බරක් වූ රාජ්‍ය සේවයට වැය කරන්න මහජන මුදල් තව නැහැ – ඇමති බැසිල් කියයි

බරක් වූ රාජ්‍ය සේවයට වැය කරන්න මහජන මුදල් තව නැහැ – ඇමති බැසිල් කියයි

*********************************************

බරක් වූ රාජ්‍ය සේවයට වැය කරන්න මහජන මුදල් තව නැහැ – ඇමති බැසිල් කියයි

(13.11.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවය මේ වනවිට රටට බරක් වී ඇති බැවින් ඊට තවදුරටත් මහජන මුදල් වැය කළ නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

අය වැය යෝජනා සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබ යෝජනාව ඉදිරිපත් වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් බවයි.

******************************************

තේ අපනයනයට එක්වන්න – තේ මණ්ඩලයෙන් ඉල්ලීමක්

(13.11.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

ව්‍යවසායකයෙකු ලෙස ලියාපදිංචි වී තේ අපනයනය සඳහා එක්වන ලෙස වැවිලිකරුවන්ගෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

පාරම්පරික තේ, හරිත තේ, සී ටී සී තේ, කාබනික තේ සහ විශේෂ තේ සඳහා විදේශීය වෙළඳපොලේ විශාල ඉල්ලුමක් පවතින හෙයින් මෙලෙස තේ අපනයනයට දායක වන ලෙසයි තේ මණ්ඩලය ඉල්ලා සිටින්නේ ෴

******************************************

විරෝධතාව අවලංගු කිරීමට එරෙහිව මන්ත්‍රී මුජිබර්ගෙන් ලිපියක්

(13.11.2021 – 22:58 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය විසින් ලබන 16 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම, සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව අවලංගු කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ දිසා වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මේ අතර අදාළ විරෝධයට විරෝධය පළ කරමින් අද (13) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාරදීමට සිවිල් පුරවැසියන් පිරිසක් කටයුතු කළා ෴

******************************************

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

(14.11.2021 – 05:33 +0530 – hirunews.lk/sinhala)

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ කන්කසන්තුරය සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි.

අද (14) රාත්‍රී 10 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති නිවේදනය මගින් පෙන්වා දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ක් 50 ක් පමණ දක්වා වැඩි වන අතර විටින් විට පැයට කිලෝමීටර් 55 ක් 60 ක් පමණ දක්වා වැඩි විය හැකි බවයි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් ද පවතිනවා.

මේ පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු අතර අවධානයෙන් කටයුතු කරන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මේ අතර අද (14) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව වයඹ මධ්‍යම උතුර සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

එමෙන්ම දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක 50 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ෴

******************************************

අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ තරුණියක් ඇතුලු 3 ක් අත්අඩංගුවට

(14.11.2021 – 06:05 +0530 – hirunews.lk/sinhala)

වික්ටෝරියා ජලාශය සහ වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශයේ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ සැකකරුවන් දෙදෙනෙකු (2) සහ සැකකාරියක් (1) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ඊයේ (13) පෙරවරුවේ වික්ටෝරියා වේල්ල ජලාශය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුර ප්‍රදේශයේ මෙලෙස නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර වීඩියෝ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හමුදා නිලධාරීන් විසින් මේ පිළිබඳ තෙල්දෙණිය පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව සැකකරුවන් සහ සැකකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 28 සහ 34 වයස්වල පසුවන ඔවුන් ගොතටුව සහ කැළණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් තුන්දෙනා (3) අද (14) තෙල්දෙණිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන බවයි.

තෙල්දෙණිය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

බස්නාහිර පැය 2 ක විශේෂ මෙහෙයුමක් – පිරිසකට පොලිසියෙන් අවවාද

(14.11.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) පැය 2 ක කාලයක් තුල බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ මගී ප්‍රවාහන බස් රථ 360 ක සේවකයන්ට පොලිසිය විසින් අවවාද කර තිබනෙවා.

ඊට අමතරව වෙළඳසැල් 480 ක් සඳහා ද පොලිසිය අවවාද කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

බස්නාහිර පළාත තුල මහජනතාව නිසි ලෙසට සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබෙනවා.

ඊට සහභාගී වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 476 ක්.

බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම, මුව ආවරණ පැළඳීම, වායු සමනය කළ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් හා වෙළඳසැල් තුලට ඇතුලුවිය හැකි ගනුදෙනුකරුවන් සීමා කිරීම මෙන්ම ඒ සඳහා දැන්වීම් ප්‍රදර්ශණය කර තිබේ ද යන්න පරීක්ෂා කිරීම මෙහෙයුමේ අරමුණයි.

එහිදී මගී ප්‍රවාහන බස් රථ 895 ක්, වායුසමනය කළ බස් රථ 181 ක් සහ සිල්ලර වෙළඳසල් ඔසුසල් සහ වෙනත් කුඩා වෙළඳසැල් 1232 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා ෴

******************************************

එල්.ටී.ටී.ඊ. රත්‍රන් සෙවූ 6 ක් පොලිස් දැලේ

(14.11.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

යුද සමයේ වළදමන ලද බවට සැක කෙරෙන රත්‍රන් ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු මන්නාරම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ (13) සවස මන්නාරම පොලිසිය සහ 54 බලසේනා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

පොලිසියට තොරතුර ලැබී තිබුනේ කිසියම් පිරිසක් විසින්, යුද සමයේ වල දමා ඇති බව කියන රත්‍රන් සෙවීමේ අරමුණින් මන්නාරම ඕලුතුඩුවාව රක්ෂිතයේ කැණීමක් සිදුකරන බවටයි.

අනතුරුව පොලිසිය කළ වැටලීමේදී සැකකරුවන් 6 දෙනෙකු සමග මෝටර් රථයක්, විදුලි ජනක යන්ත්‍රයක් සහ කැණීම්වලට යොදාගත් දේපළ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 26 ත් 60 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් හෙට්ටිමුල්ල, කොටියාකුඹුර, පානදුර, බොරලන්ද සහ හල්පේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද (14) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

රිය අනතුරුවලින් වසරේ මේ දක්වා 1,948 කට දිවි අහිමි වෙයි

(14.11.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මාර්ග විනය සම්බන්ධව රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ වැඩපිලිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ වුණා.

මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර එහිදී කියා සිටියේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 10 දක්වා කාලය තුළ රිය අනතුරු හේතුවෙන් ජිවිත 1948 ක් අහිමි වී ඇති බවයි.

ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් සහ රියදුරු කුසලතා ලකුණු ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන බව ද ඔහු එහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් හෙළි වුණේ මාර්ග විනය සම්බන්ධයෙන් පළමු අදියර ලෙස අන්තර් පළාත් බස් රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ලබාදීමට නියමිත බවයි.

අන්තර් පළාත් බස් රථ රියදුරන් 17,000 ක් පමණ මේ වනවිට රට පුරා සේවය කරනවා.

කොරෝනා තත්ත්වය හමුවේ පොලිස් නිලධාරින් 44 දෙනෙකු ආසාදිතව මියගිය බව ද උපදේශක කාරක සභාවේදී තවදුරටත් හෙළි වුණා.

පොලිසියේ 15,700 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා ෴

******************************************

එළවළු හිඟයක් ගැන ආර්ථික මධ්‍යස්ථානවලින් අනතුරු ඇඟවීමක්

(14.11.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ඉදිරියේ දී එළවළු හිඟයක් ඇති විය හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් පෙන්වා දෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත්, පොහොර හිඟයත් හේතුවෙන් දෙසැම්බර් මාසය වනවිට මෙලෙස එළවළු හිඟයක් ඇති විය හැකි බවයි වෙළෙඳුන් කියා සිටියේ.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය සාපේක්ෂව මේ වනවිට 60% ක අඩු වීමක් දක්නට ලැබෙන බවයි මැනිං හා සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා සඳහන් කළේ.

එමෙන්ම, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ද මීට පෙර දෛනිකව එළවළු කිලෝ ලක්ෂ 2 ක් පමණ ලැබුණද මේ වනවිට ලැබෙන්නේ කිලෝ ලක්ෂ 1 කට අඩු එළවළු ප්‍රමාණයක්.

එය 50% ක පමණ අඩුවක් බවයි නුවරඑළිය අර්ථික මධ්‍යස්ථාන කළමණාකරු ආර්. එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ.

කැප්පෙටිපොළ තොග ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීම 80% කින් පහල වැටී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ස්ථාන භාර නිලධාරී සමන්ත සූරියගොඩ මහතා ප්‍රකාශ කළා.

තඹුත්තේගම විශේෂිත ආර්ථික ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමද 75% කින් පමණ අඩු වී ඇති බවයි එහි වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ.

සාමාන්‍යයෙන් වසර අවසානයේ දක්නට නොලැබෙන ආකාරයෙන් මේ වසරේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීම විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් එළවළු හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි ෴

******************************************

අයවැය ගැන ආර්ථික විශේෂඥ මතය

(14.11.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැය යෝජනාවල සඳහන් වූ සමාජ ආරක්ෂණ දායක මුදලක් අයකර ගැනීමට අදාළ යෝජනාව සාමාන්‍ය ජනතාවට ආර්ථිකමය ලෙස බලපෑම් ඇති කළ හැකි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළ පරිදි එම සමාජ ආරක්ෂණ දායක මුදල අය කර ගැනෙන්නේ මෙරට ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගනිමින්.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන පරිසරය තුළ අදාළ බැංකු හා මූල්‍ය ආයතන එම බදු බර පාරිභෝගික ජනතාව වෙත යොමු කිරීමක් අපේක්ෂා කළ හැකි බවයි.

එමෙන්ම මෙවර අයවැය යෝජනා මගින් බැංකු හා මූල්‍ය සේවා ආයතන සේවා සැපයීමේදී අගය එකතු කිරීම මත අයකරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා සියයට 3 කින් ඉහළ නැංවීමට යෝජනා කෙරුණා.

එහි වැඩිදුරටත් සඳහන් වුනේ එම වැඩි වූ බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකර ආයතනය විසින් දැරිය යුතු බවටයි.

මේ අතර මෙවර අයවැය මගින් යෝජනා කෙරුණු එක්වරක් පමණක් අය කෙරෙන සියයට 25 ක අධිභාර බද්ද සාමාන්‍ය ජනතාවට බලපෑම් නොකරන බව කේ.පී.එම්.ජී – ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ ආයතනය පවසනවා.

එහි බදු උපදේශක නීතිඥ සුරේෂ් පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කලේ එය, රුපියල් මිලියන 2000 කට වඩා ආදායමක් උපයන තැනැත්තන්ගෙන් සහ සමාගම් වලින් පමණක් අය කෙරෙන බද්දක් බවයි.

මෙම අධිභාර බද්ද මගින් රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 100 ක්.

මේ අතර මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු ආකාරයට වතු කම්කරුවන් සඳහා නිවාස ලබා දීම ප්‍රතික්ෂේප කරන බව පහතරට වතු කම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති රුවන් ගාල්ලගේ මහතා ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, කලින් පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ට ඉඩම් ලබා දීමට කටයුතු කළ යුතු බවයි ෴

******************************************

අයවැය ගැන තීරණය ගන්න නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව කැඳවයි

(14.11.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, මහනුවරදී ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එසේම, ගාල්ල ප්‍රදේශයේදී ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ අයවැය තුළින් සාමාන්‍ය ජනතාවට කිසිදු සහනයක් ලබා දී නොමැති බවයි.

කෙසේ වෙතත්, මීගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, මෙවර ඉදිරිපත් කර ඇත්තේ ඉතා සාර්ථක අයවැයක් බවයි ෴

******************************************

තරුණියකගේ මළ සිරුරක් මන්නාරමෙන් සොයාගැනේ

(14.11.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

දිවි හානිකරගත් බවට සැලකෙන තරුණියකගේ මළ සිරුරක් මන්නාරම නගරයට පිවිසෙන ප්‍රධාන පාලම අසල කලපුවේ තිබී සොයාගෙන තිබෙනවා.

ඊයේ (13) සොයාගත් මෙම මළසිරුර යාපනයේ පදිංචි 23 හැවිරිදි තරුණියකගේ ලෙස හඳුනාගෙන ඇතැ යි පොලිසිය සඳහන් කළා.

පසුගිය බ්‍රහස්පතින්දා, ඇය සිය පෙම්වතා සමඟ මන්නාරම නගරයට පැමිණ තිබෙනවා.

එහිදී ඔහු සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු ඇය මෙලෙස පාලමෙන් පැන දිවි හානිකරගෙන ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

මෘත ශරීරය මේ වනවිට මන්නාරම රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි ෴

******************************************

රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයෙන් ජනපතිට ලිපියක්

(14.11.2021 – 09:50 +0530 – hirunews.lk/sinhala)

අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැර, රුපියල් 16,000/- වැටුප් හෝ දීමනා ලබා නො දීම පිළිබඳ ‘රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය’ ජනපතිට ලිඛිතව දන්වා තිබෙනවා.

පසුගිය 12 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 2022 අය වැය යෝජනා මගින් මෙරට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා ලබා දී නැති බවත් එනිසාම මිලියන 1.5 රාජ්‍ය සේවකයින් හා ඔවුන්ගෙන් යැපෙන මිලියන 6 කට ආසන්න ජනතාව ජිවත් වීමේ අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පසුගිය සංගණනයට අනුව හතර දෙනකු (4) ගෙන් යුතු පවුලකට මසක් ජිවත් විමට රු 58,000 අවැසි බව සදහන්ව තිබුණද , වත්මන් සමයේ ශීඝ්‍ර ව භාණ්ඩ මිල ඉහළ යෑම නිසාවෙන් මේ තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් එනිසා ඉදිරි සති කීපය තුළ දි මේ පිළිබද අවධානය යොමු නොකරන්නේනම් කිසිදු දැන්වීමකින් තොරව වෘතිය ක්‍රියා මාර්ගයන්ට යොමුවන බවත් ඔවුන් සඳහන් කරනවා.

එහි වගකීම රජය භාරගතු යුතු බව ජනපතිතුමාට ‘රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය’ වෙනුවෙන්, එහි ජාතික සංවිධායක බි. ඒ. පි. බස්නායක මහතාගේ අත්සනින් යුතු ලිපියේ දක්වා තිබෙන බවට යි වාර්තා වෙන්නේ ෴

******************************************

PCR එකට කරන කෙනෙහෙලිකම තමයි මේ රට ලොකු විනාශයකට ලං කරන්නෙ – රවී කුමුදේශ් කියයි (13.11.2021)

******************************************

අපි විශ්වස කල නායකයෝ අපිව රවට්ටලා දෑන් ඉතින් … (14.11.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *