රුපියල් කෝටි 18 ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් කෝටි 18 ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

*********************************************

රුපියල් කෝටි 18 ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

(15.11.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 18 කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 527 ක් සමඟ ජාත්‍යන්තර ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගුව විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ආචාර්ය උපාධියක් සහිත ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු බව ඇඟවීම සඳහා සකස් කළ ව්‍යාජ ලියකියවිලි තොගයක්ද රේගු භාරයට ගෙන ඇති බව සඳහන්.

ටියුනීසියානු ජාතිකයෙකු වන 59 හැවිරිදි මෙම සැකකරු තම අත්බෑගය තුළ මෙම කොකේන් තොගය සඟවාගෙන පැමිණ ඇති බවයි රේගුව සඳහන් කළේ.

සැකකරු ටියුනීසියාවේ සිට බ්‍රසීලය වෙත පැමිණ, එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ අනතුරුව කටුනායක වෙත පැමිණ තිබෙනවා.

ගුවන් මගියෙකු විසින් මෙරටට ගෙන ආ වැඩිම කොකේන් ප්‍රමාණය මෙය බවද සඳහන්.

මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශය වෙත ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්.

******************************************

දුම්කොල හා මධ්‍යසාර පිළිබද අණ පණත් සංශෝධනයට

(15.11.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

දුම්කොල හා මධ්‍යසාර පිළිබද දැනට රටතුල පවතින අණ පණත් ළගදීම සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව දුම්කොල හා මධ්‍යසාර ජාතික අධිකාරිය පවසනවා.

ඊට සමගාමීව දුම්කොල හා මධ්‍යසාර පිළිබද රටේ ජනතාව දරණ අදහස සම්බන්ධයෙන් වන මත විමසුමක්ද සිදුකර ඇති බවයි එම අධිකාරීයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

රටේ පොදු ස්ථාන වල දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය තහනම් කිරීමට එම මත විමසුමේදී සියයට 95 ක ජනතාවක් සිය එකගත්වය පළකර තිබෙනවා ෴

******************************************

පැය 8 ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව සිරිල් ගාමිණී පියතුමන් CIDයෙන් පිටව යයි

(15.11.2021 – 18:05 +0530 – hirunews.lk/sinhala)

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා.

ඒ, පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් පසුගියදා සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

පෙරවරු 09:45 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පියතුමන් ඉන් නික්ම ගියේ පැය අටකට (8) ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් හෙට (16) උදෑසන 9 ට පියතුමන්ට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙනවා.

******************************************

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට පත් කල වාර්තාව ජනපතිට

(15.11.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට පත් කල නිලධාරි කමිටු වාර්තාව ජනපති වෙත ලබා දී තිබෙනවා ෴

******************************************

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වේ

(15.11.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) දිනයේ සිට ලබන 30 වනදා තෙක් මහජන ඒකරාශිය, රැස්වීම් සහ උත්සව තහනම් කරමින් නව සෞඛ්‍ය මාර්⁣ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

15-11-2021 – Directions of the Proper Authority for the whole of Sri Lanka Issued as Press Release – Public and work related activities effective from 16-Nov-2021 to 30-Nov-2021 (pdf)

******************************************

පාසල් සිසුවියකට ජීවිතය අහිමි කළ රිය අනතුර

(15.11.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ අද (15) උදෑසන සිදුවූ අනතුරකින් පදික මාරුව හරහා ගමන්කරමින් සිටි සිසුවියක් ජීවිතක්ෂය ට පත්ව තිබේ.

එම අනතුරින් තවත් සිසුවියක් හා සිසුවෙක් ද තුවාල ලබා රෝහල් ගතකළ බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

පාසල් දරුවන් පදික මාරුව හරහා ගමන් කරනවාත් සමඟ ලොරි රථ දෙකක් (2) (එකක් පසුපස අනෙක) ඔවුන්ට ඉඩ දී සිටී.

අධික වේගයෙන් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් පසුපස ලොරිරථයේ ගැටීමෙන් එම ලොරිරථය ඉදිරියෙන් තිබු අනෙක් ලොරි රථයේ ගැටී ඉදිරියට ඇදී යෑමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරුවාසගම් මධූසාලිනී නැමති 17 හැවිරිදි කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සිසුවියක්.

තුවාල ලැබු අනෙක් සිසුවියගේ හා සිසුවාගේ තත්ත්වය තරමක් බරපතළ බවත් ඔවුන් කිලිනොච්චිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසනවා.

ලංගම බස්රථය වවුනියාවේ සිට යාපනය දක්වා අධික වේගයෙන් ගමන්කර ඇති බවත්, රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවත් පොලීසිය සඳහන් කරනවා.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

සපුගස්කන්ද පිරිපහදුව දින 50 කට වැසේ – ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම්

(15.11.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 ක් පමණ කාලයක් වසා දැමීමට සිදුවන බව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

කොළඹ අද (15) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බොර තෙල් ආනයනය සාමාන්‍ය තත්වයට පත්වීමෙන් අනතුරුව එම කටයුතු යළි ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් ඉන්ධන හිඟයක් ඇති නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඛනිජ තෙල් වෘත්තිය සමිති ඊයේ (14) දිනයේදී මේ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු අනාවරණ කිරීමත් සමඟ අද (15) දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර ප්‍රදේශ කිහිපයක අද (15) දිනයේදීත් ගෑස් මිලදී ගැනීම සඳහාද ජනතාව පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණු බවද හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

******************************************

සමගි ජනබලවේගයේ විරෝධතාවට එරෙහි පොලිස් ඉල්ලීම් අධිකරණය ඉවත දමයි

(15.11.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගය හෙට පැවැත්වීමට සැළසුම් කර ඇති විරෝධතා තහනම් කරන්නැයි ඉල්ලා, පොලිසිය කළ ඉල්ලීම් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර විරෝධතා ව්‍යාපාරය සැළසුම් කළ පරිදි හෙට සිදුකරන බවයි සමගි ජනබලවේගය අද ප්‍රකාශ කළේ.

ජීවන වියදම ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගය හෙට දිනයේදී විරෝධතා සිදුකිරීමට පසුගියදා තීරණය කළා.

ඒ අනුවයි සමගි ජනබලවේගය සිදුකරන විරෝධතාව නවතන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ සහ ඒ අවට පොලිස් ස්ථාන 20 ක් විසින් ඒවා නතර කරන ලෙසට ඉල්ලීමක් කළේ.

නමුත් එම ඉල්ලීම් ඉවත දැමීමට අධිකරණය විසින් අද පියවර ගත්තා.

බ්ලූමැන්ඩල්, කිරුලපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවීථිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව, මාළිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුඳුවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, මට්ටක්කුලිය, කෙසෙල්වත්ත, පෑලියගොඩ සහ කොටහේන යන පොලිසි සිදුකළ ඉල්ලීම් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

එසේම කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණය සඳහා ජනතාව රැගෙන යාම තහනම් කරන ලෙසට ඉල්ලා පොලිස් ස්ථාන දෙකක් මගින් කළ ඉල්ලීමක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එම ඉල්ලීම සිදුකරනු ලැබුවේ මිනුවන්ගොඩ සහ කටුනායක පොලිස් ස්ථාන මගින්.

කෙසේ වෙතත් අලුත්කඩේ අංක පහ, මහර අංක එක සහ දෙක, කඩුවෙල, හෝමාගම යන මහේස්ත්‍රාත් අධිකරණ විසින් සමගි ජනබලවේගයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව අද නියෝග නිකුත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

නමුත් අප වාර්තාකරු සඳහන් කළේ අලුත්කඩේ අංක පහ අධිකරණය විසින් නිකුත් කළ නියෝගය පසුව යළි හෙට පෙරවරු 9 වනතෙක් අත්හිටුවීමට කටයුතු කළ බවයි.

******************************************

ලබාදුන් බදු සහන ගැන සමගි ජනබලවේගයෙන් හෙළිදරව්වක්

(15.11.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින වත්මන් මුල්‍ය අර්බුදයට හේතුව පසුගිය අයවැයේදී බදු සහන ලබා දී රුපියල් බිලියන 800 ක අදායමක් අහිමිකර ගැනීම බව සමගි ජනබලවේගය අද (15) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව ප්‍රකාශ කළ අතර, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධනද එහිදි අදහස් පළ කළා.

******************************************

ගෑස් ඉල්ලා හැඬු කාන්තාව

(15.11.2021 – 20:07 +0530 – hirunews.lk/sinhala)

තමන්ට ගෑස් සිලින්ඩරයක් ලබා නොදුන් බව පවසමින් කාන්තාවක් ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථයක් ඉදිරිපිට බිම හිඳගනිමින් විරෝධතාවක නිරත වී තිබෙනවා.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් මෙලෙස ගෑස් අලෙවි නියෝජිත ආයතනයක් ඉදිරිපිට විරෝධතාවක නිරතව ඇත.

අදාළ ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් එම කාන්තාවට පවසා ඇත්තේ ඇනවුමට ප්‍රමාණවත් පරිදි ගෑස් නොපැමිණ ඇති බවයි.

පසුව එම කාන්තාව ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථය ඉදිරිපිට බිම හිඳගෙන විරෝධයේ නිරතව තිබෙනවා.

ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ අනතුරුව එම ස්ථානයට වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ තිබෙනවා.

එහිදී ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් අදාළ කාන්තාවට ගෑස් සිලින්ඩරයක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධය අවසන් කර ඇති බව සඳහන් ෴

******************************************

අදත් (16) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

(16.11.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනේතුව නිවේදනය කරනවා.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

දිවයින හරහා විටින් විට පැ.කි.මි. (40-50) පමණ තද සුළං ඇතිවිය හැකියි.

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට මධ්‍යම අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතිනවා.

මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 17 දින පමණ වනවිට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් බවට පත්විය හැකි අතර, පසුව මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, නොවැම්බර් 18 දින පමණ වනවිට ඉන්දියාවේ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටිනු ලබනවා.

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩකඩ පවතිනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එනවා.

සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ අගයක් ගන්නා අතර, කන්කසන්තුරය සිට මන්නාරම,කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (55-60) පමණ දක්වා වැඩි විය හැකියි.

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

******************************************

ගුවන් තොටුපොළට ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක බස් රථයක්‌ ගැටෙයි

(16.11.2021 – 06:17 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක බස් රථයක් ගැටී ඊයේ (15) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක මෙලෙස බස් රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන්තොටුපල භාණ්ඩ පර්යන්තයට ඇතුලුවන පරිශ්‍රය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ගේට්ටු මුරකරු නොසිටි බව සදහන්.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 512 ක්

(15.11.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 512 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුලු අසාදිතයින් සංඛ්‍යාව 5,52,054 දක්වා ඉහළ යනවා ෴

තවත් කොරෝනා මරණ 21 ක් මෙරටින් වාර්තා වනවා. එම මරණ අතරට කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු අයත්. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 14,016 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 219 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,52,273 ක් ෴

මේ වනවිට පාසල් ළමුන් මිලියන 01 කට ෆයිසර් එන්නත ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *