අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර ශූරීන්ගේ අවසන් කටයුතු හෙට (14)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර ශූරීන්ගේ අවසන් කටයුතු හෙට (14)

*********************************************

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර ශූරීන්ගේ අවසන් කටයුතු හෙට (14)

(13.11.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක, සංගීතඥ සහ රංගන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14) පස්වරු පහට (05:00) ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ලක්ෂ්මන් විජේසේකර ශූරීන් ඊයේ (12) අභාවප්‍රාප්ත වනවිට 73 වන වියේ පසුවුණා.

රජයේ සංගීත විද්‍යාලයෙන් සංගීතය හදාරා, 1975 වසරේ ගුවන් විදුලි සරළ ගී පරීක්ෂණයෙන් සමත්වූ ඔහු ‘ප්‍රියංගා’ සිනමා පටයෙන් චිත්‍රපට රංගනයට පිවිසුණා.

ඊට පෙර ඔහු ‘වෙස්සන්තර’ සහ ‘නෙළුම් පොකුණ’ යන වේදිකා නාට්‍ය සඳහාද රංගනයෙන් දායක වී තිබූ අතර, ‘රේඛා’ මෙන්ම ‘ගංඟා සහ නිශ්ශංක’ ටෙලි නාට්‍යවල ද ප්‍රධාන චරිත නිරූපණය කරමින් ජනාදරයට පත්වුණා.

එමෙන්ම ‘බුමුතුරුණු’, ‘අත්ත බිඳෙයි’ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද ලක්ෂ්මන් විජේසේකර ශූරීන් කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඔහු ගායනා කළ ගීත අතර ‘දැල්වූ පහන්’, ‘ඇති දේ ඇති සැටියෙන්’, ‘සුපෙම් හැඟුම් ඔබෙන් එපා’, ‘සිනා පිපෙනා මේ වසන්තය’ ආදී ගීත ඉමහත් රසික ජනාදරයට පත්වුණා ෴

ශ්‍රි ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දැල්වුණු පහනක් වුණු ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර ශූරීන් සිය කලා හැකියාව විවිධ අංශවලින් මෙරට කලා කෙතට දායාද කළ අයෙක්.

70 – 80 දශකයේ සිටම ශ්‍රී ලංකාවේ ළමා සංගීතයට මහා මෙහෙවරක් කළ කලාකරුවෙකු ලෙස ද ඔහු ඉතිහාසය තුළ සටහන් තබා තිබෙනවා.

ගායකයෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු සහ වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ඔහු කටයුතු කළා. ගීතයෙන් රසික හදවත සැනසූ ඔහු අමතක නොවන රංගන සටහනක් තබන්නේ ‘ගංගා සහ නිස්සංක’ ටෙලිවෘතාන්තයෙන්.

සීමිත ගීත ගොන්නක් ශ්‍රාවක හදවතේ අමරණීය මතකයන් බවට පත් කරන්නට සමත් ගායකයෙකු ලෙසයි ඔහු කලා ක්ෂේත්‍රය තුල විවරණ ලබා ඇත්තේ.

අද ලාංකේය කලාකෙතෙන් බැස යන්නේ ඇති දේ ඇති සැටියෙන් දැක සිනා පිපෙනා වසන්තය ප්‍රාර්ථනා කළ එවන් සොඳුරු කලාකරුවෙක් ෴

******************************************

බද්දේගමින් ජීව උණ්ඩ තොගයක් සොයාගැනේ

(13.11.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – බද්දේගම ආදාහනාගාරය අසළ ඉඩමක තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ අතර මිලිමීටර 9 ප්‍රමාණයේ උණ්ඩ 45 ක්, මිලිමීටර 38 වර්ගයේ උණ්ඩ 13 ක් සහ තවත් පතොරම් 7 ක් මෙන්ම හිස් කොපු හතරක් (4) ද, සොයාගෙන ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

වල් බිහි වී තිබූ අදාළ ඉඩම සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී පසුගිය මාසයේ 26 වන දින සහ මෙම මස 05 වන දින මළබැඳුණු බෝම්බ දෙකක් (2) හමු වී තිබෙනවා.

ඉන් අනතුරුව රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් එම ඉඩම තවදුරටත් සෝදිසි කර ඇති අතර, එහිදීයි, මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ ෴

******************************************

දඩ මුදල් සංශෝධනයක් ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වන පණිවුඩයක් පිළිබඳ පොලිසියෙන් නිවේදනයක්

(13.11.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

විවිධ රථ වාහන වැරදි සම්බන්ධයෙන් අය කරනු ලබන දඩ මුදල් පිළිබඳ සමාජ මාධ්‍යයේ හුවමාරු වන පුවත අසත්‍යයක් බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ සංශෝධිත මාර්ග රථ වාහන පනත ලෙසට සඳහන් කරමින් අදාළ දඩ මුදල් පිළිබඳ අසත්‍ය පුවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.

මෙම පුවතේ සඳහන් ආකාරයට එහි දක්වා ඇති රථ වාහන වැරදි හා දඩ මුදල් නිත්‍යානුකුල ලෙසට මෙතෙක් ප්‍රකාශිත නීතියේ සඳහන් වැරදි හා දඩ මුදල්වලට වෙනස් බවට නිරීක්ෂණය වන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මෙය ව්‍යාජ ලෙස නිර්මාණය කර පළ කරන ලද පුවත් බවට පොලිසිය සඳහන් කර අතර ඒ අනුව මෙම වැරදි පුවත අන් අය අතර හුවමාරු කිරීමෙන් වළකින ලෙසට සහ එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

රථ වාහන දඩ මුදල් පිළිබඳ සමාජ මාධ්‍යයේ හුවමාරු වන අසත්‍ය නිවේදනය පහතින් :

******************************************

ඉදිරි පැය 36 තුළ ප්‍රදේශ කිහිපයකට වැසි

(13.11.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව, වයඹ , මධ්‍යම, උතුර සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇති විය හැකි බව ද නිවේදනයේ දැක්වෙනවා.

අද (13) සිට, දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපය ඇති වන අතර, දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමට ඉඩකඩ ඇති අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එනවා.

සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ අගයක් ගන්නා අතර, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැකියි ෴

******************************************

මෛත්‍රීගේ හොරු ඇල්ලිම බොරුවක්. රනිල් – වජිර – රිෂාඩ් හොරු අල්ලපු මාව ගෙදර ඇරියා – බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා (11.11.2021)

******************************************

03-11-2021

ඩී.එස්. ඉදන් ගෝඨාභය වෙනකන් නායකයන් එක්ක කතා කරපු මිනිහෙකුට අද ඉන්නේ මම විතරයි – ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර (13.11.2021)

******************************************

+ https://www.youtube.com/watch?v=Jg0QOZnFNao

******************************************

චක්‍රලේඛ නැතුව බැහැ – ගුරු සංගම් කියයි

(13.11.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යවරයා විසින් අයවැයෙන් යෝජනා කළ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාල මුදල් ලබාදීම සඳහා වන චක්‍රලේඛ කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නැයි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඉල්ලීමක් කරනවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ, අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙවර අයවැයෙන් සියයට 7.51 ක ඉතිහාසගත මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති බවයි.

******************************************

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති ගම්මන්පිල

(13.11.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති අතර, ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් එය සිදුවන්නේ මුදල් අමාත්‍යාංශය හරහා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඒ මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින්.

******************************************

රාජ්‍ය සේවයට සහන නොදුන් හේතුව මුදල් ඇමති හෙළි කරයි

(13.11.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

රටට වාසිදායක අයුරින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා. අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධාන කළ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

2022 වර්ෂය සඳහා වන අයවැය රට හමුවේ තබමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (12) ඉදිරිපත් කළ ඇතැම් යෝජනා ඊයේ (12) සිටම ක්‍රියාත්මකයි.

අයවැය යෝජනා අතරින් ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරුණේ දුම්වැටි සහ සුරාබදුවලට අදාළ යෝජනාවයි.

ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහල දැමුණා.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ද වැඩි කිරීමට යෝජනා කෙරුණූ අතර එමඟින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 25 ක්.

රජයේ ආදායම ඉහළ නංවා ගැනිම සඳහා විවිධ බදු යෝජනා රැසක් මුදල් අමාත්‍යවරයා 2022 අයවැය යෝජනාවලියට එක්කළා.

ඉන් ප්‍රධාන යෝජනාවක් වන්නේ ජී.එස්.ටී. හෙවත් භාණ්ඩ හා සේවා මත පැනවෙන බද්දයි.

පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් මෙම යෝජනාව ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නමුත් මෙම බද්ද පැනවෙන ප්‍රතිශතයක් හෝ අදාළ භාණ්ඩ හා සේවා මොනවාදැයි අයවැය යෝජනාවලියේ පැහැදිළිව සඳහන් වන්නේ නැහැ.

අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට භාණ්ඩ හා සේවා මත පැනවෙන බද්ද සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිළි කර ගැනිමට අප මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇමතුවා.

ඔහු සඳහන් කළේ මෙම බද්ධ පැනවීමේදි එක් එක් භාන්ඩ හෝ සේවාව මත එකිනෙකට වෙනස් බදු ප්‍රතිශතයන් පැනවෙනු ඇති බවයි.

ඒ අනුව දුම්වැටි හා මද්‍යසාර , විදුලි සංදේශ හා දුරකථන සේවා සහ විනෝදාශ්වාද වැනි ක්ෂේත්‍රවලට මෙම බද්ද පැනවෙනු ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

බදු අදායම් යෝජනා අතර තවත් සුවිශේෂි බද්දක් වන්නේ එක් (1) වරක් පමණක් අයකෙරෙන 25% ක අධිභාර බද්දයි.

මේ අතර මෝටර් රථ අනතුරුවලට ලක්වීමේදී සහ වාහන නවිකරණය හා වෙනස් කිරීමේදී ගාස්තුවක් අයකර ගැනිමටත් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ගාස්තු ප්‍රතිශතයන් ද, මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

මේ අතර, දඩ මුදල් සංශෝධනය කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

එය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුවතක් බවත්, එය අන් අය අතර හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලීමක් කළා.

මෙවර අයවැයෙන් ඉදිරිපත් කෙරුණු තවත් සුවිශේෂී යෝජනාවක් වන්නේ විදුලි සංදේශ සේවා සම්බන්ධයෙන් නව බලපත්‍ර නිකුත් කිරීමේදි සහ ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින් ඉදිරියට විවෘත වෙන්දේසියක් හරහා පමණක් සිදුකිරීමයි.

මේ අතර, රාජ්‍ය සේවයට අයවැයෙන් වරප්‍රසාද ලබා නොදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ තවත් වසරක් (1) යනතුරු රාජ්‍ය සේවයට වරප්‍රසාද ලබාදිය නොහැකි බවයි.

ඊට හේතුව ලෙස අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට රාජ්‍ය සේවය පවතින තත්ත්වය අනුව එය රජයට බරක් වී ඇති බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 22 ක් වාර්තාවී තිබෙනවා.

(13.11.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) තහවුරු කළ මෙම මරණ 22 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13972 ක් ලෙසටයි.

මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,49,296 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 11,331 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,23,503 ක් ෴

කොරෝනා වෛරසය ආසාදිත තවත් 204 දෙනෙකු අද (13) දිනයේදී මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරටින් අද (13) දිනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 716 ක් ලෙස ඉහළ යනවා. මෙරටින් මෙතෙක් හමු වී ඇති වයිරසය ආසාදිත ගණන 5,49,500 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදන කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *