චීන පොහොරවල ප්‍රමිතිය ගැන චීන තානාපති හෙළි කරයි

චීන පොහොරවල ප්‍රමිතිය ගැන චීන තානාපති හෙළි කරයි

*********************************************

චීන පොහොරවල ප්‍රමිතිය ගැන චීන තානාපති හෙළි කරයි

(15.11.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩු දී ඇති චීන පොහොර තොගය සම්බන්ධයෙන් තුන්වන (3) පාර්ශ්වයක මැදිහත්වීමෙන් ප්‍රමිතිය පරීක්ෂා කිරීමට චීන පොහොර සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් එකඟතාවකට එළඹ ඇති බව මෙරට චීන තානාපති චී ෂෙන්ග්හොන්ග් ප්‍රකාශ කළා.

ඒ, අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමට අස්ගිරි මහා විහාරය වෙත ඊයේ (14) පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

අදාළ පොහොර තොගය රැගත් නෞකාව මේ වන විට බේරුවල සහ කළුතර අතර මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ස්ථානගතව පවතින බවයි නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ‘මැරින් ට්‍රැෆික්’ වෙබ් අඩවියේ දක්වා ඇත්තේ.

චීන තානාපතිගේ ප්‍රකාශය, කෘෂිකර්ම ලේකම් ප්‍රතික්ෂේප කරයි

(15.11.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩුදී ඇති චීන කාබනික පොහොරවල ප්‍රමිතිය, තුන්වන (3) පාර්ශවයක මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීමට මේ දක්වා එකඟතාවකට එළඹී නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ, අදාළ චීන පොහොර සමාගම එවැනි පරීක්ෂාවක් සිදු කළ ද, මෙරට ශාක නිරෝධායන නීතීන් උල්ලංඝනය කරමින් එම ප්‍රතික්ෂේපිත පොහොර මෙරටට ඇතුළු කරගැනීමට හැකියාවක් නොමැති බවයි.

තුන්වන (3) පාර්ශ්වයක මැදිහත්වීමෙන් මෙම පොහොර තොගයේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට චීන පොහොර සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් එකඟතාවකට එළඹ ඇති බව මෙරට චීන තානාපති චී ෂෙන්ග්හොන්ග් ප්‍රකාශ කළා.

ඒ, අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමට අස්ගිරි මහා විහාරය වෙත ඊයේ (14) පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴

******************************************

ප්‍රදේශ දෙකක (2) මනුෂ්‍ය ඝාතන දෙකක් (2)

(15.11.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

බෝගස්වැව පොලිස් වසමේ 17 වන පටුමග ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේදී කැපුම් තුවාල සහිතව බිම වැටී සිටි පුද්ගලයෙකු වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි වූ බෝගස්වැව 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදු කළ 30 හැවිරිදි පුද්ගලයෙකු බෝගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

+——-

මේ අතර, රිදීගම – පනාගමුව ප්‍රදේශයේ නිවසකදී ඊයේ (14) දින මානසික දුර්වලතාවයකින් පෙළෙන පුද්ගලයෙකු විසින් සිය පියාට යකඩ කූරකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 62 හැවිරිදි පනාගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මෘතශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර, ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ පුත්‍රයා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි බෝගස්වැව පොලිසිය පවසන්නේ ෴

******************************************

‘සූ චායි’ නමින් ඕමානයට ‘මසාලා තේ’

(15.11.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

‘සිලෝන් ටී’ සන්නාමය යටතේ ‘සූ චායි’ නමින් ඕමානයේ දී ‘මසාලා තේ’ නිෂ්පාදනයක් පළමුවරට හඳුන්වා දී තිබෙනවා.

ඒ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් විසින්. සූ චායි ලෙස නම් කර ඇති මෙම මසාලා තේ නිෂ්පාදනය ප්‍රතිශක්තිය ඉහළ නංවන ස්වාභාවික අමුද්‍රව්‍ය 10 ක ගුණයෙන් යුක්ත ශ්‍රී ලාංකීය කුළුබඩු එක්කරමින් නිෂ්පාදනය කර තිබෙනවා ෴

******************************************

‘අතුරුගිරියේ ලඩියා’ බැංගලෝර්හි දී අල්ලයි

(15.11.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම පාතාල නායකයෙකුව සිටි ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතමයෙකු වන ‘දීනමුල්ල කංකානම්ලාගේ නලීන් චතුරංග’ හෙවත් ‘අතුරුගිරියේ ලඩියා’ ඉන්දියාවේ බැංගලෝර් හිදී කොයිම්බතූර් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට රැකවරණය සැලසූ බව කියන ටී. ගෝපාලක්‍රිෂ්ණන් හෙවත් ජයපාල් නමැති 46 හැවිරිදි අයෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ඔවුන් දෙදෙනා (2) අධිකරණය හමුවට ඉදිරිපත් කර මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන බව ද වාර්තා වනවා.

පසුගිය වසරේ ජුලි 03 වන දා කොයින්බතූර්හි සැඟව සිටියදී ඇති වූ හෘදරෝග තත්ත්වයක් හේතුවෙන් ‘අංගොඩ ලොක්කා’ ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව පොලීසිය මදුරෙයි ප්‍රදේශයේ නීතිඥවරියක වන ‘සිවකාමි සුන්දරී’ සහ ඇයගේ මිතුරෙකු වන ‘ධ්‍යානේෂ්වරන්’ නමැත්තෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ, ව්‍යාජ අනන්‍යතාවකින් ඉන්දියාවේ රැඳී සිටීමට ඔහුට උපකාර කිරීමේ චෝදනා මතයි.

එමෙන්ම ‘අංගොඩ ලොක්කා’ගේ පෙම්වතිය ද කොයිම්බතූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් තුන් දෙනා (3) ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ‘සිවකාමි’ හරහා ‘අංගොඩ ලොක්කා’ගේ පිස්තෝලය ‘ලඩියා’ වෙත භාර දී ඇති බවයි.

ඒ අනුවයි ‘ලඩියා’ අත්අඩංගුවට ගැනීමට කොයිම්බතූර් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණේ.

ඒ සඳහා යොදවා තිබූ විශේෂ පොලිස් කණ්ඩායමට ‘ලඩියා’ගේ ඡායාරූපයක් හඳුනාගනිමින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සහය වී ඇත්තේ ‘ලඩියා’ගේ නිවසේ සේවය කළ ‘නාගරාජ්’ නමැත්තෙකු විසින් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ෴

******************************************

සපුගස්කන්ද පිරිපහදුව නවතියි

(15.11.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අවසන් වීම හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු අද (15) සිට නතර කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පිරිපහදුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුද ඒ සම්බන්ධයෙන් තහවුරු කරනු ලැබුවා.

බොරතෙල් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් ඉදිරිපත් නො වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්ද මතුවිය හැකි බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සඳහන් කළේ තවත් දින 15 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.

******************************************

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්

(15.11.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාව හේතුවෙන් මීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ මීරිගම – විජයරජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගයේ එක් ස්ථානයක සිදු වූ ගිලා බැසීමක් හේතුවෙන් අද (15) උදෑසන සිට ප්‍රධාන මාර්ගයේ විශේෂ දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මගීන්ගේ ගමන් පහසුව සඳහා දුම්රිය මාර්ගය අවහිර වී ඇති ස්ථානය දක්වා දුම්රිය 3 ක් සහ එම ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එම දුම්රියන්ට සම්බන්ධිත දුම්රිය 3 ක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, වේයන්ගොඩ සිට දුම්රිය 4 ක්, ගම්පහ සිට එක් (1) දුම්රියක් ද අද (15) උදෑසන සිට ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මීට අමතරව රාගම සිට දුම්රිය දෙකක් (2) වශයෙන් කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 10 ක් ධාවනය වීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනවා ද නැද්ද යන්න පිළිබදව අද (15) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසනවා. කෙසේ වෙතත්, තවදුරටත් ප්‍රදේශයට පවතින කාලගුණ තත්ත්වය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත අදාළ තීරණය ගන්නා බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

ජවිපෙන් අයවැයට චෝදනාවක්

(15.11.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැයෙන් බදු ආදායම වැඩි කර ගන්නා ආකාරය පිළිබද රට හමුවට ඉදිරිපත් කර ඇත්තේ, කොටසක් පමණක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

******************************************

එක රටක් එක නීතියක් සඳහා මේ මස 30 තෙක් මහජන අදහස් විමසයි

(15.11.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා මහජන අදහස් කැදවීමට තීරණය කර තිබෙනවා.

අදාළ සංකල්පය ක්‍රියාවට නැංවීම උදෙසා සමාජයේ පුළුල් පරාසයක ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් වෙතින් යෝජනා, අදහස් අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව මේ මස 30 වන දිනට හෝ ඊට පෙර සිය අදහස් දනුම් දිය යුතුයි.

විද්‍යුත් ලිපිනයට යොමු කර හෝ මහජන අදහස් කැදවීම යනුවෙන් සදහන් කර කාර්ය සාධක බලකායේ ලේකම්, එක රටක එක නීතියක් සඳහා වන ‘ජනාධිපති කාර්ය සාධක බලකාය, තැපැල් පෙට්ටිය 504, කොළඹ’ යන ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතිනවා ෴

******************************************

සිරිල් ගාමිණී පියතුමන් සී.අයි.ඩී.යට

(15.11.2021 – 09:55 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

අදාළ පැමිණිල්ලෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා දක්වා තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් බව ඔක්තෝම්බර් 23 වනදා පැවති සංවාද මණ්ඩපයකට එක්වෙමින් සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර තිබූ බවයි.

සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයෙකු වූ සලේ විශාල කාර්ය භාරයක් ඉටු කළ බවට පියතුමා විසින් ප්‍රකාශ කර ඇති බවයි සිය පැමිණිල්ලෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට පෙර පැමිණෙන ලෙසට ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම්දී තිබු අතර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරමින් උන්වහන්සේ දැනුම් දුන්නේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බැවින් පැමිණිමේ හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් අදාළ පෙත්සම පසුගියදා සළකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා දැනුම් දුන්නේ සිරිල් ගාමිණි පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි.

ඒ අනුව අද (15) පෙරවරු 09:45 ට පමණ අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, තවදුරටත් උන්වහන්සේ එහි රැඳී සිටින බවයි අප වාර්තාකරු කියා සිටියේ.

******************************************

වීරකුමාර, පියසිරි විජේනායකට සහ රොජර් සෙනෙවිරත්නට වරෙන්තු

(15.11.2021 – 10:10 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (15) වරෙන්තු නිකුත් කළා.

ඒ, 2016 පෙබරවාරි 06 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ බෞද්ධාලෝක මාවත සහ හැව්ලොක් මාර්ගය අවහිර වන පරිදි විරෝධතා සිදුකිරීම සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, එය, ලබන වසරේ මාර්තු මස 07 වනදා යළි කැඳවීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (15) නියෝග කළේ ෴

******************************************

ප්‍රදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් නව කර්මාන්ත කලාප 200 ක්

(15.11.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රදේශීය හා දිස්ත්‍රික් මට්ටමෙන් නව කර්මාන්ත කලාප 200 ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

මේ අනුව, එක් ආසනයකට එක් කලාපයක් යන පදනමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පෙරේ දා (13) රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

රාජ්‍යයන් දියුණු වූයේ නව නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳපොළට යැවීම හරහා විදේශ විනිමය උපයා ගැනීම තුළින් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කාබනික පොහොර, ඖෂධ, රෙදිපිලි, ඇඟලුම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය, රබර්, කෘෂිකාර්මික උපකරණ, පශු සම්පත් නිෂ්පාදනය, විදුලි හා ඉලෙක්ට්‍රෝනික උපකරන, ක්‍රීඩා භාණ්ඩ මෙහි දී මූලික වෙන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඒ යටතේ ඖෂධ නිෂ්පාදනය සඳහා ඔයාමඩුව, මිල්ලණිය, හම්බන්තොට ප්‍රදේශ තෝරාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ ෴

******************************************

කඩුගන්නාව මාර්ගය තවදුරටත් වසා තැබේ – කෑගල්ල දිස්ත්‍රික් ලේකම්

(15.11.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

කඩුගන්නාව මාර්ගය තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව දුර්ගයේ භූමියෙහි යම් අස්ථාවර බවක් ඇති වුණා.

මේ හේතුවෙන් අංක 01 කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාවෙන් ගමනාගමනය සඳහා වසා දැමුණු අතර, එය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අද (15) දින තීරණයක් ගැමනීමට නියමිතව තිබුණා.

ඒ අනුව, අද (15) පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, භූ විද්‍යා විශේෂඥයින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ භූ ගර්භ මහාචාර්යවරුන් සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුවා.

එහිදී තීරණය වූයේ, අද (15) දින නිරීක්ෂණයන් සහ ලබාගත් තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ අමාත්‍යාංශ මට්ටමින් වැඩිදුරටත් සාකච්ඡා කර, අවසන් තීරණයක් ගැනීමටයි.

මේ අතර, දැනට භූ තලය අභ්‍යන්තරයෙන් ගලා යන ජල ධාරාව සහ තැන්පත්ව ඇති පීඩන ජලය ඉවත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *