සජබෙ විරෝධතාව පැවැත්වීම උදෙසා පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි / පිළිගනී

සජබෙ විරෝධතාව පැවැත්වීම උදෙසා පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි / පිළිගනී

*********************************************

සජබෙ විරෝධතාව පැවැත්වීම උදෙසා පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි / පිළිගනී

(15.11.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

කෙසෙල්වත්ත ප්‍රදේශයේ හෙට (16) පැවැත්වීමට නියමිත බව කියන විරෝධතාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන උපමානවලට අනුකූලව පවත්වන ලෙස සමගි ජන බලවේගය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (15) ප්‍රතික්ෂේප කළා.

මෙහිදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ මෙවැනි රැස්වීම් හරහා කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වීමට ඉඩකඩ තිබෙන බවයි.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම උද්ඝෝෂණය කෙසෙල්වත්ත ප්‍රදේශය තුළ පැවැත්වෙන බවට නිශ්චිතව කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවල මහජන රැස්වීම්වලට සහභාගි විය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා.

මේ අතර, සමගි ජන බලවේගයේ හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව වළක්වාලමින් අලුත්කඩේ අංක 05, මහර 01 , 02 , කඩුවෙල හා හෝමාගම යන මහේස්ත්‍රාත් අධිකරණ මගින් නියෝග නිකුත් කර තිබෙනවා.

******************************************

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (15)

(15.11.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

අයවැය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (15) කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩුවට සහය පළ කරන දේශපාලන පක්ෂ 11 ක නායකයින් සහ නියෝජිතයින් එම සාකච්ඡාවට එක්වනවා.

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

******************************************

ලොකුලූනු ගොවීන් අසීරුතාවක

(15.11.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු තවත් රටවල් කිහිපයකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලොකුලූනු ආනයනය කර අලෙවි කිරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව දේශීය ලොකුලූනු ගොවීන් පවසනවා.

ආනයනය කරන ලොකුලූනු මෙලෙස අඩු මුදලකට ව්‍යාපාරිකයින් ලබාගැනීම හේතුවෙන් සිය අස්වනු අලෙවි කරගැනීමට නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ෴

******************************************

විවෘත විශ්වවිද්‍යාලයේ නීති විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිට වූ බවට හෙළිදරව්වක්

(15.11.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – මීරිගම කොටස මේ මාසය තුළ විවෘත කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (15) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී ඇති වූ උණුසුම් සංවාදයට කථානායකවරයාද මැදිහත් වුණා.

අයවැය විවාදයේ දෙවන (2) දිනය වන අද (15) විවාදයට එක්වෙමින් අදහස් දැක් වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යයන් සඳහන් කළේ, ඊයේ(14) පැවති විවෘත විශ්වවිද්‍යාලයේ නීති විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිට වූ බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු අධිකරණ සහ මුදල් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් ද කළා ෴

******************************************

ඉදිරි මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බවට සම්මත කර ගැනෙයි

(15.11.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත කර ගැනුණා.

අදාළ බලමණ්ඩල රැස්වීම පැවැත්වුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

******************************************

රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

(15.11.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

දෙරටටම ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමේ වැදගත්කම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙනවා.

ඉන්දුනීසියාවේ පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවැනි ආසියා පැසිපික් කලාපීය සමුළුවට සමගාමීව බංග්ලාදේශ කර්මාන්ත අමාත්‍ය නුරුල් මජිඩ් මහ්මඩ් හුමායන් සමග ජකර්තාහි ෆෙයාර්මොන්ට් හෝටලයේදී ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දැඩි සම්බන්ධතාවක් පවතින බවත්, කාර්මික අංශය සැලකුවහොත් දෙරට අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයෙහි දැඩි සබඳතා පවතින බවයි.

එරට ඇඟලු‍ම් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවයේ යෙදී සිටීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් දෙරට එක්ව කටයුතු කර, වෙළෙඳා හා ආයෝජන වැඩිකර ගැනීමට පියවර ගැනීම සුදුසු බවයි බංග්ලාදේශ කර්මාන්ත අමාත්‍යවරයා කියා සිටියේ.

මෙරට කර්මාන්ත අමාත්‍යවරයා විසින් එම නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා දෙරට අතර ඉහත කී ආකාරයේ ගිවිසුම්ගත ඒකාබද්ධ යාන්ත්‍රණයක වැදගත්කම පෙන්වා දෙමින්, එය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද මෙහිදී අවධාරණය කළා.

මෙහිදී අමාත්‍යවරුන් අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර, මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සංවර්ධන) මහේෂ් අබේසේකර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් දිලිනි ජයවර්ධන යන නිලධාරීන් ද එක්ව සිටියා ෴

******************************************

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය දිගුවෙයි

(15.11.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීති ප්‍රතිසංස්කරණ හදුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය මාස දෙකකින් (2) දීර්ඝ කර තිබෙනවා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් වු යෝජනාව අද (15) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිවුණා.

මෙම කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය මැයි 17 වනදා පැවති අතර, මාස හයකින් (6) එහි වාර්තාව ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ ෴

******************************************

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වසා දැමේ

(15.11.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ, පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බොරතෙල් තොග මේ දක්වාත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත ලැබී නොතිබීමයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා කෙරුණු අතර, බොරතෙල් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් හෝ මුදල් වෙන් කිරීමක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ දා පටන්, මෙතරම් දීර්ඝ කලකට වසා දැමෙන්නේ, පළමුවරටයි.

මීට පෙර 2007 වසරේදී පිරිපහදුව නඩත්තු කටයුත්තක් සඳහා සතියක කාලයක් වසා දමා තිබුණා.

මේ අතර, සපුගස්කන්ද තෙල් පිරිපහදුව උපරිම වශයෙන් දින 50 ක කාලයක් වසා දැමීමට සිදුවන බව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ දැන් (15) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදේශ විනිමය අර්බුදය විසඳා ගත් වහාම බොර තෙල් ආනයනය සමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තෙල් පිරිපහදුව යළි ආරම්භ කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

******************************************

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනකු (3) නාවික හමුදා භාරයට

(15.11.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 24 කට අධික වටිනාකමකින් යුත්, අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අද (15) දහවල් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ තලෛමන්නාරම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදීයි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වැළැක්වීමේ අරමුණින් දිවයින පුරා දෛනිකව නාවික හමුදාව විසින් විවිධ සෝදිසි මෙහෙ‍යුම් සිදු කරන බවයි, නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව සිදු කරන ලද තවත් සෝදිසි කිරීමකදීයි, ඉතා සූක්ෂ්ම ලෙස මෙරටට ගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණේ.

එහිදී සැකකරුවන් තිදෙනෙකු (3) නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත්තේ යැයි සැක පළ කෙරෙන ඩිංගි යාත්‍රාවක් ද සමගින් ෴

******************************************

අලව්ව පන්ගොල්ල ප්‍රදේශයේ පිපිරීමක්

(15.11.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

අලව්ව පන්ගොල්ල ප්‍රදේශයේදී අද (15) උදෑසන නිවසක පිපිරීමක් සිදුව තිබෙනවා.

අදාළ පිපිරීම පන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පිපිරීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු (2) තුවාල ලබා අලව්ව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

පිපිරීමත් සමඟ අදාළ නිවසට බරපතළ හානි සිදුව තිබෙනවා.

මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර නිවසේ හිමිකරු මීට පෙර ගල්වලක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බෝයවලාන පොලිසිය පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

******************************************

දැඩි කොන්දේසි මත රිෂාඩ්ගේ සොහොයුරා නිදහස්

(15.11.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා වන රියාඩ් බදියුදීන් රඳවා තබා ගැනීමේ නියෝගය දැඩි කොන්දේසි යටතේ නිදහස් කර තිබෙනවා. අද (15) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයින් 1345 ක් ප්‍රමාද වී වාර්තා වෙයි

(15.11.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 29 වැනි දා සිට දින 7 ක් තුළ ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයන් 1345 දෙනෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (14) යාවත්කාලීන කළා.

මේ අතර ධනවත් රාජ්‍යයන් විසින් කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි (3) මාත්‍රාව ලබාදීම තරයේ හෙළා දකින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා ෴

කොරෝනා වයිරසය ආසාදනය වී අද (15) දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාව 382 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරට වයිරසය ආසාදිතව සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 5,24,311 ක් දක්වා ඉහළ යනු ඇති. එමෙන්ම, පුද්ගලයින් 13,236 ක් තවදුරටත් නේවාසිකව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++++

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන මුඛයෙන් ලබාදෙන ‘මොල්නුපිරවීර්’ ඖෂධයට අවසර හිමි වේ

(15.11.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

‘මොල්නුපිරවීර්’ (Molnupiravir) නැමති කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන මුඛයෙන් ලබාදෙන ඖෂධය, මෙරට භාවිත කිරීම සඳහා කොවිඩ්-19 තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවූ බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මෙම ඖෂධය මෙරට භාවිතය සඳහා යොදාගත යුතු ද, යන්න විමසමින් අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබුණා.

ඖෂධය මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ ඊට ප්‍රතිචාර දක්වමින්. ඒ අනුව මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමටත්, රෝගීන්ට ලබාදීමටත් ඉදිරියේදී කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

‘මර්ක්’ නැමති ඖෂධ සමාගම මගින් නිපදවනු ලබන මොල්නුපිරවීර් ඖෂධය මේ වනවිට ලොව රටවල් රැසක කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා යොදාගනු ලබනවා.

එමඟින් කොරෝනා ආසාදිතයන් රෝහල් ගත වීම සහ මරණය සියයට 50 කින්වත් වළක්වන බවයි තහවුරු වී ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *