟ රට තුළ ඉන්ධන හිඟයක් මතු විය හැකි බවට පළ වෙන වාර්තා සම්බන්ධයෙන් ඊයේ (15) අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 ක් පමණ කාලයක් වසා දැමීමට සිදු වන බවටයි ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (15) ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙවන් පසුබිමක දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

එහෙත් රට තුළ ඉන්ධන හිගයක් ඇති නොවීමට රජය පියවර ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *