රජයේ දෙවන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අද (12)

රජයේ දෙවන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අද (12)

*********************************************

රජයේ දෙවන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අද (12)

(12.11.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලබන වසර සඳහා රජයේ ආදායම් සහ වියදම් ඇතුළත් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම පස්වරු දෙකට (2) ආරම්භ වනු ඇති.

එසේම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ දෙවන (2) අයවැය ලේඛනයයි.

අයවැය දෙවන (2) වර කියවීමේ විවාදය සෙනසුරාදා (13) ආරම්භ වී දින 7 ක් පැවැත්වෙන අතර, දෙවන (2) වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනි දා සිදු කෙරෙනු ඇති.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් 07 වැනි දා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 5,128 ක්.

අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අද (12) සිට අයවැය විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනි දා තෙක් කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ.

අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර, රාජ්‍ය නිලධාරීන් සිමීත පිරිසකට පමණක් අයවැය කාරක සභාවට සහභාගි වීමට අවසර ලබා දී තිබෙනවා.

ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් අද (12) විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කියා සිටියේ ෴

******************************************

2022 සඳහා සාර්ව ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් අයවැයක් – මහ බැංකු අධිපති

(12.11.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

රට මේ වනවිට මුහුණ දී සිටින්නේ දැවැන්ත ආර්ථික අභියෝගයකටයි.

ඒ, ආර්ථික කටයුතු දැඩිව සීමා වූ වසර එක හමාරකට (1½) පමණ පසුව නව සාමාන්‍යකරණය යටතේ රට යළි ඉදිරි ගමනක් ආරම්භ කර ඇති පසුබිමකයි.

එවැනි වාතාවරණයක් තුළයි ලබන වසර (2022) සඳහා වන අයවැය අද ඉදිරිපත් කරනු ලබන්නේ.

සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රමුඛතම විදේශ විනිමය ප්‍රභවයක්.

වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 04 ක් පමණ වන එම ආදායම පසුගිය කාලය තුළ ශීඝ්‍ර අවප්‍රමාණයකට ලක් වූ අතර, මේ වසරේ පළමු මාස 08 තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබුවේ අමෙරිකානු ඩොලර් මිලියන 33 ක ආදායමක් පමණයි.

ඒ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා සුවිශේෂී යෝජනා මෙවර අයවැයට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂිතයි.

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සහ පොහොර ගැටලුව හේතුවෙන් මෙරට වැවිලි කර්මාන්තය තුළ ද යම් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අපනයන ආදායමට 20% කට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ වැවිලි ක්ෂේත්‍රයයි.

කොරෝනා වසංගතය හමුවේ ආර්ථික ක්‍රියාකාරකම් සීමා වීම හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ තවත් ක්ෂේත්‍රයක් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයි. අයවැය පිළිබඳවද ඔවුන්ද පසුවන්නේ අපේක්ෂා සහගතවයි.

මෝටර් වාහන ආනයනයේදී දැනට පනවා ඇති සීමා ලිහිල් කරනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙවර අයවැයේදී බොහෝ දෙනෙකු වැඩි අවධානයකින් පසුවන කරුණක්.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙරටට වාහන ආනයනය මුළුමනින්ම නතර කර තිබෙනවා.

ඒ අනුව රට තුළ මෝටර් වාහන මිල ගණන්වල කැපී පෙනෙන ඉහළ යෑමක්ද සිදු වුණා.

මේ, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික මෙරෙන්චිගේ මහතා අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, මෙවර අයවැය යෝජනා සකස් කිරීමේදී තම සංගමය ඇතුලු ක්‍ෂේත්‍ර කිහිපයකට කැඳවීම් නොලැබුණු බවයි.

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ, සංවර්ධනය හා සාර්ව ආර්ථික සාධක වර්ධනය අරමුණු කරගනිමින් මුදල් අමාත්‍යවරයා විසින් අයවැය ඉදිරිපත් කරනු ඇති බවයි ෴

******************************************

අයවැයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

(12.11.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර (2022) සඳහා වන අයවැය යෝජනාවලියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (12) පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි.

ඒ අනුව නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (12) පස්වරු දෙකට (2) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

9 වන පාර්ලිමේන්තුවේ දෙවන (2) අයවැය ද වන මෙම අයවැය පසු කොරෝනා තත්වය ජයගනිමින් වෙළඳපොළ ආර්ථිකය, නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කරගැනීමේ වැඩපිළිවෙළක් පදනම් කරගනිමින් සකස් කර තිබෙනවා.

මෙය, වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය වන අතර, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු (2) අයවැය ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙසටයි එය ඉතිහාසයට එක්වන්නේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙටින් (13) ආරම්භ වී දින හතක් (7) පැවැත්වෙන අතර, දෙවන (2) වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වනදා සිදුකිරීමට නියමිතයි.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් හත්වනදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 5,128 ක්.

මේ අතර අයවැය කථාව අවසානයේ මුදල් අමාත්‍යවරයා විසින් පිරිනමනු ලබන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවරද මන්ත්‍රී භෝජනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

2022 අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා ෴

++++++++++

නව අයවැයෙන් ජනතාවට සහන රැසක්

අයවැය කථාව 2022 (අකුරෙන්)

++++++++++

සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට ජාතික ජනබලවේගය නැහැ

(12.11.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

අයවැය කථාව අවසානයේ මුදල් අමාත්‍යවරයා විසින් පිරිනමනු ලබන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවරද මන්ත්‍රී භෝජනාගාරයේදී පැවැත්වුණා.

මෙවර එම තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

අරුණ පුවත්පත් ආයතනයෙන් නව තාක්ෂණික පියවරක්

(12.11.2021 – 19:19 +0530 – sinhala.adaderana.lk)

මෙරට ජනප්‍රියම පුවත්පත් ආයතනය වන අරුණ පුවත්පත් ආයතනය අද (12) නව තාක්ෂණික පියවරක් ඉදිරියට තැබුවේය.

ඒ එහි ස්ථාපිත කෙරූ අති නවීන පූර්ණ ස්වයංක්‍රීය අධිවේගී වෙබ් මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණ කටයුතු ආරම්භ කරමිනි.

‘සති අග අරුණ’ සහ ‘Sunday Morning’ සති අන්ත ජාතික පුවත්පත් ගෙන එමින් ඇරඹි අරුණ පුවත්පත් ආයතනය වසර තුනක් (3) වැනි කෙටි කලක් තුළ මෙරට ප්‍රමුඛතම සහ ජනප්‍රියම පුවත්පත් ආයතනය බවට පත්ව තිබේ.

ඒ භාෂා ත්‍රිත්වයෙන්ම දිනපතා සහ සති අග ජාතික පුවත් පත් ලෙස ‘අරුණ’, ‘Morning’ හා තමිලන් සන්නාම මෙරට පාඨකයා වෙත ගෙනයමිනි.

මෙරට ජනප්‍රියම කාන්තා පුවත්පත ‘ධරණී’ මෙන්ම ‘තරුව’ ජ්‍යොතීෂ පුවත්පත වැනි සතිපතා නිකුත් වන පුවත්පත් ද ඒ අතර සුවිශේෂීත්වයක් උසුලයි.

නිරතුරු ගුණාත්මක අන්තර්ගතයක් සහිතව මනා නිමාවකින් යුත් පුවත්පත් දැනටමත් පරිශීලකයින් වෙත ගෙන යන අරුණ පුවත්පත් ආයතනය තවදුරටත් ආකර්ෂණීය හා ඉතා ඉහළ මුද්‍රණ නිමාවකින් පුවත්පත් පාඨකයින් වෙත ගෙන ඒමේ අරමුණින් තවත් පියවරක් අද (12) ඉදිරියට තැබුවේය.

ඒ අරුණ මුද්‍රණාලයේ ස්ථාපිත කෙරුණු අතිනවීන පූර්ණ ස්වයංක්‍රීය අධිවේගී වෙබ් මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණ කටයුතු අරඹමිනි.

එහිද අදහස් දැක්වු අරුණ පුවත්පත් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි විජිත් චන්ද්‍රසේන මහතා,

“80 දශකයේ රූපවාහිනී තිරය අප වෙත පැමිණිමත් සමඟ එවකට වඩාත් ජනප්‍රිය මාධ්‍ය වු ගුවන්විදුලි, ජාතික පුවත්පත් මේ සෑම එකක්ම අපගෙන් යම් මට්ටමකට ඈත් වෙන්න සිද්ධ වුණා. අප දුටුවා ඇතැම් අවස්ථාවල පුවත්පත් වැසී යාමේ තර්ජනයන්ට පවා ලක්වන අවස්තා තිබුණා. එවන් කාලවකවානුවක අභියෝගයන්ට අභියෝගයක් වෙමින් ජාතික පුවත්පත්වලට නව මානයක් එක්කරමින් සති අග අරුණ Sunday Morning ජාතික පුවත්පත් ද්විත්වය එළි දක්වමින් අපි 2018 වර්ෂයේ ශ්‍රී ලාංකික මුද්‍රිත මාධ්‍යට අවතිර්ණ වුණා. පුර්ණ ස්වංක්‍රීය අපගේ නව මුද්‍රණ යන්ත්‍රය සමඟ අපට හැකියාවක් ලැබුණා අපගේ පාඨකයින්ට ඉතා අනගිබවණිය මුද්‍රිත නිමාවකින් යුත් ජාලයක් ඔබ අතට පත් කරන්න.”

එහිද අදහස් දැක්වු අරුණ පුවත්පත් ආයතනයේ සාමාන්‍යාධිකාරී තුෂාර තනවීරආරච්චි මහතා,

“අරුණ , The Morning, තමිලන් පුවත්පත් අංක එකේ පුවත්පත් බවට පත් වෙලා ඉල්ලුම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යාම නිසාත් මුද්‍රණ සංකීර්ණයේ ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පැන නැගුණා. එහිදී අපි ලෝකයේ ඉහළම තාක්ෂණය පවිච්චි කරලා නිෂ්පාදනය කරලා තියෙන මුද්‍රණ යන්ත්‍රය ආයතනයට ලබා ගැනීමට අපි කටයුතු කළා.”

******************************************

සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය නවතී ?

(12.11.2021 – 19:02 +0530 – sinhala.adaderana.lk)

“සාපය දැන් ඇති – අපි එනවා කොළඹට” යන මැයෙන් සමගි ජන බලවේගයට ලබන 16 වැනිදා කොළඹ හයිඩ් පිටියේ රැස්වීමක් පැවැත්වීමට ලබාදී තිබූ අවසරය ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් සමගි ජන බලවේගය සඳහන් කළේ, ආණ්ඩුව කුමන ගැසට් නිවේදන නිකුත් කළ ද කොළඹ දී එදින විරෝධතා රැළියක් පවත්වන බවය.

මේ පිළිබඳ අදහස් දැක්වු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්,

“16 වෙනිදා සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතාවය එළියට ආවහම තමයි ආණ්ඩුවට මේ ගැසට් නිවේදනය මතක් වුණේ. අපි දැක්කා ආණ්ඩුව පක්ෂ සම්මේලනය නෙළුම් පොකුණේ පැවැත්වුවා. ඒකට සෞඛ්‍ය නීති රෙගුලාසි නෑ. ආණ්ඩුව මොන නීතිරීති දාලා මේක මර්දනය කරන්න හැදුවත් මේක නවත්වන්න හැදුවත් සමගි ජන බලවේගය හැටියට අපි ඒකට මුහුණදීගෙන ගොවි ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන්, රජයේ සේවකයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ 16 වෙනිදාට අපේ විරෝධතාවය පවත්වනවා.”

කෙසේවෙතත් සමගි ජන බලවේගය එළඹෙන 16 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වීමට සූදානම් කර තිබූ සුහද හමුව සඳහා ලබා දී තිබූ අනුමැතිය අවලංගු කළ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මුජිබර් අහුමාන් මහතා වෙත ලිපියක් මඟින් දන්වා තිබේ.

ඊයේ (11) දින නිකුත් කළ ගැසට් නිවේදනය සැලකිල්ලට ගෙන කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා මෙම අවලංගු කිරීම කළ බව ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතුකරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණි.

එම ගැසට් නිවේදනයට අනුව ඒකරාශීවීම්, එවැනි ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් නිසි බලධාරීයාගෙන් අවසර ලබාගත යුතු අතර එසේ අවසර ලබානොගෙන එවැනි ක්‍රියාකාරකම්වල නිරතවිය නොහැකි බව සඳහන් වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

“යම් යම් නීති අපට ගෙන්න වෙනවා බහුතර ජනතාවගේ රැකවරණය පිණිස. දැන් අපි දන්වා අර ගුරු උද්ඝෝෂණ තිබුණ වෙලාවේ, එකෙන් ඇති වුණ ප්‍රතිඵලයක් දන්නවා. අද අපි යම් කිසි පාලනයකට නතු කරලා මේක ඉතාමත්ම අවම ප්‍රමාණයේ මරණ සංඛ්‍යාව අවම ව්‍යාප්ත වීම කරන කොට 5,000 ක් විතර ගෙනැල්ලා උද්ඝෝෂණ කරනකොට කවුද කියන්නේ මේ මාස්ක් එක ගලවලා ඔය කියල දෙවල් සිද්ධ වෙනවා ද? සිද්ධ වෙන්නේ නෑ. එහෙමනම් අපට අකමැත්තෙන් හරි කියන්න වෙනවා ඉතාමත්ම හිතාමතා කරලා ව්‍යාප්ත කරන්න සංවිධානාත්මකව කරන පියවරක්ද කියලා. එහෙමනම් අපි නීතියේ රැකවරණ ගන්න ඕනේ. එකයි අපි අරන් තියෙන්නේ”

ජනඒකරාශීවීම් සඳහා නිසි බලධාරියාගෙන් අවසර ගත යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු පිරිසක් භාණ්ඩ මිලට එරෙහිව අද (12) කොළඹ දී විරෝධතාවයක් පැවැත්වුහ.

මේ අතර රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය ද අද (12) පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක නිරත වුණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *