යළිත් කොරෝනා ආසාදිතයන් 700 ඉක්මවයි

යළිත් කොරෝනා ආසාදිතයන් 700 ඉක්මවයි

*********************************************

යළිත් කොරෝනා ආසාදිතයන් 700 ඉක්මවයි

(13.11.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (12) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 723 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 5,48,784 දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ ගියේ කොරෝනා මරණ 23 ක් ඊයේ (12) වාර්තාවීමත් සමගයි.

මේ අතර එන්නත්කරණය නොලැබූ පුද්ගලයන් සඳහා දැඩි නිරෝධායන සීමාවන් ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රියාව සැරසෙනවා.

ඒ, එරට දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන්.

චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද (13) දිනය තුළ තීරණයකට එළඹෙන අතර, අදාළ සීමාවන් හෙට (14) සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔස්ට්‍රියානු ජනගහණයෙන් 65% ක් මේ වනවිට පූර්ණ එන්නත්කරණය ලබා ඇතත්, අනෙකුත් යුරෝපීය රටවලට සාපේක්ෂව එය අඩු අනුපාතයක්.

එමෙන්ම වයස අවුරුදු 65 ඉක්ම වූ ඇමරිකානුවන් අතරින් සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකුටම (1/3) මේ වනවිට කොරෝනා එන්නත් තුන්වන (3) මාත්‍රාව හෙවත් ‘වර්ධක මාත්‍රාව’ ලබාදී ඇති බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කළා.

එය, සංඛ්‍යාත්මකව මිලියන 16 කට අධිකයි.

ඊයේ (12) දිනය වනවිට ඇමරිකා එක්සත් ජනපදය, කොරෝනා එන්නත් මාත්‍රා හතළිස් තුන්කෝටි හැත්තෑ තුන්ලක්ෂ පනස් දෙදහසකට (43,73,52,000) වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා ෴

+++++++++++++++++++

මෙරට කොරෝනා වර්ධක මාත්‍රා එන්නත්කරණය ලක්ෂය (1,00,000) ඉක්මවයි

(13.11.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම (2) ලැබූ පුද්ගලයන් සඳහා ලබාදෙන තුන්වන (3) හෙවත් වර්ධක මාත්‍රා 8,298 ක් ඊයේ (12) දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙලෙස ලබාදුන් මුළු වර්ධක මාත්‍රා සංඛ්‍යාව 1,05,816 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්, සයිනොෆාම්, මොඩර්නා සහ ස්පුට්නික් කොරෝනා එන්නත් මෙරට ජනතාවට පළමු (1) සහ දෙවන (2) කොරෝනා එන්නත් මාත්‍රා ලෙස ලබාදෙනු ලැබුවා.

තුන්වන (3) මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් බයෝ එන්ටෙක් කොරෝනා එන්නතයි.

මෙතෙක් මෙම වර්ධක මාත්‍රාව ලබාදී ඇත්තේ සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන්තොටුපොළ ඉදිරිපෙළ සේවකයන්ට සහ සංචාරක ක්‍ෂේත්‍රයේ නිරත වූවන්ට යි ෴

+++++++++++++++++

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් ගණන පස්වන (5) දිනටත් 700 සීමාව ඉක්මවයි

(13.11.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (12) පස්වන දිනටත් 700 සීමාව ඉක්ම වූවා.

ඊයේ (12) දිනයේදි නව අසාදිතයින් 723 දෙනෙක හදුනාගැනිමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 5,48,784 දක්වා ඉහළ ගියා.

නිවෙස් නිරෝධායනය යටතේ අසාදිතයින් 11,712 ක් තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කොරෝනා මරණ 23 ක් ඊයේ (12) වාර්තාවීමත් සමග මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,950 ලෙසයි.

එන්නත් සහ ඖෂධ වර්ග ප්‍රවාහනය සඳහා භාවිතයට ගන්නා ශීත ලොරි රථ දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ නියමු වැඩසටහනක් ආසියානු සංවර්ධන බැංකුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකයි.

ඒ යටතේ රුපියල් මිලියන 11 ක් පමණ වටිනා ලොරි රථයක් පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය අද ලබා දී තිබෙනවා.

මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ සෙන්ට් ලුවිස් නුවර සත්වෝද්‍යානයේ අප්‍රිකානු සිංහයන්, දෙදෙනෙකු (2) ඇතුළු බිලාල වර්ගයේ සත්ත්වයන් 8 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

හිම දිවියන් දෙදෙනෙකු (2), අමූර් කොටියෙකු, පූමා සත්ත්වයෙකු සහ ජගුවර් සත්ත්වයන් දෙදෙනෙකු (2)ට ද මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි සත්වෝද්‍යානයේ බලධාරින් ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, විවිධ වර්ගයේ වන සතුන් 12,000 ක් පමණ සිටින සෙන්ට් ලුවිස් සත්වෝද්‍යානයේ වෙනත් සත්ත්වයන්ට කොරෝනා ආසාදනය සිදු වී නොමැති බව සඳහන්.

එමෙන්ම, මෙම සත්වෝද්‍යානයේ සත්ත්වයන් කොරෝනා වයිරසයට එරෙහිව එන්නත්කරණය කිරීමට ද පියවර ගෙන තිබීම ද විශේෂත්වයක්.

කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් ආසාදිතයින් 381 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග වෛරසය ආසාදිතව මෙරට සුවය ලද සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව අද (13) දිනට දැක්වෙන්නේ 5,23,503 ක් ලෙසයි ෴

කොරෝනා ආසාදිතයින් 512 දෙනෙකු අද (13) දිනයේදී තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 5,49,296 ක් දක්වා ඉහළ යනු ඇති ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කඩුගන්නාව පිවිසුම තවදුරටත් වසා තැබෙයි

(13.11.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

නාය යෑමේ අවදානමක් හේතුවෙන් වසා දමා ඇති කොළඹ – මහනුවර මාර්ගයේ මාවනැල්ල සහ කඩුගන්නාව අතර කොටස තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද.එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

එසේ ම දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් වර්ධනය විය හැකි බැවින් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයේ ඉහළ යාමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර මුහුදු රළ මීටර 3 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද අපේක්ෂා කෙරෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තත්ත්වය සමග දිවයින හරහාද පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර තද සුළං ඇති විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, යාපනය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුර, උතුරුමැද පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලටත් වැසි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර නුවරඑළිය ප්‍රදේශය ආපදාවෙන් තොර සංචාරක කලාපයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මේ බව සඳහන් කළේ, නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ ගංවතුර ඇති වූ ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීමට ඊයේ (12) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම් අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ගලවිදපු ස්ථානයට පහළින් පිහිටි ප්‍රදේශයට පැමිණ පර්යේෂණ සිදු කළ බවයි ෴

******************************************

සිරිල් ගාමිණි පියතුමන් සඳුදා (15) රහස් පොලීසියට

(13.11.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ට අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යළි දැනුම් දී තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පියතුමන් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා පසුගිය මාසයේ මෙම පැමිණිල්ල සිදු කළ අතර ඒ අනුව සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබුණා.

කෙසේ වෙතත් එදින එහි පැමිණි වෙනත් පියතුමන් තුන් දෙනෙකු අදාළ ප්‍රකාශය ලබා දීමට සතියක කාලයක් ඉල්ලා සිටියා.

මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා නොවැම්බර් 2 වනදා සිරිල් ගාමිණි පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.

එය පසුගිය 8 වනදා සළකා බැලූ අතර නීතිපතිවරයා එහිදී දැනුම් දුන්නේ සිරිල් ගාමිණි පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් අනිද්දා සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ ෴

******************************************

ඩෙංගු රෝගීන් පහළොස් දහස (15,000) ඉක්මවයි

(13.11.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු උණ රෝගීන් 15,874 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 47.4% ක්.

පසුගිය වසරේද මෙරටින් ඩෙංගු රෝගීන් 31,162 කු වාර්තා වුණා.

පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩිවිය හැකි බැවින් නිවාස අවට පරිශ්‍රයන් මදුරුවන් බෝවිය නොහැකි ලෙස පිරිසිඳුව තබාගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

මාරවිල දී කල් ඉකුත් වූ සහල් තොගයක් විනාශ කෙරෙයි

(13.11.2021 – 09:50 +0530 – hirunews.lk/sinhala)

කාණ්ඩ අංක, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය නොමැතිව අලෙවි කිරීම සඳහා තිබූ සහල් තොගයක් මාරවිල – කටුනේරිය ප්‍රදේශයේදී ඊයේ (12) විනාශ කර තිබෙනවා.

ඒ, මාරවිල මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට අනුවයි.

මාරවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටුනේරිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක තිබී සහල් මලු 45 ක් සිය භාරයට ගනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවරනු ලැබුවා.

ඒ අනුව වෙළෙඳසැල් හිමිකරුට රුපියල් 3,000 ක දඩයක්ද නියම කළ මහේස්ත්‍රාත්වරයා ඒවා විනාශ කරන ලෙසටයි නියෝග කරනු ලැබුවේ ෴

******************************************

මින්නේරියේ ගොවීන් පිරිසක් වගා කටයුතුවලින් ඉවත් වේ

(13.11.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය වැවෙන් මෙවර මහ කන්නය සඳහා ජලය නිකුත් කළ ද, පොහොර නොලැබීම හේතුවෙන් සිය වගා කටයුතුවලින් ඉවත්වීමට ගොවීන් රැසක් තීරණය කර තිබෙනවා. ඔවුන් තවමත් මැසිවිලි නගන්නේ සිය වගා කටයුතු සිදු කිරීමට අවශ්‍ය පොහොර කඩිනමන් ලබා දෙන ලෙසයි.

මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයට අයත් වගාබිම් සඳහා මින්නේරිය වැවෙන් ඉකුත් තුන් වෙනි දින වාරි ජලය නිකුත් කිරීමට පියවර ගැණුනා.

ඒ යටතේ වගා කිරීමට සූදානම් කර තිබූ වගා බිම් ප්‍රමාණය අක්කර 22,500ක්.

කෙසේ වෙතත් මින්නේරිය – හිඟුරක්ගොඩ, යෝධ ඇල, පන්සල්ගොඩැල්ල ඇතුලු ගම්මාන කිහිපයක පවුල් 8000කට ආසන්න ගොවීන් පිරිසක් අද අසරණ වී ඇත්තේ පොහොර නොමැතිවීම නිසා වගා කටයුතු සිදු කිරීමට ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

ගොවීන් චෝදනා කරන්නේ වගාවන් සඳහා ජලය ලබා නොගැනීම හේතුවෙන් විශාල ලෙස ජලය අපතේ යාමක් ද සිදු වන බවයි.

මේ අතර පෙළොන්නරුව – අලුත්වැව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් කොම්පොස්ට් පෙහොර නිෂ්පාදනය කර අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන පුවතක් අපට වාර්තා වුණා.

******************************************

වන අලි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයාගෙ මරණය සැක සහිත බව පවසා යළි ගොඩ ගැනෙයි

(13.11.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් මියගිය බව කියන අයෙකුගේ දේහය යළි ගොඩගෙන තිබෙනවා.

ඒ එම මරණය සැක සහිත බවට ඥාතීන් කළ පැමිණිල්ලකට අනුවයි.

ඊයේ (12) මෙලෙස ගොඩගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි 28 වැනි දා ජීවිතක්ෂයට පත් වු මහියංගනය – අරාවත්ත – ඔරුබැදිවැව පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකුගේ දේහයයි.

හේනට යමින් සිටියදී මොහු වන අලි පහර දීමකින් මියගිය බවට ප්‍රකාශ වුවද, ඒ සම්බන්ධයෙන් ඇති වු සැකය මත පවුලේ ඥාතීන් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ දේහය ගොඩගෙන පරීක්ෂණයක් සිදු කරන ලෙසටයි.

ඒ අනුව, මහියංගනය – ඔරුබැදිවැව සුසාන භූමියේ භූමිදානය කර තිබු දේහය, මහියංගනය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සහ මහියංගනය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ ඊයේ (12) ගොඩගෙන තිබුණා.

ගොඩගත් දේහය පරීක්ෂණ සඳහා පේරාදෙණි වෛද්‍ය පීඨය වෙත යොමු කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ ෴

******************************************

වෙළෙඳපොළේ පොල් හිඟයක්

(13.11.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ මේ දිනවල පොල් ගෙඩි හිඟයක් හට ගෙන තිබෙනවා.

වෙළඳපොල ආරංචි මාර්ග පැවසුවේ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක එම පොල් හිඟය පවතින බවයි.

පවතින වර්ෂාව හමුවේ පොල් ලෙලිගැසීම සහ ප්‍රවාහනයට බාධා මතුවීම මීට හේතුව බව ද වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා.

පොල් හිඟය හේතුවෙන් පොල් මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පොල් ගෙඩියක වෙළඳපොල මිල මේ වනවිට රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

******************************************

ඩොලර් ලැබෙන ක්‍රමයක් ගැන හර්ෂ ද සිල්වාගෙන් විශේෂ ප්‍රකාශයක්

(13.11.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂය සඳහා අයවැය දෙවන (2) වර කියවීමේ විවාදය අද (13) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

එහි දී විපක්ෂය වෙනුවෙන් පළමු අදහස් දැක්වීම සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා යි.

විවාදය අතර වාරයේ දී විදේශ මුදල් සංචිත සම්බන්ධ කාරණාවක් පිළිබඳ මන්ත්‍රීවරයා පළ කළ අදහසක් හරහා පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මහ බැංකුවෙන් නිකුත් කළ විදේශ මුදල් සංචිත ලබා ගැනීමට අදාළ ක්‍රියාවලියක් පිළිබඳව යි මන්ත්‍රීවරයා මෙහි දී සාකච්ඡා කළේ.

අදාළ විදේශ මුදල් ඇපයට තබා තවත් ණයක් ගැනීමට දරන ආණ්ඩුවේ උත්සාහයක් ගැන හෙළිදරව් කළ මන්ත්‍රීවරයා, මෙම විදේශ මුදල් ‘අල්ලි රාජා සුභාශ්කරන්’ ගේ බවට පවසනවා.

කුප්‍රකට ව්‍යාපාරිකයෙකු හා හිටපු කොටි හිතවාදියෙකු ද ලෙස පැවසෙන ‘අල්ලි රාජා සුභාශ්කරන්’ගේ කළු මුදල් මෙලෙස විදේශ මුදල් සංචිතවලට ඇතුළත් වෙනු ඇති බවටයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *