බොරතෙල් නොමැතිව සපුගස්කන්ද පිරිපහදුව, හෙට (15) සිට වැසෙන බව වෘත්තීය සමිති කියයි

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද පිරිපහදුව, හෙට (15) සිට වැසෙන බව වෘත්තීය සමිති කියයි

*********************************************

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද පිරිපහදුව, හෙට (15) සිට වැසෙන බව වෘත්තීය සමිති කියයි

(14.11.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිහිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අවසන්වීම හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු හෙට (15) සිට නතර කිරීමට සිදුව ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්ද මතුවිය හැකි බවයි වෘත්තීය සමිති චෝදනා කළේ.

කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සඳහන් කළේ තවත් දින 15 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.

******************************************

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් සිදුකෙරේ

(14.11.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල – කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරස්ථානයේදී සිදුකෙරුණා.

දෙවන පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ කඨිණ චීවර පූජා මහෝස්ත්සවයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී පූජ්‍ය ගල්ලැහැපිටියේ පේමරතන හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා තිබෙනවා ෴

******************************************

කොළඹ නගරයේ, ඉහළ වාණිජ වටිනාකමක් සහිත, ඉඩම් හා ගොඩනැගිලි බදු දීමට සැරසේ

(14.11.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ සහ පිට පළාත්වල පිහිටි ඉහළ වාණිජ වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි රැසක් සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජකයන්ට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ව්‍යාපෘති 46 ක් සඳහා මෙලෙස එම ඉඩම් සහ ගොඩනැගිලි ලබාදීමට නියමිත අතර ඒවා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ සංවර්ධන කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ වසර 30 ක, 50 සහ 99 ක කාලයක් සඳහා අදාළ ඉඩම් ආයෝජකයන් වෙත ලබාදීමට අපේක්ෂා කරන බවයි.

දේපළ සංවර්ධන, ඉඩම්, නිවාස සංකීර්ණ, රථ ගාල්, වෙළද සංකීර්ණ, හෝටල්, ආගන්තුක සත්කාර හා විනෝදාස්වාද ව්‍යාපෘති සඳහා මෙන්ම සේවා සැපයුම් මධ්‍යස්ථාන හා මිශ්‍ර ව්‍යාපෘති ඇතුළු කාණ්ඩ 10 ක් යටතේ අදාළ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට යෝජිතයි.

පිටකොටුව – චාමර්ස් ධාන්‍යාගාරය පිහිටි අක්කර 9 ක භූමිය, වොක්ෂෝල් වීදියේ අක්කර 6 ක්, වැලිකඩ බන්ධනාගාර භූමියේ අක්කර 9 ක්, කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, රාජගිරිය, බත්තරමුල්ල සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ප්‍රදේශයේ අක්කර 3 බැගින් සහ නුගේගොඩ, කොල්ලුපිටිය සුපිරි වෙළද සංකීර්ණ, කටුනායක, ඒකල වැනි ප්‍රදේශවලත් ඉඩම් සහ ගොඩනැගිලි රැසක් මේ අනුව බදු පදනම මත ආයෝජකයන්ට ලබාදීමට නියමිතයි.

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයේ ස්ථාපිත කර එම භූමිය ද ආයෝජකයන් වෙත ලබාදීමට නියමිත අතර ඒ සදහා දැනටමත් කොරියානු ආයෝජකයෙකු ඉදිරිපත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට ආයෝජකයන් රැසකගෙන් අදාළ සංවර්ධන ව්‍යාපෘති සඳහා යෝජනා ඉදිරිපත්ව ඇතත්, මෙම කිසිදු ව්‍යාපෘතියක් සදහා අවසන් තීරණයක් ගෙන නොමැති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා සදහන් කළා.

කෙසේ වෙතත්, අදාළ ආයෝජකයන් සිය සංවර්ධන ව්‍යාපෘති ලබාගෙන වසර දෙකක් තුළ එහි කටයුතු ආරම්භ කළ යුතු අතර එසේ නොවුණහොත් යළි එම ආයෝජන පවරා ගැනීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

තවදුරටත් දෙස් විදෙස් ආයෝජකයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ආයෝජන සමුළුවක් ලබන 25 වන දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්ස් හිදී පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළා.

මේ අතර, පසුගිය 11 වන දා අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා සදහන් කළේ මෙරටට සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා දැනට පනවා ඇති කොන්දේසිවල ලිහිල් කිරීමක් සිදුකළ යුතු බවයි ෴

******************************************

පහළ කඩුගන්නාව විවෘත කරනවා ද නැද්ද ? තීරණය හෙට (15)

(14.11.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනවා ද නැද්ද යන්න පිළිබදව හෙට (15) ප්‍රකාශයට පත් කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසනවා.

ප්‍රදේශයට පවතින කාලගුණ තත්ත්වය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම තීරණය ගන්නා බවයි ඔහු කියා සිටියේ.

අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානමක් නිසා පසුගිය 09 වන දා සිට කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහල කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තැබීමට බලධාරීන් පියවර ගනු ලැබුවා.

එමෙන්ම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අද (14) ක්ෂේත්‍ර පරීක්ෂාවක නිරත වුණා.

ඒ අනුව අස්ථාවර වූ පස් තට්ටුවේ වැසි ජල තෙරපුම අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සිදුකළ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, මිරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ මීරිගම – විජයරජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගයේ එක් ස්ථානයක සිදුවූ ගිලා බැසීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වේයන්ගොඩට පමණක් සීමා කර තිබෙනවා.

+++++++

14-11-2021
13-11-2021

******************************************

අයි.එම්.එෆ්. සහය ලබානොගතහොත්, උග්‍ර ආර්ථික අර්බුදයක් ඇති විය හැකි බවට, අනතුරු ඇගවීමක්

(14.11.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබානොගතහොත් ඉදිරියේදී රට තුළ උග්‍ර ආර්ථික අර්බුදයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

******************************************

ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි – රාජ්‍ය සේවකයින්ගෙන් රතු එළියක්

(14.11.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

අයවැය සම්මත කිරීමට පෙර රාජ්‍ය සේවකයින්ට සහන ලබා නොදුනහොත් ඉදිරීයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව මහනුවර අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා ප්‍රකාශ කළා.

මේ අතර, වැටුප් විෂමතා මුල් කරගනිමින් ගුරු හා විදුහල්පතිවරුන් ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට අද (14) තීරණය කළා.

******************************************

රත්මලාන ගුවන් තොටුපළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව සියයට 75 කින් වැඩි කෙරේ

(14.11.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන ගුවන් තොටුපලේ යාත්‍රාංගන ධාරිතාව සහ ගුවන් ධාවන පථයේ කාර්යක්ෂමතාව සියයට 75 කින් වැඩි කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පසුගිය මැයි මාසයේදී එහි පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණු අතර, එය, ලබන වසරේ මුල් මාස කිහිපයේදී අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

යාත්‍රාංගන ධාරිතාව සහ ගුවන් ධාවන පථයේ කාර්යක්ෂමතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 220 ක්.

එමෙන්ම රත්මලාන ගුවන් තොටුපලේ ගගන නාවික පහසුකම් සහිත පාලන මධ්‍යස්ථානයක් සහ ගුවන් ගමන් පාලන කුළුණක්ද ඉදිකිරීමට අපේක්ෂිතයි.

මේ වනවිටත් එම ගුවන් තොටුපල දේශීය ගුවන් සේවා පහක් (5) සමඟ නව වානිජ ගුවන් සේවා ආරම්භ කර තිබෙනවා ෴

******************************************

‘අතුරුගිරියේ ලඩියා’ ඉන්දියාවේදී අත්අඩංගුවට

(14.11.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන, ‘අතුරුගිරියේ ලඩියා’ ඉන්දියාවේ බැංගලෝර්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

දිවයින පුරා ඉදිරියේදී එළවළු හිඟයක්

(14.11.2021 – 22:33 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ඉදිරියේදී එළවළු හිඟයක් ඇති විය හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් පෙන්වා දෙනවා.

මේ අතර, දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු රැසක තොග මිල රුපියල් 400 සීමාව ඉක්මවා ගොස් තිබුණා.

දින ගනනාවක් නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් එළවළු වගා බිම්වල ජලය ගලා බැසීම ප්‍රමාදවීම සහ එළවළු පලතුරු ප්‍රවාහනය කිරීමේ අපහසුතා නිසා ඉදිරියෙදි රටේ එළවළු හිඟයක් මතු වනු ඇති බවට වෙළඳුන් අනතුරු අඟවනවා.

පවතින තත්ත්වයත් සමග මී ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයටද එළවළු පැමිණිමේ අඩුවක් දක්නට ලැබුනා.

නුවර එළිය ආර්ථික මධ්‍යස්ථානයට මින් පෙර දෛනිකව එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 02 ක් පමණ ලැබුණද මේ වන විට ලැබෙන්නේ කිලෝග්‍රෑම් ලක්ෂ 01 කටත් අඩු ප්‍රමාණයක්.

මේ අතර පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය වෙනත් දිනවලට සාපේක්ෂව මේ වන විට සියයට 60 කින් පමන අඩු වී ඇති බවත් කැප්පෙටිපොළ තොග ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීම සියයට 80 කින් පහල වැටී ඇති බවත් වාර්ථා වෙනවා.

බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයටද තොග වෙළෙඳුන් මෙන්ම සිල්ලර එළවළු වෙළෙන්දන් පැමිණිමේ අඩුවක් දක්නට ලැබුනා.

++++++

******************************************

අයවැය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ අදහස්

(14.11.2021 – 23:03 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළකළ අදහස් කිහිපයක් :

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය අවධානමේ

(14.11.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දනය සඳහා එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්ති මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය, මහචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත තත්ත්වයක් පවතින බැවින් ජනතාව සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

ඒ අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *