මුහුදු මාර්ගයෙන් පිරිසක් කැනඩා යවන්න හැදූ ‘කන්නන්’ ඇතුළු 08 ක් යළි රිමාන්ඩ්

මුහුදු මාර්ගයෙන් පිරිසක් කැනඩා යවන්න හැදූ ‘කන්නන්’ ඇතුළු 08 ක් යළි රිමාන්ඩ්

*********************************************

මුහුදු මාර්ගයෙන් පිරිසක් කැනඩා යවන්න හැදූ ‘කන්නන්’ ඇතුළු 08 ක් යළි රිමාන්ඩ්

(12.11.2021 – 13:49 +0530 – sinhala.adaderana.lk)

මුහුදු මාර්ගය ඔස්සේ පිරිසක් කැනඩාවට රැගෙන යාමට උත්සහ කිරීමේ සිද්ධියේ ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු 8 දෙනෙකු මෙම මස 25 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ඔවුන් අද (12) හලාවත දිසා විනිසුරු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

පසුගිය 09 වනදා බහුදින යත්‍රාවකින් මුහුදු මාර්ගය ඔස්සේ කැනඩාව දක්වා රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයන් 19 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නැවත හලාවත වෙරළට පැමිණ සිටිය දී නාවික හමුදාව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබිණි.

එම පිරිස කැඳවාගෙන යාම සඳහා පැමිණි වෑන් රථයේ රියදුරු, රිය සහායකවරයා, කාන්තාවක් සහ කුඩා දරුවන් තිදෙනෙකු (3) ද අත්අඩංගුවට ගත් පිරිස අතර විය.

අත්අඩංගුවට ගත් පිරිස හලාවත පොලීසිය වෙත බාර දීමට නාවුක හමුදාව කටයුතු කර තිබුණි.

විමර්ශන වලින් අනතුරුව මෙම පිරිස මුහුදු මාර්ගයෙන් බහුදින යාත්‍රාවලින් රැගෙන ගිය පස් දෙනෙකුව (5) ද පොලීසිය විසින් පසුගිය 11 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස අත්අඩංගුවට ගත් 24 දෙනා පසුගිය 12 වනදා සවස හලාවත දිසා විනිසුරුවරයා හමුවට පොලීසිය විසින් ඉදිරිපත් කෙරිණි.

එහිදී කුඩා දරුවන් තිදෙනාව නඩු කටයුත්තෙන් මුදා හැරීමට දිසා විනිසුරුවරයා නියම කරන ලදී.

සෙසු සැකකරුවන් 12 දෙනා සහ සැකකාරියව රුපියල් ලක්ෂ 5 බැගින් වන පුද්ගල ඇප 2 ක් මත මුදා හැරීමට දිසා විනිසුරුවරයා නියම කර ඇත.

පසුගිය 05 වනදා 17දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මුන්දලම – උඩප්පුව ප්‍රදේශයෙන් කුඩා බෝට්ටු 3 ක නැගී ගැඹුරු මුහුදට ගොස් ඇත.

ගැඹුරු මුහුදේ දී බහුදින යාත්‍රාවකට පිරිස නංවාගෙන ඇත. අනතුරුව එම බහුදින යාත්‍රාව ඉන්දීය මුහුදු කලාපය දක්වා යාත්‍රා කර ඇත.

ඉන්දීය මුහුදු කලාපයේ දී නෞකාවකට පිරිස නැංවීම ජාවාරම්කරුවාගේ අරමුණ වී ඇත.

නමුත් එම නෞකාව පැමිණ නොතිබීමත් සමග යාත්‍රාවේ සිටි පිරිසගේ බලවත් පෙරැත්ත මත බහුදින යාත්‍රාව පසුගිය 09 වනදා නැවත ගොඩ බිමට පැමිණ ඇත.

එසේ පැමිණි පිරිස රැගෙන යාම සඳහා වෑන් රථයක් ද ගෙන්වා ගැනීමට ප්‍රධාන ජාවාරම්කරුවා කටයුතු කර ඇත.

පිරිස නාවුක හමුදා බාරයට පත්වී ඇත්තේ එම අවස්ථාවේදීය.

මෙම පිරිස ඉන්දීය මුහුදු තීරයේ දී හමුවන නෞකාව දක්වා රැගෙන යාමට බහුදින යාත්‍රාවේ නියාමකවරයාට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබා දීමට ප්‍රධාන ජාවාරම්කරුවා එකඟ වී තිබේ.

එමෙන්ම කැනඩාව දක්වා පිරිස රැගෙන යාම සඳහා ජාවාරම්කරුවා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 30 – 35 ත් අතර මුදලක් ලබා ගෙන ඇති බවත් මේ වන විට සිදුකරන ලද විමර්ශන වලදී හෙළි වී ඇත.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. ප්‍රබලයෙකු බව විමර්ශනවල දී අනාවරණ වී තිබේ.

කන්නන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු බෝම්බ පිපිරවීම් රැසක් සිදුකර ඇති අයෙකු බවට ද හඳුනාගෙන තිබේ.

ඔහුට එරෙහිව මහනුවර ඇතුළු අධිකරණ කීපයකම නඩු විභාග වන නමුත් කාලයක් මැලේසියාවට පැන ගොස් ජීවත් වී ඇති ඔහු නැවත මෙරටට පැමිණ මිනිස් ජාවාරම්වල නිරත වී ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

සැකකරු මීට පෙර අවස්ථාවකදී ද 22 කුගෙන් සමන්විත කණ්ඩායමක් මුහුදු මාර්ගය ඔස්සේ මෙරටින් පිටකර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

ඔවුන් දැනට ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බව වාර්තා වේ.

මගීන් ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ නියාමකවරයා සහ මෙම ප්‍රධාන සැකකරු දැන හඳනාගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේදී බවද මේ වන විට හෙළි වී ඇත.

හලාවත පොලීසිය, රාජ්‍ය බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි ෴

******************************************

නොසැලකිල්ල කාගේද ? – CCTV

(12.11.2021 – 13:42 +0530 – sinhala.adaderana.lk)

කොට්ටාව අතුරුගිරිය මාර්ගයේ මාලපල්ල දෙවන පටුමග අසලදී මාර්ගය හරහා ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවී තිබුණි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 56 හැවිරිදි පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

පොලීසිය සඳහන් කළේ අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරුව අත්අඩංගුවට ගත් බවය.

අද (12) අලුයම සිදුවී තිබූ එම අනතුර අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

https://www.youtube.com/watch?v=crXGnFZ1xsg

******************************************

පහළ කඩුගන්නාවේ පලතුරු කඩවලට ඉහළ කන්දේ පැල්මක්

(12.11.2021 – 12:14 +0530 – sinhala.adaderana.lk)

කොළඹ-නුවර මාර්ගයේ පහළ කඩුගන්නාවේ පළතුරු කඩවලට ඉහළ කඳු කොටසේ පැල්මක ලකුණක් ඇතිවී තිබේ.

අදාළ විවරයෙන් පසේ අභ්‍යන්තරයට ජලය ගලායාමක් සිදුවන බවයි ගොඩනැගිලි පරයේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේ.

මේ හේතුවෙන් එම කොටසේ ඇතිවන තෙරපුමක් නිසා පිටට නෙරා යාමක් සිදුවෙමින් පවතින බවද සඳහන්.

ඉහල ඇති විවරය සිමෙන්ති කොන්ක්‍රීට් තට්ටුවක් යොදා වසා දැමිමෙන් අනතුරුව එම ස්ථානයට ගලා එන ජල පහර වෙනත් ස්ථානයකට හරවා යැවීම මෙයට පිළියම් ලෙස එහිදී යෝජනා කර තිබේ.

මේ අතර එම කඳු කොටසේ ඇති විශාල ගස් කපා ඉවත් කිරීමටද තීරණය වී ඇත.

කෑගල්ල දිසා ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය, පොලීසිය, ආපදා කළමණාකරන නිලධාරින්, ප්‍රාදේශිය ලේකම් හා යුදහමුදා සෙබළුන් සමග එක්ව මාර්ගය යථාතත්වයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.

කෙසේ වෙතත් තවදුරටත් පහළ කඩුගන්නාවෙන් කොළඹ-නුවර මාර්ගය වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

******************************************

අයවැයෙන් පසු මහජන නියෝජිතයින් තේපැන් සංග්‍රහයට

(12.11.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala)

අයවැය කතාවෙන් අනතුරුව පැවති සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට අද (12) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වුණා.

ඊට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් ද එක්ව සිටියා.

******************************************

ණය ගන්නා අයවැයක් – අනුරගෙන් සැර ප්‍රකාශයක්

(12.11.2021 – 22:38 +0530 – hirunews.lk/sinhala)

මෙවර යෝජනා කරන ලද නව අයවැය හුදෙක් ණය ගන්නා අයවැයක් බවත්, පවතින දුර්වල ආර්ථිකය ඉබේ ගලායාමට සකසන ලද්දක් බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ අතර, අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ද අදහස් පළකළා.

******************************************

BOI වැඩ ගැන කෝප් අනාවරණයක්

(12.11.2021 – 22:20 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව විශාල මාසික වේතනයක් ගෙවා පුද්ගලයින් 7 දෙනෙකු සේවයට බඳවාගෙන ඇති බවට කෝප් කමිටු රැස්වීමේදී හෙළි විය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ (11) එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගැටලු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කෙරුණි.

මිල්ලනියේ ආයෝජනය කලාපයක් ඇති කිරීම වෙනුවෙන් යෝජිත ව්‍යාපෘතියක් සඳහා ඉඩමක් හෝ නොමැතිව එහි සංවර්ධන කටයුතු සඳහා බව පවසමින් රුපියල් කෝටි 230 ක මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුකෙරුණි.

******************************************

බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙක් මිය යයි

(13.11.2021 – 06:56 +0530 – hirunews.lk/sinhala)

දඹගල්ල පොලිස් වසමේ මාරිඅරාව ප්‍රදේශයේ දී බඳින ලද තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මිය ගිය සිදුවීමක් වාර්තා වෙනවා.

තුවක්කුව පත්තු වීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා දඹගල්ල රෝහලට ඇතුළත් කිරීමේදියි මිය ගොස් ඇත්තේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35 ක මාරිඅරාව – දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මිය ගිය පුද්ගලයා මුතුකණ්ඩිය වැවේ මසුන් ඇල්ලීම සඳහා මුතුකණ්ඩිය රක්ෂිතය මැදින් ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

මෘත ශරීරය දඹගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, තුවක්කුව බඳින ලද පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

******************************************

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්

(13.11.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

රැකියා සඳහා විදෙස්ගත වීමේදී අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම් දීමක් කරනවා.

එමඟින් සඳහන් කළේ, එලෙස විදෙස්ගත වීමෙන්, පසුව ඇති විය හැකි ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වීමකින් තොරව විදෙස් රැකියා වෙත ගොස් විවිධ ගැටලුවලට ලක්වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

කෙසේ වෙතත් නිසි ලියාපදිංචියක් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට උපකාර කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි කාර්යංශය සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සහිතව විදෙස් රැකියා වෙත ගොස් විවිධ ගැටලුවලට මුහුණ දීමට සහ දිවි අහිමි වන ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ රක්ෂණයක් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් එම රක්ෂණයට ආවරණය නොවන, ලියාපදිංචි නොවී විදෙස් රැකියා සඳහා ගොස් විවිධ ගැටලුවලට ලක් වූ සහ දිවි අහිමිවූවන්ගේ යැපෙන්නන් වෙත සාධාරණ සහ මානූෂිය හේතුන් මත වන්දි ප්‍රදානය කිරීම සඳහා සුභ සාධක අරමුදලක් ස්ථාපිත කර තිබෙනවා.

එවැනි ශ්‍රමිකයන්ගේ යැපෙන්නන් විසි දෙදෙනෙකුට (20) රුපියල් තිස් පන්ලක්ෂයක ප්‍රතිලාභ වන්දි ලෙස ප්‍රදානය කිරීම පෙරේදා (11) සිදු කෙරුණා ෴

******************************************

අයවැය දෙවැනි (2) වර කියවීවේ විවාදය අද (13) සිට

(13.11.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

2022 අයවැය දෙවන (2) වර කියවීමේ විවාදය අදින් (13) ආරම්භ වනවා.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව අද (13) පෙරවරු 09:30 ට රැස්වීමට නියමිතයි.

අයවැය 2 වන වර කියවීමේ විවාදය අද (13) සිට දින 7 ක් පැවැත්වෙන අතර, දෙවන (2) වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදු කෙරෙනු ඇති.

අයවැය 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන්නේ ලබන 23 වන අඟහරුවාදායි.

දින 16 ක් විවාද කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

2022 වසර සඳහා නියමිත අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

රුපියල් මිලියන දෙදහසකට (2000) වඩා ආදායම් උපයන සමාගම් හා පුද්ගලයින් සඳහා එක්වරක් පමණක් අය කෙරෙන 25%ක නව බද්දක් පැනවීමට එහිදී යෝජනා කෙරුණු අතර බැංකු හා මූල්‍ය ආයතන සඳහා වන බද්ද 15% සිට සියයට 18% දක්වා ඉහළ නැංවීමටද යෝජනා කරන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

එසේම රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැනීමේ කාලය අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලබා දීමේ කාලය වසර 10 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කෙරුණා.

බැඳුම්කර ගණුදෙනුවෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා ලෙස උපයා ගත් රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ.

මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහන වලින් ගාස්තුවක් අය කරන බවත් එය රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමට අවස්ථාව ලබා දෙන බවද මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී සඳහන් කළා.

එසේම වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහළ නංවා තිබෙනවා.

දුම්වැටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික සභාව සිය ප්‍රසාදය පළ කරනවා ෴

(13.11.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වායි.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වැනි දා පැවැත්වීමට නියමිතයි.

මේ අතර අයවැය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ අයවැයෙන් ප්‍රකාශිත භාණ්ඩ හා සේවා බද්ද ක්‍රියාත්මක වන ආකාරය කඩිනමින් දැනුම් දෙන බවයි.

අදාළ බද්ද කුමන ප්‍රතිශතයන්ගෙන් අය කෙරෙන්නේද සහ බද්දෙන් නිදහස් භාණ්ඩ මොනවාද යන්න ඒ අනුව ඉදිරියේදී දැනුම් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

******************************************

වාහන ආනයනකරුවන් විකල්පයක් ඉල්ලයි

(13.11.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා වූ අයවැය තුලින් වාහන ආනයනය නතර කිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින් විකල්ප ක්‍රමයක් සඳහා යායුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා හිරු ප්‍රවෘත්තී අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේදී විද්‍යුත් වාහන සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙනු ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *