‘අල්ලි රාජා සුභාෂ්කරන්’ නම් කුප්‍රඛට ව්‍යාපාරිකයා දිවයිනට පැමිණියේ තම කළු සල්ලි සුදුකර ගැනීමට – සිංහල රාවය

‘අල්ලි රාජා සුභාෂ්කරන්’ නම් කුප්‍රඛට ව්‍යාපාරිකයා දිවයිනට පැමිණියේ තම කළු සල්ලි සුදුකර ගැනීමට – සිංහල රාවය

*********************************************

‘අල්ලි රාජා සුභාෂ්කරන්’ නම් කුප්‍රඛට ව්‍යාපාරිකයා දිවයිනට පැමිණියේ තම කළු සල්ලි සුදුකර ගැනීමට – සිංහල රාවය

(11.11.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

‘අල්ලි රාජා සුභාෂ්කරන්’ නම් කුප්‍රඛට ව්‍යාපාරිකයා දිවයිනට පැමිණියේ තම කළු සල්ලි සුදුකර ගැනීමේ කූඨ අරමුණින් දැයි සැකයක් මතුවන බව සිංහල රාවය සංවිධානය චෝදනා කරනවා.

එම සංවිධානයේ නියෝජිතයින් මෙම චෝදනාව එල්ල කළේ අද (11) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

******************************************

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන ගැසට් පත්‍රයක්

(11.11.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උත්සව සහ විවිධ සාද සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුළත් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පුද්ගල ඒකරාශිවීම්, ක්‍රියාකාරකම් සහ රැස්වීම් සඳහා පූර්ව අවසර ලබාගත යුතු බව සඳහන් කර නිරෝධායන ආඥා පනත සංශෝධනය කරමින්, මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා ෴

******************************************

පළාත් කිහිපයකට අද (12) දිනයේත් වැසි

(12.11.2021 – 06:09 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උතුරු පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඌව පළාතෙත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (12) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 පමණ තද සුළං ඇතිවිය හැකියි ෴

******************************************

කෘෂිකර්ම ඇමති මහින්දානන්දගෙන් උතුරේ තරුණයන්ට අක්කර භාගයක්

(11.11.2021 – 15:47 +0530 – sinhala.adaderana.lk)

උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වන්නේ නම් ඊට අවශ්‍ය ඉඩම් හා ආධාර දෙන්න සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

LTTE සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ පිරිසක් ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් පලකළ අමාත්‍යවරයා කෘෂිකාර්මික වශයෙන් මිරිස් වගාවට යොමු වීමට කැමති උතුරු පළාතේ තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම් හා ආධාර ලබා දීමට කටයුතු කළ හැකි බවද පෙන්වා දෙයි.

ඒ අනුව ඊට යොමු වන පිරිස් සඳහා අක්කර භාගයක් (½) බැගින් ඉඩම් ලබා දී ඊට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය, පොහොර, ජලය හා ආරක්ෂිත ගෘහයන් ද කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දීමට පියවර ගත හැකි බවද වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව උතුරු පළාතේ ඇතිවන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී LTTE සංවිධානයේ පුනරුත්ථාපනය වූ පවුල්වල සාමාජිකයන්ට සුදුසුකම් අනුව ප්‍රමුඛතාව ලබා දීමට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

එම පිරිස විසින් එහිදී තමන් මුහුණ දී සිටින ආර්ථික, සමාජයීය හා ජීවන ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ දිර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඊට අදාළ සංදේශයක් ද අමාත්‍යවරයාට බාරදී ඇත ෴

******************************************

අලව්වේදී මහ ඔයේ සැඩ පහරට පැන්න පිරිසක් කැමරාවේ

(11.11.2021 – 12:20 +0530 – sinhala.adaderana.lk)

අලව්ව පැරණි පාලමේ සිට මහ ඔයේ සැඩ පහරට පුද්ගලයන් පිරිසක් පනින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එහිදී ඔවුන් කිහිපදෙනෙකු පාලමේ ආරක්ෂක යකඩ වැටේ සිට මෙලෙස සැඩ පහරට පනින අයුරු සඳහන් විය.

එම පුද්ගලයන් පිළිබඳව හෝ සිද්ධිය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති වුවද ප්‍රචණ්ඩ ජලය සමඟ ඔට්ටු වී ඔවුන් මහ ඔයේ ඉවුර වෙත පිහිනා යන අයුරු ද එම වීඩියෝවේ සටහන් ව තිබේ.

කෙසේ වෙතත් අයහපත් කාලගුණයෙන් මේ වනවිටත් ජීවිත රැසක් බිලි වී ඇති පසුබිමක තමන් විසින් ම තම ජීවිතය පරදුවට තැබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවකි.

විවිධ රටවල මෙවැනි බිහිසුණු ක්‍රියාදාමයන් වෙත යොමුවන අවස්ථා පිළිබඳව අප අසා ඇති අතර එහිදී ඔවුන් ජීවිතාරක්ෂක විදිවිධාන අනුගමනය කරමින් එම ක්‍රියාදාමයන් හි නිරත වන බව නොරහසකි.

මෙය බිහිසුණු අත්දැකීම්වලට මුහුණදීමට ඔවුන්ට ඇති හැකියාව ද ? එසේත් නොමැති නම් එය ඔවුන්ගේ අනුවණකම ද? යන්න ඔබ තීරණය කර, සමාජ මාධ්‍ය සංසරණය වන එම වීඩියෝව පහතින් නරඹන්න.

https://www.youtube.com/watch?v=_MV_XTj6uYg

******************************************

කොරියානු සංගීතයට හා බටහිර නර්තනයට දෙමව්පියන් විරුද්ධවීම නිසා නිවසෙන් පැනගිය දැරියෝ

(10.11.2021 – 20:16 +0530 – sinhala.adaderana.lk)

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අතුරුදන් වූ වයස අවුරුදු 13 ක් හා 15 ක් වන දැරියන් තිදෙනා (3) නිවසෙන් පැනගොස් තිබුණේ සංගීතය හා බටහිර නර්තනය පුහුණුවීමට සුදුසු ස්ථානයක් සොයා බව හෙළිවිය.

පොලිසියට ප්‍රකාශයක් දුන් ඔවුන් පවසා ඇත්තේ, සංගීතයට හා බටහිර නර්තනයට දැඩි ඇල්මක් දැක්වූ තමන්ට මව්පියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔවුන් එලෙස කළ බවය.

කොළඹ කෙසෙල්වත්ත, මාටිස් පටුමගේ පදිංචි මව, පියා සහ දැරියන් දෙදෙනෙකු (2) ජීවත්වන නිවසට ගම්පොළ ජීවත් වන මවගේ නැගණිය සහ ඇයගේ දියණිය මීට සතියකට පමණ පෙර පැමිණ තිබිණි.

නමුත් පසුගිය 08 වනදා රාත්‍රියේ, 13 සහ 15 හැවිරිදි වියේ පසුවූ දැරියන් තිදෙනා (3) සහ තම ජංගම දුරකථනය අතුරුදන් බවට කෙසෙල්වත්ත නිවසේ පදිංචි දැරියන්ගේ මව කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබුවාය.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ, 08 වනදා පෙරවරු 07:45 ට පමණ දැරියන් තිදෙනා (3) කාමරයේ සිටියත්, 08:30 පමණ වන විට ඔවුන් දක්නට නොසිටි බවය.

සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන සිදුකළ පොලිසියට දැරියන් ගමන් බෑග් 3 ක් ද රැගෙන නිවස පිහිටි පටුමගේ ගමන් කරන ආකාරය සොයාගැනීමට හැකිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ පොලිසිය දැරියන් රැගෙන ගිය ජංගම දුරකථනයේ දත්ත ද විශ්ලේෂණය කිරීම ආරම්භ කරනු ලැබීය.

නමුත් එම දැරියන් තිදෙනා (3) ඊයේ රාත්‍රි 10 ට පමණ නැවත නිවසට පැමිණ තිබිණි.

මේ අතර, අද (10) පෙරවරුවේ මේ දැරියන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට කෙසෙල්වත්ත පොලීසිය පියවර ගත්තේය.

එහිදී කෙසෙල්වත් නිවසේ ජීවත් වූ 13 හැවිරිදි ෆාතිමා කදීරා , ඇයගේ වැඩිමල් සොයුරිය වූ 15 හැවිරිදි ෆාතිමා රක්ෂා මෙන්ම, ගම්පොළ සිට නිවසට පැමිණි ඥාති දියණිය වන 13 හැවිරිදි ෆාතිමා වර්යා ද ප්‍රකාශ ලබා දුන්නෝය.

ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ, තමන් කොරියානු සංගීතයට හා බටහිර නර්තනයට දැඩි ඇල්මක් දැක්වුවත් ඊට වැඩිහිටියන්ගෙන් විරෝධයක් එල්ල වූ බවය.

පසුව සංගීතය සහ නර්තනය ඉගෙනීම සඳහා නිවසින් පිටව යාමට තීරණය කළ බව ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව 08 වැනිදා පෙරවරුවේ ත්‍රිරෝද රථයකින් කොළඹ, පිටකොටුවට එන මොවුන් තමන්ට අවශ්‍ය මුදල් සොයාගෙන ඇත්තේ, රත්‍රං මුදුවක් රුපියල් 64,000 කට අලෙවි කරමිනි.

මුළු සිරුරම වැසෙන ඇඳුම් ඇඳීම වෙනුවට බටහිර පන්නයේ ඇඳුම් ඇඳීමට ආශාවක් දැක්වූ නිසා එම මුදලින් ඇඳුම් මිලදී ගෙන බටහිර සංගීත හා නර්තන පන්තියක් සොයාගැනීම සඳහා ඔවුන් පළමුව ගොස් තිබුණේ වත්තල ප්‍රදේශය ටය.

පසුව ඔවුන් අනුරාධපුරය බලා පිටත්වගොස් තිබුණි.

එම දැරියන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බස් රියදුරෙකු සඳහන් කළේ,

“බස් එක කොළඹින් ගියේ 05:30 ට. ළමයි කළු පාට ඇඳුම් ඇඳගෙන හිටියේ. අනුරාධපුරයට ටිකට් ගත්තා. අනුරාධපුරයට ගිහිල්ලා ආයේ කොළඹට යනවා කිව්වා. රෑ වුණා කොළඹ බස් එකකට අපිව දාන්න කිව්වා. රෑ 12:30 ට විතර මන්නාරමේ ඉඳලා එන බස් එකක් ආවා. මම ගිහින් නතර කරලා ළමයි 3 දෙනාව බස් එකට දාලා ‘කොළඹින්ම බස්සන්න. වෙන කොහෙන්වත් බස්සන්න එපා. මෙයාලා කෙසෙල්වත්තෙ’ කියලා කිව්වා. මම ඒ බස් එකට පස්සේ කතා කළා. උදේ 07:30 ට විතර කොළඹින් බැස්සා කිව්වා.”

කොළඹ පැමිණි ඔවුන් යළි මහනුවර බලා පිටත්ව ගොස් ඇත්තේ, සුදුසු පන්තියක් සොයාගැනීම සඳහාය.

එහිදී ද පන්තියක් හමුනොවීම නිසා යළිත් කොළඹට පැමිණි ඔවුන් රාත්‍රියේ නවාතැන් ගැනීම සඳහා නවාතැන්පොළක් වෙත ගොස් තිබුණි.

දැරියන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, ජාතික හැඳුනුම්පත් නොතිබීම හේතුවෙන් තමන්ව භාරගැනීම එහිදී ප්‍රතික්ෂේප වූ බවය.

පසුව මොවුන් තිදෙනා රාත්‍රි 10 ට පමණ යළි නිවසට පැමිණ තිබුණි.

මේ අතර, එම දැරියන් තිදෙනාව (3) අද (10) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේ, ළමුන් බැඳුම්කරයන්ට යටත්ව දෙමව්පියන්ට භාරදෙන ලෙසය.

එමෙන්ම දැරියන්ගේ භාරකාරීත්වය පිළිබඳව පරිවාස නිලධාරියෙකුගේ නිර්දේශ සහිත වාර්තාවක් ලබන 16 වනදා අධිකරණයට ඉදිරිපත්කරන ලෙසද මෙහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා කෙසෙල්වත්ත පොලිසියට නියෝග කර තිබුණි.

ඒ අනුව ඔවුන් ජීවත්වූ එම නිවෙස්වල ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේදැයි එහිදී නිරීක්ෂණය කිරීමට නියමිතය.

ළමා මනෝ වෛද්‍ය විශේෂඥ, මියුරු චන්ද්‍රදාස මහතා සඳහන් කළේ,

“මේ වගේ අවස්ථාවකදී අපේ සංස්කෘතිය කුමක් වුණත් දරුවන්ගේ හිත සන්සුන් වන පරිසරයක් අපි ගෙදර ඇතිකර ගන්න අවශ්‍යයි. සංගීතයට, චිත්‍ර, සෙල්ලම් කිරීමට සීමාවක් ඇතුව අපි අවස්ථාවක් දෙන්න අවශ්‍යයි. නැත්නම් දරුවන්ගේ පීඩනය වැඩිවෙලා දිගුකාලීන මානසික සංකූලතා ඇතිවෙන්න පුළුවන්.”

******************************************

බැසිල් රිවස් වේ : විමල්ලාගේ ගුරු කමිටු යෝජනා පිළිගනී. අනු කමිටු සාමාජිකයින් රුපරාමුවලින් කැපේ !

(11.11.2021 – 13:50 +0530 – lankaleadnews.com)

එළඹෙන අයවැයෙන් යෝජිත වැටුප (වැටුප් විෂමතාව යෙන් 1/3 කොටස) එකවර ලබාදීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා එකඟ වී ඇති බව ගුරු වෘත්තීය සමිත් අරගලයේ නියමුවන් වූ මහින්ද ජයසිංහ හා ජෝසප් ස්ටාලින් පවසයි.

ඒ අනුව ගුරු- මුල්ගුරු වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා එකඟත්වය පළකර තිබේ.

ගුරු වැටුප් ගැටලුවට විසඳුමක් යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ගෙන් සමන්විත කැබිනට් අනු කමිටුව මෙම යෝජනාව ම කැබිනට් මණ්ඩලයට ගෙන ආ අවස්ථාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළකර තිබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අගෝස්තු 12 ද පළමු වරට රැස්වූ අතර, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධුරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන එම සාකච්ඡා සිදුවිය.

එම අමාත්‍ය අනු කමිටුවේ සාමාජික අමාත්‍ය විමල් වීරවංශ මහතා සැප්තැම්බර් 01 දා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදුණු ගුරු විදුහල්පති සේවයේ ගැටළු රැසකට සිය කමිටුව මඟින් විසදුම් ලබාදී ඇති බවයි.

කෙසේවුවද මුදල් අමාත්‍යවරයාගේ බලවත් විරෝධය හේතුකොට ගෙන එම අනු කමිටුවේ යෝජනා පසෙකට දැමීමට කැබිනට් මණ්ඩලයට සිදුවිය.

එහෙත්, දවසින් දවස ගුරු විදුහල්පති වර්ජනයට සිසුන්ගේ හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහය පලවෙමින් එම වෘත්තීය සමිති අරගලය දකුණේ මෙන්ම උතුරේද දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වීමත් සමග ඉහත අනු කමිටුවේ යෝජනා පිළිගැනීමට මුදල් අමාත්‍යවරයාට ඊයේ (10) සිදුව තිබේ.

අනු කමිටුවට කැපිල්ලක් !

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති සාකච්ඡාවේදී ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් ගත් තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාව දැක්වෙන රුපවාහිනී දර්ශනවලින් එම රැස්වීමට සහභාගී වී සිටි ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන අනු කමිටු සාමාජිකයින්ගේ රූපරාමු ඉවත්කර තිබීම සුවිශේෂී කාරණයකි.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කලේ විශේෂ මාධ්‍ය ඒකකයක් විසින් පටිගතකල එම රැස්වීමට අදාල රුපවාහිනී දර්ශන සංස්කරණයෙන් පසුව මාධ්‍ය ආයතනවලට ලබාදී ඇති බවයි.

එය පැහැදිලිවම මෙම වර්ජනය නිමා කිරීමේ ගෞරවය බැසිල් රාජපක්ෂ වෙත හිමිකර දීමේ උවමනාවෙන් සැලසුම් සහගතව සිදුකල මෙහෙයුමක් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි ෴

******************************************

ඊළඟ වර්ජනයට රාජ්‍ය බැංකු සේවකයන් සුදානම්

(11.11.2021 – 14:21 +0530 – truenews.lk)

රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිවීම හා දීමනා ලබාදීමට අදාළව මේ මස 16 වැනිදා මුදල් අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් මේ මස 22 වැනිදා සිට රාජ්‍ය බැංකු හතේම (7) සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

වසර තුනකට (3) වරක් මේ සඳහා රාජ්‍ය බැංකු හතේ (7) කළමනාකාරීත්වය හා වෘත්තීය සමිති අතර සාමූහික ගිවිසුමක් අත්සන් කරන බවත්, මේ වසරේ සිට ඉදිරි වසර තුන (3) සඳහා මේ වසරේ මාර්තු මාසය වනවිට සාමූහික ගිවිසුම් අත්සන් කිරීමට තිබූ බවත් එම සංගමයේ ලේකම් රංජන් ස්නානායක මහතා පවසා සිටියේය. ඉදිරි වසර තුනක (3) කාලය සඳහා මෙතෙක් ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වූ බවත්,

මේ නිසා අද (11) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබූ බවත් පවසා සිටි හෙතෙම, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා මේ මස 16 වැනිදා අවස්ථාවක් ලබාදී තිබෙන බවද පැවසීය. මේ නිසා සාකච්ඡා අසාර්ථක වුවහොත් රාජ්‍ය බැංකු හතේම (7) සේවකයන් ඒකාබද්ධ වී මේ මස 22 වැනිදා එක් දින වැඩවර්ජනයක් හා ඊට දින හතකට (7) පසු දෙදින (2) වැඩවර්ජනයක් හා දෙදින වැඩ වර්ජනයෙන් දින හතකට (7) පසු දින තුනක (3) වැඩ වර්ජනයක් සිදු කිරීමට සැලසුම්කර තිබෙන බවද ලේකම්වරයා පවසා සිටියේය.

ඉදිරි වසර තුනක (3) කාලය සඳහා රාජ්‍ය බැංකු සේවක අවම වැටුප් වැඩිවීම 13% කින් සිදු විය යුතු බවත්, මේ ආකාරයේ සුළු වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින්නේ, පවතින කෝවිඩ් තත්වය සැලකිල්ලට ගනිමින් වන අතර, තවමත් බකු සේවකයන්ට හිමි වන්නේ, 2018 වසරේ අත්සන් කළ සාමූහික ගිවිසුමට අනුව බවත් රංජන් සේනානායක මහතා පවසා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *